පහනේ ආලෝකයෙන් යසවතී සොයා ආ යකින්න


 

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ද විවිධ යක්ෂයින්, යක්ෂණියන් ගැන බොහෝ විශ්වාස පවතී. මේ ලෝකයේ සෑම රටකම වාගේ එම සංස්කෘතීන්ට අනුකූල වූ අමනුස්සයින්, යක්ෂයින් සිටින බවට නොයෙක් මතිමතාන්තර පවතී. නොයෙක් ආගම්වල ඉගැන්වෙන ක්‍රම අනුව ඔවුනොවුන් ඒවායින් සහනය උදා කර ගනී. මහසෝන් යකා, රීරි යකා, කළුකුමාර යකා, මෝහිනී යක්ෂණිය, කාලි යක්ෂණිය ආදිය ගැන ප්‍රධාන ලෙස කියැවෙන අතර, ආදිවාසීන් අතරේ ද නෑ යක්කු (තම වර්ගයා මියයෑමෙන් පසු ඒ තත්ත්වයට පත්වේ) සිටිති. ඇතැම් ජනයා මෙම යක්ෂයින් සහ යක්ෂණියන් මිනිසුන් විසින් මවාගත් දෙයක් යනුවෙන් ද ඇතැම් ජනයා මෙවැනි යක්ෂයින් සත්‍ය වශයෙන්ම සිටිනවා යනුවෙන් ද විවිධ මතිමතාන්තරවල එල්බ සිටිති.   


වයස අවුරුදු තිස්නවයක් වන යසෝවතී දෙදරු මවකි. ඇගේ සැමියා වන සුමනසිරි වැඩ රාජකාරියක් නොකර, නිවසටම වී කල්ගත කරන කම්මැළි චරිතයකි. නමුත් යසෝවතී සෑමවිටම පවුලේ ආර්ථිකය ගොඩනගන්නටත් ශක්තිමත් කරන්නටත් නොකළ දෙයක් නොමැති තරම්ය.   


හිමිදිරි උදෑසන අවදි වන ඇය ආප්ප, ඉඳිආප්ප වැනි දේ සාදා අසල තිබෙන කඩයට ගොස් ඒවා විකුණා එයින් යම් මුදලක් උපයා ගන්නීය. යසෝවතීගේ සැමියා ඉඳහිට දවසක් දෙකක් කුමක් හෝ කුලී රක්ෂාවක් කර සුළු මුදලක් උපයාගෙන පැමිණියත් එම මුදල් යසෝවතීට නොදී මත්පැන් බීමට වියදම් කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඒවයේ වියහියදම් පිළිබඳව ඔහුට ගාණක්වත් නැත. ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසාත් බොහෝ ප්‍රශ්නවලින් මිරිකී සිටි යසෝවතී මහත් මානසික පීඩාවකට ලක්ව සිටියාය. ඇයගේ සිතට කිසිදු සතුටක් නැත. ගෙදර දොරේ වැඩපළ කරගෙන දරුවන්ගේ ද කටයුතු කරගෙන සිටියත් ඇය සෑම වේලාවකම සිටියේ දුකෙන් හා කලකිරීමෙන්ය.   


සියලු දුක් කරදරවලින් මිදීම සඳහා එයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේ දී නිවසේ මිදුලේ පහනක් පත්තු කර තමන්ට පැවති දෝෂ නිමා කරගත හැකි බවට යසෝවතී මෙන්ම පීඩනයට පත්ව සිටි ඇයගේ යෙහෙළියකගෙන් යසෝවතීට උපදෙස් ලැබිණි. එලෙස හෝ සහනයක් ලැබෙනු ඇතැයි සිතා මිදුලේ කොනක පහන් පැලක් සාදා පහනක් පත්තු කිරීමට යසෝවතී පුරුදු විය. ඇය මෙලෙස සති කිහිපයක් කරගෙන ගියාය. ඒ අතර එක් දිනෙක අසල්වැසි නිවසක පිරිත් පිංකමක් සිදුකෙරිණි. දරුවන් සමග ඇය ද එම නිවස වෙත යෑමේ බලාපොරොත්තුවෙන් පසුවූවාය. මොවුන් ඒ සඳහා සූදානම් වන අතරතුර අසල්වැසි නිවසේ පිරිත් ආරම්භ වුණි. මොවුනට ද එම පිරිත් හොඳින් ඇසේ.   

 

 


“අන්න පිරිත් පටන් අරගෙන” කියමින් ඇය දරුවන් ද ලහි ලහියේ සුදානම් කළාය. ඒ සමගම යසෝවතී දෑතින්ම හිස බදාගෙන මහා හයියෙන් විලාප දෙන්නට වූවාය. කෑ ගසන යසෝවතීව අල්ලාගත් ඇගේ සැමියා ඇයව ආසන්නයේ තිබූ ඇඳෙන් වාඩි කරවීය. ඇය ඇඳේ ඒ මේ අත පෙරළෙමින් හූ තියන්නට වූවාය. යසෝවතී කන් දෙක වසාගෙන “මට ඉන්න බෑ. මොකක්ද වෙනවා. මට යන්න දීපියව්” කියමින් කෑ මොර දෙමින් ඒ මේ අත දැඟලුවාය. දරුවනුත් සැමියාත් එක්වී ඇයගේ මෙම ක්‍රියාකලාපය නතර කරන්නට වෙර දැරුව ද එය සාර්ථක නොවුණි.   


“යසෝවතීගේ ශරීරයේ අමනුස්සයෙක් ඉන්නවා. පිරිතට ඇවිස්සුණේ ඒකයි”. යසෝවතීගේ බෙරිහන්දීම ඇසුණු අසල්වාසියකු යසෝවතීගේ නිවසට පැමිණි අතර, එම පුද්ගලයා යසෝවතීගේ සැමියාට කීවේය. යසෝවතීව පිරිත් නෑසෙන මානයේ වූ නිවසක් වෙත ගෙන ගියේය. පිරිත් නොඇසෙන මානයට යාමත් සමගම යසෝවතීගේ කෑගැසීම නතර විය. පියවි සිහිය ලද විටම “මට මොකක්ද වුණේ. මං කොහොමද මෙහෙට ආවේ” යනුවෙන් අන්දමන්ද වී වටපිට බලන්නට වූ යසෝවතී ඇසුවාය. “ඇයි මාව මෙහෙට ගෙනාවේ. අපි පිරිත් ගෙදර යන්නැද්ද? කොහොමද මං මෙහෙට ආවේ” යනුවෙන් යසෝවතී සැමියාගෙන් විමසන්නට විය. “නෑ නෑ ඔහේ පොඩ්ඩක් ඔහොම ඉන්නකො. පිරිත් ගෙදර යන්න ඕන නෑ” යැයි සැමියා පවසමින් වටපිටාවේ රැස්වූවන් සමග ද සිදු වූ සිදුවීම විස්තර කරන්නට විය.   


යසෝවතීගේ මෙම තත්ත්වය නිසාම සැමියා ද දරුවන් සමග පිරිත් ගෙදර නොගොස් ඇය සමගම අසල්වැසි නිවසේ එදින රාත්‍රිය ගත කළහ. පසුදා පිරිත් නිම වූ පසුව ඔවුන් තමන්ගේ නිවස බලා පැමිණියෝය. නමුත් පෙරදින රාත්‍රියේ ඇතිවූ යසෝවතීගේ තත්ත්වය යළිත් ඇතිවේදෝයි යන බියෙන් සැමියා තුළත් ඥාතීන් තුළත් සැක ඉස්මතු වන්නට විය. සියල්ලෝම “බලමුකෝ ආයිත් හැදුණොත් කුමක් හෝ කරමු” යන අදහසින් පසුවූහ. නමුත් ගැටලුවක් ඇති නොවීය. දින කිහිපයක් යන විට ඇය සාමාන්‍ය ජීවිතයට යළිත් හුරුවිය. නමුත් ප්‍රශ්නවලින් නම් ඇයට අඩුවක් නැති වූ තරම්ය.   


යසෝවතීගේ පොඩි දුව “අම්මේ එදා අම්මට මොකක්ද වුණේ අම්මේ” යනුවෙන් සිදුවීම පිළිබඳව වරින් වර විමසන්නට වූ අතර. එම වේලාවට කුමක් හෝ දෙයක් පවසා යසෝවතී දියණියගේ සිත පැහැදුවාය.   


එදින පොහෝ දිනයකි. කිහිප දිනෙකින් පන්සලට යාමටවත් නොහැකි වූ නිසා එදින පන්සලට යාමට ඔවුහු සූදානම් වූහ. දරුවන් ද සමග ඇය පන්සලට පැමිණියාය. මොවුන් මල් පහන් පූජා කර බුදුන් වැඳ ඉන්පසු ගියේ පන්සලේ තිබුණු දේවාලය වෙතය. දේවාලය වෙත ගොස් මල් පහන් පූජා කර දෙවියන්ට පිං දෙන්නට විය. ඒ සමගම පෙරදින සිදුවූ අසනීපය මෙන් මෙදින ද යසෝවතී සිහිවිකලෙන් මෙන් කෑ ගසමින් හිසකේ ඇදගනිමින් බිම පෙරළෙමින් දඟලන්නට වූවාය. එදින පොහෝ දිනයක් බැවින් පන්සලේ විශාල පිරිසක් රැස්වී සිටි අතර, කිහිපදෙනෙක්ම පැමිණ ඇය ඔසවා පසෙකින් වාඩි කරවූහ. මුහුණට වතුර ඉස මුහුණට තට්ටු කිරීමත් සමග ඇයගේ එම තත්ත්වය ඉවත් විය.   


පැමිණ සිටි පිරිස පන්සලේ හාමුදුරුවන් ද සමග එක්වී තවත් කාන්තාවක් ද සමග වාහනයක් ගෙන්වා ඇයත් දරුවනුත් නිවස කරා පිටත් කර යැවීය. එදින ද එම තත්ත්වය පහව ගියේය. නමුත් ගතවූයේ දින කිහිපයකි. තත්ත්වය එන්න එන්නම වැඩිවන්නට වූවේය. ඈතින් හේවිසි වාදනයක් ඇසෙන්නට විය. අසල්වැසි නිවසක දානයකි. මෙය ඇසීමත් සමග යසෝවතී යක්ෂාවේශයෙන් ඉහත අවස්ථාවල දී මෙන් කෑ ගසන්නට වූවාය. සැමියාත් දරුවනුත් එක්වී ඇයව එය නෑසෙන මානයකට ගෙන ගිය විට මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වුණි. “දැන්නම් ඉතින් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි ඇදුරකු ගෙන්වමු” යැයි අසල්වැසියන් යසෝවතීගේ සැමියාට පැවසීය. දේව වරමින් සාස්තර කියනු ලබන කපු මහතකු වෙත යසෝවතීව රැගෙන ගියේය. කපු මහතා ආරූඪය ලබාගෙන යසෝවතීගේ භූත දෝෂය විස්තර කරන්නට වුණි.   


“මේ තැනැත්තියට යක්ෂණියකගේ බලපෑමක් තියෙනවා. ඇඟේ ඉන්න යක්ෂණිය පිරිත්වලට බයයි. බෙර ශබ්දවලට බයයි. ඒකනිසා තමයි පිරිත් ඇහෙනකොට, බෙර ශබ්ද ඇහෙනකොට ඇයට ඉන්න බැරි. මේ සඳහා යාගයක් කළ යුතුයි” යැයි පවසා ඒ සඳහා දින තීරණය කර ගැනුණි.   


යාගයේ දිනය උද‌ාවිය. යාගය බැලීමට පැමිණි පිරිස ඉදිරියේ ආරූඪයෙන්ම යාගය සිදුකෙරිණි. ඒ අතර, මධ්‍යම රාත්‍රියේ යසෝවතීගේ ඇඟේ සිටින යක්ෂණිය ආවේශ කෙරිණි. යක්ෂණිය ගෙන්වා යසෝවතීගේ ශරීරය හරහාම කතා කරවන්නට විය. ඔළුව කරකවමින්, ඇස් දෙක ලොකු කරගෙන, දිව ඇදගෙන, රෞද්‍ර ලෙසින් මළයක්ෂණිය වටපිට බැලීය. වරෙක හූ තබයි. වරෙක අමාරුවෙන් මෙන් මොනවා හෝ කියවයි. මෙලෙස යක්ෂණිය සමග යම් යම් දේ කතා කරමින් “ඔබ දැන් යා යුතුයි” යැයි පවසා කපු මහතා කහ දියර ඉස යක්ෂණියට යසෝවතීගේ ශරීරයෙන් ඉවත්ව යාමට අණ කෙරිණි. කහ දියර ඉසීමත් සමග මහා හයියෙන් බෙරිහන් දෙමින් හූ තුනක් කියමින් යසෝවතී බිම ඇද වැටුණි. කපු මහතා හා ආවතේව පිරිස එළිවනතුරු යාගය කර පොරොන්දු වූ මුදල් ද රැගෙන ඉවත්ව ගියෝය. යක්ෂණිය ඉවත්වී යසෝවතීට නිරෝගී කලක් උදාවිය.   
මෙලෙස ද ගතවූයේ සති කිහිපයකි. ගුවන් විදුලියේ වැඩසටහනක් අසා සිටි යසෝවතීගේ පුතාට ගුවන් විදුලිය ක්‍රියා විරහිත කිරීමට මත්තෙන් නින්ද ගියේය. වැඩසටහන් නිමා වී එම ගුවන්විදුලි නාළිකාවේ පිරිත් සජ්ඣායනාව ආරම්භ විය. වේලාව රාත්‍රී දහයහමාරට එකොළහට පමණ ඇත. මහා හයියෙන් යටි ගිරියෙන් කෑ ගසන හඬක් ඇසුණේ නිදා සිටි සියලු දෙනාම බයෙන් ගැස්සෙමින්ය. යසෝවතී ගුවන් විදුලියේ පිරිත් ඇසී පෙර පරිදි දඟලයි. ඇයගේ පුතා වහාම ගොස් ගුවන් විදුලිය ක්‍රියා විරහිත කළේය. ඉන් ටික වේලාවකට පසු යසෝවතීගේ දැඟලීම අඩුවී යථා තත්ත්වයට පත්විය.  


මෙලෙස කිහිප වරක්ම පිරිත් ඇසෙන විට, බෙර ශබ්ද ඇසෙන විට, ඝණ්ටාර ශබ්ද ඇසෙන විට, ආගමික සිද්ධස්ථානවලට යනවිට, ශාන්තිකර්ම තිබෙන විට, හාමුදුරුවන් දකින විට ආදී බොහෝ තැන්වල දී යසෝවතීට එම රෝගී තත්ත්වය ඇති විය. වරින්වර නොයෙකුත් ඇදුරන් හා කපුවන් ගෙන්වා නොයෙකුත් ප්‍රතිකර්ම සිදුකළ ද ඒවා පවතින්නේ සති කිහිපයක් පමණි. මෙම තත්ත්වය නිසා ගේ දොර විකුණන තරම් ඔවුහු අන්ත අසරණ තත්ත්වයකට පත්වූහ.   


මේ අතර, එක්තරා පුද්ගලයෙකු මාර්ගයෙන් යසෝවතීව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. නමුත් ඔවුන් ඒ පිළිබඳව එතරම් විශ්වාසයක් නොවීය. “මනෝ වෛද්‍යවරුන්ට පුළුවන්ද යක්කු යවන්න” යැයි ඇතැමුන් අවඥාවෙන්ම ප්‍රශ්න කෙරුණි. නමුත් වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙන්ම “ඒකත් කර බලමු” යැයි සිතූ මොවුන් යසෝවතීව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කරවීය.   
යසෝවතීගේ තත්ත්වය හා ගැටලුව පිළිබඳව විමසා බැලූ විද්‍යාකුලපති මහතා ඇයගේ සිරුරේ සිටින යක්ෂණිය ඉවත් කිරීමේ වගකීම භාරගැනිණ. විද්‍යාකුලපති මහතා විසින් අන් අය ඉදිරියේම යසෝවතීගේ ශරීරයට එම යක්ෂණියට පැමිණෙන ලෙස අණ කෙරිණි. එම විධානයත් සමග පෙර පරිදිම ඇය යක්ෂාවේශයෙන් හැසිරෙන්නට විය.   
“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ” යනුවෙන් විද්‍යාකුලපති මහතා විසින් කිහිපවරක්ම ඇසුවේය. ඉන්පසු අපහසුවෙන් මෙන් රෞද්‍ර ලෙසින් “මම යක්ෂණියක්. මම ආවෙ මේකි ගෙනියන්න” කියමින් හූ තබා සිනාසෙන්නට වූවාය.   


“උඹට පුළුවන් දෙයක් කරපන්. උඹට බෑ මාව යවන්න” යනුවෙන් නැවතත් හූ තබා සිනාසෙන්නට වූවාය. “නෑ මට පුළුවන් ඔබව යවන්න. ඊට කලින් කියන්න ඇයි තමන් මේ ශරීරයට ආවේ” විද්‍යාකුලපති මහතා ඇසීය.   


“මේකි මට දවස් ගාණක් රෑට පහනක් තිබ්බා. මේකි එක දවසක් ඒක අමතක කළා. එවෙලේ තමයි මම හිතාගත්තේ ඕකිට පාඩමක් උගන්වන්න ඕනේ කියලා” පිළිතුර විය.   
“ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබට ඇති බලයක් නෑ. යසෝවතීගේ හිත විසින්ම මවා පෙන්වීමක් විතරයි යක්ෂණියකගේ වේශය. පුළුවන් නම් ඔබගේ බලය පාවිච්චි කරලා මට දෙයක් කරලා පෙන්නන්න. නැත්තම් එච්චර ලොකු දේවල් වැඩක් නැහැ. ඔබ ඉස්සරහා තිබෙන මේ පොතේ පිටු අත නොතියා යක්ෂණියගේ බලෙන් පෙරලා පෙන්නන්න” විද්‍යාකුලපති මහතා අභියෝග කළේය. නමුත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය.   


“ඕක තමයි මම කිව්වේ ඔබට ඇති බලයක් නැහැ කියලා. ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබේ යටි හිතේ ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඔබ යක්ෂණියක් ලෙස හැසිරෙනවා. දැන් ඔබගේ එම තත්ත්වය මා ඉවත් කරනවා” යැයි පවසමින් මෝහන නිද්‍රාවේදීම එම තත්ත්වය පහදා දී එම මානසික තත්ත්වය විද්‍යාකුලපති මහතා විසින් ඉවත් කළේය. සිදුවීම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුනි.   


මැයගේ තත්ත්වය දෙස බලන විට ඇය පුදුමාකාර ලෙස මානසික පීඩාවකට ලක්වූ අයෙක්. එම මානසික පීඩාවට කාලයක් තිස්සේ ලක්වීමෙන් ඇය Stress Disorders (ක්ලමථ අක්‍රමිකතා) යනුවෙන් හඳුන්වන මානසික තත්ත්වයට පත්වී තිබුණා. එහි ලක්‍ෂණ තමයි දුක, කලකිරීම, එපාවීම, තරහා යාම, අමතක වීම, සිතට සතුට නොදැනීම, අහේතුක බය, නින්දේ අක්‍රමිකතා, ආහාර ජීර්ණ පද්ධතිය මුල් කරගත් රෝග, නිතර නිතර කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළීම, ජීවිතය විඳවනවා ලෙස දැනීම ආදී ලක්‍ෂණයි.   


මෙම රෝගයෙන් පීඩා විඳි ඇය එයට පැහැදිලි ප්‍රතිකාර ගැනීම වෙනුවට ඇය සිදුකළේ නොපෙනෙන බලවේගයකට පහන් තබා සහනයක් බලාපොරොත්තු වීමයි. නමුත් මෙලෙස කරගෙන යාමේ දී එක් දිනක් ඇයට එය කිරීමට අමතක වූවා. එය මතක් වුණේ පසු දිනයකයි. මෙම අමතක වීම මැයගේ හිතේ වද දුන්නා. ඒ අතර තමයි අසල්වාසී නිවසේ පිරිතක් පැවැතුණේ.   


ඇතැමුන්ගේ හිතේ විශ්වාසයක් තිබෙනවා පිරිත් කියන විට යක්ෂයින්ට ඉන්න බෑ කියලා. ඇයගේ යටි හිතේත් මෙම තත්ත්වය තැන්පත් වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිත් ඇසෙනවාත් සමගම ඇය අවිඥානිකව මෙවැනි හැසිරීමකට ලක්වුණා. මෙය අපි මනෝ විද්‍යාවේදී හඳුන්වන්නේ Dissociative Disorders (මායා රෝගය - Hysteria ) යනුවෙනි.   
මෙම තත්ත්වයේ දී අපගේ සංස්කෘතික විශ්වාස මත හා ප්‍රදේශයේ විශ්වාස මත බෙර ශබ්ද ඇසෙන විට, පිරිත් ඇසෙන විට, ගාථා කියන විට, දේවාලවල යන විට, ඝණ්ටාර ශබ්ද ඇසෙන විට, සුවඳ දුම් අල්ලන විට ආදී අවස්ථාවල දී ශරීරයේ වෙව්ලීම, ඔළුව කරකැවීම, ශරීරය සැහැල්ලු වීම, පණ නැති වීම නැත්නම් දැඩි වීම, අමනුස්සයෙකු ශරීරයේ ඉන්නවා සේ හැසිරීම ආදී දේ සිදුවෙනවා. මෙය සත්‍ය වශයෙන්ම සුළු මානසික රෝගී තත්ත්වයක්.   


මෙලෙස පැවසූ විද්‍යාකුලපති මහතා විසින් යසෝවතීට මාස දෙක තුනක කාලයක් ප්‍රතිකාර කර ඇයගේ ගැටලුවලට ද මනෝ උපදේශනය තුළින් විසඳුම් ලබාදුණි. ඇය සුව වී අද වනවිට වසර කිහිපයකි. නමුත් කිසිම දිනෙක ඇයගේ සිරුරට නැවත යක්ෂණිය පැමිණියේ නැත.   

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත