පරංගින් පරදවන්න රාසිං රජුට උදව් වූ පිටියේ දෙවියෝ


ගැමි රසවිත

 

උඩරට පුද ලබන පිටියේ බණ්ඩාර දෙවි මුල් යුගයේ වී ගොවිතැන ගව පාලනයට අධිපති ලෙඩ රෝග දුරලන ලද දෙවියකු ලෙස ඉමහත් භක්තියට ලක් විය. පිටියේ දෙවිඳු වූයේ මියගිය දුටුගැමුණු රජුගේ පුනර් ජන්මයක් බව එක් ජනප්‍රවාදයකි. තවත් ජන කතාවක් අනුව ඉතා ධාර්මිකව අනුරාධපුර රජ කළ එළාර රජු අතින්ම කුමරු කළ වරදකට පියා අතින් මරා දැමුණු එළාර රජුගේ පුතා පිටියේ දෙවිඳු වූ බව තවත් ජනකතාවකි. තුන්වෙනි ජනකතාවක් අනුව දකුණු ඉන්දියාවේ සොලී රජෙකු විසින් පුතා කළ වරදකට පියා විසින් මැරවූ සොලී කුමරෙකු පිටියේ දෙවි ලෙස උපත ලබා ඇත.  


පියාගෙන් පලිගැනීමට යක්ෂයෙකු ව උපන් පිටියේ බණ්ඩාර කුමරු යක්ෂ පිරිවර සමග ලංකාව මැද හුන්නස්ගිරිය අවටින් අහසින් යද්දී කඳු මුදුනේ හිස් පිට්ටනියක් දැක ඒවාට ඇලුම්කර එහි නැවතුණු බැවින් පිටියේ දෙවි ලෙස ප්‍රකට විය. පිටියේ දෙවිඳුගේ මුල්ම බල අඩවිය රට මැද හුන්නස්රි කඳු මුදුන හා ඒ අවට බිම් විය. ඒවන විට ලංකාවේ රට මැද දුම්බර අඩවිය නාථ දෙවිඳුන්ගේ බලයට යටත්ව තිබුණි. නාථ දෙවිඳුන් මුල් දේවාලය අවුරුදු දෙදහක් පමණ පැරණි පිලවල සියඹලා ගස අවට තිබී ඇත.  


යක්ෂයෙකු ලෙස අලුතින් දුම්බරට පැමිණි පිටියේ බණ්ඩාර දෙවි අතින් නාථ දෙවි පරාජය වී මහවැලි ගඟෙන් එතර වී හේවාහැටට පලා ගොස් මහනුවර ධර්මරාජ කන්දට පසු බැස මහනුවර දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල බිමේ පසුව පදිංචි විය. රෝග සුව කිරීමේ බලයක් ඇති නාථ දෙවි මුල් කල මයායාන බෝධි සත්වයෙකු ලෙස මුහුදුබඩ තොටුපළවල පුද ලබා ඇත. වැලිගම කුෂ්ඨරාජගල නාථ දෙවියේ රෝග සුව කිරීමේ බලය පෙන්වන ප්‍රතිමාවක් ඇත. මහායාන බෝධි සත්වයෙකු ලෙස ප්‍රකට වූ නාථ දෙවි පසුකල මතු බුදුවන මෛත්‍රී බෝධි සත්වයින් යැයි වැරදි විශ්වාසයක් පැතිර ගියේය.  


උඩරට දෙවෙනි රාජසිංහ රජු කල රජුට විරුද්ධව ඉතා රහසිගතව පෘතුගීසි සේනාංකයක් කටුගස්තොට හරහා මහවැලි ගඟ දිගේ උඩරටට ඇතුළු විය. ඉතා රහසිගතව සිදුවූ මෙම පෘතුගීසි ආක්‍රමණයේදී දෙවන රාජසිංහ රජුට මේ පිළිබඳව චර පුරුෂ තොරතුරු ලැබෙමින් පැවැතීමට විය. පිටියේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ රජු පෘතුගීසීන් පැරදවීමට පිටියේ දෙවිඳුන් පිහිට ඉල්ලා බාර විය. මහවැලි ගඟ දිගේ ඉදිරියට ආ පෘතුගීසි හමුදාව ලේවැල්ල දෙසින් අරුප්පොල බලා ඉතා රහසිගත අයුරින් ඉදිරියට ඇදෙන්නට විය. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කල ලියැවී ඇති පිටියේ සුරිඳු පුවත කාව්‍ය ග්‍රන්ථය අනුව එක් හිමිදිරි උදෑසනක පෘතුගීසීන් ලේවැල්ල තොටුපලට ළඟා වී ඇත. ගඟ දෙපස පැතිර තිබූ සුදු වැලිතලා ඉතා විසිතුරු විය.  


උදේ දීප්තිමත්ව පායා තිබූ හිරු පිටියේ දෙවිඳුගේ බලපෑමෙන් මොහොතින් අඳුරු වී අහස කළු වළාකුලක් පිරී තද අන්ධකාරයක් මැද ලේවැල්ල තොටුපළේදී පෘතුගීසි හමුදාව වට කළේය. දැඩි අන්ධකාරය මැද පෘතුගීසීන්ට කිසිවක් කළ නොහැකි විය. ඉතා කෙටි කලක් තුළ සිංහල හේවායින් අතින් පෘතුගීසි සේනාව මුළුමනින්ම විනාශ විය. ලේවැල්ල තොටුපල දෙපස පැතිර තිබූ සුදු වැලිතලාව පෘතුගීසි ලෙයින් තද රතු පාට විය. ඒ නිසා මේ තොටුපළේ නම ඉන්පසු ලේවැල්ල නමින් වෙනස්ව පැතිර ගියේය.  


ඉතා ප්‍රකට ගන්නෝරු සටන දෙවන රාජසිංහ කුමරු දියෝගුද මෙලෝ කැස්ත්‍රෝ පරදවා මරා ජය ගත්තේ 1638 දීය. ඊට පෙර දෙවන රාජසිංහ කුමරු යුද්ධයට පෙරහුරුව ලැබුවේ අඹතැන්න හා ලේවැල්ල සටන්වලදී ගන්නෝරු සටනට කුමරු පුහුණුව ලබා ගත්තේය. මහනුවර කටුගස්තොට සිට අඹතැන්න පිඟාඔය ඉවුරේ පිහිටා ඇත. එහෙත් අඹතැන්න සටන සිදුවූ වර්ෂය පැහැදිලි නැත. අඹතැන්නට පෙර ලේවැල්ල සටන සිදුවිය. ඒ 1635 අවට සිදුවූ බව සිතිය හැකිය.

 

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන