දෙවැනි මරණ පරීක්ෂණයෙන් මිනීමැරුමක් බව ඔප්පු වෙයි


“දොඩම්පේ මුදලාලිගේ උපන්ගම සොයා ගිය ගමන-5”

 

හැට පහේ බලයට ආ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට රහස් පොලිස් අත්අඩංගුවට පත් එල්.වී. පොඩිඅප්පුහාමි හෙවත් දොඩම්පේ මුදලාලි  පොලිස් මූලස්ථානයේ හතරවෙනි තට්ටුවෙන් පැන සියදිවි හානි කරගෙන ඇති බවට ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරයවීමත් සමග මුළු රටම තැති ගත්තේය. 

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස දොඩම්පේ මුදලාලි සමග රහස් පොලිස් මූලස්ථානයේ හතරවෙනි තට්ටුවේ වෙනම ම රඳවා සිටි යුද හමුදාවේ කොප්‍රල් තිලකරත්න නැමැත්තා ද මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව පැතිරගිය අනෙක් ආරංචිය විය.


“දොඩම්පේ මාමා හතරවෙනි තට්ටුවෙන් පැනලා මැරිලා කියලා කිව්වාට අපේ තාත්තා විශ්වාස කළේ ම නෑ. තාත්තා අම්මාට කිව්වේ මුං දොඩම්පෙව මරලා කියලමයි. තාත්තා දොඩම්පේ මාමාගේ මිනීය ගේන්න පහුවදා කොළඹ යනවා කියලා අම්මා එක්ක කියනවා මම අහගෙන.”


දොඩම්පේ මුදලාලිගේ සමීපතම මිත්‍රයෙක් වූ රත්නපුරේ සිරිල් ඇලෙක්සැන්ඩර් ඔහුගේ බිරිඳ සමග කතාකළ බවට තමන් තුළ වූ මතකය අවදි කළේ සිරිල් ඇලෙක්සැන්ඩර්ගේ පුත්‍රයා වූ වර්ථමානයේ විශ්‍රාම සුව විඳින රත්නපුර කොළඹ පාරේ රංජිත් ප්‍රේමසිරි මහතා ය.


බාප්පාගේ මරණයෙන් පස්සේ බාප්පාගේ සහෝදරයින් ඇතුළු ඔවුන්ගේ දූදරුවන්ට, අනෙකුත් ඥාතීන්ට අත්වූයේ ද නරක කළ දසාවකි. රාජද්‍රොහියෙක් ලෙස  දොඩම්පේ මුදලාලි හංවඩු ගැසීම තුළ ඔහුගේ ඥාති පරපුරම විවිධ වූ දුක්ඛ දෝමනස්සයන්ට ලක්විය.


“බාප්පාගේ මරණයෙන් පස්සේ අපිට ආණ්ඩුවේ රස්සාවකට යනවා කියන එක සිහිනයක් වූණා. ආණ්ඩුවට සම්බන්‍ධ අය හැම කෙනෙක්ම අපි දිහා බැලුවේ වපරැහින්. බාප්පා මරාගන්න තැනට ඔහුව ගෙනාපු කිසිම කෙනෙක් බාප්පාගේ ඥාතීන් ගැන ඒ කාලේ සොයා බැලුවේ නෑ කියලා අනික්  බාප්පලා කියනවා මට මතකයි.” එල්.වී. චන්‍ද්‍රා දොඩම්පේ මහත්මිය කියන්නීය.


දොඩම්පේ මුදලාලිගේ මරණ පරීක්‍ෂණයේ  සාක්කි අනුව ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමකැයි අධිකරණය තීන්දු කළේ ය. ඔහුගේ මෘත ශරීරය රත්නපුර නගරයට ගෙන එන්නට රත්නපුරේ රියදුරු සහ ව්‍යාපාරික හිතවතුන් ගත් උත්සාහයට රජයෙන් හරස් කැපුනි. දොඩම්පේ ‘අධිකාරිය’ ගමේ උපන් නිවස අසල මිහිදන් කරන්නට සූදානම් වුවත් එවකට පැවති ආණ්ඩුවේ බලකිරීම මත සිරුර ආදාහනය කරන්නට සිදුවිය.
රත්නපුරේ රියදුරු සහ ව්‍යාපාරික හිතවතුන් ලොරියක සැරසු ලංකා සිතියමක හැඩගත්  මල් වඩම එදා කොල්ලො කුරුට්ටන්ව අද වියපත්ව සිටින සැම දෙනාටම මතක බව අයි.කේ.සෝමවීර මහතා කියයි.
ත්‍රිවිධ හමුදාවත් රාජ්‍ය රහස් ඔත්තු සේවා නිලධාරීනුත් දොඩම්පේ අධිකාරිය ගම අවට යොදා තිබූ රැකවල්  මැද දොඩම්පේ මුදලාලිගේ දේහය දැවී අලුවී ගියේය. 


“ආණ්ඩුව මොනවා කිව්වත් දොඩම්පේ මුදලාලි සීඅයිඩී එකෙන් මරලා” දොඩම්පේ මුදලාලිගේ සහෝදරයන්, ඥාති දරුවන් ඇතුලු හිතවතුන්ගේ ස්ථාවරය විය. නමුත් එදා පැවති යූඇන්පී ආණ්ඩුවෙන් මේ අපරාධයට සාධාරණයක් ඉටු නොවනු ඇති බව සැමගේ විශ්වාසය විය.


“උසාවියේ තීන්දුව වෙලා තිබුණෙ දොඩම්පේ මුදලාලි සිය දිවි නසා ගත්තා කියලානේ. නමුත් ඔහුගේ බාලම මල්ලී එල්.වී. ස්ටීවන් සරත් අප්පෝ (සරත් මුත්තෙට්ටුවේගම) හමුවෙලා මේ මරණය ගැන සැයක් තියනවා කියලා නැවත පරීක්‍ෂණයක් කරන්න කියලා දිවුරුම් පෙත්සමක් දුන්නා” හොලීපිටියේ එම්.ඒ. ධර්මදාස මහතාට මතකය.


එම දිව්රුම් පෙත්සම අනුව නැවත මරණ පරීක්‍ෂයක් පැවැත්විනි. නීතීඥවරුන් වන සරත් මුත්තෙට්ටුවේගම, සිදත් ශ්‍රී නන්දලෝචන යන මහත්වරු මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ. දොඩම්පේ මුදලාලිගේ මරණයෙන් මාස පහකට පමණ පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්විය. 


දොඩම්පේ මුදලාලි සියදිවි නසාගත් බවට තීන්දුව දුන් කොළඹ ඒකාබද්ධ මහේස්ත්‍රාත්ව සිටි වින්සන්ට් ස්වර්ණාධිපති මහතා ම මෙම දිවුරුම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව සිය තීන්දුව දෙමින් දොඩම්පේ මුදලාලිගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව මිනීමැරුමක් බවට තීරණය කරන බව ප්‍රකාශයට පත් කළේය.


“මට මතක හැටියට මේ පෙත්සමේ තීන්දුව ලැබුණේ 1966 සැප්තැම්බර් මාසේ. නමුත් දොඩම්පේ මුදලාලිගේ මරණය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන්වන තැනට වැඩ කරන්න පවුලේ ඥාතීන්ට වත්කමක් තිබුණේ නෑ. එයා ජීවතුන් අතර සිටිද්දි හිටිය හිතවතුන් දවසින් දවස ඈත් වුණා. රත්නපුරේ තිබුණ දේපල වලට මොනවා වුණාද කියන්න කවුරුවත් දන්නේ නෑ.” එම්.ඒ. ධර්මදාස මහතාගේ මතකය එසේය.


දොඩම්පේ මුදලාලිගේ ඥාතීන්ගේ විශවාසය වන්නේ දොඩම්පේ මුදලාලි මේ කුමන්ත්‍රණ නඩුවට බොරුවට පැටලුණ බවයි. ජේ.ආර්. ජයවර්ධන මහතා සහ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් අතර වූ විරසකයේ අහිංසක බිල්ලක් බවට දොඩම්පේ මුදලාලි පත්වූ බව ඔවුන්ගේ දැඩි විශ්වාසයයි. 


ඥාණසීහ හාමුදුරුවෝ දොඩම්පේ මුදලාලි ගැන නිතරම කම්පා වුණා කිව්වාට අපේ වැඩිහිටියෝ ඒ දවස්වල නිතරම කිව්වේ හාමුදුරුවන්ගේ බේරීමට දොඩම්පේ මුදලාලිව බිල්ලට දුන් බවයි. 


“පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස කටයුතු කරපු රාහුල සිල්වා දොඩම්පේ මුදලාලිට හතරවෙනි තට්ටුවේදී නිරුවත් කර පහරදුන්නා කියලා වැඩිහිටියෝ කියනවා අහලා තිබුණා. දොඩම්පේ මුදලාලිත් අසාධාරණය පෙන්වන්න බැරි කෙනෙක් නිසා එයත් රාහුල සිල්වට ගහලා තියනවා. අන්තිමට හතරවෙනි තට්ටුවෙන් පහළට තල්ලුකරලා දාලා තියනවා. මේ සියලු දේවල් අල්ලු කාමරේ නිරුවත් කර සිටි හමුදාවේ තිලකරත්න දැකලා තියනවා. එයා ඒවා කියයි කියලා එයත් හතරවෙනි තට්ටුවෙන් පහළට දාලා මැරුවා” කියලා ඒ කාලේ වැඩිහිටියන් කියු බව දොඩම්පේ මුදලාලිගේ ඥාති හිතවතුන් බොහෝ පිරිසක් කීහ.

 

 

දොඩම්පේ මුදලාලිගේ මරණය ඔහුගේ ඥාතීන්ට දුකක් වේදනාවක් වුවද දේශපාලන පොරපිටියට එය හොඳ මාතෘකාවක් බවට පත්ව තිබුණි. ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එකල පැවති මැතිවරණ වේදිකාවල දොඩම්පේ මුදලාලිගේ මරණය දේශපාලන වාසියට යොදවූ බව සමහරු කියති. දොඩම්පේ මුදලාලිගේ මරණය ගැන සොයා බලන්න කොමිසමක් පත් කරන බවත් ඉන් වැරදිකරුවන් වන අයට දඬුවම් දෙන බවත් හැත්තෑවේ මහ මැතිවරණයේ ශ්‍රීලනිප ඡන්ද වේදිකාවේ මාතෘකාවක්ව තිබූ බව යන්තම් මතක යැයි එම්. ඒ. ධර්මදාස මහතා පැවසුවේ ය.


ඔහුගේ මතකය නිවැරදි විය. හැත්තෑවේ බලයට පැමිණි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව දොඩම්පේ මුදලාලිගේ මරණය ගැන සොයන්න ස්වාධීන කොමිසමක් පත් කළේ ය. 


“අපිට මතකයි දොඩම්පේ මුදලාලිගෙයි කෝප්‍රල් තිලකවර්ධනගෙයි මරණයන් සම්බන්‍ධව සමගි පෙරමුණු ආණ්ඩුවෙන් කොමිසක් පත් කළා. කොමිසමේ සාක්කි විභාගය ඒ දවස්වල දිනමිණ, දවස, ඇත්ත වගේ පත්තරවල ලොකුවට ගියා. ගමේ කඩවල්වලට ගේන පත්තර බලන්න අපේ වැඩිහිටියෝ හැන්දෑවට යනවා. ඒවා බලලා ගමේ මළගදෙර, බණ ගෙදර, දානේ ගෙදර, ඉළව් ගෙදර, පන්සලේ, කඩපිලේ, මේ හැම තැනකම පත්තරවල පළවූ දේවල් රසකරලා දැක්කාවගේ වැඩිහිටියෝ කියනවනවා මතකයි” ඒ අයි.කේ. සෝමවීර මහතා ඇසුදුටු දේය.


“මේ කොමිසම පරීක්‍ෂණයේ අවසන් භාගයේ සමගි පෙරමුණ හැත්ත හතේ මහ මැතිවරණයෙන් පරාජයට පත්විය. ජේ ආර් ජයවර්ධන මහතා 1978දී විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග කොමිසමේ පරීක්‍ෂණ යට ගියේය. ඒ යට යාමට අදට අවුරුදු හතළිහකි. ඒ ලිපිගොනු ද දැන් කොහේදැයි කියන්නට කිසිවෙකුත් දන්නේ නැත.


දොඩම්පේ මුදලාලිගේ සහෝදරයෙකුගේ දියණියක හා විවාහවී සිටින කුරුවිට ප්‍රාදේශීය සභාවේ විසි වසරක කාලයක සිට අඛණ්ඩව සභිකයෙකු ලෙස සේවය කරන ජී.එම් ජයරත්න මහතා දොඩම්පේ මුදලාලි මියයන විට අවුරුදු හතරක පහක කොලු ගැටයෙකි. 


 “ඇත්තටම අපේ වැඩිහිටියෝ කිව්වේම ‘දොඩම්පේ මුදලාලි’ දේශපාලන බිල්ලක් වූ බවයි. එයාගෙන් ප්‍රයෝජන ගත්තු කිසිම කෙනෙක් අවසානයේ එයාට පිහිට වුණේ නෑ. හැත්තෑ හතේ  ආණ්ඩුවෙන් එයාගේ ගෑවුණ කෙනෙකුට රස්සාවක් ගන්න ලැබුණේ නෑ. එයා වටේ හිටිය මිත්‍රයෝ කියන අය එයාගේ දේපළ පවුලේ අයට දුන්නේ නෑ. එයාල ඒවා හොයන්න ගියෙත් නෑ.” ජී.එම්. ජයරත්න ඇසූ, කියූ  දේ පැහැදිලි කළේය.
දොඩම්පේ මුදලාලි ජීවිතයෙන් සමුගෙන පසුගිය අප්‍රේල් 15දාට හරියටම වසර පනස් දෙකක් විය. ඔහු වටා සිටි මහතුං අයියයි, මනතුංග අයියා, ගවසුදා, හැන්ඩි අයියා, ගුණදාස අයියා, වැන්නවුන් ද අද ජීවතුන් අතර නැත. දොඩම්පේ මුදලාලිලා වැන්නවුන් හෙටත් ඉපදී දේශපාලන බිළි බවට අනගතයේත් පත්වනු ඇත.

 

 

 


අජිත්ලාල් ශාන්තඋදය