දක්ෂතාව හඳුනාගෙන ඉදිරිය සකස් කරගන්න


සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව තම දරුවා කුමන අංශයෙන් උසස් පෙළ හැදෑරිය යුතුද යන්න දෙමාපියන් මුහුණ පාන විශාල ගැටලුවක් වේ. සමහර අවස්ථාවලදී තම දෙමාපියන්ගේ මෙන්ම පිටස්තර පුද්ගලයන්ගේ කීම් අසා දරුවන් තම උපතින් ලත් කුසලතාවන් ඇති විෂයන් අතහැර දමා වෙනත් විෂයන් තෝරාගෙන විභාගය අසමත් වනවා පමණක් නොව එම දරුවන්ගේ මුළු ජීවිත කාලයම අවාසනාවන්ත එකක් වීමට ඉඩ සලසා ගනී.  
මූලික වශයෙන් අධ්‍යාපනය කොටස් කිහිපයකින් යුක්ත වේ. මූලික අධ්‍යාපනය, ද්විතීය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වශයෙන් වේ. ජන්ම කේන්ද්‍රයේ 4 වන භාවයෙන් පාසල් අධ්‍යාපනය ගැන කියවෙන අතර 5 වන භාවය 9 වන භාවය මෙන්ම 3 වන භාවය ගැනද සියුම්ව පරීක්ෂා කළ යුතුය. 3 වන භාවයෙන් ප්‍රාථමික අධ්‍යාපනය මෙන්ම සහජ දක්ෂතා ගැන නිවේදනය කරයි. 3 වන භාවයේ පාප ග්‍රහයන් පිහිටීම 3 වන භාවයේ අධිපති වන ග්‍රහයා 8 වන භාවයේ හෝ 12 වන භාවයේ පිහිටීම 3 වන භාවය නාශාංශක වීමද එතරම් යහපත් නැත. (සෑම ඔත්තේ රාශියකම 7 වන නවාංශකය ද සෑම ඉරත්තේ රාශියකම 3 වන නවාංශකයද නාශාංශකය) 5 වන භාවයෙන් (විද්‍යා ස්ථානය) ජන්මියාගේ බුද්ධිමත් බව ගැන කියවේ. 5 වන භාවය පාප ග්‍රහයන්ගෙන් සහ පාප ග්‍රහ දෘෂ්ටි වලින් පීඩා වීම 5 වන භාවය අධිපති ග්‍රහයා පීඩා වීම 5 වන භාවය දෙපස භාවවල පාප ග්‍රහයන් පිහිටීම (පාප කර්තරී වීම) යහපත් නොවේ.  


9 වන භාවයෙන් උසස් අධ්‍යාපනය ගැන කියවේ. 9 වන භාවය අධිපති වන ග්‍රහයා 8 වන භාවයේ පිහිටා පීඩා වීම කේන්ද්‍රයට 22 වන දේර්කාණාධිපති වන ග්‍රහයා 9 වන භාවයේ පිහිටීම 9 වන භාවය අධිපති කේන්ද්‍රයට අසුභ ග්‍රහයකුගේ නැකත් පාදකය පිහිටීම අයහපත්ය. ජන්ම කේන්ද්‍රයේ 2, 4, 9, 10 වැනි භාවවලට සම්බන්ධ වන ග්‍රහයන් අනුව ඉගෙනීමට දක්ෂතා ඇති වන විෂයන් තීරණය කළ හැකිය.  


රවි වෛද්‍ය විද්‍යාව, ඖෂධ, රෝහල්, භාෂා ශාස්ත්‍ර, රජයේ උසස් නිල තල සම්බන්ධව සඳු නාවික කටයුතු, දියර වර්ග, සාත්තු සේවය, ඇඟලුම් අංශ සම්බන්ධව කුජ ඉංජිනේරු ක්ෂේත්‍රය, කාර්මික අංශ, ත්‍රිවිධ හමුදා පොලිසිය, ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය, යන්ත්‍ර සූත්‍ර, දුම්රිය සම්බන්ධව ගුරු නීති අංශ වෛද්‍ය විද්‍යාව මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව සිකුරු කලා විෂයන්, රඟපෑම, සිංදු කීම, රූපලාවන්‍ය රෙදිපිළි සාහිත්‍ය සම්බන්ධව ශනි කෘෂිකර්මය, යකඩ සම්බන්ධ රැකියා, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ කය වෙහෙසෙන රැකියා සම්බන්ධව ද කාරකත්වය දරයි.  


විභාග පැවැත්වෙන දිනවලදී 5 වන භාවයට අදාළ ආරූඪ පදය වන මන්ත්‍ර පදය වන භාවය හරහා පාප ග්‍රහයකු ගමන් කිරීම මෙන්ම කේන්ද්‍රයට අශුභ ග්‍රහයකුගේ දශාවක්, අතුරු දශාවක් හෝ විදශාවක් පවතී නම් විභාග වලින් බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල නොලැබීමටද හේතුය.  

 


ජ්‍යොතීර්වේදී 
කීර්ති එල්. බමුණුආරච්චි