ගුරු සඳ


හිරුගේ දවසේ මෙහෙය අවසන් වෙමින් තිබිණි. වෙනුර, රාජකාරිය සඳහා රෝහලට පැමිණියේ දින ගණනාවක නිවාඩුවකින් පසුවය. ඔහු තම වාට්ටුවෙහි සිටි නේවාසික රෝගීන් පරීක්ෂා කරමින් සිටියදී එක්වරම ඔහුගේ දෙනෙත් එක්තරා රෝගියකු වෙත යොමුවිය.   
තමා බොහෝ කාලයක් සෙවූ ඒ ගුරුවරයාගේ අනපේක්ෂිත හමුවීම ඔහුට මහා පුදුමයක් විය.   


සර්!   
වෛද්‍යවරයා, රෝගියා දෙස සානුකම්පිත බැල්මක් හෙළමින් සමීප වූයේය. රෝගියා, වෛද්‍යවරයා දෙස විමසුම් නෙත් යොමා මඳ සිනාවක් ද පෑවේය.   
වෛද්‍යවරයා, රෝගියාගේ රෝග විනිශ්චය වාර්තාව පරීක්ෂා කරන්නට විය.   
‘සර්ගෙ අසනීප තත්ත්වය දැන් හොඳ අතට හැරිලා. බය වෙන්න දෙයක් නෑ. ඒත් ටිකක් පරිස්සම් වෙන්න වෙයි.’   
වෛද්‍යවරයා, ගුරුවරයා පරීක්ෂාකොට ඊළඟ රෝගියා වෙත යොමු වූයේ යළි ඔහු සමග කතාබහ කිරීමට පැමිණීමේ අපේක්ෂාවෙනි.   
වෛද්‍යවරයා, රෝගීන් පරික්ෂාකොට අවසන් වනවිට රෑ බෝවී තිබිණි. ඔහු ස්වකීය නිවහන වෙත ගියේ නොසන්සුන් මනසිනි.   
‘ඇයි ඔයා අද ටිකක් අප්සට් මූඩ් එකෙන්’   
‘අද ටිකක් වෙහෙසයි පවිත්‍රා’ ඔහු තම සුරූපී බිරිඳට පිළිතුරු දුන්නේය.   
ඔයා වොෂ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරන්නකො. මං සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හදාගෙන එන්නම්.’   
වෛද්‍යවරයා ඇඟ සෝදා ගැනීමෙන් පසුව උඩුමහලෙහි වූ හාන්සි පුටුවෙහි හිඳ ගත්තේය. බිරිඳ පැමිණ පලතුරු බීම වීදුරුවක් ඔහු වෙත පිළිගන්වා නික්ම ගියාය.   


වෙසක් සඳ කිරණ පලබර සිසිල් අඹ ගසෙහි අතු අතරින් පෙරී එන දසුන, ඔහුගේ සිතට වෙනදා තරම් මිහිරක් නොදැනිණි.   
සට සට ගා හඬ නගමින් ඔබ මොබ සැරිසරන මාවවුලන්ගේ දර්ශනයද ඔහුට වෙනදා මෙන් නෙතට රසඳුනක් නොවීය.   
ගුරුවරයාගේ අනපේක්ෂිත හමුවීම වෙනුරගේ සතුටට හේතු වුවද තමා, සේවය කරන රෝහලේදීම ඔහු හමුවීම වෙනුරගේ සතුටට හේතු වූයේ නැත. එයට හේතුව, ඔහු විසින් වළ දමා ඇති ස්වකීය කටුක අතීතය, යළි ගොඩගැනීමට රිසි නොවූ නිසාය.   
වාමවාදී දේශපාලන ක්‍රියාධරයකු වූ ජයදේවට දඬුවම් මාරුවක් ලැබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලකටය. අවිවාහකයකු වූ ඔහු එහි යනවිට ඉගැන්වීම් කටයුතු සිදු වූයේ පහ ශ්‍රේණිය දක්වා පමණි.   
සාම්ප්‍රදායික වාමවාදියකු නොවූ ජයදේව ලෙනින්ටත් වඩා කන්නන්ගරයන්ට ගරු කළේය. නිදහස් අධ්‍යාපනය ඔස්සේ ලේ බිඳක් නොහෙළා නිහඬ විප්ලවයක් කරමින් ලාංකික ජන සමාජයේ, වැඩවසම් වහල් බැමි බින්දේ ඔහුය. ඔහු නොසිටින්නට දරු පරපුරට අලුත් ලොවක් දකින්න නොලැබෙන බව ජයදේව තරයේ විශ්වාස කළේය. එසේ වුවද ඒ අප්‍රමාණ මිනිසාගේ උදාර බලාපොරොත්තුවට නිසි සාධාරණයක් ඉටුකිරීමට පාලකයන්ට මෙන්ම උගතුන්ටද අවංක වුවමනාවක් නොවීම ජයදේවගේ කනස්සල්ලට හේතුවිය.   


සෑම මනුස්සයකුම තම ශක්ති ප්‍රමාණයෙන් උපරිම වැඩ කළහොත් මේ සමාජය වඩා යහපත් තැනකට ඔසවා තැබිය හැකිබව ඔහු විශ්වාස කළේය. කොතරම් දුක් පීඩා අවහිර බාධක මැද වුවද සමාජය වෙනුවෙන් ස්වකීය යුතුකම් ඉටු කිරීම ඔහුගේ පරම අභිලාෂය විය.   
හේන් ගොවිතැන, වී ගොවිතැන, ගව පාලනය ස්වකීය ජීවනෝපාය කරගත් අඩු පහසුකම් හා ගමනාගමන දුෂ්කරතාවලින්ද හෙම්බත් වූ ජන කොටසක ප්‍රමුඛතම අරගලය වනුයේ කුසගිනි නිවා ගැනීම බව ජයදේව දුටුවේය. එවන් පරිසරයක අවම පහසුකම්වත් නැති මෙවන් පාසලක දරුවන්ට අනාගත අපේක්ෂා දල්වනුයේ කෙසේ දැයි ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කළේය.   
මුළු පාසලටම තිබුණේ අබලන් වූ එකම ගොඩනැගිල්ලක් පමණි. එයද දිරාගිය ​පොල්අතු සෙවිලි කළ ශාලාවකි. කැඩුණු පුටු මේස එහි පැත්තක ගොඩගසා තිබිණි. පළමු ශ්‍රේණියේ ළමයි දොළොස් දෙනෙක්ද දෙවැනි ශ්‍රේණියේ ළමයි දස දෙනෙක් ද තෙවැනි ශ්‍රේණියේ ළමයි නව දෙනෙක් ද සිවුවන ශ්‍රේණියේ ළමයි තුන් දෙනෙක් ද වූහ.   
ජල පහසුකම් හා වැසිකිළි පහසුකම්ද නොවීය. ගුරුභවතුන් සංඛ්‍යාව විදුහල්පතිවරයා සමග තිදෙනෙකි. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, සංගීතය, නැටුම් හා ක්‍රීඩා විෂය ඉගැන්වීම සඳහා ගුරුවරු නොසිටියහ.   
හේන් කොටන කාලෙට පාසලට ළමයින්ගේ පැමිණීම අඩුවීමද හිටි ගමන් දරුවන්ගේ පාසල් පැමිණීම නතරවීමද අඩු වයසින් දැරියන් ගැබ්බරවීමද සුලබ සිදුවීමක් විය.   


ගසට ​පොත්ත මෙන් බැඳුණු නූගත්කමේ හා දරිද්‍රතාවේ අඳුරු සෙවණැල්ල, ජන ජීවිතය වෙළා ගැනීමේ ඛේදවාචකය ජයදේවගේ තියුණු විචාරක්ෂියට හසුවිය.   
එහෙයින් මෙම ජනතාව වහල්භාවයෙන් මුදාගත හැක්කේ අධ්‍යාපනය පලදායි ප්‍රතිලාභ ප්‍රශස්තව ලබාදීමෙන් බව ඔහු විශ්වාස කළේය. එහෙත් පාලනයේ පහසුව සඳහා අධ්‍යාපනය ඔස්සේ ඔවුන් සබුද්ධික පිරිසක් බවට පරිවර්තනය කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි කර ඇතැයි ඔහු කල්පනා කළේය.   
ගුරු නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුමක් ලැබුණු හෙයින් සවස් කාලයෙහිද දෙපැයක්වත් දරුවන්ට අමතරව ඉගැන්වීමට ජයදේව සමග නේවාසික ගුරුවරු ක්‍රියා කළහ. ජයදේව, ඉංග්‍රීසි ද සිංහල ද ඉගැන්නුවේය. ඕනෑම විෂයයක් සම්බන්ධයෙන් ඔහු සතු හසළ දැනුම හා පරිණත බව පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විස්මයට පත්වූහ.   
පැලක උපත ලැබ රෑට ලයිට් කණු යටද, පාඩම් කළ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වී වහල් මෙහෙය අවසන් කළ ඒබ්‍රහම් ලින්කන් නම් ශ්‍රේෂ්ඨ මනුස්සයා ගැනද කුලහීනයකු ලෙස ඉපිද තම වර්ගයාගේ අමානුෂික කුරිරු ඉරණමට අභියෝග කළ ආචාර්ය අම්බෙඩ්කාර් නම් මහා පුරුෂයා ගැන ද ඔහු වරෙක තම දරුවන්ට කියා සිටියේය.   
පහ ශ්‍රේණියට පමණක් සීමා වූ පාසලේ අධ්‍යාපනය, අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පුළුල්වීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු අවස්ථාවේම සිසුන්ගෙන් වැඩි පිරිසක් විභාගය සමත් වූහ. ඒ අතුරින් ඉහළින්ම සමත් වූයේ වෙනුර ය.   
ඔහුට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා තංගල්ල මහා විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව ලැබිණි. ඒ සඳහා සියලු වියහියදම් දැරු​වේ ජයදේව ය. තම පියා කවුරුදැයි නාඳුනන වෙනුර, දුකසේ හදා වඩාගත්තේ ඔහුගේ මව ය. අව්වට කරවෙමින් හේන් කෙටීම තම ජීවිකාව කරගත් අකලට වැහැරී ගිය ඇයගේ සිරුර, වියළී ගිය දර ඉපලක් මෙන් විය.   


දක්ෂ සිසුවකු වූ වෙනුර කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙස වාර්තාවක් ද තබමිනි. වෛද්‍ය විද්‍යාලයේ අදාළ අධ්‍යයන කටයුතු සඳහා ද විදේශගත ලාංකිකයන් කීප දෙනෙකුගේ සහයෝගය ලබාදීමට ද ජයදේව ක්‍රියා කළේය.   
වෙනුර, වෛද්‍ය විද්‍යාලයෙන් සමුගෙන වෛද්‍යවරයකු ලෙස සේවයට අවතීර්ණ වනවිට තම ගුරුවරයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඔහුට නොහැකි විය.   
ඉන් අනතුරුව, වියපත් රෝගියකු ලෙස ජයදේව ඔහුට හමුවූයේ වසර ගණනාවකට පසුවය.   
රජයේ වෛද්‍යවරයකු ලෙස වෙනුරට මුල්ම පත්වීම ලැබුණේ ගම්පහ මහ රෝහලටය. කාරුණික වෛද්‍යවරයකු ලෙස රෝගීන්ගේ නොමද ප්‍රසාදයට පාත්‍ර වූ ඔහුට ධනවත් ව්‍යාපාරිකයකුගේ උගත් රූමත් දියණියක හඳුනාගන්නට ලැබුණේ මෙසමයෙහි දී ය. ඇය පවිත්‍රා මුදලිගේ ය. වෙනුර ඇය හා විවාහ වනවිට ඔහුගේ මවද මියගොස් තිබිණි. එහෙයින් ඔහුගේ යටගියාවේ ජීවමාන එකම සාක්ෂිය වූයේ මේ ගුරුවරයා පමණි.   


වෙනුර තම ජීවිතයේ කටුක අතීත කාල පරිච්ඡේදය පවිත්‍රාට වසන් කරන්නේ එමගින් ඔහුගේ අභිමානයට හානියක් වේ යැයි බියෙනි. එහෙයින් ගුරුවරයා තම වාට්ටුවෙහි නේවාසික ප්‍රතිකාර ගැනීම නිසා ඔහුගේ යටගියාව අන්‍යයන්ට එළිපෙහෙළි වේ ය යන බිය ඔහුගේ සිත තුළ වද දෙන්නට විය.   
‘කමක් නෑ. වෙන දෙයක් වුණාදෙන්, මං හෙට උදෙන්ම ගිහින් සර්ව හමුවෙලා කතාබහ කරනවා. සර්ගෙ අවශ්‍යතා ගැන සොයා බලනවා. සර්ව බලා ගන්නවා. එහෙම නොකළොත් මං මහා ගුණමකු මිනිහෙක්’   
ඔහු ඔහුටම ප්‍රතිඥා දුන්නේය.   
පසුදා උදෑසන අවදි වූ වෙනුර, රෝහලට යෑමට සූදානම් විය.   
‘ඇයි ඔයා අද උදෙන්ම යන්නෙ කෑමත් නොකා?’   
‘හදිසි ලෙඩෙක් බලන්න තියෙනවා පවිත්‍රා, මං ගිහින් ඇවිදින් ඔයාට ඒ ගැන කියන්නම්කො’   
වෙනුර, වහා රෝහල වෙත ගියේය. පෙරදා ගුරුවරයා සිටි ඇඳ හිස්ව තිබිණි.   
‘මේ ඇඳේ හිටිය ලෙඩා කෝ?’   
ඔහු අල්ලපු ඇඳෙහි සිටි රෝගියාගෙන් විමසීය.   
‘ඊයේ රෑ හිටියා. උදේ බලද්දී එයා නෑ, ගිහින්.’   
‘ගිහින්’!   
‘ඔව්, එයා ගිහින්’

 

 

පමිත ආර්. ලියනගේ