ගුරු වෘශ්චික රාශි ගතවීම ඔබේ ලග්නයට හොඳද ?


2016.08.11 සිට 2018.10.11 දක්වා කන්‍යා සහ තුලා ධන රාශි දෙකේ සතුරුව ගමන් කළ ගුරු ග්‍රහයා 2018.10.11 දින රාත්‍රි 7.21 ට සිය මිත්‍ර රාශියක් වූ වෘශ්චිකයට පිවිස 2019.11.05 එහි ගත කරනු ඇත. ඒ අනුව ඔ​බේ ලග්නයට කොහොමද? ගුරු වඩාත් ශුභ ඵල ගෙන දෙන්නේ මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන ලග්න හිමියන්ටය. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, කුම්භ මකර ලග්නවලට පාපි ග්‍රහයෙකි.   


ඒ කෙසේ වෙතත් ඒ ඒ ලග්න හිමියන්ට ගුරුමාරුවේ ශුභ අශුභ පල ලැබෙන්නේ තමන්ගේ ජන්ම කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා තැන්පත් බල දුබල වන බව සලකන්න. ඒ සමගම සෙනසුරු පාපී ග්‍රහයා වී හෝ වෙනත් පාපී ග්‍රහයෙකුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරමින් සිටීද? ජන්ම එරාෂ්ඨකයක් ගත කරන්න කාලයක්ද එසේනම් මා මෙහි සඳහන් කරන ශුභපල නොලැබී යා හැකිය. 

 
මේෂ ලග්නය:- ගුරු ග්‍රහයා ඔබේ 8 වැන්නට පැමිණේ. ඔබ​ට ශුභ ග්‍රහයෙක් වුවත් 8 වැන්නට පැමිණීම එතරම් යහපත් නොවේ. ඔබේ ජන්ම කේන්දරයේ ගුරු ලග්නයේ 4 වැන්නේ 5 වැන්නේ 8 වැන්නේ 9 හෝ 12 වැන්නේ නම් බිය විය යුතු නැත. අන් ස්ථානයක ගුරු තැන්පත් අයට හිත් කරදර දුක් කනගාටු සිද්ධි අලාභහානි සිදුවිය හැකිය. ශුභඵල හැටියට පැවසිය හැක්කේ විවාහයෙන් ලැබිය යුතු දේපළ, ධනය ලැබීමට පුළුවනි.   


වෘෂභ ලග්නය:- ඔබට පාපී ග්‍රහයකු වූ ගුරු 7 වැන්නට පැමිණීම යහපත් විය හැකියි. ඔබේ ජන්ම කේන්දරයේ ගුරු 3, 4, 7, 8, 11 වැන්නේ නම් අධ්‍යාපනය ලබන අයට දහමට යොමුවේ. විදේශීය ගමන් බිමන් යෙදේ. සහකරු හෝ සහකාරියගේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉහත දක්වා ඇති ස්ථාන හැර අන් තැනක ගුරු තැන්පත් කර හදිසි රෝගාබාධ උණ රෝග ලේ විෂවීමෙන් සෑදෙන රෝග පීනස, බඩ පුරවා දැමීම, මුත්‍රා සමග ධාතු පහවීම, දියවැඩියාව හැඳින් විය හැකිය.   


මිථුන ලග්නය:   


ගුරු ඔබට පාපි ග්‍රහයෙකි. දැන් හය වැන්නට පැමිණීම යහපත් නැත. සතුරු කරදර ඇතිවිය හැකිය. රෝගාබාධ ඇතිවීමේ ඉඩ කඩ පවතී. ඉහත වෘෂභ ලග්න හිමියන්ට මතුවිය හැකි රෝග ඔබටද පැන නැගිය හැකිය. ගුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේ 2 වැන්නේ නම් ආදායම් තත්ත්වය යහපත් වේ. 7 වැන්නේ නම් මෙතෙක් පැවැති විවාහ බාධක ඉවත් වී ගුණවත් සහකරුවෙකු සහකාරියක ලැබෙනු ඇත. 12 වැන්නේ ගුරු පිහිටි අයට විදේශ ගමන් යෙදිය හැකිය   


කටක ලග්නය   


ඔබට ඉතාමත් ශුභපල ගෙනදෙන ගුරු ග්‍රහයා 5 වැන්නට පැමිණීම ඉතාමත් ශුභයි. දරුපල බලාපොරොත්තු ඉටුවේ. විශේෂයෙන් පිරිමි දරුවන් ලැබීමේ ප්‍රවණතාවයක් ඇත. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ටද යහපත් වර්ෂයකි. ස්ත්‍රී - පුරුෂ දෙදෙනාගේ රාගික හැඟීම් උත්සන්න වේ. චිත්‍ර සංගීත නැටුම් ඉගෙනුම ලබන අයට සාර්ථක ප්‍රතිපල ලැබේ. ගුරු ඔබේ ලග්නයේම නම් බලවත් ලෙස ශුභඵල ගෙන දෙනු ඇත. ආදායම් තත්ත්වය ඉහළ යයි. පිනට දහමට යොමුවේ. 6 වැන්නේ නම් සතුරන් දමනය කර ගත හැකිය. 9 වැන්නේ නම් එයද ඉතාමත් ශුභඵල ගෙන දෙන පිහිටීමකි. පියාට යහපත්ය. පෙර පිං පළදෙන කාලයකි.   


සිංහ ලග්නය   


ඔබටද ශුභපල ගෙන දෙන ගුරු ග්‍රහයා 4 වැන්නට පැමිණ ඇත. ජන්ම කේන්දරයේද ගුරු 4 වැන්නේ නම් යාන වාහන, ඉඩකඩම් දේපළ හිමිවන වර්ෂයකි. ඔබට පදිංචියට නිවසක් ඉදිකර ගැනීමට බලාපොරොත්තුව ගුරු 4 වැන්නේ ගත කරන කාලය තුළ ඉටු කරගත හැකිය. දෙමාපියන්ගෙන් ලැබීමට නියමිත දේපළ හිමිවන භූමිලාභ හිමි කායික සැප ලබන කාලයකි. ගුරු 1, 4, 5, 8, 9, 12 වැන්න වැනි ස්ථානයක තැන්පත් අයට පමණක් ශුභඵල ලැබේ.   


කන්‍යා ලග්නය:- ගුරු ග්‍රහයා 3 වැන්නට පැමිණේ. ගුරු ඔබට පාපී ග්‍රහයෙකි. ඔබට ශුභ හෝ අශුභ ඵල ලැබෙන්නේ ගුරු ඔබගේ ජන්ම කේන්දරයේ තැන්පත් ස්ථානය අනුවය. ඔබේ ලග්නයේ 2, 9, 10 යන ස්ථාන හතරින් එකක පිහිටි අයට අශුභඵල ලැබේ. සහෝදර සහෝදරියන් අතර අමනාපකම්, ඉගෙනීමේ දුර්වලතා කල්පනා ශක්තිය අඩුවීම, අසල් වැසි නෑදෑයින් සමග අසමගිකම් ඇතිවිය හැකිය. පාපී ග්‍රහයෙන් වුවත් 4, 7, 11 වැනි තැනක ගුරු තැන්පත් අයට ප්‍රමාද වූ විවාහ යහපත් අතට හැරේ.   


තුලා ලග්නය:-   


ඔබේ 2 වැන්නට පැමිණේ. ගුරු ඔබට වඩා අශුභඵල ගෙන දෙන ග්‍රහයා වේ. ඔබේ ජන්ම ​කේන්දරයේ ලග්නයේ 4, 8, 9, 12 වැනි තැනක නම් වඩාත් අශුභඵල ගෙන දෙනු ඇත. ධනහානි ව්‍යාපාර හෝ කරන කියන රැකියාවලින් ලැබෙන ආදායම් අඩුවීම සිදුවේ ලෞකික සැප භුක්ති විඳීමට නොලැබේ. දකුණු ඇසේ රෝග හටගත හැකිය. ගුරු 3, 6, 10 වැනි තැනක තැන්පත් අයට ශුභඵල නොලැබෙනු ඇත.   


වෘශ්චික ලග්නය:-   


ඔබට ශුභ ග්‍රහයෙකු වූ ගුරු ලග්නයටම පැමිණ ඇත. සෙනසුරු ඒරාශ්ඨකය නිසා කරදර බාධකවලට මුහුණ පා සිටින ඔබට ගුරුගේ පැමිණීම යම් සහනයක් වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු පමණක් නොව ශරීර ස්වභාවයද පැහැපත් වේ. පිනට දහමට යොමු වේ. ගුරු ග්‍රහයා ඔබේ ජන්ම කේන්දරයේ 3, 7, 8, 12 වැනි තැනක නම් ශුභඵල නොලැබී යා හැකිය විවාහය ප්‍රමාදවීම විවාහ ජීවිතයේ ප්‍රශ්න නඩුහබවලට පැටලීම සිදුවිය හැකිය. 

 
ධනු ලග්නය   


ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා 12 වැන්නට පැමිණීම නම් එතරම් යහපත් නැත. ඔබද සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය ගත කරමින් සිටියදී ගුරු ජන්ම කේන්දරයේ 2, 6, 7 10, 11 වැනි තැනක නම් දඟගෙයි වැටීම, දුක් කරදර, ගමන් බිමන් යාමට සිදුවීම, රෝග පීඩා හදිසි අනතුරුවලට මුහුණ පෑමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම්වන්න. ගුරු ලග්නයේ හෝ 4, 5, 8, 9, 12 වැනි තැනක පිහිටි අයට අශුභඵල ගෙන නොදේ. විදේශ ගමන් යෙදිය හැකිය.   


මකර ලග්නය   


ගුරු ග්‍රහයා ඔබටද පාපි ග්‍රහයෙකි. 11 වැන්නට පැමිණ ඇත. ඔබට ගුරු පාපි ග්‍රහයෙක් වුවත් 11 වැන්න ගුරුට යහපත් තැනකි. ඔබේ ජන්ම කේන්දරයෙන්ද ගුරු 11, 3, 4, 7, 8, 12 වැනි තැනක නම් ආදායම් තත්ත්වය යහපත් වේ. ව්‍යාපාරවල නිරත අයට ලාභ ලැබිය හැකිය. යහපත් මිතුරන් ආශ්‍රය කිරීමට ලැබේ. 5, 6, 9, 10 වැනි තැනක ගුරු තැන්පත් අයට තරමක අශුභ ඵල ලැබිය හැකිය. 5, 9 වැනි තැනක තැන්පත් අය එතරම් බිය විය යුතු නැත. අන් අයට අධ්‍යාපන කටයුතුවලදී හා රැකි රක්ෂා ප්‍රශ්න ඇතිවීමට ඉඩකඩ පවතී.   


කුම්භ ලග්නය:- ඔබටද පාපී ග්‍රහයෙකු වූ ගුරු 10 වැන්නට පැමිණීම සහනයකි. ඔබේ ජන්ම කේන්දරයේද ගුරු 10 වැන්නේ නම් රැකියා බලාපොරොත්තු ඉටුවේ. ​රැකියාවල නිරත අයට උසස්වීම් නියමිතය. ස්ථානයේ ප්‍රධානියෙකු වීමටද වාසනාව ඇත. එහෙත් ගුරු ඔබගේ ඡන්ම කේන්දරයේ 4, 5, 8, 9, 12 වැනි තැනක නම් රැකියා බලාපොරොත්තු ඉටු ​නොවේ. රක්ෂාවල නිරත අයට ප්‍රශ්න ගැටළු ඇතිවිය හැකිය. ගුරු 2, 3, 6, 7, 10, 11 වැනි තැනක තැන්පත් අයට සාමාන්‍ය ශුභඵල ලැබිය හැකිය.   


මීන ලග්නය- ඔබගේද ලග්නාධිපති වන ගුරු ඔබට ශුභඵල ගෙන දෙන ග්‍රහයාවේ. 9 වැන්නට පැමිණ ඇත. ඔබ ඉතා වාසනාවන්තය. ගුරු ඔබගේ ජන්ම කේන්දරයේ ද 9 හෝ 2, 5, 6. 9, 10 වැනි තැනකනම් ගුරු වෘශ්චික රාශියේ ගත කරන වර්ෂයකට ආසන්න කාලය ජීවිතයේ වැදගත් කාලයක් වනු ඇත. පිනට දහමට යොමුවේ. දුර ගමන් බිමන් යෙදේ. අධ්‍යාපනය ලබන දරුවන්ට සතුටුදායක ප්‍රතිඵල ලැබේ. විවාහ සහකරු/ සහකාරියන් ගේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. පියාට ශුභයි. ගුරු ග්‍රහයා 3, 4, 7, 8 වැනි තැනක සිටින අයට සඳහන් කළ ශුභ පල නොලැබී යා හැකිය. 

 

 
​ජ්‍යෙතිර්වේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන   
133 සී. ජයන්ති පාර, දොම්පේ