කොරෝනා වයිරසයට ඇඳුණු කාටුන්


කාටුන් ලෝකය

 

 

සමාජයේ පෙරැළියක් ඇති කළ හැකි මාධ්‍ය මෙවලමක් ලෙස කාටූන් සැලකිය හැකිය. පුවත්පත් සහ සඟරාවල පළ වන කාටූන් හරහා අපහාසයෙන් නොව, උපහාසයෙන් කෙනකුට අතුල් පහරක් එල්ල වෙයි. ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත්, සඟරා ආදියේ පළ වන ගෝලීය වශයෙන් වැදගත් වන කාටූන් සැමවිටම කාගේත් අවධානය දිනා ගනී.

අද මනුෂ්‍ය අපගේ ප‍්‍රධානතම සතුරා වී ඇත්තේ ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයයි. චීනයෙන් ඇරැුඹි මෙම වයිරසය ලොව සෑම අස්සක් මුල්ලක් පාසා පැතිර ගොස් ඇත. මේ මාරක වසංගතය ද ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් සහ සඟරාවල කාටූන් ශිල්පීන් උපහාසයෙන් බැලූ අවස්ථා එමටය.


‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. කොරෝනා නමැති වයිරස පවුලේ අලුත්ම සමාජිකයා මෙම වයිරසයයි. ආරම්භයේ දී වයිරසය හැඳින්වූයේ ‘නව කොරෝනා වයිරසය’ යනුවෙනි. එය ‘කෝවිඩ් 19’ යන නිල නාමයෙන් නම් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. වූහාන් නුවරින් පළමු වයිරස ආසාදිතයා හමුවූයේ පසුගිය දෙසැම්බරයේය. වයිරසය වේගයෙන් පැතිර යන්න වූයේ නිව්මෝනියා තත්ත්වයක් ඇති කරමින් ජීවිත බිලි ගනිමිනි. වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වූයේ ජනවාරියේය. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ජාත්‍යන්කර වශයෙන් පළමු කාටූනය පළ වූයේ ජනවාරි 27 වැනිදා සඳුඳා දිනයේ ය. කාටූනට පළ වූයේ ඩොන්මාර්කයේ ‘යුලැන්ද් පෝස්ටන්’ නමැති දිනපතා පුවත්පතේ ය. කාටූනය නිර්මාණය කළ කාටූන් ශිල්පියා වූයේ නෙයිල්ස් බෝ ජෙසෙන් ය. 

 

 


ඒ වනවිට චීනයෙන් ආරම්භ වූ වයිරසය ‘කොරෝනා’ වයිරසයක් බව හඳුනා ගෙන තිබුණි. කොරෝනා වයිරස පවුලට අයත් වයිරස වර්ගවල පෙනුම ඔටුන්නක් (ඉංග්‍රීසියෙන් ක‍්‍රවුන්) වැනිය. ඒ අනුව, ලතින් වදනක් වන ‘කොරෝනා’ යන්න යොදා ගනිමින් වයිරසය නම් කර තිබේ. ‘යුලැන්ද් පෝස්ටන්’ පුවත්පතේ පළ වුණු එම කාටූනයෙන් නිරූපණය වූයේ චීන ධජයයි. චීන ධජයේ ඇති කහ පැහැති තරු වෙනුවට ඇත්තේ කොරෝනා වයිරස විෂබීජ ය. කාටූනයේ අදහස මාරක වයිරසය චීනය ආක‍්‍රමණය කර ඇති බව පෙන්වීමය.
චීනයේ දහස් ගණනින් වයිරසයට බිලි වෙද්දී ඩෙන්මාර්ක පුවත්පතේ පළ වුණු කාටූනය චීන රජයේ අප‍්‍රසාදයට හේතුවක් විය. එක් අතකින් එය සාධාරණය. එද වනවිට චීනයේ වයිරස ආසාදිතයන් සහ මරණ සැලකිය යුතු මට්ටමකින් අඩු වී ගොසිණි. එහෙත් එදා තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. චීනය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ පෑවේය. ඩෙන්මාර්කයේ චීන තානාපති කාර්යාලයෙන් ‘යුලැන්ද් පෝස්ටන්’ පුවත්පතට සහ කාටූන් ශිල්පී නෙයිල්ස් බෝ ජෙසෙන් ට විරෝධය එල්ල විය. ඩෙන්මාර්කයේ චීන තානාපතිවරයා එකහෙලා කියා සිටියේ, ‘යුලැන්ද් පෝස්ටන්’ පුවත්පත සහ කාටූන් ශිල්පී නෙයිල්ස් බෝ ජෙසෙන් චීනයෙන් සහ චීන ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළ යුතු බවය.


චීන තානාපති කාර්යාලයේ විරෝධය එල්ල වෙද්දී, ‘යුලැන්ද් පෝස්ටන්’ පුවත්පත් කතුවරිය මෙටේ ෆෙඩ්රික්සන් මාධ්‍ය හමුවක් කැඳවූවාය. චීනයේ මෙන් නොව, ඩෙන්මර්කයේ නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතිය පිළිබඳව කතුවරිය මාධ්‍ය හමුවේදී විස්තර කළාය. තව පුවත්පත හෝ කාටූන් ශිල්පී නෙයිල්ස් බෝ ජෙසෙන් හෝ එම කාටූනය පළ කළේ චීනයට අපහාස කිරීමට හෝ චීන ජනතාවගේ සිත් රිදවීමට හෝ නොවන බව පැහැදිලි කළාය. චීනයට අපාහාස වන අකාරයට කිසිදු කාටූනයක් පළ නොකළ බව ඇය පෙන්වා දුන්නාය. කතුවරිය එසේ පැවැසුවත් ඇය කිසිදු ආකාරයකින් චීනයෙන් සමාව ඉල්ලීමක් කළේ නැත. ‘යුලැන්ද් පෝස්ටන්’ ඩෙන්මාර්කයේ ආන්දෝලන පුවත්පතකි. මෙහි මීට පෙර, මහම්මත්තුමාට සහ කුරාණයට අපහාස වන අයුරින් කාටූන් පළ කර තිබේ. කෙසේ නමුත් ආගමකට අපහාස කරමින් කාටූන් පළ කිරීම සම්බන්ධයෙන් පුවත්පතට දැඩි ලෙස විවේචන එල්ල වී ඇත. එපමණක් නොව, අල් කයිඩා සහ අයි.එස්. වැනි ඉස්ලාමීය ත‍්‍රස්තවාදී සංවිධානවලින් තර්ජන එල්ල වූ අවස්ථා ද බොහොමය.


‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමඟ මෙම වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලූවක්  පවතී. ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි 24 සිට අගෝස්තු 9 දක්වාය. ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානය මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන් ය. ජපන් අග‍්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ පසුගිය දා ඒ බව මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. ඔලිම්පික් කමිටුව ද පවසා ඇත්තේ ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සියල්ල සූදානම් බවය. චීනයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය මුලින්ම පැතිර ගිය රටක් ලෙස ජපානය සැලකෙයි. අද වනවිට ජපානයෙන් හමුවී ඇති 850 කට ආසන්නය. ඒ අතරින් රෝහල්ගතව සිටින්නේ ආසාදිතයන් 673 ක් පමණය. 144 ක් සුවවී රෝහල්වලින් පිටවගොස් ඇත. කෙසේ නමුත් අද වනවිට ජපානය ද වයිරසය මර්දනය කිරීමට සමත්ව ඇති බවක් පෙනෙයි. එසේ වුවත්, ඔලිම්පික් උළෙල පැවැත්වීම අවදානම් බවත්, වයිරසය යළි හිස එසවීමක් සිදුවිය හැකි බවත් රටවල් රැසක් බිය පළ කර තිබේ. 

 

 


ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය දා ජපාන අග‍්‍රාමාත්‍ය අබේට ඇමතුමක් දී කියා සිටියේ, ඔලිම්පික් උළෙල නොපැවැත්වීමට පියවර ගන්නා ලෙසය. ටෝකියෝ ඔලිම්පික් පමණක් නොව, ජනතාව එක්රොක් වන ලෝකයේ සියලූ ප‍්‍රධාන උත්සව මේ වනවිට නවතා දැමීමට සිදුවී ඇත. ඇමෙරිකන් කාටූන් ශිල්පියකුගේ එක් කාටූනයක සඳහන් වන්නේ, රතු පැහැති නපුරු කොරෝනා වයිරසයක්, ඇමෙරිකාවේත් ලෝකයේත් පැවැත්වීමට නියමිත සියලූ ප‍්‍රධාන පෙළේ උත්සව, සංදර්ශන ආදියට ටිකට්පත් ලබාගෙන සූදානමින් සිටින අයුරුය.


‘කෝවිඩ් 19’ නව කොරෝනා වයිරසය ඇන්ටාක්ටිකාව හැර සෑම මහද්වීපයකටම රිංගා අවසන්ය. රටවල් අතරේ සියලු ගුවන් ගමන් ද අවලංගු කර ඇති අතර, ගුවන් සමාගම් පාඩු පිට පාඩු ලබමින් සිටී. ගුවන් යානා ක්ෂේත‍්‍රය තව මාස දෙකකින් මුළුමනින්ම කඩා වැටෙනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. කාටූන් ශිල්පීන් පෙන්වා දී ඇත්තේ වයිරසය පැතිර නොගිය එකම තැන අන්ටාක්ටිකාව බවත්, ගුවනින් යා හැකි එකම තැන ද ඇන්ටාක්ටිකාව පමණක් බවත්ය.


මුහුණු ආවරණ හිඟය ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනකුට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලූවකි. ‘කෝවිඩ් 19’ වයිරස අවදානම අඩු කිරීමට මුහුණු ආවරණ සමත් වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. සිංගප්පූරුව සලාක ක‍්‍රමයට සිංගප්පූරු වැසියන්ට මුහුණු ආවරණ ලබා දීම සිදු කරයි. විදේශිකයන්ට අවශ්‍ය නම් මිලදී ගැනීම කළ හැකිය. සිංගප්පූරුවේ කොරෝනා ආසාදිත විදේශිකයන් සිටින්නේ නම්, ඔවුන්ට නොමිලේ ප‍්‍රතිකාර නැත. ලබා දෙන ප‍්‍රතිකාර සඳහා මුදල් ගෙවීම කළ යුතුය. සිංගප්පූරු වැසියන්ට සියල්ල නොමිලේය. මුහුණු ආවරණ මුල්කොට ගනිමින් කාටූන් රැසක් පළ වී තිබේ.


‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ප‍්‍රංශයේ ව්‍යාප්ත වෙද්දී, අපූරු ආකාරයක සොරකමක් ගැන වාර්තා විය. පැරිස් නුවර ෆාමසිවලට කඩා වැදුණු සොරුන් කණ්ඩායමක් සොරකම් කළේ මුහුණු ආවරණ තොගයකි. සල්ලිවලටත් වඩා දැන් වටින්නේ මුහුණු ආවරණ යැයි පවසමින්, සොරුන් දෙදෙනකු මුහුණු ආවරණ තොගයක් සොරකම් කරගෙන යන අයුරු දැක්වෙන කාටූන් පළ විය.

 


බටහිර රටවල අතමිටසරු ඇතැම් පුද්ගලයෝ විවිධාකාරයේ මුහුණු ආවරණ පමණක් නොව, හිසේ සිට දෙපතුල දක්වා ආවරණය වන ආකාරයේ ආරක්ෂිත ඇඳුමින් සැරැසී සිටිති. තමන්ගේ ඇඳුමේ පැහැයට සරිලන මුහුණු ආවරණ නැතිදැයි මෙරට තරුණියක් විමසූ බව අසන්න ලැබුණි. එවැනි සිදුවීම් ජාත්‍යන්තරයෙන් ද වාර්තා වී තිබේ. ඒවා කාටූන් ශිල්පීන්ගේ දැඩි උපහාසයට හේතු වී ඇත. එපමණක් නොව, බොහෝ දෙනකු මුහුණු ආවරණ එසේත් නැතිනම් ෆේස් මාක්ස් චීනයේ නිපදවන (මේඩ් ඉන් චයිනා) යැයි දැනගත්තේ ඒවා සම්බන්ධයෙන් ඉල්ලුම වැඩිවෙද්දීය. ඇතැම් මුහුණු ආවරණ නනිපදවීම සිදුවී ඇත්තේ චීනයේ වයිරසය පැතිරීම ආරම්භ වුණු වූහාන් නුවරය. මුහුණු ආවරණ මිලදී ගෙන බලද්දී, ඒවා චීනයේ නිෂ්පාදනයක් බව සටහන් කර තිබීම ඉහමොළ රත් කිරීමට සමත් ව ඇතැයි කාටූන් ශිල්පීන් පෙන්වා දී තිබේ. කාටූන් ශිල්පීන්ට විහිළුවක් වුවත් මුහුණු ආවරණ හෝ චීනයෙන් ගෙන්වන භාණ්ඩ හරහා හෝ වයිරසය අපට ආසාදනය නොවන බව ද මෙහිදී පැවැසිය යුතුය.


වයිරසය හේතුවෙන් කොටස් ලෝක වෙළෙඳ පොළ දරුණු ලෙස කඩා වැටීමකට ලක් වී ඇත. ඇමෙරිකන් කොටස් වෙළෙඳපොළට ද දරුණු බලපෑම් එල්ල වී ඇත. වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 4,000 ට ආසන්නය. ඇමෙරිකාවේ ප‍්‍රාන්ත සියල්ල පුරා වයිරසය ව්‍යාප්ත වී ඇත. ඇමෙරිකන් කොටස් වෙළෙඳ පොළ නමැති පුද්ගලයකු රෝගී වී රෝහලේ ප‍්‍රතිකාර ලබන අයුරු දැක්වෙන කාටූන් ද පළ විය.


‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට සහ ඇමෙරිකන් ජනාධිපති ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් දිගටම කාටූන් නිර්මාණය වෙමින් පවතී. ට‍්‍රම්ප්, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඔහුට රිසි පරිදි මාධ්‍ය හමුවේ අදහස් දක්වයි. ඇමෙරිකන් වෛද්‍යවරුන් සහ එරට වසංගත රෝග ඒකකයේ වෛද්‍ය පර් යේෂකයන් තරයේ පවසා ඇත්තේ ‘කෝවිඞ් 19’ වයිරසයට එන්නතක් නිපදවීමට වසරක් හෝ දෙකක් ගතවනු ඇතැයි කියාය. එසේ පවසද්දී, ට‍්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත්තේ කඩිනමින් එන්නතක් නිපදවනු ඇති බවය. මෙය ඇමෙරිකන් කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක් විය. ස්පර්ශයෙන් වයිරසය බෝ වන බව වෛද්‍යවරුන් අනතුරු ඇඟවීමත් සමඟ ජනපති ට‍්‍රම්ප් අතට අත දීම වෙනුවට දෑත් එක් කරමින් ‘ආයුබෝවන්’ කීමට ජනපති ට‍්‍රම්ප් පියවර ගත්තේය. ට‍්‍රම්ප් දෑත් එක් කරමින් අමුත්තන් පිළිගන්නේ ඉන්දීය ක‍්‍රමයට ‘නමස්තේ’ කියමිනි. මෙය ද කාටූන් ශිල්පීන්ගේ අවධානයට ලක්වුණු සිදුවීමකි.

 

 


‘කෝවිඩ් 19’  හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීමට ජර්මන් ඖෂධ පර්යේෂණ සමාගමක් පියවර ගෙන ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ එම එන්නත සාර්ථක වුවහොත් ඇමෙරිකාව එය මිලදී ගැනීමට සූදානම් බවත් ඇමෙරිකන් අයිතිය යටතේ එන්නත ලොවට විකිණීමට කටයුතු කරන බවත්ය. මේ සම්බන්ධයෙන් ද ඇමෙරිකන් පුවත්පත්වල පමණක් නොව ජර්මනිය ඇතුළු යුරෝපා රටවල ජාතික පුවත්පත්වල ද කාටූන් පළ විය.


වයිරසයට එරෙහිව එන්නත නිපදවීමේ කටයුතු ලොව ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක් ආරම්භ කර ඇති අතර, ජර්මනියේ ‘කියෝ වැක්’ පෞද්ගලික සමාගම ඒ අතරින් ඉදිරියෙන් සිටී. ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් මෙම නව එන්නත සම්බන්ධයෙන් සහ එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ‘කියෝවැක්’ සමාගම සමඟ සාකච්ඡා කර ඇති අතර එන්නතේ අයිතිය වෙනුවෙන් විශාල මුදලක් ලබා දීමට ද එකඟ වී තිබේ.


මේ බව මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමඟ ජර්මන් රජයේ අවධානය ඊට යොමු වී ඇත. ජර්මන් චාන්සල්වරිය සහ කියෝවැක් ප‍්‍රධානීන් අතර ද හමුවක් පැවැත්වුණු බව වාර්තා විය. ජර්මන් විදේශ කටුයතු අමාත්‍ය හෙයිකෝ මෑස් පසුගිය 16 වැනිදා මාධ්‍ය හමුවේ කියා සිටියේ, ජර්මන් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන එන්නත් කිසිවක් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ විකිණීමට අදහස් නොකරන බවය. වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිපදවන එන්නතක් ඇති නම්, එය සැමට නොමිලේ ලබා දීම කළ යුතු බවත් ජර්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා එාධ්‍ය හමුවේ අවධාරණය කළේය. කිසිදු ලෝක බලවතකුට එන්නත යොදා ගනිමින් තම තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්්වීමට ඉඩක් නොදෙන බව ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් ද පැවැසුවාය.


ඊශ‍්‍රායල පලස්තීන අර්බුදයට ද කොරෝනා මැදිවිය. ඒ සම්බන්ධයෙන් ද ඇමෙරිකාවේ කාටූන් පළ විය. ඊශ‍්‍රායල වැසියන් සහ හමුදාව ආරක්ෂිතව ඔවුන්ගේ දැවැන්ත තාප්පයට මුවා වී ආරක්ෂිත වෙද්දී, පලස්තීන වැසියන් කොරෝනා වයිරසයට බිලිවන බව එම කාටූන්වලින් නිරූපණය වෙයි. මේ වනවිට ඊශ‍්‍රායලයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 251 දෙනකු හමුවී ඇත.

 

 


මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් වූූ ‘කෝවිඩ් 19’ වයිරසය, සොබාදහම විසින් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදු කරනු ලබන නඩු විභාගයක් ප‍්‍රතිඵලයක් බව කාටූන් ශිල්පීන් පෙන්වා දී ඇත. පසුගිය කාලය පුරාවට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර දූෂණය, විශේෂයෙන් වායු දූෂණය ඉහවහා ගොස් තිබුණි. චීනයේ (විශේෂයෙන් බීජීං අගනුවර) වායු දූෂණය ඉතා අහිතකර මට්ටමක පැවැති හෙයින් චීන රජයට කැනඩාවෙන් පිරිසුදු වායු බෝතල් මිලදී ගැනීමට පවා සිදුවිය. එහෙත් අද, තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් ය. වායූ දූෂණය ඉතා වේගයෙන් පහළ වැටී ඇත. ඒ, චීන වැසියෝ වයිරසය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටීම නිසාය. ස්වීඩන ජාතික 17 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් දැරිය, පරිසරය වෙනුවෙන් හඬ නඟන ක්‍රියාකාරිනියකි. ඇය සහ කොරෝනා වයිරසය සම්බන්ධ කර ගනිමින් ද කාටූන් පළ වී ඇත. එයින් එක් කාටූනයක ග්‍රෙටා දැරිය මෙසේ විමසයි. ‘මේ මිහිතලයට මිනිසා වින කරනවා. මිහිතලය ආරක්ෂා කරන්න පුළුවන් ජගතකු නැද්ද?’. ‘ඇයි මම ඉන්නවා’ යැයි කියමින් කොරෝනා වයිරසයක් පිළිතුරු දෙයි.


වයිරස බිය පැතිරෙද්දී, ලොව සෑම රටකම සෑම නගරයකම කඩසාප්පු හිස්වෙද්දී,  ඕස්ට්‍ර්ලියාවේ ‘ටොයිලට් පේපර්’ හිඟයක් ඇතිවිය. ටොයිලට් පේපර් වෙනුවෙන්  ඕස්​ෙට්‍ර්ලියානු කාන්තාවෝ සුපිරි වෙළෙඳසල් තුළ රණ්ඩු වන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ අපට දකින්න ලැබුණි. ටොයිලට් පේපර් හිඟය උත්සන්න වෙද්දී, ඊට විසඳුමක් ලෙස  ඕස්​ෙට්‍ර්ලියාවේ එක් පුවත්පතක්, එම පුවත්පත සමඟ හිස් පිටු අටක් බෙදා හැරීමට පියවර ගෙන ගත්තේය. ‘ටොයිලට් පේපර්’ අර්බුදයට විසඳුමක් වශයෙන්, අතිරේක හිස් පිටු අටක් බෙදා හැරීම ආරම්භ කළේ එන්.ටී. නිවුස්’ නමැති පුවත්පතය. ‘අප අමතර හිස් පිටු අටක් ඔබ වෙනුවෙන් පුවත්පතට එක් කර තිබෙනවා. ඒවා පුවත්පතේ පිටුවලට සම්බන්ධ කර නැහැ. ඒවා ඝනකමින් අඩුයි. හදිසි අවස්ථාවලදී ඔබට ඒවා පහසුවෙන් භාවිතයට ගන්න පුළුවන්.’ යනුවෙන් පුවත්පතේ මුල් පිටුවේ විශේෂ පණිවුඩයක් ද සටහන් කර තිබේ. සෙසු පුවත්පත් කාටූන් ශිල්පීන් එය උපහාසයට ගනිමින්, කාටූන් පළ කරන්න වූයේ ටොයිලට් පේපර් සමඟ සබන් කෑල්ලක් දෙන්නේ නැද්ද යැයි විමසමිනි.

 


ලූසිත ජයමාන්න
විදෙස් පුවත් ඇසුරිනි