ඒරාෂ්ටක ගත කරන ඔබට නව වසර කොහොමද ?


2017.01.27 සෙනසුරු ග්‍රහයා ගෝචරෙන් සම රාශියක් වූ ධනු රාශියට පැමිණි අතර, එතැන් සිට වසර 2 1/2 ක් ශනි එම රාශියේ ගෝචර වේ. මේ නිසා වෘශ්චික ධනු මකර යන ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටක තත්ත්වය ගත කරන්නට සිදුවී ඇත. එසේම ජම්ම සඳු වෘශ්චික රාශියේ සිටින අයට ද ජම්ම ඒරාෂ්ටකයේ අවසන් වසර 2 1/2 ගත කරන්නට සිදුවී අැත. 
ධනු ලග්න හිමියන්ගේ ලග්න භාවයේ ශනි ගමන් කිරීම තරමක් බාධාකාරී තත්ත්වයක් වේ. කල්පවතින රෝග වැඩකටයුතුවලට බාධා හදිසි විපත්, ගෙදර දොර අවුල් වියවුල් ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න අධික වියදම් ස්ථාන හෝ රැකියා වෙනස්වීම්, බලාපොරොත්තු කඩවීම් අභ්‍යන්තර සිත් වේදනා, ආදිය අැතිවීමට ඉඩ ඇත. එසේම සහකරුට හෝ සහකාරියට අගුණ, වෙන්වීම් ඈත්වීම් ද ඇතිවිය හැක. උපතින් ශනි ධනු රාශියේ සිටින අයට ශනි ගෝචරයෙන් ධනු රාශියට පැමිණීම අගුණ වැඩි විය හැකි තත්ත්වයකි. ශනි නීචව සතුරුව තැන්පත්ව ශනිගේ අශුභ දශා පවතී නම් පරිස්සම් විය යුතුයි. 


එසේම ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු දැනට ලග්නෙන් 12 වැන්නේ ගමන් කරන අතර, එයද ශුභ ඵල අඩු කරන තත්ත්වයකි. විශේෂයෙන් තුලා වෘශ්චික ධනු යන නවාංශකයකින් උපත ලබා ඇති අයට ගුරු දශාවක් ගත වේ නම් අගුණ ගෙනදෙන බව කිව යුතුයි. 2019.03.29 ගුරු ගෝචරෙන් ලග්නයට පැමිණේ. ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රස්ථාන දෙකකට ගුරු අධිපති වන හෙයින් ගුරුගේ ලග්න ගතවීම එතරම් ශුභදායී නොවේ. උපතින් ගුරු සතුරුව නීචව 22 වන දෙර්කාණධිපති වී, සිටී නම් තදබල අපල ගෙන දිය හැකිය. මෙම අපල අවශ්‍ය පිළිවෙත් කිරීමෙන් අඩුකර ගත හැකිය. 


ඔබ වෘශ්චික ලග්නෙන් ඉපදුණු අයෙක් නම් 2017.01.27 - 2020 ජනවාරි දක්වා ශනි ලග්නෙන් 2 වැන්නේ ගමන් කරයි. මේ නිසා වෘශ්චික ලග්න හිමියන් ලග්න ඒරාශ්ටකයේ අවසන් වසර 2 1/2 ගත කරමින් සිටී. මකර, කුම්භ මීන යන නවාංශකයකින් උපත ලබා ඇති වෘශ්චික ලග්න හිමියන්ගේ 22 වන දෙර්කාණධිපති ශනි වන බැවින් එම ශනිගේ දශාවක් ද ගත කරන්නේ නම් අගුණ වැඩි විය හැක. තදබල ධන හානි තැන්පත් ධනය වැයවීම් දන්තාබාධ, බෙල්ලෙන් ඉහළ රෝග සහකාරියට, සහකරුට අගුණ හදිසි අනතුරු සැප පහසුව අඩුවීම් ශරීරය දුර්වලවීම් ණයවීම් නින්දා අවමන්, පවුලේ සාමාජිකයන් අතර මතබේද, නොගැළපෙන අය පවුලට එක්වීම්, රැවටිලි වංචාවලට හසුවීම්, පහත් අයගෙන් කරදර ගෙන දිය හැකියි. උපතින් ශනි 2 සිටින අයත් ශනි සතුරුව නීචව සිටින අයත් කල්පනාකාරී විය යුතුයි. 


2019.03.29 ගුරුද ගෝචරෙන් ලග්නෙන් 2 වැන්නට පැමිණේ. එය ගුරුට ස්වක්ෂේත්‍ර රාශිය වන අතර වෘශ්චික ලග්න හිමියන්ගේ ධනස්ථානයයි. මේ නිසා ධන ලැබීම්වලට යහපත් වේ. එසේම නව ආදායම් මාර්ග ඇතිවීම් සැප සම්පත්, වස්ත්‍රාභරණ, පෝෂණීය ආහාර ලැබිය හැකියි. එසේම ශනි ග්‍රහයාද 2 ගමන් කිරීම නිසා වියදම් ද වැඩිවිය හැකියි. උපතින් 22 වන දෙර්කා ශනි වී එම දශාද ගත වේ නම් ප්‍රතිඵල වෙනස් විය හැකියි. කෙසේ වුවද කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කළහොත් බාධා ජයගත හැකිය. 2019.03.07 රාහු ග්‍රහයාගෙන්ම ලග්නෙන් 8 ට පැමිණෙන අතර කේතු 2 වැන්නට පැමිණේ. මේ නිසා උපතින් රාහුගේ පිහිටීම අනුව ද ගුණ අගුණ වෙනස් විය හැකියි. 


වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නෙන් 8 වැන්නේ ශනි ගමන් කරන අතර ඔවුන් මේ වන විට ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය ගත කරමින් සිටී. එය 2020 ජනවාරි දක්වා පවතී. මේ නිසා රෝග පීඩා හදිසි කරදර, එක්තැන්වීම්, හදිසි අනතුරු පවුලේ අයට කරදර, අධික ධන හානි ගෙන දිය හැකියි. උපතින් ශනි වෘෂභ ලග්නයට යෝග කාරක ග්‍රහය වුවත් උපතින් ලග්නෙන් 8 ශනි සිටීම, නීචව සතුරුව සිටීම නිසා බාධා කරදර වැඩිවිය හැකියි. එසේම 2019.03.29 ගුරුද ගෝචරෙන් ලග්නෙන් 8 වැන්නට පැමිණේ. උපතින් මකර, කුම්භ මීන යන නවාංශකයකින් උපත ලබා ඇත්නම් ගුරු 22 වන දෙර්කාණාධිපති වන බැවින් ගුරු 8 ට පැමිණීම අයහපත් විය හැකියි. ගුරුගේ දශා අශුභ ශනි දශා ගතවේ නම් වඩාත් ප්‍රවේශම් විය යුතුයි. මෙවැනි තත්ත්වයක් පවතී නම් පවුලේ අනෙක් අයගේ දශාද පරීක්ෂා කර පිළිවෙත් කිරීම යහපත් වේ. 


2020 ජනවාරි 26 න් පසු වෘෂභ ලග්න හිමියන්ගේ ඒරාෂ්ටක තත්ත්වය අවසන් වේ. ඒරාෂ්ටක ගත කරන අනෙක් ලග්න හිමියන්ද හැකිතාක් ආගම දහම අනුව කටයුතු කළහොත් ඇතිවිය හැකි අගුණ අඩුකර ගත හැකියි. 

 


ජ්‍යොතිර්වේදිනී, 
ඛේමා සුභාෂිණී වීරතුංග, 
නිට්ටඹුව.