ඉතාලි ගිය කොල්ලො වෙන්නප්පුවේ හැදූ පුංචි ඉතාලිය


වෙන්නප්පුවේ හැම පවුලකම කෙනෙක් ඉතාලියේ රැකියා කරනවා

 

 

නුවරඑළියට ‘‘පුංචි එංගලන්තය’’ යැයි අන්වර්ථ නමක් පටබැඳී ඇත්තේ ‘‘ශීතල’’ දේශගුණය අනුවය. මීගමුවට ‘‘පුංචි රෝමය’’ යැයි කියන්නේ ආගමික පසුබිම අනුවය. පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි වෙන්නප්පුවට ‘‘පුංචි ඉතාලිය’’ යැයි කියන්නේ ඇයි දැයි තොරතුරු සොයන්නට අපි වෙන්නප්පුවට ගියෙමු. ගම්පහ දිස්ත්‍රික්කයත්, පුත්තලම් දිස්ත්‍රික්කයත් වෙන් කෙරෙන මා ඔය පසුකළ වීමට හමුවන පළමු බල ප්‍රදේශය වෙන්නප්පුවයි.  


වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකින් සමන්විතය. ඒ වෙන්නප්පුව හා දංකොටුවයි. ‘‘පුංචි ඉතාලිය’’ යනුවෙන් හැඳින්වෙන කොටස පිහිටා ඇත්තේ වෙන්නප්පුව කලාපය තුළය. කෙසේ වෙතත් වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයම සමස්තයක් වශයෙන් රටේ වෙනත් ප්‍රදේශවලට වඩා හොඳ ආර්ථිකයකින් සමන්විත පවුල්වලින් පිරී පවතින බව පෙනෙයි.  


වරක් දුටුවිට තවත් වරක් නොව දෙතුන්වතාවක් හැරී බැලීමට සිතෙන අලංකාර නිවාස වෙන්නප්පුවේ අසීමිතය. සාමාන්‍ය පවුලකට සරිලන නිවසකට වියදම් වන මුදලක් ඇතැම් නිවාසවල ගේට්ටුවට වැය කර ඇතැයි සිතෙයි. එකිනෙකට නොපරදින අලංකාර නිවාස සැලසුම් හා උද්‍යාන පිහිටි නිවාස පරිශ්‍රවල සුඛෝපභෝගී වාහනයක් හෝ දෙකක් දක්නට ලැබෙයි.  


වෙන්නප්පුව ‘‘පුංචි ඉතාලිය’’ යැයි කියන්නේ ඇයි? අප පළමුවෙන්ම මේ ප්‍රශ්නය යොමු කළේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතාටය.   
‘‘පුංචි ඉතාලිය යන නම වැටුණේ වෙන්නප්පුවේ ජනතාවට ඉතාලියේ රැකියාවරම් ලැබුණු නිසයි. 80 දශකයේදී තමයි මේ ​දොරටු විවර වුණේ. එහි ප්‍රධාන ගෞරවය ලැබිය යුත්තේ ප්‍රෑන්ක් මාක්ස් අගරදගුරුතුමාට. එතුමා තමයි මේ රැකියා දොරටුව විවර කර දුන්නේ. ‘‘එක්ටැම්ගේ’’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ වෝල්ටර් ප්‍රනාන්දු මහතාටත් ඒ ගෞරවය හිමිවෙනවා.  


වෙන්නප්පුවේ සෑම පවුලකම වගේ එක් අයෙක් ඉතාලියේ රැකියාව කරනවා. ඒ අතර වෙන්නප්පුවෙන් ගිය ඩික්සන් ප්‍රනාන්දු මහතා ඉතාලියේ ‘‘වෙරෝනා’’ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා. කසළ කළමනාකරණය පිළිබඳ අපේ ප්‍රාදේශීය සභාව ‘‘වෙරෝනා’’ නගර සභාව ගිවිසුමකටත් එළඹුණා. ලංකාවේ වැඩිම විදේශ මුදල් මාරුකිරීමේ ස්ථාන තියෙන්නේ වෙන්නප්පුවේ. ඒ වගේම වැඩිම විදේශ ජංගම ගිණුම් හා තැන්පත් තියෙන්නෙත් වෙන්නප්පුවේ පෞද්ගලික බැංකුවක. අපි අපේ නගරය අලංකාර කටයුතු කරන්නේ ඒ ප්‍රජාව සමග.  


වෙන්නප්පුව ප්‍රදේශයේ පුංචි ඉතාලිය ලෙස හැඳින්වෙන ප්‍රදේශය විශාල වූවත් වැඩි වශයෙන්ම ‘‘ඉතාලි නිවාස’’ පිහිටා ඇත්තේ, වෙන්නප්පුව, උල්හිටියාව, තල්දෙන, කොලින්ජාඩිය, නයිනමඩම, බංඩිරිප්පුව, ලුණුවිල, බොරලැස්ස, කම්මල බෝලවත්ත, හා වයික්කාල ප්‍රදේශවලය.  


මේ අතුරින් අංක 491 සී බටහිර වෙන්නප්පුව ග්‍රාම නිලධාරී වසමේ නිවාස 540ක් පමණ පිහිටා තිබේ. ඒවායේ බහුතරය ‘‘ඉතාලි නිවාස’’ ය එන් එක් නිවසක හිමිකරු වූ අශෝක පෙරේරා (56) මහතා වසර 20ක් පමණ ඉතාලියේ රැකියාව කර දැන් මෙරටට පැමිණ තිබේ. මේ ඔහුගේ කතාවයි.  


‘‘මම 1990 දී ඕපන් වීසා අරගෙන යුගෝස්ලාවියාවට ගියා. ලංකාවේදී රුපියල් එක් ලක්‍ෂ හැටදාහක් දීලයි ගියේ. යුගෝස්ලාවියාවට ගෙනගොස් ඉතාලියට රැගෙන යන අය ඒකාලේ හිටියා. දින දෙකක් යුගෝස්ලාවියාවේ සංචාරය කරන්නන් විදිහට වාහනවල ගිය පසුව ‘‘ඩුප්​ඩොනික්’’ නගරයට ගියා. ඒ නගරය ඉතාලි දේශ සීමාවට ආසන්නයි.   
දිනක් රෑ 8ට විතර අපි 18 දෙනෙක් වාහනයකින් එක් තැනකට ගිහින් දැම්මා. එතන ඉදන් යන්න වුණේ පයින්. කඳු, පල්ලම්, මඩවළවල්, පසු කරගෙන අපි රෑ පයින්ම ගියා යන අතර මග මිදිවතු, ඇපල් වතු හමුවුණා. අපි ඇපල්, මිදි කකා පැය 8ක් පමණ පයින් ගියා. හරිම දුෂ්කර ගමනක්. අපිව රැගෙන ගිය අය දුරින් තියෙන ලයිට් දැල්වෙන ස්ථානයක් පෙන්වලා එතනට යන්න කීවා. ඒක දුම්රිය ස්ථානයක්. මාරුකරගෙන ගිය මුදල් දීලා අපි දුම්රිය ටිකට් අරගෙන දුම්රියෙන් ‘‘නාපොලි’’ නගරයට ගියා.  
මාස හයක් විතර රැකියාවක් නැතිව හිටියා. ඒ දවස්වල ‘‘නාපෝලි’’ වල ලංකාවේ තුන්දහසක් පමණ දෙනා හිටියා. යහළුවන් අපිට කන්න, බොන්න දුන්නා. පසුව රැකියාවක් ලැබුණා. ඒ කාලේ මාසිකව පඩිය ලැබුණේ. මිල්ල 10යි මිල්ල එකක් ලංකාවේ මුදලින් රුපියල් 28ක් වගේ, ඊළඟට මගේ ඉලක්කය වුණේ මගේ බිරිඳව ඉතාලියට ගෙන්වා ගන්න එක.  
අශෝක මහතාගේ බිරිඳවන ශාන්ති පෙරේරා මහත්මිය තිබුණු එකම ආශාව තම සැමියා ළඟට යෑමය. අැය ලංකාවේදී රුපියල් එක් ලක්‍ෂ හැත්තෑපන්දහසක් තැරැව්කරුවකුට දී ඉතාලි යාමට මග සලසා ගත්තාය. ඒත් ඇය මුහුණ පෑ ඉරණම බොහෝ බියකරු එකක් විය.  

 

 


‘‘මම 1992 දී යුගෝස්ලාවියාවට යන විට ඒ රටේ අභ්‍යන්තර යුද්ධය පටන් අරන් තිබුණා. අපි ගිහින් බැස්ස ගුවන් තොටුපොළ කැරලිකරුවන් අල්ලාගෙන තිබුණා. අපි ප්ලයිට් එකෙන් බහිනකොටම කැරලිකරුවන් අපේ ඔළුවට තුවක්කු තියලා ඒ ගුවන්යානයටම ගොඩ කළා. අපි 30ක් හිටියා. අපිව ආයේ ගෙනාවේ රුසියාවේ ගුවන්තොටුපළකට. රුසියාවේ දී අපේ පාස්පෝට් ඒ නිලධාරීන්ගේ භාරයට ගත්තා. ලංකාවට ගුවන් යානා සතියකට එකයි තිබුණේ. ඒ බදාදා දින පමණයි. ඒකෙ ඉඩ තිබුණොත් විතරක් අපිව දාලා එවනවා කිව්වා. සති දෙකක් ගුවන්තොටුපොළේ හිටියා. අපි නිදාගත්තේ ගුවන්තොටුපළ පර්යන්තයේ බිම. කන්න හරියට තිබුණේ නෑ. රුසියාවට අධික ශීතල තියෙන කාලයක් නිසා අපි වෙවුලමින් හිටියේ. පසුව ලංකාවට ආවා.  


සැමියා ළඟට යන්නට අවශ්‍ය නිසා යළිත් තැරැව්කරුවකුට රුපියල් දෙලක්‍ෂ දහදාහක් (210,000) දීලා රුමේනියාවට ගියා. එතන ඉඳන් අපිව අයිස් කඳුවල වැටි වැටී අරන් ගියා. යුරෝපයේ සිටි එල්.ටී.ටී.ඊ. අය තමයි මේ ව්‍යාපාර කළේ. ඒක මෙහෙයවූවේ ‘‘බොබී’’ කියල කෙනෙක්. අපි 17ක් හිටියා. මාත් එක්ක ගෑනු තුනයි අනිත් අය පිරිමි. අපිව දුම්රියකින් අරන් ගිහින් රුමේනියාවේ තාරාවන් හදන සත්ව ගොවිපළ ඇති ගම්මානවල ගෙවල්වල නතර කළා.   
සීතලේ ගැහි ගැහී සති එක හමාරක් විතර හිටියා. දිනක් අපිව බස්රථවලට නංවාගෙන රැගෙන ගියා. රෑ 10ට විතර තවත් තැනකින් බස්සලා උස බස්වල යට සවිකර ඇති ලාච්චුවලට අපි දෙන්නා බැගින් දැම්මා.  


අපේ දණිස් නිකටේ වදින තරමට ගුළිවී ඒ ලාච්චුවල හිටියා. ඒවා ඉබි යතුරු දමා වැහුවා. අපිට ඔක්සිජන් දී තිබුණා. අපිට උපදෙස් දුන්නා චෙක් පොයින්ට් තුනකින් හමුදාව බස් රථ පරීක්‍ෂා කරනවා ඒ වෙලාවේ දී ලයිට් දමා සංඥාවක් දෙනවා. කැස්සක් ආවත් කහින්නවත් එපා කියලා.  
අපි දෙවියන්ට කිය කියා ගුළිවෙලා හිටියා. අපි චෙක්පොයින්ට්වල දී නිශ්ශබ්ද වී හිටියා. අපිට දැනෙනවා හිසට උඩින් බස් රථයේ මැද හමුදාවේ අය ඇවිද යමින් බස් එක චෙක් කරනවා. ඒ වගේ චෙක් පොයින්ට් තුනක් තිබුණා. හමුදාවේ අය පුරුදු කළ බල්ලන් ද සමග ඇවිත් පරීක්‍ෂා කරන්නේ. අපිව පැය ගණනක් මෙහෙම අරගෙන ගිහින් වැනීසියේ දුම්රිය පොළෙන් බැස්සුවා.   


ඒ බැස්සුවේ බසය නතර කරලා නොවෙයි. බස් එක වේගය අඩු කරන විට පැනගන්න කීවා. වැනිසියේ ඉඳන් සැමියා ඉන්න නාපොලිවලට කිලෝමීටර් දහස් ගණනක් දුරයි. උදේ 6.30 ඉඳන් රෑ 7.30 වන තුරු පැය 12ක් විතර දුම්රිය එනතුරු සිට දුම්රියෙන් නාපොලිවලට ගියා. ගිහින් රස්සාවක් හමුවනතුරු අවුරුද්දක් විතර එක කාමරයේ 13 දෙනෙක් හිටියා ඒ. ගිහින් මමත්, වසර 20ක් පමණ එහෙ හිටියා. ‘‘ඇය කීවාය.  


වෙන්නප්පුවේ පිරිස් ඉතාලියට ගිය ක්‍රම හතරක් තිබිණි. එකක් මහ මුහුද ඔස්සේ බෝට්ටුවකින් යාමය. එය ඉතා භයානක ගමනකි. දෙවැනි ක්‍රමය අසල රටකට නීත්‍යානුකූල ලෙස ගොස් අනවසරයෙන් හා නීති විරෝධී ලෙස කන්ටේනර් වලින් දේශසීමා හරහා ඉතාලියට ඇතුළුවීමය. තුන්වන ක්‍රමය වූයේ ගුවන් ගමන් බලපත්‍රයේ පුද්ගල ඡායාරූපය හා ඉතාලියේ නැවතී සිටීමට ඉතාලියෙන් නිකුත් කරන ‘‘සොජෝර්’’ හෙවත් වීසා බලපත්‍රයේ ඇති ඡායාරූප සූක්‍ෂම ලෙස මාරුකර යාමයි. අනෙක් ක්‍රමය වන්නේ අනුග්‍රාහක ලිපියේ ඡායාරූපය වෙනස් කර තම ඡායාරූපය අලවා ගැනීමෙනි.  
පුංචි ඉතාලියේ පදිංචිව සිටින ඩලස් හිලරි පෙරේරා (52) මහතා ද 1995 නොවැම්බර් මස දේශ සීමා හරහා ඉතාලියට ගිය අයෙකි. ඊට පෙර ඔහුගේ සහෝදරයාද දුෂ්කර ක්‍රමයකින් ‘‘සිසිලි’’ දූපතට පැන ගොස් සිටියේය.  


එකල ඉතාලි රජය ගත් තීරණයකට අනුව 1995 දී රට තුළ සිටි සියලු දෙනාට ‘‘වීසා’’ ලබා දුන්නේය. ඩලස් හා සහෝදරයාටත් වීසා ලැබී පසුව ඉතාලි පුරවැසිකම ද ලැබිණි. ඔහු 2016 වසර තෙක් එහි රැකියාව කළේය.  

 

 

 


හිලරි මහතාට අනුව ඉතාලියේ මාසික වැටුප අමතරව ජුනි හා දෙසැම්බර් මාසවල දී බෝනස් වැටුප් දෙකක් ද හිමිවේ. එය වැටුපට සමාන මුදලකි. ඔහු පවසන පරිදි වර්තමානයේ ඉතාලියේ සේවය කරන ලාංකිකයෙකුගේ සාමාන්‍ය වැටුප යුරෝ 1200කට වැඩිය. (ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ දෙක ඉක්මවයි.)  
ඉතාලියේ වෙරෝනා නගරයේ ව්‍යාපාරයක් කරනා දැනට කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටින චමින්ද පෙරේරා මහතා ද අපට හමුවිය. ඔහු සංචාරකයන් ප්‍රවාහනය කරන සේවාවක් පවත්වාගෙන යන අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉන්දියානු, පාකිස්ථාන්, අප්‍රිකානු වැනි රටවල සංචාරකයන් දහස් ගණනක් ඔහුගේ සේවය ලබාගනී. චමින්ද පෙරේරා මහතා වෑන් රථ 14ක් යොදාගෙන තම ව්‍යාපාරයේ කරන අතර ඒවාගේ රියැදුරන් ලෙස කටයුතු කරන්නේද ලාංකික තරුණයන්ය. ඔවුන්ට ඒ සඳහා යුරෝ 1000කට නොඅඩු වැටුපක් චමින්ද මහතා ගෙවයි.  


චමින්ද පෙරේරා මහතා ඉතාලි රජයට බදු ලෙස වාර්ෂිකව යුරෝ හයදහසක් පමණ ගෙවන්නෙකි. ඔහු පවසන්නේ රථවාහන නීතිය අකුරටම ක්‍රියාත්මක රටක් ලෙස ඉතාලිය නම් කළ හැකි බවය.   


පොලීසිය මගින් මාර්ගයේ වාහන නවත්වා අයකරනු ලබන දඩ මුදල වෙනුවට එහි ඇත්තේ මහා මාර්ගවල සවිකළ කැමරාවලින් පරීක්‍ෂා කර නිවසටම එවනු ලබන දඩය ගෙවීමය.  
එහි අවම දඩය යුරෝ 30කි. ඒ වාහන නවතා තැබීම සම්බන්ධ වරදටය. නිවසටම ලැබෙන දඩ මුදල දින පහක් තුළ ගෙවිය යුතු වන අතර ඒ දින ඉක්මවා ගියවිට අමතර දඩ මුදලකි. ඉතාලියේ ඩීසල් ලීටරයක් යුරෝ 1.60ක් වන අතර එය අපේ රටේ ඩීසල් මිලමෙන් තුන් ගුණයකට ආසන්නය.  
‘‘පුංචි ඉතාලියේ’’ පිහිටි සමහර නිවාසවල සියලුම දෙනා පදිංචිවී සිටින්නේ ඉතාලියේය. ඔවුහු කෙටි නිවාඩු සඳහා මෙරටට පැමිණෙති. ඔවුහු වාර්ෂිකව විශාල විදේශ විනිමයක් මෙරටට රැගෙන එති.  


වෙන්නප්පුවේ ජනතාවගෙන් 95%ක්ම කිතුණුවන්ය. අප්‍රේල් 21 දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට පසුව වෙන්නප්පුවේ සිටි බොහෝ දෙනා ඉතාලියටම පදිංචියට ගියහ. ඒ අතර තරුණ පිරිස් බහුලය. එසේ ගිය බොහෝ පවුල්වල නිවාස පාලුවට ගොස්ය. නැතිනම් කුලියට දී තිබේ. චමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයත් සමග බොහෝ දෙනා තම ව්‍යාපාර ද වසා දමා දරුවන් ද පාසල් වලින් ඉවත් කරගෙන ඉතාලියට ගිය බවය.  
වෙන්නප්පුව ප්‍රදේශය තවත් සුවිශේෂී වන්නේ මහමුහුද, ගිං ඔය හා වෙන්නප්පුව වැව පිහිටා තිබීමය. මුහුද, ගඟ හා වැවක් පිහිටි එකම ගම මෙයදැයි සිතේ. අනෙක් විශේෂ කාරණය වන්නේ ප්‍රදේශයේ පිහිටි සියලුම නිවාස වහල උළු සෙවිල් කර තිබීමයි.   


ලංකාවේ වැඩිම උළු නිපදවන ප්‍රදේශය වන වයික්කාල පිහිටියේද වෙන්නප්පුවේය. සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධූරය දරන බැස්ටිස්ට් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුවේ පරිසරය සුරැකීමට මුල් වී ක්‍රියාකරන්නෙකි.  


වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වන ඔහු පවසන්නේ ඉතාලියේද සෑම නිවසක්ම නිර්මාණය කර ඇත්තේ පරිසරකාමි මැටි උළුවලින් බවයි.  
උළුවලින් සෙවිලි නොකරන්නට ‘‘පුංචි ඉතාලිය’’ මෙතරම් අලංකාර නොවන බව ඔහු පවසයි. එසේම ඔහු පවසන්නේ වෙන්නප්පුව බල ප්‍රදේශයේ විදේශගතව සිටින පන්දහසක් පමණ දෙනා පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමට මෙරටට පැමිණි බවයි. පරිසරය සුරැකීමේදීත්, රටට යුතුකම් ඉටුකිරීමේදිත් වෙන්නප්පුව ජනතාව රටේ ඉදිරියෙන්ම සිටින බව ඔහු කියයි.  


පුංචි ඉතාලියේ බටහිර වෙන්නප්පුව 491 සී ග්‍රාම නිලධාරී එම්.එම්. අජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඉතාලියේ වසර ගණනාවක් ජීවත් වූ ජනතාව වෙසෙන තම කොට්ඨාසයේ සේවය කිරීම ඉතාම පහසු බවය. මුදල් පමණක් නොව යහපත් ජීවන සංකල්ප ද විනයානුකූල බවද එහි ජනතාව තුළ පිහිටා තිබීමත් නිසා තම රාජකාරිය පහසු වී ඇති බවද ඔහු කීය. තම කොට්ඨාසය තුළ ‘‘සමෘද්ධි’’ ලබන ජනතාව නොමැති තරම් බවත් ඔහු කියයි.  


අප අවසන් වශයෙන් හමුවූයේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් සුජීවා ප්‍රනාන්දු මහත්මියයි. ඇය ප්‍රකාශ කළේ වර්තමානය වන විට තම බල ප්‍රදේශය ආර්ථික හා සමාජීය ලෙස ඉතා ඉහළ මට්ටමක සිටින බවය.  


තම බල ප්‍රදේශයේ පිහිටි ග්‍රාමසේවා වසම් 52 තුළ පමණක් ඉතාලියේ රැකියාවල නියුතු පිරිස 13,000 ඉක්මවන බව ද ඇය කීවාය. ඉතාලියේ ජීවන ආභාෂය දිගුකලක් ලද පුද්ගලයන් රැසක් සිටින තම බල ප්‍රදේශයේ පරිසරය ආරක්‍ෂා කිරීම හා අනෙකුත් පරිපාලන කටයුතු සාර්ථක බව ප්‍රකාශ කළාය.  


වෙන්නප්පුව ජනතාව අපට ඉදිරිපත් කළ පැමිණිලි දෙකක්ද සටහන් කරමින් මේ සටහන අවසන් කරන්නට අවශ්‍යය. ඉන් පළමුවැන්න වන්නේ වර්තමානයේ දී ඉතාලි තානාපති කාර්යාලය සමග සිදුවන සෑම කටයුත්තකදීම වෙන්නප්පුවේ සිටින තැරැව්කරුවකුට රුපියල් විසිපන්දහස බැගින් ගෙවීමට සිදුවීමයි. සෑම කටයුත්තක් වෙනුවෙන්ම රුපියල් 25,000ක් දුන්නොත් පමණක් එම අවස්ථාව හිමිවන බවත් මේ ක්‍රියාව තානාපති කාර්යාලය දැන හෝ නොදැන කරන ක්‍රියාවක්දැයි ඔවුහු ප්‍රශ්න කරති.  


අනෙක පරිසර ගැටලුවකි. වෙන්නප්පුවම අලංකාරය කරන ‘‘වැව’’ ට මේ වන විට නගරයේම කසළ කාණු පද්ධතිය විවෘත කර තිබේ. ඉන් සිදුවන්නේ දැඩි පරිසර හානියකි.  

 


තවත් කොටසක් ලබන සතියේ.  
සටහන- ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම