අශ්ව ඇසුරෙන් පෙරභවය හෙළි කළ කෝටිපති නළුවා


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පෙරභවය හෙළි කළ ඇතැම් දරුවන් මගින් විවිධ චර්යාවන් දක්නට ලැබේ. පර්​ෙ‌ය්ෂණවලට එම චර්යාවන් සහ ගති සිරිත් ඉතා වැදගත් වන අවස්ථා තිබේ. වැඩි වශයෙන්ම ඔවුන් කරනු ලබන ප්‍රකාශ මගින් එම ගති සිරිත් පෙර භවයේ සබඳතාවලින් මතු වූ බැව්ද දක්නට ඇත.  


ඇතැම් විට පෙර භවය පිළිබඳව දරුවන් මගින් අනාවරණය වන කරුණු විමර්ශනය කිරීමට මාපියෝ එතරම් උත්සාහයක් නොගනිති. සමහර දරුවන් මගින් පෙරභවයට සම්බන්ධ තොරතුරු අනාවරණය වන්නේ ස්වල්ප වශයෙනි. එවැනි දරුවන් මගින් තවදුරටත් කරුණු විමර්ශනය කිරීම සඳහා මෝහනය කිරීම් සිදුකිරීමට මනෝ විද්‍යාඥයෝ ඇතැම් විට උත්සාහ ගනිති.  


එහෙත් කුඩා දරුවන් එවැනි මෝහන ක්‍රියාවලියකට ඇතුළත් කිරීමටද ඇතැම් මාපියෝ කැමැත්තක් නොදක්වති.  


එවැනි දරුවන් වැඩිවියට පත්වී ඔවුන් විසින්ම මෝහන ක්‍රියාවලියට ඉදිරිපත් වී පෙර භවය සොයාගත් අවස්ථා ද ඇත. එවැනි පුනර්භව සාධකයක් හැටේ දශකයේ දී ඇමරිකාවෙන් අනාවරණය විය. පසු කලෙක සුප්‍රකට සිනමා නළුවෙකු වූ ග්ලෙන් ​ෆෝඩ් පෙරභවය හෙළි කරනු ලැබුවේ වයස අවුරුදු දෙකේ සිටය. පුනර්භවයක් ගැන කිසිදු විශ්වාසයක් නොතැබූ ඔහුගේ මාපියෝ තම දරුවා හෙළි කරනු ලබන්නේ පෙරභවයක තොරතුරුයයි නොසිතූහ.  


එක්දහස් නවසිය දහසයේ වසරේදී කැනඩාවේ කුබෙක් රෝහලේදී උපත ලද ග්ලෙන් දරුවා බහ තෝරන වියට පත්වූයේ වසර එක හමාරේදීය. යන්තම් වචනයක් දෙකක් උච්චාරණය කළ හැකි වූ ඔහු දිනක් මව අමතමින් මට අශ්ව ගඳක් දැනෙනවා යැයි පැවසීය.  


ඒ වන විට අශ්වයන් සිටින තැනට හෝ ගොස් නොසිටි දරුවා එවන් තැන් ප්‍රකාශ කිරීම ගැන මාපියෝ මවිතයට පත්වුහ. නිතර නිතර එම ප්‍රකාශය සිදුකළ ග්ලෙන් අශ්වරූප දුටු විට ඒවා එකතු කිරීමටද උත්සාහ කළේය.  


ඔහුගේ ප්‍රියතම විෂය වූයේ අශ්වයන් ගැන කතා කිරීමය. තවත් වසරක් පමණ ගතවිය. අශ්වයකු දුටු විට උන් අසලට කිසිදු බියක් නොදක්වා යෑමටද ඔහු උත්සාහ කළේය. මේ නිසා මාපියෝ ඔහු අශ්වයන් අසලට යෑම වැළැක්වීමට උත්සාහ ගත්තද ඔහු එයට අවනත නොවීය.  


‘මට අශ්වයන් බලන්න ඕනෑ යැයි නිතර පැවසීමද ඔහුගේ සිරිත විය. මේ අතර ඔහු තවත් විටෙක “මට අශ්වයන් සිටියා” යැයිද මව සමග කීවේය.   


තම පුත්‍රයා අශ්වයන් ගැන මෙතරම් ආශාවක් දක්වන්නේ ඇයිද? මවට බලවත් ප්‍රශ්නයක් මතු වී තිබිණි. මේ අතර ඔහු අශ්වයන් පිට යෑමටද දැඩි ආශාවක් දැක්වීය. වයස අවුරුදු හතරක් පමණ වියේදී අශ්වයකු පිට නැගීමට ඔහු තුළ තිබූ ආශාව නිසා මාපියෝ ඊට ඉඩ සලසා දුන්හ. එහිදී විශාල අශ්වයෙකු පිටට නැගීමට කුඩා ග්ලේන් උත්සාහ කළේ මාපියන් මවිතයට පත් කරවමිනි. 14 වන වියට පත්වන විට ඔහු අති දක්ෂ අශ්වාරෝහකයෙකු වී සිටියේය.  


අශ්වයෙකු පිට නැගී යන දරුවාගේ එම හැකියාව කෙසේ ලැබුණේද යැයි විමසූ විට ඔහු පැවසුවේ ‘ඒ අශ්වයා මගේම කියල මට හිතෙනවා” යනුවෙනි. තමා තුළ අශ්වයන් පිළිබඳ පවතින දැනුම සහ ආශාව සහජයෙන් ඇති වූවක් බැව් ග්ලේන්ටද දැනෙන්නට විය.  


අශ්වයන් පිට යෑමට ඉතා කුඩා කල දී ඔහු තුළ තිබූ දක්ෂතාව නිසාම ඔහුට චිත්‍රපටවල රඟපෑමටද අවස්ථාව ලැබිණි. වරක් ඔහුට අස්වාභාවික විෂයට සම්බන්ධ පුනර්භව කතා පුවතක චිත්‍රපටයකට ආරාධනා ලැබිණි. එය ඔහුගේ ජීවිතයට අතිශය වැදගත් ආරාධනාවක් විය.  


එම කතා පුවත කියැවූ ග්ලේන්ට අධිමානසික පර්​ෙ‌ය්ෂණ යටතේ තමාට අශ්වයන් පිළිබඳව පවතන දැනුම ​සොයා බැලීමට සිත්විය. ඒ වන විට ඔහු කුඩා කල සිට දැනුණු අශ්ව ගඳත් උපතින්ම අශ්වයන් පිට වේගයෙන් යෑමේ හැකියාවත් ඔහුගේ පුදුමයට හේතු වී තිබිණ. ඒ පිළිබඳ මනෝ විද්‍යාඥයෙකු මගින් පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට ග්ලේන් සිතා ගත්තේය. එවැනි අයෙකු සොයමින් සිටි ග්ලේන්ට මනෝවිද්‍යාඥයෙකු වූ ආචාර්ය බෙන්ජමින් හමුවීමට අවස්ථාව ලැබිණි.  


තමා තුළ පවතින අශ්වයන් පිළිබඳව ඇති දැනුම සහ කුඩා කල සිට දැනෙන අශ්ව ගඳ පිළිබඳව ඔහු ආචාර්ය බෙන්ජමින්ට හෙළි කළේය. ඔහු​ගේ අදහස වුණේ මෝහන ක්‍රියාවලියක් මගින් ග්ලේන්ගේ යටිසිත අධිමානසික පර්​ෙ‌ය්ෂණයකට ලක් කිරීම සුදුසු බවය.  


ඒ අනුව තරුණ ග්ලේන් එම අධිමානසික පර්​ෙ‌ය්ෂණයට ඉදිරිපත් වූයේ මනෝ විද්‍යාඥයන් කණ්ඩායමක් ඉදිරියේය. එහිදී සිදුවූ පර්​ෙ‌ය්ෂණය ආචාර්ය බෙන්ජමින් ඇතුළු පිරිස වාර්තාවක්ද සකස් කළහ.   


ඒ 1967 වසරේදීය. අවස්ථා තුනක් යටතේ ඔහු අධිමානසික දැනුමෙන් මට අශ්ව ගඳක් දැනෙනවා යැයිද එහිදී ද ඔහු ප්‍රකාශ කළේය.  


අනතුරුව “චාල්ස් ස්ටුවට්” යන නමක් හෙළි කරමින් ඔහු සංගීත ගුරුවරයෙකු බවත් එමගින් මුදල් ඉපැයූ බවත් කීය.  


ඔහු කතා කරන භාෂා විලාශය බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාෂා උච්චාරණය බැව්ද දක්නට ලැබිණි. ඒ සමගම ඔහු පියානෝ වාදන ගීතයක්ද කීවේය. ඔහු තුළින් දක්නට ලැබුණු තවත් සුවිශේෂ සිද්ධියක් වූයේ ඒ අවස්ථාවේදී ඔහු ප්‍රංශ භාෂාව කතා කිරීමය.  


ග්​ලේන් කතා කළ ප්‍රංශ භාෂාව පටිගත කළ මනෝ විද්‍යාඥයෝ එය කැලි​ෆෝනියා විශ්වවිද්‍යාලයේ භාෂා විශේෂඥයින් වෙත ඉදිරිපත් කළහ. එම පර්​ෙ‌ය්ෂණයේදී අනාවරණය වූයේ ග්ලේන් කතා කරනු ලැබුවේ දහසය වන සියවසේ ප්‍රංශයේ කතා කළ භාෂාව බවය.  


ප්‍රංශ භාෂාව කතා කරමින් ඔහු එවරද ප්‍රකාශ කළේ තමාට අශ්වයන් දක්නට ලැබෙන බවකි. වංශවත් පවුලක අශ්වරෝහකයෙකු ලෙස තමා සේවය කළ බවත් කීවේය. ආචාර්ය බෙන්ජමින් සමග ඔහු ඉතා දක්ෂ අයුරින් ප්‍රංශ භාෂාවෙන් කතා කිරීම අතිශය පුදුමයට හේතු වී තිබිණි.   


ඒ පිළිබඳව ඔහු කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ තමා ප්‍රංශයේ විසූ ලුවී රජුගේ අශ්වරෝහක හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කළ බවකි. එහිදී සිදුවූ සටනක් පිළිබඳවද ප්‍රකාශ කළ ග්ලේන් එක් කඩු හරඹයකදී ඔහුට එල්ල වූ කඩු පහරකින් මරණයට පත්වූ බැව් කීවේය. එම අවස්ථාවේ ඔහු දැඩි වේදනාවෙන් පපුව ප්‍රදේශය අල්ලා ගැනීම ද සුවිශේෂ කරුණක් විය. ඔහු විසින් අල්ලාගත් පපුවේ ස්ථානයේ පැහැදිලි උපන් ලපයක්ද දක්නට ලැබිණි.  


ග්ලේන් ෆෝඩිගේ මෙම මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණයේදී ඔහු විසින් ප්‍රකාශ කළ කරුණු නිරීක්ෂණය කිරීමටද මනෝ විද්‍යාඥයින්ට හැකියාව ලැබිණි. එහිදී හෙළි වූ වැදගත් කරුණක් වූයේ ඔහු පෙර භව දෙකක තොරතුරු හෙළි කළ බවකි.  


වරක් ස්කොට්ලන්තයේ සංගීත ගුරුවරයෙකු ලෙසත් තවත් විටෙක අශ්වාරෝහකයෙකු ලෙසත් ජීවත්ව සිට ඇති බැව් සනාථ විය. සංගීත ගුරුවරයා ලෙස ජීවත්ව සිටි බවට ප්‍රබල සාක්කියක් වූයේ ඔහු මේ භවයේදී අධ්‍යයනයක් නොලබා පියානෝ ගීත ගැයීම සහ පියානෝ වාදනයට රුසියෙකු වීමය.  


ග්ලේන් විසින් සිදුකළ පියානෝ වාදනය පර්​ෙ‌ය්ෂකයන් විසින් පටිගත කර පෙන්වූ විට ඔහු ප්‍රකාශ කළේ එම වාදනය තමාගේ යයි විශ්වාස කිරීමට තරම් අපහසු බවකි. එහෙත් ඔහුට පෙර භවයෙන් ලද දැනුමකින් එය සිදුකරන ලද බැව් ඔහු විසින් පිළිගනු ලැබීය. ඔහු තුළ තිබූ අශ්වාරෝහක දක්ෂතාව පිළිබඳව ගලේන්ද මවිතයට පත්වූයේ කිසිදු අධ්‍යයනයක් හෝ පුරුදු වීමකින් තොරව අශ්වරෝහකයකු ලෙස කටයුතු කිරීමට තිබු හැකියාව නිසාය.  


කුඩා කල සිට දැනුණු අශ්ව ගඳත් වයස අවුරුදු හතරේ සිට අශ්වයන් පිට උඩයෑමේ හැකියාවත් ඔහුට ලැබුණේ පෙරභවයේ දැනුමකින් බැව්ද ග්ලෙන් විසින් පිළිගනු ලැබීය. පුනර්භවය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතිබූ ග්ලේන් තම සිදුවීම නිසා තදින්ම පුනර්භවය විශ්වාස කරන පුද්ගලයෙකු බවට පත්විය.  


තම අත්දැකීම් පුනර්භවයේ ප්‍රබල සාක්කි ලෙස ග්ලේන් විසින් ද පිළිගනු ලැබූ අතර ඔහුගේ කතා පුවත පුනර්භව පර්යේෂණ අතරට එක්වී ඇත. තමාට කව්බෝයි චිත්‍රපට වල රඟපෑමේදී ඉතා වේගවත් ලෙස අශ්වයන් පිට යෑමේ හැකියාව ලැබුණේ පෙර භවයේ දැනුම නිසා බැව්ද ඔහු විසින් ද ප්‍රකාශ කරනු ලැබීය.  


ග්ලෙන් ෆෝඩ් පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණ පුනර්භවයේ ප්‍රබල සාක්කියක් බවට පත්කරමින් 1969 වසරේදී FATE සඟරාව මගින්ද පර්​ෙ‌ය්ෂණ ලිපියක් පළ කෙරිණ.  


(GLENN FORD THE TIMELESS HORSEMAN - WHILE RELIVING PREVIOUS LIVES IN HYPNOTIC TRANCE MOVIE ACTOR FORD TRACES AGELONG LOVE AND RAPPORT WITH HORSES) යනුවෙන් එහි සඳහන් කර තිබේ. 1916 මැයි 1 වැනිදා උපත ලැබූ ග්​ලේන් ෆෝඩ් 2006 වසරේ අගෝස්තු 30 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය. ඒ වනවිට ඔහු අනූවන වියේ පසුවිය.   

 

 


තිස්ස ජයවර්ධන