අපමණ බාධක මැද ක්‍රිස්තු චරිතය සිනමා පටය හැදූ හැටි


සලරුවක කතාව

ක්‍රිස්තු චරිතයේ රඟපා මළත් කමක් නෑ - විජය එකල කීවා   

 

 

 

“මීට වසර දෙදහසකට පමණ පෙරාතුව ඒ උත්තරීතර තැනැත්තා මෙලොව පහළ වූයේ ය. එතුමා පහළ වූ ඒ කුරිරු කාල වකවානුව වූ කලී නොදහම දහම කොට ගෙන, අවනීතිය නීතිය කොට ගෙන, අසත්‍ය සත්‍යය කොට ගෙන, රාජ්‍ය පාලනය කෙරුනු යුගයක් විය. පූජක පෙළ ආගමේ නාමයෙන් ජනයා පෙළුෑහ.   


උන්වහන්සේ මෙලොව පහළ වූයේ පාලකයන් සහ පූජකයන් විසින් වපුරන ලද එම අවිද්‍යාන්ධකාරයෙන් ජනයා ගලවා ගැනීම පිණිස ය. මේ වනාහී එම උත්තරීතර තැනැත්තා පිළිබඳ කථාන්තරය යි. මෙකී පූජනීය කථාන්තරය ඇරඹෙන්නේ රෝම අධිරාජ්‍යයේ පලස්තීන දේශයේ උන්වහන්සේගේ මවුපියන් විසූ නාසරෙත් ග්‍රාමයෙනි”   
මහාචාර්ය සුනිල් ආරියරත්න එම චිත්‍රපට තිරනාටකය රචනය කළේ 1981 ඔක්තෝබර් මාසයේය. චිත්‍රපටය ආරම්භ වන්නේ ඉහත කී කථනයෙනි.   


චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේ ය.   


රෝම අධිරාජ්‍යයේ, පලස්තීන දේශයේ, නාසරෙත් නම් ග්‍රාමයෙහි ජුසේ සහ මරියා නමින් දෙදෙනෙක් ජීවත් වූහ. මරියා 12 වැනි වියෙහි දී දෙවියන් ඉදිරියෙහි පොරොන්දු වී තිබුණේ කන්‍යාවක ලෙස ජීවත්වීමට ය. එහෙත් ජුසේ ඇයට ආලය කළේය. ඇය සමඟ විවාහ ගිවිස ගත්තේය. ඔව්හු ශුද්ධවන්ත පවුලක් ලෙස ජීවත් වූ අතර ස්ප්‍රිතු සාන්තු වහන්සේගේ ආශිර්වාදයෙන් ඇය ගැබ් ගත්තාය. ඔවුන්ට නාසරෙත් ගම අතහැර බෙත්ලෙහෙම් පුරයට යන්නට සිදුවෙන්නේ රාජ නියෝග අනුව දාවිත් රාජවංශයට අයත් අයට උරුම බෙත්ලෙහෙම නිසා ය. ඔවුන්ට නාසරෙත්හි වසන්නට අයිතියක් නැත. දරු ගැබක් දරාගෙන මරියා, ජුසේ සමඟ මහ මඟට බසී. කිසිවෙකුගේ පිළිසරණක් නැතිව මහත් වූ වෙහෙසින් ගමන් කරමින් සිටින ඇයට විළිරුදා දැනේ. ඔවුහු ගෙන්ගෙට ගොස් එදා රැය ගත කරන්නට අවසර ඉල්ලා සිටිති. සියල්ලෝ ඔවුන් පලවා හරිති. අවසානයේදී එක් ස්ත්‍රියක් එදා රැය ගත කිරීමට ඔවුන්ට සිය ගව මඩුවේ ඉඩකඩ සලසා​ දෙයි. සීතල දුරුතු රාත්‍රියේ ජේසු බිළිඳා ගම මඩුවේ මෙලොව එළිය දකී. ඒ සැණින් අහසේ අමුතු තාරකාවන් දිළිහෙන්නට පටන් ගනී.   


ඔටුවන් පිට නැගී කාන්තාරයෙහි ගමන් කරමින් සිටි ශාස්ත්‍රවන්තයන් තිදෙනෙක් ඒ තරුව හඳුනා ගනිති. එයින් විශ්වයේ ගැලවුම්කාරයාණන් මෙලොව පහළ වූ බව ප්‍රත්‍යක්‍ෂ කරගත් ඔව්හු සිය ගමන් නවතා ඒ තාරකා දෙස බලාගෙන ජේසු බිළිඳා සොයා ගෙන ගොස් එතුමාට වැඳ නමස්කාර කරති. බෙත්ලෙහම පාලනය කරන්නාවූ හොරෝද් රජු එම තාරකාව දැකීමෙන් තැති ගනී. ඊට හේතුව යුදෙව්වන්ගේ රජු මෙලොව පහළ වූ බව ඒ තරුවෙන් කියැවෙන්නේ යැයි අනාගත වක්තෘන් ප්‍රකාශ කිරීම යි. ඒ යුදෙව් දරුවා හඳුනා ගත නොහැකි නිසා බෙත්ලෙහෙම් පුරයේ සියලු බිලිඳුන් සමූල ඝාතනය කරන ලෙස ඔහු අණ දෙයි. මේ ආරංචිය ලද සැණින් මාපියෝ ජේසු බිළිඳා සමඟ මිසරයට පලා යති. තරුණ ජේසු මා පියන්ගෙන් වෙන්ව පුරා තිස් වසකට ආසන්න කාලයක් අප්‍රකට ව ජීවත් වෙයි. අනතුරුව ඔහු සමාජගත වෙන්නේ ජේසු ස්වාමි දරුවන් ලෙස විප්ලවීය දහමක් දේශනා කරමිනි. ශ්‍රාවකයන් 12 දෙනකු සමඟ ගමින් ගමට යමින් අයුක්තියට, අසාධාරණයට, අධර්මයට එරෙහි ව එතුමා පවත්වන දේශනා නිසා පූජකවරුන්ගේ නාමයෙන් පෙනී සිටින දුර්ජනයෝ ද අසාධාරණ බදු අය කරමින් ජනයා පෙළන පාලකයෝ ද කිපෙති. ඔවුන් අමූලික අසත්‍ය චෝදනා එල්ල කරමින් ජේසු තුමා අත්අඩංගුවට ගනිති. උන්වහන්සේට එරෙහිව ජනතාව පෙළ ගන්වති. 

 
ජේසුතුමා පිලාත්ගේ අධිකරණය වෙත කැඳවනු ලැබේ. ජේසුතුමා නිවැරැදි බව දැන දැනත් මහජන උද්ඝෝෂණ සහ කූට පූජකවරුන්ගේ බලපෑම් නිසා පිලාත්ට සිදුවන්නේ ඔහු කුරුසියට තබා ඇණ ගසන ලෙස තීන්දු කිරීමටයි. ඒ අනුව කසෙන් තලා, කටු ඔටුණු පළඳා තමන් ඇණ ගැසීමට නියමිත කුරුසිය තමන්ගේ කර මතින් ම ගෙන කල්වාරි කන්දට යන ජේසුතුමන් කුරුසියට තබා අණ ගසා මරා දමති. තෙදිනකින් උන්වහන්සේ මරණයෙන් උත්ථානය වී ජනයා ඉදිරියෙහි දර්ශනය වෙත්.   


‘‘ක්‍රිස්තු චරිතය’’ චිත්‍රපටය බිහිවීමේ කතාව ද රසවත් එකකි. ඒ කතාව මුලින්ම කියා සිටියේ චිත්‍රපටයේ නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු ය.   


‘‘ලයනල් අපි ෆිල්ම් එකක් කරමු ද?’’ දවසක් විජය කුමාරතුංග මගෙන් දිනක් ඇසුවා.   


‘‘හා... කරමු’’ මම ගත් කටට ම කිව්වා.   


‘‘කතාව දයා රාජපක්‍ෂගේ ‘‘අනුපමා’’ චිත්‍ර කතාව චිත්‍රපටයක් කරන්න සුනිල් ආරියරත්නට බාර දෙමුද?’’   


මම ‘‘අනූපමා’’ නිෂ්පාදනය කළා. ඒක සාර්ථකයි. මේ කියන සිද්ධිය වුණේ ‘‘අනුපමා’’ කරලා අවුරුදු හයක් විතර ගියාට පස්සේ. දිනක් අහම්බෙන් වගේ මට සුනිල් ආරියරත්න හම්බ වුණා හැඳල විජය චිත්‍රාගාරයේ දී.   


‘‘සුනිල් අපි තව ෆිල්ම් එකක් කරමුද? කාලයක ඉඳලා මගේ හිතේ තියෙනව ක්‍රිස්තුස් වහන්සේ ගැන චිත්‍රපටයක් කරන්න. අමාරු වැඩක් තමයි. අපි උත්සාහයක් කරමු ද?’’ මම ඇහැව්වා. 

 
‘‘ඒකට නම් අත තියන්න එපා ලයනල්. කතෝලික සභාව නම් ඕකට අවසර දෙන එකක් නැහැ.’’   

 

 


සුනිල්ගේ කීමෙන් මම ​අධෛර්ය වුණේ නැහැ. දවසක් වෙන වුවමනාවකට විජය මට ටෙලිෆෝනයෙන් කතා කළා.   


‘‘විජය, මම හිතලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන ෆිල්ම් එකක් කරන්න.’’   


‘‘ලොකු වැඩක්, ලයනල්. අපි කරමු.’’   


‘‘ක්‍රිස්තු චරිතය’’ ආරම්භ වී ඇත්තේ මේ ආකාරයටය.   


වර්ෂ 1981 දී ‘‘ක්‍රිස්තු චරිතය චිත්‍රපටයෙහි රූප ගත කිරීම් ආරම්භ කළ තැන් පටන් ඊට එරෙහිව නැඟුණු උද්ඝෝෂණවල කෙළවරක් ​නොවූ බව අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න කීවේය.   


‘‘ක්‍රිස්තුන්ගේ භූමිකාව නිරූපණය කිරීම සඳහා විජය කුමාරතුංග තෝරා ගැනීම ​බො​ෙහා් දෙනාගේ කතාබහට ලක් වුණා. විජයගේ නළු වෘත්තිය නොව දේශපාලන චරිතය මෙකී විවාදවලට බො​හෝ සෙයින් හේතුවක් වුණා. මුල සිටම නැඟුණු උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් 1982 ජූලි මාසයේ ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලය මඟින් පූජකවරුන් සිවු දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත්කළා. මේ කමිටුවට ඉදිරිපත් කළ කොන්දේසි අතර ‘‘ප්‍රධාන චරිත රඟපෑම සඳහා අපකීර්තියට පත් විය හැකි නළු නිළියන් ​ෙතා්රා නොගැනීම’’ ද තිබුණා. ‘‘විජය කුමාරතුංගගේ සිරුර ක්‍රිස්තු චරිතයට නොගැලපෙතියි’’ කියා ද ‘‘විජය පෙනී සිටීම නිසා ක්‍රිස්තු චරිතය අපකීර්තියට ලක් වෙතියි තවත් පාඨකයෙක්ද ‘‘දවස’’ හා ‘‘ඥානාර්ථ ප්‍රදීපය’’ පත්‍රවල ලියා තිබුණා. මේ අතර චිත්‍රපටය පටන් ගත්තාට පසු චිත්‍රපටය නතර කරන ලෙස නියෝග කෙරුණු තර්ජනාත්මක ලිපිද, නැක්සලයිටිකාරයකු ලෙස සැක කරනු ලැබූ විජය කුමාරතුංග එවක පැවති රජය විසින් රිමාන්ඩ් භාරයට ගැනීමද රූපවාහිනියෙන් ඔහුගේ රුව පෙන්වීමද ගුවන් විදුලියෙන් ඔහුගේ හඬ හා නම ප්‍රචාරය කිරීම සපුරා තහනම් කිරීමද සිදුව තිබුණා. චිත්‍රපටයෙහි ප්‍රධාන නළුවා පිළිබඳ මෙසේ අවුලෙන් අවුලට පත්වෙද්දී රාජගුරු මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු සාමාජිකයෝ ඉල්ලා අස්වුණා. හලාවත පදවියේ කතෝලික ධර්මෝපදේශයේ සිංහල අංශය එවකට ජනාධිපතිතුමන් වෙත සන්දේශයක් ඉදිරිපත් කරමින් ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ වැඩ කටයුතු වහා නතර කරවන ලෙසට ඉල්ලීමක් කළා. මේ සියලු කාරණාවල අවසාන ප්‍රතිඵලය වූයේ 1983 මාර්තු 23 වැනිදා ‘‘ක්‍රිස්තු චරිතය’’ නිෂ්පාදනය කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කරනු ලැබීමයි. එකී තීරණය රජයේ ගුවන්විදුලි හා රූපවාහිනිය මගින් ප්‍රකාශයට පත් කිරීම නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු ද නතර කර දැමුවා. සිංහල චිත්‍රපටයක් නිෂ්පාදන අවස්ථාවේදී තහනම් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය කියලා මම හිතනවා.’’   


‘‘ක්‍රිස්තු චරිතය’’ චිත්‍රපටයට කැබිනට් මණ්ඩලයේ තහනම් නියෝගයට එරෙහිව සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් ප්‍රබල හඬක් නැංවීය. අර්නස්ට් පෝරුතොට පියනමගේ දායකත්වය විශේෂය. මේ අතර කැබිනට් ප්‍රකාශකයා කියා සිටියේ කැබිනට් මණ්ඩලය ක්‍රිස්තු චරිතය තහනම් කිරීමේ තීරණයක් නො ගත් බවයි. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී සිය පෞද්ගලික මතය ප්‍රකාශ කළ බවත් එය කැබිනට් තීරණයක් නොවන බවත් එකී ප්‍රකාශනයෙහි සඳහන් විය.’’  


‘‘ක්‍රිස්තු චරිතය’’ ආරම්භ කළ අවස්ථාවේ විජය කුමාරතුංග, නිෂ්පාදක ඇලරික් ලයනල්ට කියා ඇත්තේ ‘‘ක්‍රිස්තු චරිතය’’ රඟපාල මළත් කමක් නැහැ’’ කියා ය.   


විජය මේ චිත්‍රපටයේ රඟපාන විට හිතන්න බැරි දේවල් සිදුවී ඇත. ඒ දැඩි නියඟයක් අපේ රටේ පැවති යුගයකි. වතුර සිඳී ඇළ, දොළ, ගංගා සිඳී තිබුණි. විජයට එදා රඟපෑමට තිබුණේ ක්‍රිස්තුන් වහන්සේට ඇණ ගසනු ලැබූ දර්ශනයකි. ‘‘පියාණනි ඔබ වහන්සේගේ හස්තයට මම භාර වෙමි’’ විජය කීවේය.   


‘‘එදා තමයි රාත්‍රිය. විජය රඟ පෑ ක්‍රිස්තු තුමා මියයන ​​මොහොත. මේ දර්ශනය සඳහා කෘත්‍රිම වැස්ස වස්සන්න ගිනි නිවන හමුදාවක් ඇවිත් තිබුණා. හිටපු ගමන් විදුලි ​කොටමින් මහා වැස්සක් ඇද හැලුණා. එය ප්‍රාතිහාර්යයක් වගේ මට දැනුණේ’’ ඇලරික් ලයනල් පැවසුවේය.   


විජය ක්‍රිස්තු චරිතය වෙනුවෙන් අසීමිත ලෙස කැපවීම් කළේය. කන්ද උඩ දේශනාව තම අත් අකුරෙන් ලියාගෙන කටපාඩම් කර ගෙන රඟ පෑවේය. ඔහුගේම අත් අකුරින් ලියා ගත් කඩදාසිය මේ ලිපිය සමඟ පළවේ. එය ඇරඹෙන්නේ මෙසේ ය.   


‘‘ඔබ ලෝකයෙහි ආලෝකයයි! කඳු මුදුනක පිහිටි රෑ මුළුල්ලෙහි බබලන ආලෝකමත් නගරය ඔබයි. නො සඟවන්න ඔබේ ආලෝකය. දැල්වූ පහනක් කාටත් එළිය ලැබෙන සේ උඩකින් තබනු විනා සඟවා තබන්නේ නැති බව සිහි කරන්න...’’  


විජය ක්‍රිස්තු චරිතයට ආවේශ වෙමින් කියූ ඇතැම් වදන් අධ්‍යක්‍ෂ සුනිල් ආරියරත්නගේ දෙසවන් තුළ දෝංකාර දුන් බව අපට පැවසුවේය.   


‘‘ඇසට ඇසකින් ද දතට දතකින් ද වන්දි ගෙවිය යුතු බව පවසා ඇතත් මා ඔබට කියන්නේ එක කම්මුලකට ගැසුවහොත් අනෙක් කම්මුලත් හරවන ලෙසටයි. මිතුරාට පමණක් නොව සතුරාට ද ප්‍රේම කරන ලෙසයි.’’  


‘‘ඇලරික් ලයනල්ගේ යෝජනාවක් අනුව ‘‘ක්‍රිස්තු චරිතය’’ චිත්‍රපටයෙහි තිර නාටකය ලිවීම ආරම්භ කළේ 1980 දී පමණ. ​ෙ​බාහෝ කලක් බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලත් පරිචය නිසාත් ඒ පරිචය වෙනත් තිර නාටක රචකයකුගෙන් බලාපොරොත්තුවීම අසාධාරණ යැයි සිතුණු නිසා දීර්ඝ හා දැවැන්ත සිද්ධි මාලාවකින් අපේ සම්පත් අනුව රූපගත කළ හැකි දේ තෝරා බේරා ගත යුතුවූ නිසාත් එම කාරිය මම භාර ගතිමි. ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය නිරූපණය කිරීම සඳහා නන්නාඳුනන පුද්ගලයකු යෙදිය යුතු යන්න ආරම්භයේදී මගේ පෞද්ගලික මතය වුවත් සාකච්ඡා වාර කිහිපයකින් පසුව ඒ සඳහා ප්‍රවීණ නළුවකු යෙදීමේ අවශ්‍යතාව මතු වුණා. මේ සඳහා ලයනල්ගේ ළඟම මිතුරාත්, ප්‍රියතම නළුවාත්, සුහදතම සහෝදරයාත් ඇතැම් විට කිට්ටුම ඥාතියාත් වූ විජය කුමාරතුංග ගේ නම ඔහු විසින් යෝජනා කළා.’’ මහාචාර්ය ආරියරත්න කීය.   


‘‘ක්‍රිස්තු චරිතය’’ 1982 මැද භාගයේ හැඳල විජය චිත්‍රාගාරයේ දී ආරම්භ විය. ඒ චිත්‍රාගාරය අද නැත. විජය අද නැත. මරිය මවුතුමියගේ චරිතය රඟ පෑ නතාලි ඈන් ග්‍රීට් (චිත්‍රපට නළු ක්‍රීස් ග්‍රීට් ගේ දියණිය) රට හැර ගොසිනි. විජය චිත්‍රාගාරයේ එදා පසුතල ඉදි කළ ඩැනිස්ටර් පෙ​ෙර්රා හා ලයනල් සිල්වා මිය පර​ලොව ගොසිනි. දයානන්ද ජයවර්ධන (පළමුවැනි හෙරෝද්), බැස්ටිස්ට් ප්‍රනාන්දු (අන්නස්), රෝයි ද සිල්වා (කයපස්), මර්වින් ජයතුංග (දෙවැනි හෙරෝද්), විජය නන්දසිරි (ශතාධිපතියා), වින්සන්ට් වාස් (වන්දනා නඩයේ නායකයා), ප්‍රේමසිරි කේමදාස (සංගීත අධ්‍යක්‍ෂ), ශේෂා පලිහක්කාර (වේශ නිරූපණ ශිල්පී), ගාමිණී ජයමාන්න (සංස්කරණ සහාය) මර්වින් බේන්ස් (නාද ශික්ෂණය) ආදීන් මියගොස් ය. කාලය කොතරම් අකාරුණිකද? යි අධ්‍යක්‍ෂවරයා පවසා තිබුණි.   


‘‘අර්නස්ට් පෝරුතොට පියතුමා ඇතුළු පියනම කිහිප පොළක් චිත්‍රපටයටත් විජයටත් පක්‍ෂව සටන් කිරීම නිසා චිත්‍රපටය නැවත ආරම්භ කිරීමට අවස්ථාව සලසා දුන්නා.   


ශ්‍රී පුවත්පත් විජයට පක්‍ෂව පුළුල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනගියා. ක්‍රිස්තු චරිතය යහපත් චරිතයක් ඇත්තෙකු විසින් නිරූපණය කළ යුතුය යන්නෙහි අන්‍යාලාපය වූයේ විජය අයහපත් චරිත ඇත්තකු ය යන්නයි. මේ මිහිතලය මත වසන මිනිසුන්ගෙන් වඩාත් යහපත් චරිත ඇත්තා කවරෙක්ද? කවර ආගමක කවර පූජකවරයකු අතරින් හෝ නිර්මල මිනිසකු සොයා ගත හැකිද? අවසානයේ බැලූ කල (ක්‍රිස්තුන් වහන්සේ පැවසූ පරිදි) සෑම මිනිසකු ම තම ඇසේ ලී පතුරක් තිබිය දී අනෙක් මිනිසාගේ ඇසෙහි ඇති ලී කුඩ ගැන වෙහෙසෙන්නෙකි. තමා දහසක් පවුකාරකම් කරමින් අනෙක් පුද්ගලයාට ‘‘පවුකාරයා’’ යැයි නිග්‍රහ කොට ගල් මුල් ගසන්නෙකි. ‘නිදොස් කෙනෙක් මෙ දියත උපදිනේ නැත’ ඒ පැරණි කාව්‍යක්කාරයන් දුටු දහමයි.’’ මේ සුනිල් ආරියරත්නයන් (1988) විජයගේ අභාවය නිමිත්තෙන් කී අදහස් ය.   


විජය ‘‘ක්‍රිස්තු චරිතය’’ රඟ පෑමේ දී කළ කැපවීම, දුෂ්කරතා අපි දැක ඇත්තෙමු. වෙස් ගැන්වීම්වලින් පසු ඔහුට ආහාර ගැනීම අපහසු විය. ඒ හැම අවස්ථාවකම දියර ආහාරයකින් යැපුණේය. අධ්‍යක්‍ෂවරයා අපට පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනය පිළිබඳ දර්ශනයේ හා කුරුසියේ තබා ඇණ ගැනීමේ දර්ශන පෙළ සිහිවෙන විට දැඩි වේදනාවක් තම සිතට දැනුන බවය. විජය ක්‍රිස්තු වහන්සේගේ චරිතයට ආරූඪ වී සිය ශ්‍රාවකයන් 12 දෙනා පිරිවරාගෙන පැවසූ වදන් හදවත කීරි ගන්වමින් දෝංකාරය දුන් බවය. කඳානේ ඉදි කළ සුවිසාල පසුතලයක විජය කුරුසියට තබා ඇණ ගැසූ දින තමාට අමතක නොවන බව ඔහු විස්තර කළේ මෙසේය.  


‘‘විජය කුරුසියට නංවා ඇණ ගැසූ දින රූප ගත කිරීම් නරඹන්නට ආ දහසක් දෙනා අඬා වැටුණා. ඉන් වසරකට පමණ පසු විජය කුමාරතුංග නමැති පුද්ගලයා අකල් මරණයකට ගොදුරුවෙන බව ඔවුන් දැන සිටියා නම් ඒ කඳුළු උල්පත් නොනවතින ජල ධාරාවක් බවට පත්වෙන්නට නොතිබුණිද? ක්‍රිස්තුස් භද්‍ර යෞවනය නොඉක්මවූ සමයක දී ඝාතනය කරන්නට යෙදුණි. විජය ද භද්‍ර යෞවනය ​නොඉක්මවා සිටියදී ඝාතනයට ලක්විය. විජය චිත්‍රපටයෙන් දකින්නට ලැබුණේ ඔහුගේ හඬ සහිත රූප පද්ධතිය පමණයි. ඒවා ද හරි හැටි සංස්කරණය වී තිබුණේ නෑ’’   


සුනිල් ආරියරත්නයන් කිතු බැති ගී පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණයක් (කැරොල්, පසම්, කන්තාරු) කරගෙන යන බව ඇසූ විජය, ​ෙගාන්සාල්වේස් ප්‍රබන්ධවලට සමාන ගී පබැඳුම් කිහිපයක් චිත්‍රපයට සම්බන්ධ කිරීම ගැන කතා කරමින් එය තේමා ගීතයක ස්වරූපයෙන් ගත යුතු බවත්, නන්දාමාලිනී විසින් එය ගායනා කළ යුතු බවත් විජයගේ තිබූ ඒ අදහස ‘‘සරසවිය’’ පුවත්පතට ලියන ලෙස අපට කියා තිබුණා. එසේ ගායනා කරන්ට සිටි ඇතැම් ප්‍රබන්ධයක් මාස කිහිපයකට පසු තමන්ට ආරෝපණය කර ගයන්නට සිදුවෙතියි විජය නොසිතන්නට ඇතැයි සුනිල් ආරියරත්නයන් කීවේය. ඒ ගී ඛණ්ඩය මෙසේය.   


සුර ​ෙලාවිනේ බැස මෙදිනේ  
මවු කුසිනේ බිහි වෙමිනේ   
කුඩු දෙතනේ කිරි බොමිනේ   
මිණි ලෙසිනේ වැඩුණු තැනේ
දිලෙන රනේ රුව ලෙසිනේ  
මල් උයනේ සිටිය දිනේ   
මෙම මරණේ ඔබට වුණේ   
කිමද අනේ සුර රජුනේ   


මෙරට චිත්‍රපට කර්මාන්තය තුළ (1990) ක්‍රිස්තු චරිතය විශාල ධනස්කන්දයක් වැය කළ යෝධ චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය. ලෝකයේ සෙසු රටවල නිෂ්පාදිත චිත්‍රපට හා සසඳන විට අඩුම මුදලක් වැය කළ නිෂ්පාදනය වන ‘‘ක්‍රිස්තු චරිතය’’ චිත්‍රපටයට වැය කළ දළ සේයා පට ප්‍රමාණය අඩි 33,000 ක් පමණක් බවත් චිත්‍රපටයේ දිග අඩි 13,000 ක් පමණක් බව අධ්‍යක්‍ෂවරයා පවසයි.   


අප ඉහතින් සඳහන් කළ අද ජීවතුන් අතර නැති නළු නිළියන්ට අමතරව ප්‍රසන්න වික්‍රමසිංහ (ජෝසෆ්), හයිසින්ත් විජේරත්න (ආනා), සමන්ති ලැනරෝල් (බෙත්ලෙහෙම් ස්ත්‍රිය), තිස්ස විජේසුරේන්ද්‍ර (සිමියොන් නම් මහල්ලා), සොමී රත්නායක (ස්නාවක ස්වාමි), සතිස්චන්ද්‍ර එදිරිසිංහ (පේදුරු), ලක්‍ෂමන් මල්ලවාරච්චි (තෝමස්), නීල් අලස් (ජුදාස්), සුමනා අමරසිංහ (හෙරෝදියස්), සුමනා ගෝමස් (සැලෝමි), මැණික් කුරුකුලසූරිය (මග්දලාවේ මරියා), විශාඛා සිරිවර්ධන (මාර්තා), නිමල් පල්ලෙවත්ත, ටයිටස් පෙරේරා (සිසිර කුමාරසිංහ (හේවායෝ), රෙක්ස් කොඩිප්පිලි (පිලාත්), රෝසි රාමනායක (පිලාත්ගේ බිරිඳ), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (නිකදෙවුමස්), ආතර් ගුණවර්ධන (කිරේනියේ සිමොන්), ඉනෝකා අමරසේන (වෙරෝනිකා), විල්සන් කරුණාරත්න (වම් පාර්ශ්වයේ සොරා), රන්ජන් ග්‍රයිනර් (දකුණු පාර්ශ්වයේ සොරා), ආනන්ද වික්‍රමගේ (අරමාතියේ ජොසප්) රඟපෑහ. රවීන්ද්‍ර රන්දෙණිය, නිහාල් ජයවර්ධන, නිහාල් සිල්වා, සන්ධ්‍යා රඹුක්කනගේ, රංජිත් පෙරේරා පසුබිම් හඬ දී ඇත.   


ඩොනල්ඩ් කරුණාරත්න මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයාය.   


ක්‍රිස්තු චරිතය චිත්‍රපටය 1990 ඔක්තෝබර් 09 වෙනිදා තිරගත විය. ශුද්ධ වූ බයිබලයට හා සාම්ප්‍රදායික මති මතාන්තරවලට අනුගතව ක්‍රිස්තු චරිතය සිනමාවට නැඟුණු අවස්ථා විරල බව මහාචාර්ය ආරියරත්නයෝ පවසති. Golgotha (1935), Maria Magdalena (1946), He Who Must Die (1957), The Greatest Story Ever Told (1965), The Sin of Jesus ඇතුළු අවශේෂ බොහෝ සිනමා කෘති ගත් කල ද මේ තත්ත්වයෙහි වෙනසක් නොපෙනේ යයි පවසන ඔහු මින් එළිදරව් වෙන ඉතා වැදගත් කරුණක් අනාවරණය කරයි. එනම් ක්‍රිස්තුස් වහන්සේ වැනි ආගම් කර්තෘවරයකු සම්බන්ධයෙන් කරන නිර්මාණයක දී වුව නිර්මාණකරුවා විසින් භුක්ති විඳිනු ලබන නිදහස කෙතරම් පුළුල් පරාසයක පැතිර ඇත් ද යන්න ය. අප රටෙහි මෙම තත්ත්වය මෙසේ පැවතිණි ද? සැබවින්ම නැත යයි ඔහු කියයි.  


බෞද්ධයකු විසින් නිර්මාණය කළ ප්‍රථම ක්‍රිස්තු චරිතය ලෙස මේ චිත්‍රපටය ඉතිහාස ගත වෙනු ඇති.   

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්