58 වසරේ රට හෙල්ලූ හමුදා වෙඩි තැබීම


 

 

  • 1958 ජුනි 22 වෙනිදා ගන්දර අර්ලිස් පොලිස් වෙඩි පහරින් මිය යයි  
  • පීටර් කේනමන් අගමැති බණ්ඩාරනායකගෙන් ප්‍රශ්න කරයි  
  • අපි අත්අඩංගුවට ගත් අය ගැන අග්‍රාණ්ඩුකාරවරයාටවත් උත්තර බඳින්නේ නැතැයි ඒ.එස්.පී. කියයි
  • පදවියේ තරුණයන්ගේ මළ කඳන් නගරයට ගෙනවිත් මිනිසුන් අවදිකර පෙන්නයි
  • හමුදා අණට අකීකරු වූ තරුණයන් 11 ක් හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය යති 

 

 

ගන්දර බටහිර පදිංචි ඒ.ජී. අර්ලිස් සිල්වා මහතාගේ මරණය ගැන මැද කොළඹ පළමු වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් කේනමන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කොට ඇත. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර තිබුණේ අර්ලිස් සිල්වාගේ ගෙදර පිපිරෙන බෝම්බ ඇති බව දැන පරික්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් ගොස් ඇති බවය. පොලිස් කණ්ඩායම අර්ලිස් සිල්වාට කතා කළ විට ඔහු පිස්තෝලයක් රැගෙන ඉදිරියට ආවෙන් පොලිස් නිලධාරියෙකු ආත්මාරක්ෂාව සඳහා ඔහු එතැනම වෙඩි තබා මැරූ බව අගමැතිතුමා පවසා ඇත.  


1958 ජුනි මස 22 වැනිදා රාත්‍රියේ ගන්දර අර්ලිස් සිල්වා පොලිස් වෙඩි පහරකින් මියයාම රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස ඉතිහාසසට එක්වී තිබුණි.  


ගන්දර අර්ලිස් සිල්වාට පොලිසිය වෙඩි තැබුවේ මොකද? යන ශීර්ෂය සහිත 1958 ක් වූ ඔක්තෝබර් 12 වෙනි ඉරිදා සිළුමිණ පුවත්පත හදිසි නීතිය යටතේ තහනම් කර තිබුණි. මෙසේ 1958 ඔක්තෝබර් 19 වෙනිදා සිළුමිණ තහනමට හසුවූ පත්‍රයකි. එහි ශීර්ෂ පාඨය මෙයයි.  


පදවියේ තරුණයින්ට වෙඩි තැබීමේ සිද්ධිය  


මේ පුවත වාර්තා කර තිබුණේ අනුරාධපුර වාර්තාකරු වූ ඒ.එම්. හෙට්ටිආරච්චිය.  


අපි දැන් මුලින් සඳහන් කළ ගන්දර පුවත වෙත යොමුවෙමු.  


මේ සිද්ධි දෙකටම පොලිස් නීතියත්, යුද්ධ නීතියත් රජවූ කාලසීමාව තුළදී පොලීසිය විසින් සිදුකළැයි කියන අපරාධ ගැන විභාග කළ යුතු යයි එකල ජාතික පුවත්පත් ලියා තිබුණි. ගන්දර පිළිබඳව අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක මහතාද පොලිස් ක්‍රියා ගැන සෝදිසි කළ යුතු බව අගමැති බණ්ඩාරනායක මහතාට දන්වා තිබූ අතර ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු සෑහෙන ගණනක්ද එවැනි කොමිසමක් අවශ්‍ය බවද එක හෙළා පිළිගත් බව පුත්පත්වල සඳහන් වී තිබුණි.  


ගන්දර සිද්ධිය ගැන ගන්දර විශේෂ වාර්තාකරු එය ලියා තිබුණේ අසරණ මවක් සහ අහිංසක දරුවන් හත්දෙනෙක් 1958 ජුනි 22 වැනිදා රාත්‍රියේ සිට ගෙදර මූලිකයා එනම් ඒ මවගේ ස්වාමිපුරුෂයා සහ ඒ දරුවන්ගේ දයාබර පියා නැති ශෝකයෙන් තැවෙන බවය. ඔහු පොලිස් වෙඩි පහරක් කා මියගිය බව නම් දැන් හෙළිවී තිබෙන බවත්, ඔහුට වෙඩි තබා මරණ ලද්දේ කුමන වරදක් නිසාද? කොතනකදීද? යන්න ඔවුන්ට ප්‍රහේළිකාවක් බවද ඒ වාර්තාවේ පළවී තිබුණි.  


අර්ලිස් සිල්වා ගන්දර සිට ත්‍රිකුණාමලයට කුලී මෝටර් රියක් පදවා ජීවත්වූ කෙනෙකු බවත් ඔහුගේ බිරිඳ ඒ.ඩබ්ලිව්.කේ. පියසීලි මහත්මිය මාතර රෝහණ විද්‍යාලයේ ගුරුවරියක් බවත් ඇයට දරුවන් හත්දෙනෙකු සිටින බවත් ඔවුන්ගේ ඡායාරූප සමග සිළුමිණ පුවත්පත සඳහන්කර තිබිණි. එහි මෙසේද සඳහන්ව තිබුණි.  


ගුරුවරියකට ලැබෙන සුළු පඩියෙන් ගෙවල් කුලියත් ගෙවාගෙන දරු හත්දෙනෙකු රැකබලාගෙන ජීවත්වීම ඉතා අපහසු බව දැන් ඒ පවුල දෙස බැලූ බැල්මටම පෙනී යයි. ඔවුන්ගේ මළානික මුහුණු සහ ඉරුණු රෙදි කැබලි සිතට උනවන්නේ මහත් සංවේගයකි. පියා මියගිය පසු උපන් සුධර්මා පියසීලි නමැති එක්මස් බිලිඳු දැරිය පමණක් මෙලොව ගැන කිසිවක් නොදැන මිහිරි සිහින ලෝකයක සිනාසෙන්නීය. අද තාත්තාට සිදුවූ දෙය දැනගැනීමට තව කොපමණ කල් ගත වෙයිද?  


සිව් හැවිරිදි සුජාතා ළදැරිය කියන්නේ තාත්තා තවම ගෙදර ආවේ නැති බව පමණකි. ඈ අම්මා සමග පාසලට ගොස් එන අතරමග මාතර පොලීසිය දුටු විට තාත්තා ඉන්නේ මෙහේ දැයි පොලීසියට අත දික්කර ප්‍රශ්න කරන්නීය.  


මෙහිදී අර්ලිස්ගේ බිරිඳ තිස් හැවිරිදි ඒ.ඩබ්ලිව්.කේ. පියසීලි මහත්මිය වාර්තාකරුට මෙසේ පවසා තිබුණි.  


1958 ජුනි 22 වැනිදා රෑ 10ට හෝ 10.15 ට පමණ කවුදෝ ඇවිත් අර්ලිස්, අර්ලිස් කියා කතා කළා. මගේ අම්මා දොර ඇරියා. ඒ වන විට මගේ ස්වාමිපුරුෂයා නිදාගෙන හිටියෙ. ත්‍රිකුණාමලෙන් ගෙනා බඩු තිබෙනවාද? කියා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගේ ඇතුළට ගියා. ඒ අය ගේ සෝදිසි කර කිසිවක් නොමැති නිසා යන්නට යන ගමන් අර්ලිස් යමු පොලිසියට ගිහින් එන්න යයි කීවා.  


මගේ ස්වාමිපුරුෂයා ඔවුන් සමග දොරට බැස්සා. ඔහුගේ බැනියමවත් නොතිබුණ නිසා ඇයි ඔහොම දැයි යන්නේ කියා මම බැනියම ගෙනත් දුන්නා. රෑ ඔහු ගෙදර ආවේ නැති නිසා මම පාන්දර සහෝදරයන්ට කීවා. ඔවුන් මට පාසලට යන්න අපි ඒ ගැන සොයා බලන්නම් කීවා. දවල් ආරංචි වුණා මගේ ස්වාමිපුරුෂයා ගන්දර පොලීසියේවත් මාතර පොලීසියේවත් නැති බව. ඒ ගමන දික්වැල්ල පොලීසියට ගියා. එහෙත් නැහැ. ඊළඟට මාතර උසාවියටත්, හිර ගෙදරටත් ගියා. ඒවායේත් ඔහු නැහැ. සවස ගන්දර පොලීසියට ගියාම කීවා රාජකාරියට ආවේ ඒ පොලීසියෙන් නොවන බව.  

 

වෙඩි නොවැදී බේරුණ පිරිස  

 


පියසීලි මහත්මිය ජුනි 24 වෙනිදා සහකාර පොලිස් අධිකාරි හමුවීමට ගොස් තිබුණාය.  


අපි ඇවිත් තමයි තමුන්ගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත්තේ. වෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැහැ. වෙන එකක් තබා අග්‍රාණ්ඩුකාරතුමාටවත් අපි උත්තර බඳින්නේ නැහැ. ඒ.එස්.පී. සැරෙන් ඇයට කියා තිබුණි.  


පියසීලි මහත්මිය මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ මහානාම සමරවීර මහතාටත්, හක්මන පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ කර්නල් සී.ඒ. ධර්මපාල මහතාටත් පැමිණිලි කළාය. අන්තිමට අකුරැස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතාටත් ඇය පැමිණි කර ඇත්තේ ලොකු විශ්වාසයකින් බව පවසා තිබුණාය.  


මගේ ස්වාමිපුරුෂයා කොහේ හෝ රිමාන්ඩ් කර ඇති බව මට ලොකු විශ්වාසයක් තිබුණා. ගෙදරදී නම් ඔහුට වෙඩි තිබ්බේ නෑ. ඔහු පිස්තෝලයක් අරන් පොලිසියේ මහත්වරුන් ඉදිරියට ගියේ නෑ. දැන් දැන් ආරංචි වෙනවා මගේ ස්වාමිපුරුෂයාට මගදී ගුටිබැට දී වෙඩි තැබූ බව.  


අසල්වැසියකු වන 24 හැවිරිදි සීතා ආරියවතී හෙට්ටිහේවා මහත්මිය ප්‍රකාශයක් කරමින් පොලිස් රථයේ අර්ලිස් ගෙන ගිය බවත්, හැට හය හැවිරිදි අර්ලිස් සිල්වා මහතාගේ මව වන ඇම්.පී. සෝමාවතී මහත්මිය පවසා තිබුණේ ගෙට ඇතුළු වී ගේ පරික්ෂා කර අර්ලිස් පොලිසියට ගෙන ගිය බවය.  


මැරුම්කෑමට මේ අහිංසකයන් කළ වරද කුමක්ද? මැරුම්කෑමට ඔවුන් වෙත නගා තිබෙන චෝදනා මොනවාදැයි ජාතික පුවත්පත් මතුකර පෙන්වා තිබුණි. 


පදවියේ තරුණයින්ට වෙඩි තැබීම....


තහනම් කළ 1958 ඔක්තෝබර් 19 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතේ මෙසේ සඳහන්ව තිබුණි.  


අණට කීකරු වූ තරුණයින් 11 දෙනෙක් 1958 මැයි මස 29 වැනිදා සවස අනුරාධපුරයේ පදවියේ පරණ හල්මිල්ලෑවට හැරෙන හන්දිය අසල මහදිවුල්වැව පාරේ 4/7 දරන බෝක්කුවට නොදුරුව පාර අයිනේ ගලක් උඩදී යුද හමුදාවේ වෙඩි පහරින් මිය ගියහ. පදවියේ පදිංචිව සිටි මේ සිංහල තරුණයින් එකොළොස් දෙනා හැර වෙඩි කාගෙන අසළ වනයට වැදුණ තවත් සිංහලයින් මිය යන්නට ඇතැයි කල්පනා කරනු ලැබේ. තුවාල ලත් අයද විශාල සංඛ්‍යාවකි. මේ වෙඩි තැබීම මුළු රජරටම කම්පා කරමින් එපෙදෙස රැව්පිළිරැව් දෙයි.  


මේ තරුණයින්ට වෙඩි තබා ඇත්තේ කුමටද?  


මේ තරුණයන්ට වෙඩි තබා ඇත්තේ ඔවුන් අණට කීකරු වූ පසුව ඔවුන් ළඟ තිබුණ ආයුධ පොලීසියට සහ යුද්ධ හමුදාවට ගත් පසුවය. නිරායුධ අණට අවනත මිනිසුන්ට මැෂින් තුවක්කුවලින් වෙඩි තබන ලදැයි රජරට වැසියෝ කුපිතව සිටියහ. වෙඩි තැබීමෙන් පසුව මියගියවුන්ගේ මළකඳන් ඔවුන්ගේ කණ්ඩායමේ සිටි සහෝදරයින් ලවාම ඔසවා ලොරිවලට දමා ඒ අයද මළකුණු උඩ නංවාගෙන ලොරි අනුරාධපුර නගරයට පදවා වෙළෙඳපොළේ නිදා සිටියවුන් අවදිකර ඔවුන්ට ද සරුප බසින් බැණ වැදී බලපියව් තොපේ වීරයන්ගේ මළ කඳන් යයි තර්ජන කරමින් එක්තරා නිලධාරියෙක් බණ්ඩාරනායක ආණ්ඩුවට ද නොහොබිනා වචනයෙන් බැණ වැදුණැයි අනුරාධපුර නගර වැසියෝ දැනුත් කෝපයෙන් සිටින්නාහ යිය අනුරාධපුර සිළුමිණ වාර්තාකරු වන ඒ.එම්. හෙට්ටිආරච්චි කියා තිබුණි. තවදුරටත් ඔහු මෙසේ කියා තිබුණි.  


තොපේ ආණ්ඩුව - තොපි තමයි බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් කළේ. මෙන්න තොපේ වීරයෝ. තොපිට කරන්නෙත් මේක තමයි කියමින් ඒ නිලධාරියා තර්ජනය කළ බවද ඇසූ දුටු අය කියා ඇත.  


වාර්තාකරු පදවියට ගොස් වෙඩි කෑ කිහිපදෙනකු ගැන පොළොන්නරුවේ ගම්කාර්ය සභාපති ඒ. සූරියආරච්චි, දොළුවීරගොල්ලෑවේ රෙජිස්ත්‍රාර් කේ. උක්කුරාළ, අනුරාධපුර ප්‍රසිද්ධ වෙළෙඳසලක වෙළෙන්දෙකු වන ජී.පී.වී.ඒ.ඩී. ද සිල්වා ජී.ඒ. ප්‍රේමරත්න යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා තිබුණි. වෙඩි කෑ තිස්නව හැවිරිදි විජේසුන්දර මහතා ඒ භයානක සිද්ධිය මෙසේ විස්තර කර තිබුණි.  


වව්නියාව ප්‍රදේශයේ සිංහලයන්ට අඩන්තේට්ටම් කරන බව අසා අපි උදේ වව්නියාවට ගියා. වව්නියාවේ පොලිස් ඉන්ස්පැක්ටර් සොයිසා මහතා කිව්වා කිසි කලබලයක් නෑ කියලා. එම නිසා අපි මැදවච්චි පාරේ පදවියට යන්න පිටත්වුණා. මැදවච්චියෙන් හරවලා එනවිට කැඹිලිතිගොල්ල, මැදවච්චිය පාරේ මහදිවුල්වැවේදී පොලිස් නිලධාරියෙකුයි කොස්තාපල්වරු හතරදෙනෙකුයි අපේ ලොරි නතර කළා. අපිව ලොරිවලින් බැස්සෙව්වා. ළඟම මිල්ටරි ජීප් එකක් එන බවද කීවා.  


විනාඩි 10 යකින් පමණ මිල්ටරි ජීප් එක ආවා. ඉන්පසු අපිව සෝදිසි කරල කිව්ව පාර අයිනේ තිබෙන ගල්පොත්තට නගින්න කියා. අපි නැග්ගා. පස්සේ පොලිස් නිලධාරියයි, මිල්ටරියේ නිලධාරී අපිට ගැහැව්වා. ඊළඟ උසස් නිලධාරියයි, මිල්ටරි සාජන්ට් මේජර් කෙනෙකුයි කීවා තොපිට දැනුත් ගහනවා කාගෙන හිටපියව් කියලා. අපිට බැටන් පොලු වලිනුයි කෙටේරි මිටි වලිනුයි ගැහැව්වා. ඊළඟට උසස් නිලධාරියෙක් අපිට ගහමින් කිව්වා දුවපියව් පාරට කියා. අපි දිව්වා. ඒ එක්කම ඔහු නියම කළා වෙඩි තියන්න. යුද්ධ භටයෝ වෙඩි තියන්නේ තුන් පාරක් කීවට පස්සෙ.  


වෙඩි තියන කොටම අපි පාරේ බුදියගත්තා. එකොළොස් දෙනෙක් මළා. සමහරු වෙඩි කාගෙන කැලේට දිව්වා. ඊට පස්සේ අපට අපි පාරේ බුදිය ගෙන ඉන්න කොට අපේ ඇඟ උඩින් යන ගමන් අපට බයිනෙත්තු මිටිවලින් ගැහැව්වා. ඊට පස්සේ අපට කතා කරල තොපි දහය දහය පෙළ ගස්වා වෙඩි තියන්න වරෙල්ලා කීවා.  

 

අපට අයෙක් ගසා අප ලවාම තුවාල ලත් අය ඔසොවලා ලොරිවලට දැම්මෙව්වා. ඊට උඩින් මළ කඳන් ඔසවලා දැම්මෙව්වා.   


තුවාලකාරයෝ යටින් මළ කඳන් ඔවුන් උඩ. ඊට උඩින් අපිව පැටෙව්වා. අපි ගියේ මළ කඳන් උඩින්. මැදවච්චිය පාරේ අනුරාධපුරයට යන තෙක්ම අපි ගියේ අත් ඔසවාගෙන. අපට එහෙම කරන්න නියම කළා. ඒ අතරතුර අප අතේ තිබුණ මුදු අත්ඔර්ලෝසු ආදිය ගලවා ගත්තා. අපේ මුදල් ගත්තා. ලොරිවලදිත් අපිට ගැහැව්වා.  


රෑ හතට විතර අපිව අනුරාධපුරේ මාර්කට් එක ළඟට ගෙන ගියා. උසස් නිලධාරියා මාර්කට් එකේ මිනිසුන්ට කතා කළා.  


බලපියව් මුන් කීවා.  


බලන්න ආපු නැති අයට ගසා ඇදගෙන අවුත් බලපියව් කියා මළකඳන් පෙන්නුවා.  
අපිට කිව්වා උඹලා මරන්න පවර් හවුස් එකේ කරන්ට් වැඩිවෙනකන් ඉන්නෙ කියලා.  


එතැනින් අපිව අලුත් ටවුමට ගෙන ගියා. එහිදී වසා තිබූ කඩවල අයත් අවදි කරවා වරෙව් තොපේ චණ්ඩි පෙන්වන්න කියා මළ කඳන් පෙන්නුවා.  
ඒ උසස් නිලධාරියා රේඩියෝ කඩයකින් බලෙන් ලව්ඩ්ස්පීකර් එකක් හයි කරවා කතා කළා.  


බලපියව් තොපේ සිංහල වීරයෝ බල්ලන් වගේ මරාදමා තිබෙන හැටි.  


ඒ කතාවට මට හිනාගියා. හිනාවෙන කොට එක් භටයෙක් මගේ ඔළුවට ගැහැව්ව පාරට ඔළුව පැලුණා. (ඔහු වාර්තාකරුට තුවාලය පෙන්වා ඇත) ඊට පස්සේ අපිව හිර ගෙදරට ගෙන ගියා. මළ කඳන් ටික සොහොනට ගෙන ගොස් පැට්රෝල් දමා ගිනි තිබ්බලු.  


වාර්තාකරුට තවත් කුරිරු කතා පදවියේ සේවය කළ මාකොළ ඇන්.පී. පින්තු, වේයන්ගොඩ විජේසුන්දර, කුඩා වැල්ලවත සිරිසේන මුතුමාල, කළුතර එච්.ඩී. කරුණාරත්න, බලන්ගොඩ පී.ජී. පියදාස, පැල්මඩුල්ලේ ආර්. පියදාස සහ මහනුවර ටී.එච්. ජිනදාස විසින් කියා තිබුණි.  


වෙඩිකා මියගියවුන් අතර යක්කල ගුණවර්ධන, බලන්ගොඩ පේදිරික් සිල්වා, ගඩලාදෙණියේ පුංචප්පු, ජී.ඒ. ප්‍රේමරත්න ද වෙති.  


උසස් නිලධාරියෙක් පොළොන්නරුවේ මිනිසුන් වෙඩි කා මැරී වැටෙන විට ප්‍රීතියෙන් සිනාසුණා යැයි පොළොන්නරුවේ ප්‍රැන්සිස් අප්පු කියා තිබුණ අතර ඒ නිලධාරියාම පොළොන්නරුවේ ගම්කාර්ය සභාපති ඒ. සූරියාරච්චි මහතා වාර්තාකරුට මෙසේ කියා තිබුණි.  


ඔහු මට පොළොන්නරුවේ තානායමට එන්න කියා පණිවුඩයක් එව්වා. මම ගියාම මට බැණ වැදී බුද්ධාගමේ වැඩ දියුණු කරන්න හදනව? මම නං කරන්නේ පොළොන්නරුවේ ක්‍රිස්තියානි ආගම දියුණු කරන එක.  


මට රෑ සාකච්ඡාවක් තියෙනවා. නමුත් ඒකට එන්න ඕනෑ කියලා කියන කොට මම ඔර්ලෝසුව බැලුවා. වේලාව දහයට දහයයි.  


මම දැන් ගෙදර යන්න ඕනෑ. දැන් ඇඳිරි නීතිය.  


ඒවා අපි බලාගන්නම්. අපි ගෙදරට ගිහිං බස්සන්නම්.  


මම හිටියේ නැහැ. ඉක්මනට ගෙදර ආවා. මට සැක හිතුණා. පසුව මට ආරංචි වුණා එදා රෑ මාව මරන්න හිටි බව. ඊට පස්සේ දවසක මට අනුරාධපුරයට එන්න කියලා පණිවුඩයක් ලැබුණා. මම ගියාම මාව හිර භාරයට ගත්තා. මාව හිරබාරයට ගත්තේ මොන හේතුව නිසාද කියලා මම තවමත් දන්නේ නෑ.  


අනුරාධපුර වාර්තාකරු ඒ.එම්. හෙට්ටිඅාරච්චි ලියූ එදා සිළුමිණ තහනම් කළ පත්‍රයේ මේ වාර්තාව තුළ රාජ්‍ය බලය පසෙක දා භීෂණය, අත්තනෝමතික පාලනය, ඒකාධිපතිත්වයට, අමානුෂිකකම, දයා විරහිත බව එක් යුගයක් ගැන මොනවට පිළිබිඹු වෙයි.  

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත් 



Recommended Articles