හින්දි චිත්‍රපටයක් කොපිකර ලංකාවේ නැගලා ගිය ‘සුජාතා’​


සලරුවක කතාව
 
සුජාතා උඩරට තරුණියකි. දෙමාපියන් නැති ඇය ජීවත් වෙන්නේ තම දෑස මෙන් සුරකින නැඟනිය වූ ප්‍රේමා සමඟය. මිය යන මොහොතේ තම මව සුජාතාට කළ ඉල්ලීම අනුව ප්‍රේමාගේ ඉගෙනීම නතර නොකිරීමට ඇය සිතා ගත්තාය. ප්‍රේමා ඉගෙනීමට විශිෂ්ට දස්කම් දක්වා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය. නැඟනියගේ ඉගෙනීම සඳහා මුදල් සෙවීම සුජාතාට අභියෝගයක් විය. ගෙදරක මෙහෙකාරියක වී එයින් ලැබෙන වැටුපෙන් ප්‍රේමාගේ ඉගෙනීමේ කටයුතුවලට වියදම් කිරීමට සුජාතා සිතා ගත්තා.
  
පොහොසත් වලව්වක රත්නසේකර මැතිනිය යටතේ සුජාතා සේවයට බැඳුණි. අක්කා නංගීට දැක් වූ ආදරයක මහත. සුජාතාට මේ වලව්වේ නින්දා අපහාස හා අතවර අපමණය.  මේ හැම දෙයක්ම තම සොහොයුරිය වෙනුවෙන් ඇය දරා ගත්තාය. දුප්පත් මෙහෙකාරියක් වූ සුජාතා සතු වස්තුව වූයේ ඇගේ සිත් පැහැර ගන්නා ගති ගුණ හා දේහ ලක්ෂණයයි. රත්නසේකර මැතිණියගේ පුතා නිහාල් රස හඳුනන්නෙකි. ‘‘සුජාතා ලස්සනයි, සුජාතා අහිංසකයි’’ යන මන්ත්‍රය ජප කළ නිහාල් සුජාතාට ආදරය කරන්නට නැහැ ආලය කරන්නට පටන් ගත්තේය. ඔහුගේ නිහතමානි ගති ලක්ෂණ නිසා සුජාතා ද ඔහුට පෙම් කළාය.  
 
‘‘පොහොසත් පවුලක උපන්නත් නිහාල් නිහතමානී තරුණයෙක්. එයා හරි ලස්සනයි’’ සුජාතා සිතුවාය. උදේ සිට සවස්වෙන තුරු කුස්සියේ වැඩ කොට, කටුක අත්දැකීමක් ලැබූ සුජාතා සැනසුනේ නිහාල්ගේ ප්‍රේමය පිළිබඳ සිහින මවමිනි.  
 
විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලබන ප්‍රේමා කෙළි ලොල් ජීවිතයකට අවතීර්ණ වෙමින් තමා වෙනුවෙන් දහඩිය හෙළන අක්කාව අමතක කළාය. විකී නම් සල්ලාල තරුණයාගේ දැලට හසු වූ ප්‍රේමාට දැන් එදිනෙදා ජීවිතය ප්‍රේම තොටිල්ලකි. විකී සමඟ කාර් එකෙත් මුහුදු වෙරළට ගොස් ඇය කෙටි ඇඳුමකින් සැරසී විනෝද වෙයි.  
 
“පෙම් රැල්ල නගී ගල් තැල්ලෙ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ   
 
පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටී පෙන්වයි ආලේ මහිමේ’’  
 
ආලයෙන් උමතු වූ ප්‍රේමාට හා විකීට ප්‍රේමි ගීත ගයනවාට වඩා මෙලෝ සිහියක් නැත.  
 
මේ අතර නිහාල්ගේ හා සුජාතාගේ ප්‍රේම සම්බන්ධය රත්නසේකර මැතිනියට ඉව වැටෙයි. මේ නිසා සුජාතාව ඇය පිටමං කළාය. නිහාල් වෛද්‍ය විද්‍යාලයෙන් සමත්ව දොස්තරවරයකු ලෙස දුප්පතුන්ට සේවය කිරීම සඳහා සුජාතා ද රැගෙන යාමට සැළසුම් කොට තිබුණි. මේ සැළස්මට අනුගත වීමට අවකාශ නොලැබුණු සුජාතාට තවත් අකර තැබ්බකට මුහුණ දෙන්නට සිදුවිය. තම ආදරණීය නැගනිය දරු ගැබක් සහිතව සුජාතා සොයා ගෙදර පැමිණියාය. නිහාල් සමඟ පිටිසර රෝහලකට යාමට තිබූ අවස්ථාව සුජාතාට මේ නිසා වැළකී ගියේය. ප්‍රේමා වෙනුවෙන් කැප වූ සුජාතා කටුක ජීවිතයක් ගත කළ අතර ප්‍රේම වියෝවේ ගින්නෙන් ද ඉරි තැලී ගියාය.  
 
“ප්‍රේමා ලෝකය නිවී ගියා  
ඔබ රූපය මාහද තියා ගියා  
වැටුණ මලක් එම අත්තෙහි හා වෙද  
ආලය ඒ ලෙස කැඩී ගියා”  
සුජාතා එනතුරු බලා සිටි දොස්තර නිහාල් ප්‍රේම වියෝවෙන් පසු විය.  
“මංගල පෝරුව කැඩී ගියා  
පෙම් මඟුල් බෙරේ හඬ නැතිව ගියා  
අමතක කර මා අත හැර ලන්නකො  
කඳුළු බිබී අද සැනසෙමි මා”  
 
සුජාතාත්, ප්‍රේමාත්, ඇයට හා විකීට ද‌ාව උපන් දරුවා ද බලා කියා​ෙගන කැලණියේ නිවසක වෙසෙති. නිහාල් හැම තැනකම සුජාතා සොයා මේ නිවසට එයි. ඔහුට දරුවකුගේ හඬ ඇසෙයි.  
 
‘දරුවා කාගෙද සුජාතා’’  
‘මගේ’ යයි සුජාතා කියන්නීය.  
 
නිහාල් පුදුමයට පත්වෙයි. ඔහු සුජාතා වෙතින් ඈත් වෙන්නේ වසූරිය රෝගියකු දුටු කලෙක මෙනි.  
 
නිහාල්ගේ සොහොයුරිය වූ ලීනාට විකී විසින් කරන විවාහ යෝජනාව ස්ථිර වෙයි. ප්‍රේමා අනාථ කළ විකී සොයා එන සුජාතාට නිහාල්ගෙන් ලැබෙන්නේ ආ​ෙක්‍රා්ෂ පරිභවය. සුජාතා ආපසු හැරෙද්දි ඇයට කපටි විකී පෙනෙයි. විකී බොරු උපාසකයකු වීමට උත්සාහ ගනී. දරුවා වඩා ගත් ප්‍රේමා දැකීමෙන් විකී කලබල වෙයි. ඔහුගේ බොරු වෙස් මුහුණ ගැලවෙයි. මේ සියල්ල නිහාල් බලා සිටී. විකීට ප්‍රේමා හා දරුවා භාර ගන්න සිදු වෙයි. සුජාතාගේ පරිත්‍යාගශීලි බව, අහිංසක විනීත පිවිතුරු චරිතය නිහාල් දැන ගත්තේ මෙවිටය. නිහාල් සුජාතා භාර ගනී.  
 
‘සුජාතා’ චිත්‍රපටය එතෙක් නිපදවා තිබූ අන් චිත්‍රපටවලට වඩා වාණිජ පරමාර්ථයෙන් කළ චිත්‍රපටයකි. 1947 වසරේ ඉන්දියාවෙන් චිත්‍රපට ගෙන්වා චිත්‍රපට ප්‍රදර්ශකයකු හා සිනමා ශාලා හිමියකුව සිටි සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ට මෙවැනි චිත්‍රපටයක් කිරීමේ මූල බීජය දැම්මේ එම සමාගමේ ප්‍රචාරක නිලධාරියා ලෙස සේවය කළ ටී. සෝමසේකරන්ය. සෝමසේකරන්​ෙග් අදහස වූයේ හින්දි චිත්‍රපටයක් අනුකරණය කරමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටය. ඒ සඳහා 1949 ඉන්දියාවේ තිරගත වූ ‘වෙඩි බෙහෙත්’ (Bari Behen) හින්දි චිත්‍රපට අමු අමුවේම කොපි කොට ඇත. ‘වෙඩි බෙහෙත්’ යනු ‘වැඩිමහල් සොහොයුරිය’ බව සිරි කහවලයෝ පවසති. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය රාම් දර්යානි (Ram Daryani) හා ඩී.ඩී. කාශ්‍යප් (D.D. Kashyap) ය. සුරයියා, රෙහෙමන්, උල්ලාස් හා ප්‍රාන් රඟපෑහ. සිංහල චිත්‍රපට කතාවේ දෙබස් ලියූ සිරිල් පී. අබේරත්න මතභේදයක් නිසා ඉවත් වූ පසු දෙබස් රචනය කර ඇත්තේ සිරිසේන විමලවීර හා ආනන්ද සමරකෝන්ය. චිත්‍රපටයේ කතාව ලෙස නාමාවලියේ සඳහන්ව ඇත්තේ සිනමාස් සමාගමේ කතා බැංකුව විසින් ලියන ලද්දක ලෙසය.  
 
‘සුජාතා’ ගැන ඉරිදා ලංකාදීපයට ලිපියක් ලියූ කරුණාසේන ජයලත් කියා තිබුණේ එය සිංහල චිත්‍රපටයක් යැයි කිව හැකි වූයේ සිංහල යැයි කිව හැකි ස්ත්‍රී පුරුෂයන් රඟපෑ නිසාත්, සිංහල කතා කළ නිසාත් පමණක් බවත්ය. ඔහු තවදුරටත් මෙසේ ද කියා ඇත.  
 
‘එහෙත් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, කතා ලතාව, හැසිරීම, ගෙවල් දොරවල් හා බඩු මුට්ටු ආදී සියල්ල නෑකම් කීවේ දකුණු ඉන්දියාවටය. එසේ වුවද ‘සුජාතා’ එතෙක් ප්‍රදර්ශනය වුණු කිසිම චිත්‍රපටයකට වඩා ජනප්‍රිය විය. මෙහි කතාව පොදු ජනයා සසල කරවන අන්දමේ අනුවේදනීය එකකි. කන්කලු තාලත්, සිරිසෙන විමලවීරගේ හා ආනන්ද සමරකෝන්ගේ පදමාලාත් ගායක ගායිකාවන්ගේ නුහුරු උච්චාරණය නිසා ඇතිවුණු කිසියම් විශේෂත්වයක් නිසාත් ‘සුජාතා’ ගීත මිනිස් සිත කුල්මත් කළේය.  
 
 
සුජාතා පෝස්ටරය  
 
බරි බෙහෙන් හින්දි චිත්‍රපටයේ පෝස්ටරයක් 
 
 
 
‘සුජාතා’ නිෂ්පාදක කේ. ගුණරත්නම් අලුත් නළු නිළියන් අවශ්‍ය බව කියැවෙන දැන්වීමක් පළ කරමින් නවක නළු නිළියන්ට ඇරයුම් කළේය. එපමණක් නොව ඔහු දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ටී.ආර්. සුන්දරම්ට සුජාතා මෙහෙයවීමට භාර කළේය. එංගලන්තයේ රෙදි පිළි කර්මාන්තය සහ චිත්‍රපටකරණය ප්‍රගුණ කළ උපාධිධරයකු වූ ඔහු ඉන්දියාවේ සේලම් හි මොඩර්න් චිත්‍රාගාරය පිහිටුවා Uthamaputhiran (1940), Manomani (1943)" Ariam Thalai Vanki Aboorva Chinthamani (1947) Dhikambara Samiyar (1950) Ponmudi ( 1950), Manthiri Kumari (1950) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර දකුණු ඉන්දියාවේ නිෂ්පාදිත 'The Jangle' විදේශීය චිත්‍රපටයේ ද සම නිෂ්පාදකයා විය.  
 
සුන්දරම් ලංකාවට පැමිණ ‘සුජාතා’ හි නවක නළු නිළියන් තෝරා ගත​්තේ චිත්‍රපටයේ නිෂ්පාදන කෘත්‍යාධිකාරි ටී. සෝමසේකරන් සමඟය. සෝමසේකරන් 1953 ජුලි 19 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ ට ‘මා සුජාතා නිපදවීමේ දී විසඳු ගැටලු’ නම් ලිපියේ මෙසේ සඳහන් කර ඇත.  
 
‘චිත්‍රපටි නළු නිළියන් වුවමනා යයි පළ කළ දැන්වීම්වලට අනුව ඉල්ලුම් කොට මගේ කාර්යාලයට ලංකාවේ රැකීරක්ෂා සැපයීමේ දෙවැනි කාර්යාලයක් බවට පත් කළ දහස් ගණන් දෙනා පරීක්ෂා කිරීමෙන් මම තෘප්තිමත් නොවීමි’’  
 
සුජාතාගේ ප්‍රධාන චරිතයට ෆ්ලෝරිඩා ජයලත් තෝරා ගත්තේ අහම්බෙනි. ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ නැටුම් දර්ශනයකට පෙනී සිටි ෆ්ලෝරිඩා ජයලත්, සුජාතාට හොඳ බව සෝමසේකරන්ට කීවේ චිත්‍රපට නළු බර්ට්‍රම් ප්‍රනාන්දුය.   
 
‘‘හොඳ කෙල්ලෙක් ඉන්නවා මහවැව පැත්තේ. එයාගේ අක්කා ජොසෆින් අපි එක්ක මිනර්වා චිත්‍රපටවල රඟපෑවා, අපි ෆ්ලෝරිඩාව ගිහින් බලමු’’ බර්ට්‍රම් කීහ.  
 
ඔවුහු මහවැව බලා පිටත් වූහ. අමුත්තන් පැමිණියේ ෆ්ලෝරිඩා බැලීමට බව ඔවුහු ඇගේ මවට කීහ. ෆ්ලෝරිඩා මෙයින් මවිතයට පත්වූවාය. ඇය එළියට ආවාය. එතන සිටි කෙනෙක් හරිකේන් ලාම්පුවේ එළියෙන් පොල් අතු ගෙදරට පැමිණ එහි එළිය ඇගේ මුහුණට ඇල්ලුවේය.  
 
‘‘ෆෝටෝ ජෙනික් මුහුණක්. මෙයා තමයි සුජාතා’’ සෝමසේකරන් කීවේය.  
 
දොස්තර නිහාල් ලෙස තෝරා ගත්තේ ප්‍රේම් ජයන්තය. ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑ ප්‍රේම් ජයන්ත් (හෙට්ටිආරච්චිගේ එම්මානුවෙල් ඇලෝෂියස් රුද්‍රිගු) ලංකා ගුවන් විදුලියේ පාලිත සමරසිංහට ඒ අවස්ථාව මෙසේ කියා තිබුණි.  
 
‘මේ කාලයේ ආනන්ද සමරකෝන් මහත්තයයි, ඩී.ටී. ප්‍රනාන්දුයි මහත්තයයි මාව හම්බවෙන්න ආවේ සිනමාස් සමාගම ඉන්දියාවෙන් ගෙන්වපු අලුත්ම චිත්‍රපටයක් වූ ‘විලයාට්ටු බොම්බෙයි’’ (සෙල්ලක්කාර බෝනික්කා) චිත්‍රපටයේ දැන්වීම් අන්දවා ගැනීමට (එකල ඔහු චිත්‍රශිල්පියෙකි) මේ මහත්වරු මාව ගුණරත්නම් මහත්තයා ගාවට දවසක් එක්ක ගියා. එදා ගුණරත්නම් මහතා මා දිහා හොඳට බලා ඉඳලා අසළ පුටුවක හිඳ ගෙන හිටිය සිරිසේන විමලවීර මාස්ටර්ට කිව්වා ‘මෙයා කඩවසම් තරුණයෙක්. හොඳ නැද්ද? ‘සුජාතා’ ෆිල්ම් එකේ ලීඩින් රෝල් එකට’’ කියලා මාස්ටර් එක අනුමත කළා. මට දොස්තර නිහාල් වෙන්න පුළුවන් වුණේ ඒ නිසා’’  
චිත්‍රපටයේ ප්‍රේමා​ෙග් චරිතය රඟපෑවේ අයිරින් රීටා කොයින්ස් නොහොත් ශාන්ති ලේඛා. මේ ඇය කියන කතාවය.  
 
‘මම ඩී.ටී. ප්‍රනාන්දුගේ ‘ශාන්ත ප්‍රභා’ නාට්‍යයේ ඩොමී ජයවර්ධන සමඟ රඟපෑවා. මේ හැඳිනීම නිසා 1952 දවසක ඩොමී, ටී.සෝමසේකරන් සමඟ කළුතර අපේ නිවසට ආවා.  
 
‘ඔන්න අපි ආවේ ඔයාව අපි කරන ‘සුජාතා’ චිත්‍රපටයට ගන්න.  
 
මම මවිත වුණා. එතකොට මට වයස අවුරුදු 22 යි. මේ චිත්‍රපටයේ සුජාතාට මුලින් තෝරගෙන හිටියේ අශෝක මාලා ද සිල්වා. ප්‍රේමා කියන මගේ චරිතයට සිරිමතී රසාදරී. පසුව අධ්‍යක්ෂ ටී.ආර්. සුන්දරම් මාවත් ෆ්ලොරිඩාවත් තෝරා ගත්තා. මගේ රඟපෑම ඒ කාලේ විවාදයට ලක් වුණා. මොකද? ලංකාවේ ප්‍රථම වරට නාන ඇඳුමෙන් (Bathing Suite) සැරසී පෙනී සිටි නිළිය මමයි. මේ දර්ශනය ගත්තේ කොටුවේ බ්‍රේක් වෝටර් එක ළඟ. මම ඩොමී එක්ක රඟ පෑවේ මේ ගීතය ගයමින්.  
 
‘ඕ සුමධුර වේ  
සුපිරිසිදු වේ අපෙ ආලේ  
රම්‍ය යෞවන ප්‍රේමේ  
දහ දුක් දීලා මට පිටිපාලා  
නොයන්න මා හැර දා  
ඔබවේ ප්‍රේම රජා’’  
 
මේ ගීතය ගයලා ඉවර වුණා විතරයි ඈත මුහුදු වෙරළේ විකී (ඩොමී ජයවර්ධන) ඉන්න තැනට දුවලා යන්න අධ්‍යක්ෂක සුන්දරම් මට විදානය කළා.  
 
‘ඇක්ෂන්’  
 
මම එක පිම්මට ඈත වෙරළ බලා දුවන විට පය ලෙස්සලා වැටුණා. එතැන තියෙන ගල් පොත්තක හිස වැදිලා ලේ ගලන්න පටන් ගත්තා.  
 
‘ලේ දැකීම සුබ ලකුණක්. මේ චිත්‍රපටය අති සාර්ථක වෙනවා’’ සුන්දරම් කීවා.   
 
මාව හනික ග්‍රෑන්ඩ්පාස් සුලෙයිමාන් පුද්ගලික රෝහලට ගෙන ගියා. ශාන්ති ලේඛා වරක් මට විස්තර කළාය.  
 
ඩොමී ජයවර්ධන සිනමාවට එක්වෙන්නේ ද ‘සුජාතා’ චිත්‍රපටයෙනි. ලුණුවිල පොල් පරීක්ෂණායතනයේ උපදේශක නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි ඩොමී කේ. ගුණරත්නම් ළඟට කැඳවාගෙන ගොස් ‘මෙයා විලන් රෝල් එකට හොඳ යයි’’ හඳුන්වා දුන්නේ සිරිල් ​අබේරත්න. සිරිල් මුලින්ම ‘සුජාතා’ චිත්‍රපටයට හින්දි චිත්‍රපටය ඇසුරෙන් දෙබස් ලිව්වෙ.  
 
‘සුජාතා’ චිත්‍රපටයේ දක්ෂතම නළුවා ලෙස විචාරක ප්‍රසංසාව හිමි වූයේ මුදළිඳුගේ චරිතය රඟ පෑ ඩේවිඩ් ධර්මකීර්තිටය.  
 
ඩේවිඩ් ධර්මකීර්ති සේවය කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ උනන්දුව මත පත්‍ර දැන්වීමක් ඔස්සේ ‘සුජාතා’ චිත්‍රපටයේ පරීක්ෂණයට ගියේය. පරීක්ෂණයට ගිය ඩේවිඩ්ට ලැබුණේ මහල්ලෙකු මෙන් දෙබස් කියන්නය.  
 
‘සුජාතා හැබෑ ද? ප්‍රේමා විභාගයෙන් පාස් කියන්නෙ.  
 
ඩේවිඩ්ගේ රඟපෑමට කැමති වූ ටී. සෝමසේකරන් මුඩ්ලියර්ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලබා දුන්නේය.   
 
මාව ඉන්දියාවට යන්න තෝරා ගත්ත.  
 
‘අයිසේ ඩේවිඩ් තමුසේට මුඩ්ලියර්ගේ චරිතය රඟපාන්න තියෙන්නේ? තමුසේට කීයක් ඕනෑ ද?  
 
‘මට සල්ලි ඕනෑ නෑ සර්. මට රඟපාන්න ඕනෑ.  
 
‘උඹට ආණ්ඩුවේ රස්සාවෙන් කීයක් හම්බ වෙනද?’  
 
‘රුපියල් 300 ක්’’  
 
‘මෙන්න මගේ ගානේ රුපියල් තුන්සිය පනහක්. සන්තෝසෙම. මම උඹට රඟපානවට මාසෙට රු 350 ගණනේ ගෙවනවා. උඹේ සම්පූර්ණ නම මොකක්ද?  
 
‘කේ. ඩේවිඩ්’’  
 
‘නිකම්ම ඩේවිඩ්. ඒක හරියන්නෙ නැහැ. මගේ හොඳම යාළුවෙක් ඉන්නව වයි.එම්.සී.ඒ එකේ ධර්මකීර්ති කියලා. එයාව මතක් වෙන්නත් එක්ක උඹ අද ඉඳලා ඩේවිඩ් ධර්මකීර්ති හොඳ ද?  
 
‘හොඳයි සර්’  
 
ඩේවිඩ් තම රඟපෑමේ අවසන් දර්ශනයට පෙනී සිටියාට පසු ටී. සෝමසේකරන් ඔහුට මෙසේ කීවේය.  
 
‘ඩේවිඩ් මේ චිත්‍රපටය ආපු දවසට උඹ හොඳම නළුවා වෙනවා’’ සෝමසේකරන් ඔහු අතට අත දී සුබ පැතුවේය.  
 
ඩේවිඩ් ‘සුජාතා’ චිත්‍රපටයේ රඟපෑවේ දොස්තර නිහාල්ගේ මාමා කෙනෙකු ලෙසයි. නිහාල් හා සුජාතාගේ සම්බන්ධයට උදව් කළ මේ මුඩ්ලියර් නිහාල් බැලීමට ආ මනමාලියගේ පිරිසට සංග්‍රහ කිරීමට තිබූ සුප් එකට ලුණු දැම්මේ ඔවුන්ට රිදවීමේ අදහසිනි. චිත්‍රපටය තිර ගත වූ විට ඩේවිඩ් පාරේ යන විට සිනමා රසිකයෝ ‘දැම්මා නේද? සුප් එකට ලුණු’’ කියා විහිළු කළ බව ඔහු මට කියා ඇත.  
 
‘සුජාතා’ චිත්‍රපටය තිරගත වූ පසු චිත්‍රපට විචාරක රාජා තිලකරත්න කීවේ ‘ඩේවිඩ් අනාගත දක්ෂ නළුවකු වෙන පෙර නිමිති ‘සුජාතා’ චිත්‍රපටයෙන් පළ කොට ඇති බවය.  
 
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා දක්ෂණ මූර්ති ගෙනි. ඉහත සඳහන් කළ ගීත තුන ඇරෙන්නට ‘මෙන්න මැණිකෝ මෙතෙන ජෝඩුවක් ඉන්නවා විරුදු ගීතයක් ‘ප්‍රේම ගගේ මැණික් වගේ ‘නාරිලතා පුස්පෙකි ස්ත්‍රී’’ ‘‘ගියා තමයි දමා මගේ කටේ පස් ඔයා’’ ගීත ජනප්‍රිය විය. සියලුම ගීත ජනප්‍රිය වූ බවත් ආනන්ද සමරකෝන්ගේ ගේය පද අනුව ඔහුගේම ස්වතන්ත්‍ර තනුවකට දක්ෂිණ මුර්ති සංගීතය සංයෝජනය කළ කේ. රාණි ගැයූ ‘මනරංජන දර්ශනීය ලංකා’ ගීතය ඒ අතර කැපී පෙනෙන බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියයි. සමරකෝන්ගේ මේ ගීතයට ඉහළම ප්‍රතිචාර හිමිවිය.  
 
මේ ගීතය 1956 දිනමිණ පත්‍රය පැවත් වූ පාඨක ඡන්දයක දී ජනප්‍රිය ගීතය ලෙස තේරුණේ එහි ​ෙග්ය පද රචකයා ලෙස (පාඨක ඡන්ද 81,090) ලැබූ ආනන්ද සමරකෝන්ට සීමාසහිත ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් සමාගමෙන් රැන්ඩෝල් කැබිනෙට්ටුවක්ද, ජනප්‍රිය දෙවැනි චිත්‍රපටය ලෙස (පාඨක ඡන්ද 11,243) සුජාතා චිත්‍රපටය උදෙසා සම්මානය කේ. ගුණරත්නම්ට යුනයිටඩ් ඉලෙක්ට්‍රිකල් සමාගමෙන් විදුලි ඉස්තිරික්කයක්ද, ජනප්‍රිය නළුවා ලෙස පාඨක ඡන්ද 90,999 ක් ලබා ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රේම් ජයන්තට රිචඩ් පීරිස් සමාගමෙන් මර්ෆි ගුවන් විදුලි යන්ත්‍රයක් ද, ජනප්‍රිය දෙවැනි නිළිය ලෙස සුජාතා ලෙස රඟපෑ ෆ්ලොරිඩා ජයලත් (පාඨක ඡන්ද 13,616 ලබා) බවුස්ටඩ් සමාගමෙන් ‘බීලිං’ විදුලි බලෙන් කෑම පිසින උඳුනක් හා සර්ධ රත්නවීර මහතාගෙන් කර්ණාභරණ කට්ටලයක් ද හිමිකර ගත්තාය.   
 
සිංහල චිත්‍රපටයක ප්‍රථම පූර්ව ප්‍රචාරක පටයක් (Trailer) නිර්මාණය වූයේ ද ‘සුජාතා’ චිත්‍රපටය වෙනුවෙති. එපමණක් නොව ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රධාන විධායක වූ සෝමසේකරන් ද එක දර්ශනයක පෙනී සිට ඇත. ඒ දොස්තර විජේ ලෙසය. ඔහු කියූ දෙබසකි මේ.  
 
‘අපේ ගෙදරට යෙන්නම් ඕනි ​ෙනනිනම් අම්මා තරා වේවි’’  
 
‘සුජාතා’ චිත්‍රපටයට ප්‍රචාරය ලංකාවේ තිබූ සඟරා, පුවත්පත් වලින් ලබා ගැනීමට සෝමසේකරන් සූරයෙක් විය. ආනන්ද තිස්ස ද අල්විස් සංස්කරණය කළ ‘දින දින’ සඟරාවේ සරත් සිරි කුමාර ලවා ඡායාරූප සහිත විශේෂ අතිරේකයක් පළකර ගත් ඔහු වැසී යාමට ඔන්න මෙන්න තිබිය දී රොබට් ජයවර්ධන සංස්කරණය කළ ‘සිනමා’ පුවත්පත පවත්වාගෙන යාමට මුදල් දී ‘සුජාතා’ ට පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීමට ඔහු සමත් විය. ඉරිදා ලංකාදීපයෙන් ‘සුජාතා’ අගය කොට එහි නියෝජ්‍ය කර්තෘ ධර්මසිරි ජයකොඩි හා ‘ජනතා’ පත්‍රයේ උප කතුවර රාජා තිලකරත්න ද ඉතා හොඳ චිත්‍රපටයක් ලෙස ‘සුජාතා’ හුවා දක්වා තිබුණි. ප්‍රවීණ කලාකරු ජේ.ඩී.ඒ පෙරේරා ඉංග්‍රීසි පත්‍රයකට ලියා තිබුණේ Sugatha is the finest sinhalese Film I have ever seen'' කියාය.   
 
චිත්‍රපට නළු බර්ට්‍රම් ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ රඟපෑම සඳහා කෑම බීම ඉඳුම් හිටුම් සහිතව රු: 5000 ක් ලැබූ බව ‘ලංකාදීපය’ කළ ප්‍රකාශයට ‘කැලෑ හඳ’ නිපද වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න කියා තිබුණේ ප්‍රදර්ශන සමාගමක් නිපද වූ ‘සුජාතා’ චිත්‍රපටයෙන් 100% ආදායම ඔවුන්ට ලැබෙන නිසා මෙසේ නළු නිළියන් සඳහා ඉහළ ගෙවීමක් කළ හැකි තමා වැනි ස්වාධීන නිෂ්පාදකයකුට ලැබෙන්නේ ප්‍රදර්ශන සමාගමෙන් 40% බවය.  
 
‘සුජාතා’ වෙනුවෙන් අපූරු සිනමා සිහිවටනයක් මුද්‍රණය කොට තිබුණ අතර වර්ණ පින්තූර සමග සිංදු සිංහලෙන් මෙහි තිබුණත් අනික් පිටු ඉංග්‍රීසියෙන් පළ කර තිබුණි. චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වගේ සේලම් හී මොඩර්න් තියටස් චිත්‍රාගාරයේ රූප ගත කෙරුණ අතර ලංකාවේ කොළඹ, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, බෙන්තොට, කතරගම යන නගරවල දර්ශන ගැනීමට අධ්‍යක්ෂ සුන්දරම් ඇතුළු කණ්ඩායමක් කැමරා 3 ක්ද සහිතව ලංකාවට පැමිණි බව ‘සුජාතා සමරු සංග්‍රහයේ පළ වී තිබුණි. දළදා මාළිගාව හා රුවන්වැලි සෑය අසළ කළ රූපගත කිරීම් බැලීමට අති මහත් ජනකායක් රැස් කෑ බවද එහි සඳහන් විය. ‘සුජාතා’ චිත්‍රපටය තිස්ස නාගොඩවිතාන සිනමාහල් කීහිපයක තිරගත කිරීමට සූදානම්ව සිටි. මෙය පැරණි චිත්‍රපට නැරඹීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වනු ඇත.  
 
කොළඹ සැෆයර්, ගාමිණී, කිංස්ලි, නඩරාජා (මීගමුව) වෙම්ලි (මහනුවර) ඡායා (කෑගල්ල) ඇතුළු සිනමාශාලාවල 1953 ජුනි 26 සිට තිරගත වූ අතර මංගල දර්ශනය පවත්වා ඇත්තේ වැල්ලවත්තේ සැෆයර් සිනමා ශාලාවේදීය. දර්ශනය අවසානයේ ගල්කිස්සේ මහ හෝටලයේ විශේෂ සාදයක් පවත්වා ඇත. මේ සාදයට සහභාගි වූ රුක්මණිදේවි, ෆ්ලෝරිඩා ජයලත් හා ශාන්තිලේඛා සිනාමුසුව පිළිසඳරේ යෙදී සිටින ඡායාරූපයක් 1953 ජුනි 28 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ පළ කොට තිබුණි. මේ ලංකාදීප පත්‍රයේ පළ වී තිබූ ‘සුජාතා’ වෙළෙඳ දැන්වීමකි.  
 
‘වනචර ගෑනි... යක්ෂණී... මායාකාරි’  
 
මෙය අහිංසක ප්ලෝරිඩා වෙත ප්‍රේම් ජයන්තගේ ඉවසුම් නැති හද තුළින් නික්මෙන වාග් ප්‍රහාරය.  
 
‘සුජාතා’  
 
අති ශ්‍රේෂ්ඨ සිංහල චිත්‍රපටිය සෑම ලාංකීකයකුම දැන් මෙය නැරඹීමට සුදානම්ව සිටී.  
 
සුජාතා චිත්‍රපට ගැන කවියෙන් ලියූ කොබ්බෑවල රණසිංහගේ ‘නිළිය’ කවි සඟරාවේ එක් කවියකි මේ.  
 
 
සිහල සිනමා රිදී තිරයෙහි නවෝදාවක පළමු පියවර  
 
මහා ආඩම්බරයකින් මෙන් පෙරට තැබූ හැටි අගය කරකර  
 
කලා ඇස හුරු පුරුදු දසුනට ඇතත් සිතිවිලි පොකුණ තවදුර  
 
‘සුජාතා’ වෙන් නැලවුනෙමි හින්දියෙන් ‘බාරි බෙහෙන්’ සිහිකර  
 
 
 
 
 
ඒ.ඩී. රන්ජිත් කුමාර   
 
ඡායාරෑප පිටපත් කිරීම - ලාල් සෙනරත්