සිරුරෙන් පිටත සිට තමාගේම මරණාසන්න මොහොත දුටු මිනිස්සු


නොපෙනෙන ලෝකය

 

 

මෙතෙක් පවතින තත්ත්වය නම් විද්‍යාව සහ දර්ශනවාදය එකිනෙකට සම්බන්ධතාවක් නැති ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකීමයි. විද්‍යාව භෞතිකවාදය මත ගොඩනැගී ඇති අතර, දර්ශනවාදය විඤ්ඤාණවාදය වැනි මනෝමූල මතිමතාන්තර මත ගොඩනැගී ඇත.

එහෙත් මෑතක සිට විද්‍යාඥයන් දර්ශනවාදය තුළ සාකච්ඡා වන මරණින් මතු ජීවිතය මෙන්ම විඤ්ඤාණය වැනි ප්‍රපංජයන් ගැන උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි. ඇත්ත වශයෙන් මරණින් මතු ජීවිතය ගැන නම් ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලය උනන්දුව දැක්වීමට පටන්ගෙන දැනට පනස් වසරක් පමණ වේ. එහි සේවය කළ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් පුනරුත්පත්තිය ගැන කළ පර්​ෙ‌ය්ෂණ ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.


වර්ජිනියා විශ්වවිද්‍යාලය මරණාසන්න අත්දැකීම් (NDE - Near Death Experiences) ගැන 2017 පෙබරවාරි 22 දින සම්මන්ත්‍රණයක් පැවැත්වූයේය. (එම සම්මන්ත්‍රණයේ සෑම ඉදිරිපත් කිරීමක්ම You Tube එකට පිවිස Vergina University Seminar on Life After Death ලෙස ටයිප් කර බැලීමට පුළුවන) සාමාන්‍යයෙන් විද්‍යාවට අනුව මරණයත් සමඟ මොළයේ ක්‍රියාකාරිත්වය ඇනහිටින අතර ඉන්පසු මරණයට පත්වූ කෙනෙකුට කිසිවක් දැනෙන්නේ ඇසෙන්නට හෝ වෙනයම් සංජානනයක් ලැබීමට හැකියාවක් නොමැත.


එහෙත් ඉහත කී පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ NDE අත්දැකීම ලද අය ප්‍රකාශ කළ පරිදි එම අවස්ථාවේදී තම මනස ඉතා වේගවත් ලෙස මෙන්ම වෙන කිසිදා නොවූ අයුරින් පැහැදිලිව ක්‍රියාත්මක වූ බවයි. උදාහරණයක් ලෙස ඔවුන් කියා සිටියේ එම සීමිත කාලය තුළදී තම ජීවිත කාලයේ අත්දැකීම් තමාට දිස් වූයේ චිත්‍රපටයක් ලෙසය. මේ අවස්ථාවේදී මට මතක් වන්නේ මීට දශක ගණනාවකට පෙර මාගේ මිතරකු පැවැසූ දෙයකි. එනම් මහවැලි ගඟේ දිය නෑමට ගිය විටක හදිසියේ ඔහු දියේ ගිලෙමින් පැවතුණ අවස්ථාවක එයින් බේරීමට තැත් කරන අතර තුර තම ජීවිත කාලයේ අත්දැකීම් තමාට ඒ සුළු කාලය තුළදී පෙනී ගිය බවයි.


මෙයින් පෙනීයන්නේ මනස අකර්මණ්‍ය වීමක්ද? හදිසි හදවත් අකර්මන්‍ය වීමක් නිසා කෙනෙකුගේ මොළයට ලැබෙන ලේ ප්‍රමාණය අඩු වුවත් එසේ මනස පෙරටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න NDE පර්​ෙ‌ය්ෂකයන් නගන පැනයකි. ජීවිතයේ ලද දිගු අත්දැකීම් චිත්‍රපටයක් මෙන් සුළු කාලයක් තුළ දැකීම කාලය සහ අවකාශය පිළිබඳ විශ්මයජනක අත්දැකීමක් නොවන්නේද? අප විසින් නිර්මාණය කරගත් තත්ත්පර, මිනිත්තු පැය ආදී කාලයන් විශ්වයට අදාළ නොවන බවක් එයින් ගම්‍ය නොවන්නේද? ඇල්බට් අයින්ස්ටයින් පවා කාලය පිළිබඳ එවැනි අදහසක් දක්වා තිබේ.


ඉහත කී සම්මන්ත්‍රණයේදී මෙම අත්දැකීම් සම්බන්ධයෙන් තිබෙන ගැටලු නැත්නම් චෝදනා ගැන පර්​ෙ‌ය්ෂණ කර ඇත. එක් චෝදනාවක් වූයේ මරණාසන්න අත්දැකීම් ගැන කරන ප්‍රකාශ සිද්ධියෙන් පසු කරන දේ වීමයි. එම නිසා එම ප්‍රකාශ කෙතරම් දුරට නිවැරදි විය හැකිද යන්න බොහෝ අය ප්‍රශ්න කරති.


මෙම කරුණට අදාළව පර්​ෙ‌ය්ෂකයෝ විමසා බැලීම් සිදු කළහ. එහිදී ඔවුන් කළේ අවුරුදු 20ට පෙර මෙම ප්‍රකාශ කළ අය සොයා ගොස් ඔවුන්ගෙන් නැවත ඒ ගැන විමසීමයි. එම ප්‍රකාශවලින් පෙනීගියේ අවුරුදු විස්සකට පසුව වුවද ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම වෙනසක් නොතිබූ බව වෛද්‍ය බෲස් ග්‍රේසන් Bruce Greyson, MD) එම සම්මන්ත්‍රණයේදී පැවසීය. මුල් අවස්ථාවේදී මෙන්ම එම විස්තරය ඉතා පැහැදිලිව නිවැරදිව අවුරුදු විස්සකට පසුත් ඔවුන්ට පිවිසිය හැකි විය.


ඔවුන්ගේ අධ්‍යයනයන්ගෙන් හෙළිවුණ තවත් කරුණක් වූයේ ඒ අයගේ ආකල්පයන්ගේ වෙනසක් සිදු වී ඇති බවයි. උදාහරණ ලෙස දක්වතොත් පහත සඳහන් දේ ගැන ඔවුන් තුළ තිබුණ අදහස් ආකල්පය වැඩිදියුණු වී තිබුණි. ඔවුන් වඩාත් ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් ඇතිවීම, අන් අය කෙරේ පෙරට වඩා දයාවක් සැලකිල්ලක් ඇතිවීම, ජීවිතය අගය කිරීම සහ එහි අර්ථය නැත්නම් අරමුණ ගැන හැඟීමක් ඇතිවීම, යම් ගැටලුවකට මුහුණ දීමේ ආත්මශක්තිය වැඩිදියුණු වීම, මරණයෙන් පසු පැවැත්ම ගැන විශ්වාස ඇතිවීම ආදියයි. NDE ගැන විශ්වාසයක් නොතිබූ ජීව භෞතික (Biophysicist) විද්‍යාඥවරියක් වූ Joyce හදිසි අනතුරක් නිසා NDE අත්දැකීමක් ලැබූ පසු කළ දේ උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන. එම අත්දැකීම කොතරම් දුරට ඇය තුළ බලපෑමක් ඇති කළේද යත් ඉන්පසු පසු ඇය තම වෘත්තීය ජීවිතයෙන් ඉවත් වී, NDE අත්දැකීම ගැන පර්යේෂණ කිරීමට සහ අන් අයට උපකාර කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කිරීමට පටන් ගෙන ඇත. ඇය තම පර්​ෙ‌ය්ෂණවලදී අන් අයගේ යහපත වෙනුවෙන් ජීවිතය කැප කරන අයගේ මොළයේ සිදුවන වෙනස්කම් සොයාගෙන ඇත.


ඒ අතර NDE අත්දැකීම් ලද අය තුළ පහත දැක්වෙන ආකල්ප හීන වී යාමක්ද දැකීමට ලැබී ඇති බව ඉහත සඳහන් වර්ජිනියා විශ්වවිද්‍යාල පර්​ෙ‌ය්ෂණවලදී හෙළිවුණි. විශේෂිතව පවසතොත් මරණයට ඇති බය, භෞතික දේ රැස්කිරීමේ උනන්දුව, පෞද්ගලික තත්ත්වය ගැන ඇති ඇල්ම සහ තරගකාරිත්වය යන දේ පිළිබඳ ඔවුන්ගේ උනන්දුව අඩුව තිබූ බව අධ්‍යයන තුළින් හෙළි වුණේය. මෙලෙස ආකල්ප අදහස් නැත්නම් ඔවුන් ජීවිතය ගැන එතෙක් දැරූ මතිමතාන්තර ආදියේ අඩු වැඩිවීම් පොදුවේ මරණාසන්න අත්දැකීම් ලද සැමදෙනා තුළ පොදුවේ දැකීමට ලැබීම විශේෂත්වයක් විය.


නිව්යෝර්ක් නුවර ලැන්ගොන් වෛද්‍ය ආයතනයේ පර්​ෙ‌ය්ෂණ අධක්‍ෂ වෛද්‍ය සෑම් පාර්නියා (NUR's Langone Medical Center, Resuscitation Research Director Dr.Sam Parnia) සම්බන්ධයෙන් පර්​ෙ‌ය්ෂණ ගණනාවක් සිදුකර ඇත. (මේ ගැනද You Tube වෙත ගොස් තොරතුරු දැන ගැනීමට පුළුවන) මෙම පර්​ෙ‌ය්ෂණවලට ඇමරිකාව මෙන්ම යුරෝපයේද NDE අත්දැකීම් ලද 2000ක් පමණ දෙනා සහභාගි කරගෙන තිබේ. මෙම පර්​ෙ‌ය්ෂණ සිදුකිරීමට පෙළඹුණේ මන්දැයි ඔහුගෙන් CBSN මාධ්‍යවේදිනියක් ප්‍රශ්න කළ විට පවසා ඇත්තේ තමා හදිසි ප්‍රතිකර්ම ඒකකයක (Intensive Care Unit) සේවය කරන වෛද්‍යවරයකු ලෙස තම ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලද අයවලුන් NDE අත්දැකීම් ගැන පවසන ලද දේ පර්​ෙ‌ය්ෂණය සඳහා පෙළඹීමක් ඇති කළ බවයි.


හදිසි ප්‍රතිකාර ඒකකයේ අපේක්ෂාව එයට ඇතුළත්වන පුද්ගලයන් ජීවත් කරවීමට උත්සාහ ගැනීම නිසා මෙසේ වෛද්‍ය විද්‍යාවට අනුව සායනික වශයෙන් මිය ගියා යයි (Clinically dead) සලකන අය නැවත ජීවය ලැබීම වෛද්‍යවරයකු ලෙස ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණය කිරීමට පෙළඹීමක් ඇති කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. හෘදයාබාධ වැනි දේ නිසා එම ඒකකයට ගෙන එන ආපසු සායනික වශයෙන් මියගොස් ඇතැයි ප්‍රකාශයට පත් කර ඇති සමහර අය නැවත ජීවත්වීමට පටන් ගන්නා සැටි සහ මියගියා යයි සලකන කාලය තුළ ඔවුන් ලද NDE අත්දැකීම් සම්බන්ධයෙන් පවසන ලද දේ විමසා බැලීමේ දී ඒවා හුදෙක් මවා ගත් දේ ලෙස සැලකිය නොහැකි බව ඔහුගේ විශ්වාසය විය.


විශේෂයෙන් පර්​ෙ‌ය්ෂණයට ලක්වූ එම පුද්ගලයින් සායනික ලෙස මියගොස් ඇතැයි සැලකූ කාලය තුළ හදිසි ප්‍රතිකාර ඒකක තුළ තමා ඉහළ සිට බලා සිට දුටු දේ ප්‍රකාශ කර තිබේ. තමන් ඇඳමත වැතිර සිටිය අන්දමත් වෛද්‍යවරුන් මෙන්ම එහි සිටි කාර්ය මණ්ඩලයේ අය ඒ අවස්ථාවේ කළ කී දේ ඒ අයුරින්ම පැවසීම විස්මයජනක දෙයක් ලෙස ඔවුන්ට පෙනී ගොස් ඇත. සායනික වශයෙන් මියගිය අවස්ථාවක හදවත සහ මොළය අක්‍රීයව තිබේ යයි සලකනු ලැබේ. එවැනි අවස්ථාවක මෙසේ ඉතා පැහැදිලිව එම අවස්ථාවේ සිදුවූ දේ විස්තර කිරීම නොසලකා සිටිය නොහැකි බව ඔහුගේ මතය විය.


වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයින් NDE අත්දැකීම් ලද අයගේ පසු හැසිරීම සහ ආකල්ප ගැන පැවසූ දේ වෛද්‍ය සෑම් පැවසූ දේට සමාන විය. වෛද්‍ය සෑම් පැවසුවේ ඔවුන් මරණය ගැන බියක් නොදක්වන, එමෙන්ම අන් අයට උපකාර කිරීමට ඇල්මක් දක්වන පුද්ගලයන් ලෙස තමාට පෙනී ගිය බවයි. එමෙන්ම ඒ සෑම දෙනාම NDE අත්දැකීම් ලද අවස්ථාව තුළදී තමා ලද වේදනාවෙන් තොර සැහැල්ලු සහනකාරී ආලෝකයෙන් පිරුණ එම අවස්ථාව අත්හැර නැවත මෙලොවට පැමිණීම ගැන දුක්වන බව පවසා ඇත. හෘදයාබාධයකින් පසු NDE අත්දැකීම් ලද සමාජ සේවයට බෙහෙවින් කැපවී සිටින මෙරට ජනප්‍රිය ගායකයකු රූපවාහිනී සංවාදයක දී පැවසූ දෙයක් මට සිහිපත් වෙයි. ඔහු පැවසුවේ තමා NDE අත්දැකීම් ලද අවස්ථාවේ ඉතාමත් ආලෝකමත් තැනක සිට නැවත පැමිණි විට මෙලොව කෙතරම් අඳුරුද යන හැඟීම තමාට ඇතිවූ බවයි.


මීළඟ ලිපියෙන් “විඤ්ඤාණය ගැන නව විද්‍යාත්මක අදහස්”


රංජිත් සී. පෙරේරා
rclarance@yahoo.com



Recommended Articles