සියවසකට පෙර ලංකාවට දැනුණු භූ කම්පනයක්


 

 

මීට දින කීපයකට පෙර පෙබරවාරි 12 වැනි දින අලු‍යම අපේ රටේ දකුණු ප්‍රදේශවලට දැනුණු භූ වලනයක් සම්බන්ධව වාර්තා විය. එය ඇති වී තිබුණේ ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබිණි. ඒ භූ කම්පනය වඩාත් දැනී තිබුණේ මෙරට දකුණු පළාතේ ප්‍රදේශ කීපයකටය. ඒ ප්‍රදේශවල ඒ අත්දැකීම ලද ජනතාව ඔවුන්ගේ අත්දැකීම් සම්බන්ධව ජනමාධ්‍යවලට සඳහන් කර තිබිණි.   


මෙවැනි භූ කම්පන වරින්වර අපේ රටට දැනෙයි. අපේ මෑත ඉතිහාසය සම්බන්ධව හැරී බැලූවිට මේ වසරේ භූ කම්පනය දැනී වසර සියයකට පෙර, එනම් 1920 පෙබරවාරි මස 11 වැනිදා අලුයම් කාලයේදී ද ලංකාවට භූ කම්පනයක් දැනී ඇති බවයි. මේ සිදුවීම පිළිබඳව එදා මෙරට පළ වූ සිංහල මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් ද වාර්තාකර ඇත. 


අලු‍යම දැනුණු භූ කම්පනය 


අප මාතෘකා කරගත් භූ කම්පනය 1920 පෙබරවාරි 11 බදාදා දින උදෑසන තුනට පමණ මෙරට වැසියන්ට දැනී ඇත. බොහෝ පිරිස් ඒ කම්පනයට නින්දෙන් අවදි වී ඇති බව වාර්තාවල සඳහන්ය. මෙම භූ චලනය එදින පෙ.ව. 3.16ට කොළඹ පිහිටා තිබූ නිරීක්ෂණාගාරයේ (Observatory) භූ කම්පන මානයේ සටහන් වූ බව කොළඹ නිරීක්ෂණාගාරයේ අධිකාරිවරයා වෙනුවෙන් ජේ.ඊ. එවන්ස් විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. 


එසේම මෙම භූමිකම්පාව ඊට පෙර මෙරටට දැනී ඇති භූ කම්පනවලට වඩා තදින් දැනී ඇති බව ඒ දිනවල පළ වූ පුවත්පත් වාර්තා කර ඇත්තේ මෙරට විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති වාර්තා උපුටා දක්වමිනි. 


එමෙන්ම පුවත්පත් වාර්තාවලට අනුව නම්, තවත් දෙවැනි භූ කම්පනයක් ඊට පැයකට පමණ පසුව ඇති වී තිබෙයි. ඒ කලින් එකට වඩා ඈත ප්‍රදේශයක ඇති වූ එකක් බව ද ඒවායේ සඳහන් වෙයි. 


අත්දැකීම් සමහරක් 


අදින් වසර සියයකට පමණ පෙර ඇති වූ මේ භූ චලන ලක්වැසියන්ට දැනුණේ කෙසේද යන්න එදා පුවත්පත්වල සඳහන් වේ. කොළඹ දකුණු ප්‍රදේශයේ මුහුදට සමීපව පිහිටි නිවසක වාසය කළ අයෙක් සඳහන් කර ඇති ආකාරයට එම කම්පනය නිසා ඔහු නින්දෙන් අවදි වී තිබේ. දිනමිණ පුවත්පතේ පළ වූ වචනවලින්ම සඳහන් කරන්නේ නම්, ඔහුට “රාත්‍රියේ තුනට හදිසියෙන් ඇහැරුණ බවත්, කාමරයේ තිබූ ලී බඩු ආදිය සොරුන් පැහැර ගන්නාක් මෙන් ගමන් කරන ස්වභාවක් පෙනුණු බවත්, එතකොටම ඇඳ සෙලවෙන්ට පටන්ගත්” බවත් පවසා ඇත. එසේම ඔහු සිටි සයනය සෙලවී ඇත්තේ ඒ මත යමක් ගැස්සී උඩ ගිය පරිද්දෙන් යැයි හෙතෙම සඳහන් කරයි. ඔහුගේ නිවසේ විසූ අනෙක් අයට ඒ හා සමාන අත්දැකීම් ලැබී ඇත. මේ අතර තවත් තැනකින් වාර්තා වන පරිදි ගෘහ භාණ්ඩ තත්පර කීපයක කාලයකට සෙලවී තිබේ. 


කොළඹ කැම්බල් උද්‍යාන ප්‍රදේශයේ වාසය කළ වැසියෙකු ටයිම්ස් පුවත්පතට ලියා දන්වා එවා ඇති පරිදි, ‌එම භූ කම්පනය තත්පර 20ක් පමණ කාලයක් පැවතී ඇත. කාමරයේ තිබූ දේ දෙදරුම් කෑ බව ඔහු පවසයි. 


කෙසේ වෙතත් අඹේපුස්සේ පදිංචිව සිටි ෂෙල්ටන් ද සේරම් සඳහන් කර ඇති ආකාරයට මේ කම්පනය දැනී ඇත්තේ තත්පර තුනක් පමණ කෙටි කාලයකි. එසේම එම කම්පනය නැගෙනහිර සිට බටහිර දිශාවට ගමන් කළ බවක් තමන්ට දැනුණු බව ඔහු පවසා ඇත. 


කඳුකර ප්‍රදේශයේ ස්ථානවලට ද මේ භූ කම්පනය දැනී තිබේ. ටයිම්ස් පුවත්පතේ නුවරඑළිය වාර්තාකරු දක්වා ඇති ආකාරයට මෙම කම්පනය දැනී ඇත්තේ සුළු පිරිසකටය. ඒ ද තත්පර 6-7ක් වැනි කෙටි කාලයකටය. එහෙත් රත්තොට ප්‍රදේශයේ මිඩ්ලන්ඩ් වතුයායේ නිලධාරියෙකු වූ මැන්සෙල් ලෙ ෆෙව්රෙ පවසා ඇති පරිදි එම භූ කම්පනය ඔහු විසූ ප්‍රදේශයට තදින් දැනී තිබේ. 


කෙසේ වෙතත් රටේ උතුරට වන්නට පිහිටා ඇති අනුරාධපුර ප්‍රදේශයට ද මෙම භූ කම්පනය තදින් දැනී ඇති බවක් ඒ පිළිබඳ වාර්තා විමසන විට පෙනේ. එම ප්‍රදේශයට විනාඩි දෙකක් පමණ කාලයක් පුරා මේ භූමිකම්පාව දැනී ඇති බව සඳහන් වෙයි. ඇතැම් පිරිස් තමන් නිදා සිටි ඇඳන්වලින් ඉවතට පැන විවෘත ස්ථානවලට ද දිව ගොස් ඇත. බෙර ශබ්දයක් වැනි ශබ්දයක් ඇසුණු බවක් අනුරාධපුරයෙන් ලැබී ඇති වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි. එම වාර්තා අනුව පෙනෙන්නේ කිසියම් කලබලකාරී බවක් අනුරාධපුරයේ දැකිය හැකි වූ බවයි. 


නිල වාර්තා 


ලංකාවේ තැනින් තැනට විවිධ මට්ටම්වලින් හා එකිනෙකට වෙනස් වූ කාලසීමාවක් මෙම කම්පන දැනී ඇති බව පැහැදිලිය. මෙම භූමිකම්පාව පමණක් නොව ඒ කාලයේ ඇති වූ එවැනි සිදුවීම් පිළිබඳව වාර්තා තැබීමට එවකට මෙරට පාලනය කළ විදේශීය රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් දක්වා ඇත. මෙවැනි දෑ පිළිබඳව නිල වශයෙන් රාජකාරි කරන ලද්දේ එවකට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව යටතේ පැවති කොළඹ නිරීක්ෂණාගාරයේ බලධාරීන්ය. 


නිරීක්ෂණාගාරයේ අධිකාරී ඒ.ජේ. බැම්ෆ්ර්ඩ් ස්වකීය වාර්ෂික වාර්තාවේ සඳහන් කරන්නේ සුළු භූ කම්පනයක් පෙබරවාරි 11 වැනි දින පෙරවරු 3.10ත් 3.15ත් අතර කාලයේදී නිරීක්ෂණය වූ බවයි. ඔහු පවසන ආකාරයට මෙය වඩාත් තදින් දැනී ඇත්තේ රටේ බස්නාහිර හා උතුරු ප්‍රදේශවලටය. කෙසේ වෙතත් එතරම් හානියක් නොවූ බව ඔහු පවසයි. උපකරණවල සහායයෙන් තොරව ද දැනුණු බව කියන්නේ පෙර සඳහන් පරිදි සාමාන්‍ය ජනතාවට දැනුණු සිදුවීම් පිළිබඳවය. 


සුපුරුදු පරිදි මේ සිදුවීම ද ඇතුළුව ලංකාවේ නිරීක්ෂණාගාරයේ සටහන් වූ භූමිකම්පා පිළිබඳ සවිස්තර වාර්තාවක් ඔහු බ්‍රිතාන්‍ය සංවිධානයේ භූ කම්පන විද්‍යා කමිටුව වෙත (Seismological Committee of the British Association) යැවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

 


ධනේෂ් විසුම්පෙරුම

 


Recommended Articles