විදුලි කණුවේ වැදී වැටුණු යතුරුපැදිකරුගේ මරණයේ අභිරහස


මළ මිනිසුන් සමග නොමළ කතා

 

 

 

ඒ මේ අත වැනෙමින් ආ යතුරුපැදිය එකවරම පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී ඇද වැටුණි. එහි රියදුරු විසිවී පාරට වැටුණේය. ඔහු සිටියේ සිහිසුන්වය. බරපතළ හානියක් සිදුව ඇත්දැයි සැකයෙන් අවට රැස්වූවෝ ඔහුව රෝහල් ගත කළහ. එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූහ. 

 
බාහිරින් පෙනෙන්නට එතරම් ලොකු තුවාල නොවීය. දණහිස්වල, වැලමිටේ සහ මුහුණේ කුඩා කුඩා සීරිම් තුවාල හා තැලුම් තුවාල දක්නට ලැබුණත් ඒවා බරපතළ තුවාල නොවීය. ඒ නිසා ඔහු මිය ගියේ කෙසේද යන ප්‍රශ්නයක් වෛද්‍යවරුන්ට මතුවිය. ඔහු පැළඳ සිටි ආරක්ෂක හිස්වැසුම ගලවා බැලූ විට හිසෙහි තුවාලයක් දක්නට ලැබුණි. එහෙත් එය මෙම අනතුරෙන් සිදුවූ තුවාලයක් ද යන ප්‍රශ්නය මතුවිය. මන්දයත් ඒ තුවාලය මතුපිටින් ලේන්සුවක් තබා තිබූ අතර එය ලෙයින් තෙමී තිබිණ. ලේන්සුව ඉවත් කර බැලූ විට හිස පුපුරා ඇති බවක් දැකිය හැකි විය. හිස් වැසුම සහිතව වැටුණ අයෙක් නිසා හිස් වැසුමට කිසිදු හානියක් සිදුනොවී මෙවැනි තුවාලයක් සිදුවිය නොහැකිය. ඒ නිසා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර යොමු කළ අතර පොලිස් පරික්ෂණ ද ආරම්භ විය.   


මියගිය පුද්ගලයාගේ කලිසමේ පිටුපස සාක්කුවේ වූ මුදල් පසුම්බිය පරික්ෂා කළ විට එහි ඔහුගේ රියදුරු බලපත්‍රය විය. ඒ අනුව ඔහුගේ නමත් ලිපිනයත් සොයාගත් පොලිසිය ඔහුගේ නිවසට ගියේය. ඔහු ප්‍රේමලාල් සිරිවර්ධනය. තිස් අට හැවිරිදි ප්‍රේමලාල් එක්දරු පියෙකි. ගමේ සුභ සාධක සමිතියේ සභාපති ඔහුය. මේ සමිතිය මගින් සිදුකළ යම් කාර්යයක දී ඇති වූ මත ගැටුමක් නිසා ගමේ එක්තරා පිරිසක් ප්‍රේමලාල් සමග හිත හොඳ නැත. මේ අමනාපය දිගින් දිගටම පැවති අතර එය දුටු දුටු තැන බැණ අඬගසා ගන්නා තත්ත්වයට පත්ව ඇත. පොලිසිය කරන ලද පරීක්ෂණවල දී වැදගත් කරුණු රැසක් අනාවරණය විය.   


මේ අතර අධිකරණ වෛද්‍යවරයා ද තමන්ගේ පරික්ෂණ ආරම්භ කළේය. සිරුර මතුපිටින් පරික්ෂා කළ වෛද්‍යවරයා දුටුවේ හිසෙන් පහළ පවතින සීරිම් හා තැලීම් තුවාල කීපයක් පමණි. එහෙත් හිසෙහි තරමක තුවාලයක් දැකිය හැකි විය. එය තිබුණේ හිසෙහි වම් පැත්තේ කනට ඉහළින් හිසෙහි ඉදිරියට වන්නටය. සෙන්ටිමීටර් 7ක පමණ ඉරීයාමක් දැකිය හැකි විය. හිසෙහි සම ඉවත් කර බලන විට ඉරිගිය තුවාලයට යටින් හිස් කබල පුපුරා ඇති බව දක්නට ලැබිණ. එහි අස්ථිය තුවාලයේ සිට පිටතට ස්ථාන කීපයකින් පුපුරා ගිය බවට ඉරිතලා තිබිණ. ඒ නිසා එය තියුණු ආයුධයකින් සිදු කළ තුවාලයක ස්වරූපයෙන් වෙනස් විය. කිසියම් රළු පෘෂ්ඨයක ගැටීමෙන් හෝ මොට ආයුධයකින් පහර දීමෙන් මෙවැනි තුවාලයක් ඇති විය හැකිය. අනතුරුව හිස් කබල කපා පරික්ෂා කළේය.   


හිස් කබල ඇතුළේ මොළයත් හිස් කබලත් අතර ආවරණ දෙකක් පවතී. පිටින්ම පවතින ආවරණය තරමක් ඝනකම වන අතර එය මොළයේ පිටතින් හිස් කබලට ඇතුළතින් එයට ඇලී පවතින Bura ආවරණය ලෙස හැඳින්වේ. එය තරමක් ගණකමය. මේ ආවරණය මොළේ දකුණු පස හා වම් පසත් ප්‍රධාන මොළය හෙවත් මස්තිෂ්කය හා කුඩා මොළය හෙවත් මස්තිෂ්ක බාහිකය වෙන්ව පෙනෙන පරිදි පවුරක් සේ ඇතුළට නෙරා තිබේ. මොළයට ආසන්නයෙන්ම තවත් තරමක් සිනිඳු පටලයක් පවතී. එය Arach Noid ලෙස හැඳින්වේ.   
මේ ආවරණ දෙක අතර මිලිලීටර් 120ක පමණ ලේ කැටියක් එකතුව තිබෙනු දැකිය හැකි විය. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ හිසට තදින් පහරක් වැදීමෙන් හෝ වැටීමෙන් හිස කිසියම් පෘෂ්ඨයක ගැටුනු විටකදීය. මෙසේ ලේ එකතු වීම නිසා එයට ගත් ඉඩ හේතුවෙන් මොළයේ වම් පස දකුණු පැත්තට මදක් තල්ලුවී තිබෙන ආකාරයක් දක්නට ලැබිණ. එය හිස් කබලට තදවී ඉදිමී තිබිණ. මෙසේ තල්ලුවෙමින් තද වීමෙන් මස්තිෂ්කය මස්තිෂ්ක බාහිකයට නැතහොත් ප්‍රධාන මොළයේ පහළ කොටසට තදවීමෙන් මොළයේ මූලයේ ලේ ගැලීමක් සිදුව තිබිණ. සිරුර හසුරුවන මොළ​යේ සිට සන්නිවේදන රැගෙන යන ස්නායු පද්ධතිය ප්‍රධාන මොළය හා සම්බන්ධ වෙන්නේ මොළයේ මූලයෙනි. හෘද ස්පන්ධනය මෙන්ම ආශ්වාස ප්‍රාශ්වාසය පාලනය කරන ස්නායු පිහිටා තිබෙන්නේ ද මෙහිය. මොළයේ මූලයේ රුධිර ගැලීමෙන් මෙම ස්නායුවලට බලපෑම් ඇති වේ. ඒ නිසා හෘද ස්පන්දන වේගය අඩුවන අතර හුස්ම ගැනීමට ද අපහසු වේ. මෙසේ තවදුරටත් ලේ ගැලීමෙන් ස්නායු තද වුවහොත් හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නවතිනු ඇත. ප්‍රේමලාල්ගේ මරණයට හේතුව එසේ හෘද ස්පන්දනය පාලනය කරන ස්නායු තදවීමෙන් හෘද ස්පන්දනය නැවතීම බව තහවුරු විය.   


ප්‍රේමලාල්ට මරු කැඳවූ මේ තුවාලය සිදුවුණේ කෙසේද? පොලිස් පරික්ෂණවල දී අනාවරණය කරගෙන තිබු තොරතුරු එහිදී වැදගත් විය. එනම් රිය අනතුර සිදුවීමට පෙර ප්‍රේමලාල්ට කිසියම් පිරිසක් පහර දී ඇති බවට වූ තොරතුරු පොලිසිය සොයාගෙන තිබිණ. අප පෙර සඳහන් කළ පරිදි ගමේ පිරිසක් සමග ඇතිකරගත් නොමනාපය මත මෙම පහරදීම සිදුකර ඇති බව ද දැනගන්නට ලැබිණ. එහිදී කිසිවෙකු විසින් ප්‍රේමලාල්ට පොල්ලකින් පහර දී ඇති අතර එයින් ඇද වැටී සුළු වේලාවක් එලෙසම සිටි ඔහු යළි නැගිට සිය යතුරුපැදියේ නැගී තමන්ගේ ගමන යාමට පිටත්ව ඇත.   


ඒ අනුව ප්‍රේමලාල්ගේ මරණය රිය අනතුරෙන් සිදුවූවක් නොව ඉන්පෙර සිදු කළ පහරදීම නිසා හිසට සිදුවූ තුවාලයක් හේතුවෙන් වූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා තීරණය කළේය. ඒ අනුව මෙය මිනීමැරුමකි.   


අධිකරණ වෛද්‍යවරයාගේ තීරණය අනුව පරික්ෂණ කළ පොලිසිය පහරදීමට සම්බන්ධ වූ තිදෙනෙක් අත්අඩංගුවට ගත් අතර පහරදීමට යොදාගත් පොල්ල ද සොයාගත්තේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්නයක් මතුවිය. ඒ මරණීය පහරදීමකට ලක්වූවෙක් මෙලෙස යතුරුපැදියෙන් ගමන් කළේ කෙසේද යන්නය?   


හිසට පහරදීමක දී කෙනෙක් තුළ ක්ෂණිකව කම්පන තත්ත්වයක් ඇති වුවද එය එතරම් දරුණු ප්‍රහාරයක් නොවන්නේ නම් ඉතා ඉක්මනින් යළි යථා තත්ත්වයට පත්වනු ඇත. හිසට සිදු කළ පහරදීම නිසා වූ තුවාලයෙන් ඇතිවන අභ්‍යන්තරික ලේ ගැලීම් හේතුවෙන් බලපෑම් ඇති කරන්නට යම් කාලයක් එනම් විනාඩි කීපයක් ඇතැම් විට විනාඩි පහළොවක් විස්සක් නැත්නම් පැය භාගයක්, පැයක් පමණ ගතවේ. මේ අතර කාලයේ ඔහුට වෙනත් කාර්යයක් කළ හැකි වේ. මේ කාලය එනම් මොළයේ කම්පන සහිත තුවාලයකින් පසු තාවකාලිකව යථා තත්ත්වයට පත්වන කාලය “පැහැදිලි පරතරය” (Lucib Interval) නමින් හැඳින්වේ. ඇතැම් රෝගීන්ට කම්පන තත්ත්වයෙන් පසු ව්‍යාජ ධමනි පවා ඇතිවී පසුව පුපුරා යා හැකිය.   


හිසට සිදුකළ පහරදීමෙන් ඇති කළ කම්පනයෙන් මිදුන ප්‍රේමලාල් යතුරුපැදියෙන් ගමන් කළ ද කම්පන තත්ත්වයෙන් පසු ඇති කරන පීඩනය හේතුවෙන් මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීම් හටගෙන තිබිණ. ඒ නිසා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙන්නට ඇත. එසේම හෘද ස්පන්දනයේ වේගය අඩුවීම නිසා රුධිර ධාවන වේගය අඩුවී එය අනෙකුත් අවයවවල ක්‍රියාකාරිත්වයට ද බලපාන්නේය. ඒ තත්ත්වය ඇති කරන්නට ගතවෙන කාලය අනුව ඔහුට වෙනත් කාර්යයක් කළ හැකි වන්නේය. පහරදීමෙන් පසු ප්‍රේමලාල් යතුරුපැදියෙන් ගමන් කළේ ඒ නිසාය.   


(මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   


හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ 
මුදිතා දයානන්ද  



Recommended Articles