රන් ඊතලයක් අහසින් ආ අම්මඩුව දේවාලය


 

රත්නපුර - කතරගම පාරේ ගොඩකවෙල නගරයෙන් උතුරු දෙසට හැරී කි.මී. 7ක් දුර ගමන් කළ විට හමුවන අම්මඩුව දේවාලය රා.ව. 1452 දී ආරම්භ කරන ලද්දකි. රා.ව. 1410 සිට 1467 දක්වා පුරා වසර 57ක පමණ කාලයක් කෝට්ටේ රජ පැමිණ හය වැනි ශ්‍රී පරාක්‍රමබාහු පාලන සමයේ දී සබරගමු පළාතේ මෙම දේවාලය ඉදිව තිබේ. තමාට දෙවියන් ඇදහීම සඳහා කෝවිලක් නොවූයෙන් භාරහාර ඔප්පු කිරීම හා දේවාශිර්වාද ලබාගැනීම සඳහා කොලොන්න අටකලන් දෙකෝරළයේ වැසියෝ ඒ සඳහා අලුත්නුවර දේවාලයට යෑමට පුරුදුව සිටියහ.  


එමෙන්ම මෙම දෙකෝරළයේ ගම්වැසියන් සඳහා දේවාල භූමියෙහි වෙනම වීදියක් වෙන්කර තිබී ඇත. ඔවුන් එම වීදියෙහි නවාතැන්ගෙන පුද පූජා පවත්වා නැවත ආපසු පැමිණිය යුතු විය. මෙම අවදියේ අටකලන් කෝරළයේ මැදපත්තුවේ ඇමටියගොඩ ගම තුළ පිහිටි ඌරාබොඩ කන්ද නම් ස්ථානයේ පදිංචිව සිටි රාමගිරි බ්‍රාහ්මණ රාළ දේවගිරි බ්‍රාහ්මණ රාල යන දෙදෙනා මෙම වන්දනා ගමනට මූලිකත්වය දී ඇත.  


වර්ෂ 1452 වර්ෂයේ අලුත්නුවර පෙරහර පවත්නා අවදියේ කොලොන්න අටකලන් දෙකෝරළයේ වැසියෝ ඉහත කී බ්‍රහ්මණයන් දෙදෙනා සමග තම තමන්ට රිසි පුද පඬුරු ගෙන අලුත්නුවර දේවාලය කරා මහ පෙරහරින් ගියහ. ඔවුන් එම ස්ථානයට ළඟා වෙන විට වෙනදා ඔවුන් වෙනුවෙන් වෙන් කරන වීදියෙහි වෙනත් කණ්ඩායමක් පදිංචිව සිටියහ. මේ අය වෙනුවෙන් වෙනත් වීදියක් වෙන්කර නොතිබුණෙන් එකල්හි පැවති චාරිත්‍ර අනුව පුද පඬුරු ගෙන ආපසු ඒමට සිදුවිය.  


මෙසේ ගිය මඟ ඔස්සේ කහටපිටි තොටින් එගොඩට ආපසු එන අතර එක්තරා සමතලා භූමි භාගයක් සහ ඒ අසල ඇලක පිරිසිදු වතුර පිරී තිබෙනු දැක මෙම ස්ථානයෙහි මෙම පිරිස රාත්‍රී නවාතැන් ගත්හ. ගෙනගිය ආහාර මෙහිදී පිස අනුභව කර රාත්‍රිය ගත කළ අතර නායක බ්‍රාහ්මණයන් දෙදෙනා එම සමතලා භූමිය මැද කපක් සිටුවා ගෙන ගිය පුද පඬුරු සියල්ල එහි ගැට ගසා රාත්‍රිය පහන් වනතුරු තමන්ට සිදුවූ අභාග්‍ය සම්පන්න සිද්ධිය කතරගම දෙවියන්ට පවසා යාච්ඤා කර තමන්ට නිදහසේ දෙවියන් යැදීම සඳහා දෙවියන් සතු කිසියම් වස්තුවක් (පූජා භාණ්ඩයක්) තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.  


පසුදා උදෑසන පුදපඬුරු එලෙසම තිබිය දී එම ස්ථානයෙන් සියල්ලම විසිර ගියහ. බ්‍රාහ්මණ යුවල ඌරාබොඩ කන්දට පැමිණියහ. තම නිවෙස්වලට පැමිණි බ්‍රාහ්මණ දේපළ පසු දින තම නිවෙස්වල නිදා සිටිනුයේ රාමගිරි බ්‍රාහ්මණ රාල වෙත කිසියම් අයකු සිහිනයෙන් පැමිණ ඔබ ගමන් කළ මාර්ගය අසල දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත් එය රැගෙන තමන්ට රිසි පරිදි පුද පූජා පවත්වන ලෙසත් පවසා නොපෙනී ගියේය.  


පසුදා උදෑසන නින්දෙන් අවදිව මෙම සිද්ධිය දේවගිරි බ්‍රාහ්මණ රාලට පවසා මෙම ස්ථානය සෙවීම සඳහා ආ මග දෙපස පරික්ෂා කරමින් ගමන් කළ විට එක්තරා කවුඩුබාලයකු (එනම් කුරුල්ලකු) උඩබාකෝ උඩබාකෝ යනුවෙන් හඬනු ඇසී කිමෙක්දැයි උඩ බලනුයේ දෙල්ගස මුදුනේ අත්තක රන් ඊතලයක් ඇටවී තිබෙනු දැක වහාම එම ගස මුලට ගොස් ගසමුල සිට දෙවියන්ට යාච්ඤා කළවිට එම රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණරාලගේ ජටාව මතම වැටී තිබේ. එම දේවාභරණ වත්මන් දේවාල බිමේ තැන්පත් කර ඇත්තේ ඉන්පසුවය.  
මෙම දේවාලයට විවිධ රජවරුන් නින්දගම් පිරිනමා ඇත. මහනුවර මහ අධිකාරම් විසින් 1780 දී ලබාදුන් නින්දගම් ප්‍රදානයක සන්නස අදත් සුරැකී තිබේ.  


දේවාල පෙරහර  


කුඹල්​ පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්ත පෙරහර පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේය.

  
කතරගම, සබරගමු මහ සමන් හා මහනුවර දළදා පෙරහර අවසන් වූ පසු අමාවක ගිය පෑල විය දිනක කප් සිටුවීමෙන් පසු පෙරහර ආරම්භ වේ. මහ පෙරහර දින 5 අවසන් වූ පසු දිය කැපීමේ චාරිත්‍රය සිදුකෙරේ. අවසන් නැටුම වන කොටිකොළඹ නිම කොට මහ පෙරහරින් දිය කැපීමේ ස්ථානයට ළඟාවේ. සුදු රෙදිවලින් ආවරණය කරන ලද ජලාශයේ දේවාභරණයෙන් මායිම් කරන ලද ස්ථානයෙන් කෙණ්ඩියට පැන් ගෙන දේවාලය කරා වැඩම කරගෙන එනු ලැබේ. මෙම ජලය ඊළඟ පෙරහර දක්වා ආරක්ෂා කෙරේ. ක්ෂණික රෝග සඳහා මෙම ශුද්ධ වූ ජලය ඖෂධ වශයෙන් භාවිත කෙරේ. දිය කැපීම කරවන ප්‍රධාන කපු මහතා පළමුව උදා හිරු දෙස ද දෙවනුව ගරායක් මූණ දෙස ද බලා වස් දොස් දුරුකරගත යුතුය. අනතුරුව එම ගරායක් මූණ බැඳි තැනැත්තා ගරායක් නැටුම අවසන් කළ පසු පෙරහරේ සියලු කටයුතු අවසන් වේ.


මෙම දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය ඔක්තෝබර් 2 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 4 වැනිදා සිට 8 වැනිදා දක්වා කුඹල් පෙරහර මංගල්‍යයද, 9 වැනිදා සිට 13 වැනිදා දක්වා දෙවොලේ පෙරහර මංගල්‍යයද, 14 වැනිදා සිට 18 දක්වා රන්දෝලි පෙරහරද පැවැත්වේ.  

 


රත්නපුර ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ


උදය ඇමටියගොඩ



Recommended Articles