කඩදාසි නැති කාලේ පොත් ලියූ පුස් කොළේ


පුස්කොළයක ලේඛන ගත කරන භික්ෂූන් වහන්සේ නමක්.. 

 

ක්‍රි.ව 1815 ඉංග්‍රීසින්ගේ පාලන කාලයේ සටහන් තැබූ ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුළත් ලිපි ආරක්ෂා සහිතව බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තැන්පත් කර තිබුණද, මේ වන විට ඒවා විනාශ වෙමින් පවතින බව දැන ගන්නට ලැබේ. එහෙත් පුස්කොළ පොතක් ශත වර්ෂ ගණනාවක් නැතිනම් ලෝක විනාශය දක්වාම තබා ගත හැකියැයි පැවසුව හොත් එය පුදුමයට කරුණක් විය හැකියි.  


 මෙරට පැරණිතම පුස්කොළ පොත වන්නේ දඹදෙනි යුගයේ ලියා ඇති “විසුද්ධී මාර්ග සන්නිය” යි. එම පුස්කොළ පොත් වහන්සේ වසර අටසීයක් පැරණි ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍යා පිඨයේ එය ආරක්ෂිතව පවතී. එහෙත් අතීතයේදී මෙන් වර්තමානයේ පුස්කොළ ලේඛන කලාව ව්‍යාප්තව පතින්නේ නැත.   


බුදු දහම ද මුඛ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන විත් අවසානයේ ලේඛන ගත කරන ලද්දේ පුස්කොළවල බව අප කවුරුත් දන්නා කරුණකි. ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මුල් වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අවස්ථාව ලෙස සඳහන් වන්නේ වළගම්බා රජතුමා ගේ පාලන සමයේ දී ය. ඒ ප්‍රාදේශීය නායකයෙකුගේ මූලිකත්වයෙන් මාතලේ අළුවිහාරයේදී මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙනි. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අදට ද ඉතිරිව පවතින්නේ ඒ නිසායි. පුස්කොළ පොත් ලිවීමේ සම්ප්‍රදායේ නියැළෙමින් තවමත් එය ඉදිරියට රැගෙන යන්නේ පිරිවෙන් ආශ්‍රීත භික්ෂූන් වහන්සේය.   


පිරුවානා පොත් වහන්සේ තල් කොළවල ලේඛන ගත කරමින් වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් ලෙස වර්තමානයේ ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ ශාස්ත්‍රපති මේල්පිටියේ විමලරතන ස්ථවිරයන් වහන්සේය. උන් වහන්සේ වැඩවාසය කරන්නේ වීර කැප්පෙටිපොළ මොනරවිල මහ දිසාව විසින් ඉදිකර ක්‍රි.ව 1812 දී මහා සංඝරත්නයට පූජා කරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් වර්තමාන පල්ලේපොළ (එදා භාවිතා කළේ මොනරවිල නමය) ශ්‍රී වේළුවන මහා පිරිවෙණෙහිය.   


කැලණිය විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් සමග සම්බන්ධ වෙමින් පුස්කොළ ලේඛන කලාව ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන යතිවරයාණන් වහන්සේ නමකි. දැනට පිරුවානා පොත් වහන්සේ එකසිය විස්සක් (120) පමණ ලේඛන ගත කර තිබේ. මෙරට සහ අමෙරිකාව, බුරුමය, තායිලන්තය ජපානය වැනි රටවල ආගමික අවශ්‍යතා සඳහා බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන්නේ විමලරතන හිමියන් විසින් ලේඛන ගත කරන ලද පිරුවානා පොත්වහන්සේ ය.   

 

පිරුවානා පොත් වහන්සේ

 


සිංහල වෙදකම, ජ්‍යොතිෂය, බලිතොවිල් ශාන්තිකර්ම පවතින්නේ ද පුස්කොළ නිසයි. 

 
විමලරතන ස්ථවිරයන් වහන්සේ පුස්කොළ පොත් ගැන අප සමඟ මෙසේ පැවසුහ. “එදා වෙද මහත්වරුන්, නක්ෂත්‍රාචාර්යවරුන්, බලි ශාන්තිකර්ම වැනි යාගහෝම කරන්නන්, තුනුරුවන් සිහිපත් කරමින් එම ශාස්ත්‍රය පුස්කොළවල සටහන් කළා. අදටත් බටහිර විද්‍යාවෙන් පවා සුව කළ නොහැකි ලෙඩ රෝග සඳහා බෙහෙත් කරන්නේ ඒ නිසාය. ප්‍රථමව පැවතියේ සෙල්ලිපි ලේඛන සම්ප්‍රදායයි. අශෝක රජතුමාගේ කාලයේ සෙල්ලිපි බොහෝ සේ ව්‍යාප්තව පැවතුණා. රජ අණ සහ ආගමික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ආරම්භයේ සිටම සෙල්ලිපි ලේඛනය යොදා ගත්තා.   


පුස්කොළය භාවිතයට පැමිණි ආකාරය   


මිහිඳු මහ රහතන් වහස්සේ ත්‍රිපිටකය සමග ලංකාවට වැඩමවීමෙන් පසු ජනතාවට බුදු දහම විස්තර කිරීමට සිදු වුණා. එය සෙල්ලිපියක කොටා විස්තර කළ නොහැකියි. තවත් කාලයක් ගත වෙද්දී අටුවා සාහිත්‍යයක් බිහි වුණා. අරිෂ්ට මහරහතන් වහන්සේ ඇතුඵ අනෙකුත් මහා සංඝරත්නය බුදු දහම දේශනා කිරීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කර ගත්තා. තල් කොළය භාවිතයට පැමිණියේ ඒ අනුවයි. එහි “හෙළ අටුවා” හෙවත් “සිංහල අටුවා” සාහිත්‍යයක් ලියැවුණා. මෙයින් අදහස් කරන්නේ මුල් කෘතියෙහි ඇති කරුණු විස්තර කරන පොත පතයි. එය සිංහලෙන් ලිවීමට පටන් ගත්තා. ඒ කාලයේ හැටියට වේගයෙන් ඉදිරියට රැගෙන යා හැකි සම්ප්‍රදායක් පැවතුණි නම් එය පුස්කොළ ලේඛන සම්ප්‍රදාය පමණයි. ධර්ම දේශක සම්ප්‍රදාය පැමිණියේ ද එහි ප්‍රතිළුලයක් වශයෙනුයි. පුස්කොළ පොත් සිය ගණනක් ලිවීමට හැකියාවක් නොතිබුණ බැවින් ලියූ සීමිත පොත් එක බැඟින් ගම් කිහිපයකට රැගෙන ගොස් ධර්මය දේශනා කළා. මුද්‍රණ ශිල්පය මෙරටට පැමිණෙන තෙක්ම භාවිත කළේ පුස්කොළ පොතුයි.   


කවදා කුමන ආකාරයෙන් තල් කොළ ලේඛන ගත කිරීම සඳහා යොදා ගත්තාදැයි නිස්චිතව පැවසීමට හැකියාවක් නොමැති වුවත්, ත්‍රිපිටකය ලේඛන ගත කිරීමට භාවිතා කර ඇත්තේ තල් කොළ පමණක් බව ස්ථීර වශයෙන්ම පැවසිමට හැකියාව තිබෙනවා.   


තල් ගසෙන් ගොබය කපා බෙහෙත් ජලයෙන් තම්බා භාවිතයට ගන්නවා.   


තල් ගොබ කපා ගනු ලබන්නේ තුනුරුවන් සිහිකර ගැනීමෙන් පසුවයි. එය බිමට වැටෙන්න නොදී කපා, හිස මත තබා රැගෙන යනවා. එහි ඇති කූරු ඉවත් කර අඩි දෙකක් හෝ ඊට මඳක් වැඩියෙන් අවශ්‍ය ප්‍රමාණයට තල් කොළය (පත්‍රය) කපා ගත යුතුයි. එය තරමක් විශාලයි. ඒ ආකාරයෙන් සකස් කර ගත් තල කොළ විස්සක් හෝ විසිපහක ප්‍රමාණයක් ගෙන එක පැත්තක කුඩා සිදුරක් සාදා එයට නූලක් දමා එල්ලා ගැනීමට හැකි වන ආකාරයෙන් සාදා අනෙක් පැත්තේ සිට රවුමට ඔතා ගැනීම සිදු කරනවා. ඒ ආකාරයෙන් ඔතා ගැනීම “වට්ටු” ගැසීම ලෙස හඳුන්වනවා.   


ඉන්පසු “වට්ටුව” නැතහොත් “කොළ රෝලය” බෙහෙත් ජලයේ තම්බා ගන්නවා. ඒ සඳහා කැප්පෙටියා කොළ, අන්නාසි ගොබ, වල් ඉඟුරු, පැපොල් ආදිය යොදා ගන්නවා. පැපොල් ගෙඩිය ඇට ඉවත් කර කැබලිවලට කපා ගැනීමෙන් පසුව භාවිත කරනවා. වල් ඉඟුරු භාවිත කරන්නේ කුඩා කෘමින් ගෙන් වන හානිය නැති කර ගැනීම සඳහායි.   


“වට්ටු” පැය තුන හමාරක පමණ කාලයක් ඉහත සඳහන් කළ බෙහෙත් ජලයේ තම්බා ගත යුතුයි. මේ සඳහා භාවිතා කරන්නේ ගැඩුම දරවලින් ලබා ගන්නා අඟුරුයි. “වට්ටු” තම්බා මුට්ටියෙන් ඉවතට ගැනීමෙන් පසු පුදුමාකාර ලස්සන කහ පැහැති තල් කොළයක් ලැබෙනවා. එය දවස් තුනක් පමණ තද හිරු එළියේ වියළා ගත යුතුයි. නිසි අයුරින් වේලා නොගත හොත් හතර වෙනි දවස වන විට පුස් සෑදී නැවත භාවිත කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා. මේ ආකාරයෙන් අතීතයේදී තල් කොළ සාදා ගනු ලැබුවේ මෙරට පවතින වර්ෂාව, සුළඟ වැනි කාලගුණික තත්ත්වයන් ගැන සලකා බැලීමෙන් අනතුරුවයි. 

 
තල් කොළය සුළඟට වේළීමට ඉඩ සලසා දුන හොත් එහි ඇති ජලය වාෂ්ප වී අනවශ්‍ය ලෙස වේළී, එහි අකුරු ලිවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා. තද අව්වේ වේලා ගත් තල් කොළය පවනේ ද, ඉන් පසුව පින්නේ ද තබා වට්ටු ගසා නැවතත් තද අව්වේ තබා වියළා ගත යුතුයි. මේ ආකාරයට දින පහක පමණ කාලයක් කටයුතු සිදු කරන විට එය, ලිවිමට සුදුසු තත්ත්වයට පදම් වෙනවා. අනතුරුව එහි තල තෙල් ආලේප කර පුවක් ගසක හෝ ගැඩුම ගසක කඳක් භාවිත කර පහළොස් වරක් පමණ මැද ගැනීමත් අවශ්‍යයි. ඒ සඳහා වෙනත් තෙල් වර්ගයක් භාවිත කරන්නේ නැහැ. එසේ කළහොත් තල් කොළයට හානි සිදු වෙනවා. අවසානයේ දීප්තිමත් ඝන වූ ලිවීමට හැකි කොළයක් ලැබෙනවා. මේ ආකාරයෙන් සකස් කර ගත් තල් කොළ හෙවත් “පුස් කොළය” නැමෙන්නේ, හෝ බිඳෙන්නේ නැහැ. තල් කොළයට අමතරව වැටකේ, පන් වැනි පත්‍ර ද රිටි වැනි ගස්වල පතුරුද දෛනික සහ කෙටි අවශ්‍යතාවන් සඳහා යොදා ගෙන තිබෙනවා. එහෙත් ඒවා තල් කොළ තරම් සාර්ථක නැහැ.   

 

පුස්කොළයක් කැපීමෙන් පසු ආලේප කරන මිශ්‍රණය


තල් කොළය කපන්නේ පන්හිඳෙනි   


“පන්හිඳ” යන වචනයෙන් අදහස් වන්නේ “කපනවා” යන්නයි. තල් කොළයේ ලියන්නේ නැහැ. කැපීමක් සිදු කරන්නේ. එය සිදු කළ යුත්තේ පුරුදු පහුණු වීමෙනුයි. “පන් ”යනු වියළි පත්‍ර වර්ගයක්. “පන් ”ගස් යනුවෙන් වෙනම ශාක වර්ගයක් ද තිබෙනවා. “පරණ” යන සංස්කෘත වචනය සිංහලයට “පන් ” යනුවෙන් පැමිණ තිබෙනවා. ඒ අනුව “පන්” යනු කොළය හෙවත් “පත්‍රයට” කියන නමක්. එම පත්‍රය තාලයකට සිඳීම, කපාගෙන යාම වැනි අදහසින් “පන්හිඳ” යන නම භාවිතා කරනවා. මේ අනුව නිසි ආකාරයෙන් සකස් කර ගත් තල් කොළයේ කපන්නේ (ලියන්නේ) පන්හිඳෙනි. ” පන්හිද පිත්තල වාත්තුකරුවන් සහ කම්මල්කරුවන් විසින් සාදනු ලබනවා. 

 
පන්හිඳෙහි ඉහළ කොටසින් සප්ත බොජ්ජංගය ද, බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍යය ඊට පසු කොටසකින් ද නිරූපණය කරනවා. මෙයින් පැහැදිළි වන්නේ තුනුරුවන් මූලික කර ගනිමින් සියලුම ශාස්ත්‍ර පැවති බවයි. බෞද්ධ සාහිත්‍යයේ සතරවරම් දෙවිවරුන්ටත් ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ බුදු දහම ආරක්ෂා කරන, ජනතාවට සෙත සාදන කොටසක් ලෙසයි. එම දෙවිවරුන් නිරූපණයට මෙන්ම ඒකායන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන පෙන්වීම ආදි කරුණු සඳහා ද පන්හිඳේ කොටස් වෙන් කර තිබිම විශේෂත්වයක්.   


පන්හිඳ අතට ගත් සැණින් කෙනෙකුට තල් කොළයේ කපන්න බැහැ. ඒ සඳහා පුරුදු පුහුණු විය යුතුයි. එදා පන්සල්, ආරාමවල දී පළමුව සිදු කරනු ලැබුවේ කොපි ලිවීමයි. ගුරු හාමුදුරුවරුන් වහන්සේලා කපා දෙන අකුරු උඩ ආධුනික ස්වාමීන් වහන්සේලා නැවත කපමින් පුරුදු වෙනවා. මේ ආකාරයෙන් සෑහෙන කාලයක් පුරුදු, පුහුණු වීමෙන් අනතුරුව, ගුරු ස්වාමින් වහන්සේලා සෑහීමකට පත් වීමෙන් පසු ආධුනික ස්වාමින් වහන්සේලාට තනිවම අලුතින් පුස්කොළ කැපීමට අවස්ථාව ලබා දෙනවා. 

 
පුස්කොළ අක්ෂර ශෛලීන් හතරකි   


පුස්කොළ පොත් කපන්නේ කිසියම් රටාවකට අනුවයි. අක්ෂරවල විලාසිතාව, රටාව අනුව ලේඛන ගත කිරීමේදී ශෛලීන් හතරක් භාවිත කර තිබෙනවා. සිංහ, ගජ, හංස, සහ කාකා එම ශෛලීන් හතරයි. සිංහයාගේ විලාසය නිරූපණය කරන ශෛලිය, සිංහ ලෙසත්, ඇතාගේ ගමන් විලාසය පෙන්වන ශෛලිය ගජ ශෛලිය ලෙසත්, කිසියම් විලාසිතාවකට අනුව රේඛා කිහිපයකින් අකුර මුදුණින් පටන් ගැනිම හංස ශෛලිය ලෙසත්, පිළිවෙළක් නැතිව ලිවීම කපුටු ශෛලිය ලෙසත් හැඳින් වෙනවා.   


පුස්කොළ කැපීම භාවනාවකි.   


උගත්කම, භාෂා ඥානය, බුද්ධිමත් බව ආදී ලක්ෂණයන් පුස්කොළ කැපීමේදී අවශ්‍ය වෙනවා. මෙහිදී තමාගේ වම් දණහිස උඩ තල්කොළ පහක් හයක් පමණ එකට ගැට ගසන ලද මිටියක් තබා, වම් පැත්තේ සිට දකුණු අතින් ලියනවා. එදා පුස්කොළ පොත් ලියන ලද්දේ අද මෙන් විදුලිය ආදී පහසුකම් නොමැති කාලයකයි. රාත්‍රි කාලයේ පුස්කොළ පොත් ලිවීම සඳහා භාවිතා කර තිබෙන්නේ කැකුණ තෙල් හෝ කැකුණ මද වලින් දල්වන ලද පහන්වල ආලෝකයයි. දඹදෙණි යුගයේ කාලිදාස පඬිවරයා නමින් ප්‍රසිද්ධියට පත් ධර්මසේන ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද “සද්ධර්ම රත්නාවලිය” එයට එක් උදාහරණයක් පමණයි.   


සද්ධර්මරත්නාවලිය පමණක් නොව පිරුවානා පොත් වහන්සේ සහ ජාතක කතා පොත් වහන්සේ ද ආකාර දෙකකට දෙපැත්තෙහිම කපා තිබෙනවා.. පිරුවානා පොත් වහන්සේට වඩා ජාතක කතා පොත් වහන්සේ කැපීමට තල් කොළ අඟල් 28 ක් පමණ දිගට කපා ගත යුතුයි. ජාතක පොතට කොළ දාහක් හෝ එක්දාස් දොළහක පමණ සංඛ්‍යාවක් ඇතුළත් වන අතර ලේඛන ගත කරනු ලබන්නේ කුඩා අකුරෙන්. අප ගේ ජාතක පොත් වහන්සේට පත්ඉරු එක් දහස් දෙකක් (1002) තිබෙනවා.   


පිරුවානා පොත් වහන්සේ ලේඛන ගත කිරීම සඳහා භාවිතා කරන්නේ ලොකු අකුරුයි. කපන ලද අකුරු මතු කර පෙන්වීම සඳහා කල්කයක් ගල්වනවා. එය කැකුණ තෙල්, ගැඩුම අඟුරු සහ දුම්මල තෙල් ගෙන අඹරා සාදා ගන්නවා.   


කෙසේ වුවත් පිරුවානා (පිරිත්) පොත්වහන්සේ ලිවීම සඳහා තල් ගස් තුනන ගොබ අවශ්‍ය වෙනවා. එක පත් ඉරුවක (තල් කොළයක) පේලි පහ බැගින් දෙපැත්තේම කපන්නේ නම් පත් ඉරු එක්දහස් හයත් එක්දහස් දොළහත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා.   


පොත් කම්බය   


පුස්කොළ පොතෙහි කවරය හඳුන්වනු ලබන්නේ පොත් “කම්බය” යන නමින්. කොළොං, ගංසූරියා වැනි ලී කම්බය සඳහා භාවිතා කරනවා. ජාතක පොත් වහන්සේ පිරුවානා පොත් වහන්සේ හෝ කුමන පුස්කොළ පොතක් වුවද (අඩු වැඩි වශයෙන් පත් ඉරු එක්දහස් දහයක් පමණ) ලියා අවසානයේදී බැඳ ගත යුතුයි. ඒ සඳහා පොත් කම්බයක් , සකියෙක් සහ හුයක් (කපු නූලක්) අවශ්‍ය වෙනවා. පොත ඒකාබද්ධ කරන දැවැන්ත සහකරුවා වන්නේ “සකියා” යි. සකියා කැටයම් සහිතව පිත්තලින් සාදා රත්‍රන් ජලයේ ගල්වා, මැණික්, ඇත්දළ වැනි වටිනා දෙයක් ඇතුළු කර නිර්මාණය කරනවා. එක පොතකට, එක සකියෙක් පමණයි ඉන්නේ.   
“සකී” යනු බිරිඳ ය. “සක” ස්වාමිපුරුෂයා ය. හිල් දෙකක් එක පොතට තිබුණද සිටින්නේ එක සකියෙක් පමණයි. බුදු දහමට අනුව ස්වාමිපුරුෂයෙකුට සිටිය හැක්කේ එක බිරිඳකි. සකියා මුළු පොතම එකට බැඳ තබා ගන්නා ආකාරයෙන් ස්වාමියා ගේ මුළු ජීවිතයම එකට බැඳ තබා ගන්නා සකියා බිරිඳ යි. සකියා සෑම අවස්ථාවකම සිටින්නේ පොත් කවරයේ වම් පැත්තෙනි. බෞද්ධ සම්ප්‍රදායට අනුව ස්වාමිපුරුෂයාගේ වම් පසට බිරිඳ පැමිණියේ එය ආදර්ශයට ගනිමිනුයි.   


ලාක්ෂා කර්මාන්තයේ ආරම්භය පුස්කොළ පොත බව ඔබ දන්නවාද ? ඒ පොත් කම්බය හෙවත් කවරය නිර්මාණය කිරීමට ලාක්ෂා භාවිතා කිරීම නිසයි. මේ නිසා පැරණි ශිල්පීය ගම්මාන රාශියක් එක ගුරු කුලයක් යටතේ බිහිවුණා. පොත් කම්බයේ පිට පැත්ත ලියවැල් වලින් ද, ඇතුළු පැත්ත පොතෙහි කතාව චිත්‍රයට නඟනවා. නුවර යුගය වන විට පත්ඉරුවල චිත්‍ර ඇඳීමටත් පටන් ගත්තා.   


විමලරතන හිමිපාණන් වහන්සේ අවසන් වශයෙන් මෙසේද පැවසීය. “සිංහලයා අපේකම ඉතා ඉක්මනින් නැති කර ගෙන, බැහැරින් එන දේ වැලඳ, තමන් සතු වටිනාකම් අමතක කර පසුව දුක් වෙන ජාතියක්. එය සිංහල ජාතියට පැළ පදියම්ව ඇති ක්‍රමයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණක්. සිංහල වෙදකමට, නක්ෂත්‍රයට මෙන්ම පුස්කොළයට ද සිදු වී ඇත්තේ එවන් අවාසනාවන්ත තත්ත්වයක්. නව තාක්ෂණයෙන් බිහිවෙන නිර්මාණ ඕනෑම කෙනෙකුට වර්තමානයේ ගළපා ගත හැකි වුවත්, අනාගතයට ඒවා රැගෙන යා නොහැකියි. එය සිදු කළ හැක්කේ පුස්කොළයට පමණයි. අතීතයේ සිටි පඬිවරුන් බුද්ධිමත්ම සිතා කටයුතු කළ බැවින් නිර්මළ බුදු දහම අදට ද පවතිනවා. එදා ඔවුන් භාවිත කළ පුස්කොළ පොත්වලින් කිහිපයක් හෝ අදටත් දැක ගත හැකි වන්නේ එමනිසයි.   


පුස්කොළ ලේඛනය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් තවමත් අප සතුව තිබෙනවා. මෙරට පාලනය කළ සමහර අදූරදර්ශී රජවරුන් සහ විදේශීය ජාතීන් වෙහෙර විහාර, පන්සල් පුස්කොළ පොත් විනාශ නොකරන්නට තවත් බොහෝ සම්පත් අප සතු වීමට ඉඩ තිබුණා. ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති අපට පමණක් හිමිව පවතින පුස්කොළ පොත්වලින් කියනු ලබන්නේ ශ්‍රී ලංකීය අතීත ප්‍රෞඪත්වය සහ උරුමයයි.   


උපදෙස් - මාතලේ, පල්ලේපොළ ශ්‍රී වේඵවනාරාධිපති, ශාස්ත්‍රපති මේල්පිටියේ විමලරතන හිමි   

 

 

සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර



Recommended Articles