ඉන්දියාවෙන් ඇවිත් සිංහලුන් විදිහට ජීවත්වන වවුනියාවේ අසරණයෝ


 ගමේ නිවසක්   

 

  • එදා නයි නටවා ජීවත් වුණා.   
  • අද ඒකත්  කරන්නේ නෑ   
  • හැමතැනින්ම කරදර   
  • වාසගම දැක්ක ගමන් අපව එළවනවා   
  • එක දැරියක් ලන්ඩන්   උසස් පෙළ හදාරයි   

 

 

“අපි මේ රටේ මිනිස්සු නෙවෙයි කියලා හැමදාම අපව කොන් කරනවා. අපට උප්පැන්න සහතිකේට ශ්‍රී ලාංකික කියලා දාන්න බැරි ඇයි කියලා ඇහුවම වෛද්‍යවරු අපිට බණිනවා. අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු‍. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ට පාසල් යන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ.”‍   
මෙසේ කීවේ අප වැනිම වූ තවත් මනුෂ්‍යයෙකි. ඔහුත් ඔහුගේ බිරිඳත් අපූරුවට සිංහල කතා කරති. ඔවුහු තෙළිඟු‍ භාෂාව ද දනියි. ඉන්දියාවෙන් පැමිණි තෙළිඟු‍ භාෂාව කතා කළ, අතීත ජන කොටසකගෙන් පැවත එන ඔවුහු දැන් මේ රටේම වැසියෝය.
   


අපට මොවුන් හමුවූයේ වව්නියාව දිස්ත්‍රික්කයේ ඒ 9 මාර්ගයේ වව්නියාව නගරයට පෙර හමුවන ඉරට්ටපෙරියකුලම් හන්දියෙන් හැරී ගියවිට දිස්වන නොච්චිකුලම් නමැති ගම්මානයේ දීය.  
ඔවුන් පවසන්නේ තමන් ඉන්දියාවේ සිට පැමිණි තෙළිඟු‍ ජාතිකයන් බවයි. ඒ අතීතය විජය රජු මෙරටට පැමිණි කාලය තරම් ඈතට දිව යන්නකි. අදටත් ඔවුහු තෙළිඟු‍ බස කතා කරති.   
“අපේ අත්තා මුත්තා පවා කියා තියෙන්නේ එයාලාගේ මුතුන් මිත්තෝ විජය රජ්ජුරුවන්ගේ කාලේ ඉන්දියාවේ තෙළිඟු‍ රටින් ආවා කියලා. එදා ඉඳලා අපේ රට වුණේ ශ්‍රී ලංකාව.   
ශ්‍රී ලංකාවේ ජීවත්වන තෙළිඟු‍ බස කතා කරන ජනතාව අතීතයේ දී මෙරට කිසිදු ස්ථිර වාසස්ථානයක් නැතිව තැනින් තැනට යමින් ‘අහිගුණ්ඨික’ ජීවිත ගත කළහ. තැන තැන ගොස් ප්‍රදේශයක් තෝරාගෙන කුඩා කූඩාරම් ගසා මාස කිහිපයක් දිවි ගෙවන ඔවුහු අදටත් ඉන්දියාවේ ‘කුරවර්‘ ගෝත්‍රයට බොහෝ සෙයින් සමානකම් දක්වන බව පර් යේෂකයන්ගේ අදහසයි.   
අතීතයේ ගමෙන් ගමට යද්දී බඩු පොදි රැගෙන ගිය බූරුවන් සහ දඩයමටත් ආරක්ෂාවටත් සහය වන බල්ලන් නයි සහ රිළවුන් සමග සමීපව මොවුහු දිවි ගෙවූහ. බූරුවන් අද දක්නට නැතත් බල්ලන් නම් ඔවුන්ගේ ගම්මානයේ අඩුවක් නැත.   

 

ගමේ ජනතාව සාමාන්‍ය මිනිසුන් මෙන් ජීවත්වන අයුරු

 

 

දැන් ඔවුහු ස්ථාන කිහිපයක ස්ථිර නිවාස සාදාගෙන ජීවත් වෙති.   


මේ ගමේ පදිංචිකරුවන් කතා කරන්නේ සිංහල භාෂාවයි. තෙළිඟු‍ බස කතා කරන්නේ අඩුවෙනි. ඔවුන් කියන ආකාරයටත් අපේ රටේ ඉතිහාසයේ සඳහන්ව ඇති ආකාරයටත් වසර දහස් ගණක් ශ්‍රී ලංකා ජන සමාජයේ තවත් එක් කොටසක් වූ ඔවුහු දැන් මෙරට ඇති පොදු පුද්ගල නාම භාවිත කරති. ඇඳුම් අායිත්තම් ද සාමාන්‍ය ජනතාවගේම මෙනි. එමෙන්ම එදා තිබූ ඔවුන්ගේ ආදායම් මාර්ග අද බොහෝ සෙයින් වෙනස් වී ඇත. නමුත් අපේ රටේ මිනිසුන් සිතන පතන ආකාරය වෙනස්වී නැති නිසා ඔවුන්ට විඳින්නට සිදුව ඇති ගැහැට බොහොමයකි. 

 
තෙළිඟු‍ ජනතාව එකල “වාඩි’’ ලෙස හඳුන්වන කුඩා කූඩාරම් අද මෙහි දක්නට නැත. ඉනි වැට ගස් හෝ මල් පාත්ති දමා වෙන්කරන ලද ඉඩම්වල සෑදූ ස්ථිර නිවාසවල ඔවුහු ජීවත් වෙති.   
මෙවැනි ස්ථිර නිවාස සෑදූ තවත් ගම්මාන කිහිපයක් විවිධ පැතිවල තිබේ. අක්කරපත්තුව, කුඩාගම, කාංචනකුලම, කලාවැව, අන්දරබැද්ද සහ මිහින්තලේ මෙම නොච්චිකුලම ගම්මානයට අමතරව තෙළිඟු‍ බස කතා කරන ජනතාවගේ ගම්මාන පිහිටා ඇත.   
මේ ජනතාව අදින් දශක කිහිපයකට පෙර තැන තැනගොස් නයි සහ රිළවුන් නැටවීම, සාස්තර කීම ආදියෙන් ජීවත් වූහ. නමුත් දැන් ඔවුන්ගේ ජීවන වෘත්තිය බොහෝ සෙයින් වෙනස්වී ඇත.   
උතුරේ යුද්ධය ආරම්භවීමට පෙර කුඩා පැල්පත් අටවාගෙන මෙහි ජීවත් වූ ඔවුහු යුද්ධය දරුණුවීමත් සමග කලාවැව, මිහින්තලය ආදී ප්‍රදේශවලටගොස් පදිංචිව දිවි ගලවා ගත්හ. යුද්ධයෙන් පසු ගමට ආ ඔවුන්ට රජයෙන් මේ ඉඩම් ලැබී ඇත. නිවාස සාදා ගැනීමට ද රජයෙන් ආධාර ලැබුණු බව ඔවුහු කියති. මේ නිසා දැන් ඔවුන්ට ස්ථිර පදිංචියක් තිබේ.   


අපට අදහස් දැක්වූ වසන්ත ෂෙල්ටන් මහතා (39)   


“දැන් අපේ අයගේ රස්සාවල් වෙනස්වෙලා. නයි සහ, රිලවුන් නැටවීම කරන්නේම නැති තරම්. අපේ ගමේනම් ඒ දේවල් කරන වයසක දෙතුන් දෙනෙක් විතරයි ඉන්නේ. අනිත් කිසිම කෙනෙක් ඒවා කරන්නේ නැහැ. ගැහැනු අය නම් තාමත් සෙනඟ ගැවසෙන පැතිවලට ගිහින් සාස්තර කියලා කීයක් හරි හොයා ගන්නවා. අපි ඉතින් කුලී වැඩ කරලා පොඩි පොඩි බිස්නස් කරලා වැවේ මාළු අල්ලලා සල්ලි හොයාගන්න මහන්සි වෙනවා. ”‍   


සින්න එගටන්නලාගේ රංජිත් මහතා (41)   


“අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. රස්සාවක් හොයාගන්න විදියක් නැහැ. කුලී වැඩක් කරලා ජීවත් වෙනවා. නැත්නම් වැවේ මාළු අල්ලනවා. අනුරාධපුරේට ගිහින් බඩු ටිකක් ගෙනත් බස්වල විකුණන්න හැදුවොත් බස්වලින් අපිව එළවනවා අහිගුණ්ඨිකයෝ කියලා. අපිට හැම තැනින්ම කරදරවලට තමයි මුහුණ දෙන්න වෙන්නේ. මම ගාමන්ට් රස්සාවක් කළා. ඒත් ටික කාලයක් යනකොට මගේ නම එතැන අය දැනගත්තා. එදා ඉඳලා ඉතින් මාව කොන් කළා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්නවා අපව කොන් කරනවා. වාසගම දැක්ක ගමන් අපිව එළවනවා. මම අන්තිමේ ඒ රස්සාව අතහැරලා දැම්මා.”‍   
ඔවුන් අප සමග මෙසේ කතා කරමින් සිටියදී කුඩා දරුවකු වඩාගත් කාන්තාවක මහ හඬින් කිව්වේ.   
“අපේ ලේවල වෙන මොනවත් නෑ. අපේ ලේත් රතුපාටයි. අපි කතා කරන්නෙත් සිංහල, යන්නෙ පන්සලට සමහරු ක්‍රිස්තියානි පල්ලියට යනවා. කෝවිල් යන කිහිප දෙනෙකුත් ඉන්නවා. හැමෝටම තියෙන්නේ රතුපාට ලේ. අපි ඔක්කොම මනුස්සයෝ ඒත් අපිට වෙනස්කම් කරනවා.”‍ යනුවෙනි.   


ඇය පවසන්නේ තමන් මේවා කොතරම් නිලධාරීන්ට හා මාධ්‍යවලට කීව ද කවදාවත් කිසිම විසඳුමක් නොලැබෙන බවයි. මාධ්‍යවේදීන් මේ කරුණු සටහන් කරගෙන යන බවත් ඉන් පසු තම වර්ගයා අහිගුණ්ඨික යැයි කියමින් පිටු පුරා ලියා ඡායාරූප ද පළ කරන නිසා තමන් තවත් අමාරුවේ වැටෙන බවත් ඇය කීවේ මහත් වේදනාවකිනි.   


“අපේ සැබෑ ප්‍රශ්න ඔය කවුරුවත් කතා කරන්නේ නෑ මහත්තයෝ.”‍ ඇය පවසන්නේ මහත් වේදනාවකිනි. ඇය තම නම මාධ්‍යයට හෙළිකරන්නට හෝ කැමති වුණේ නැත.   
සාමාන්‍ය මිනිසුන්මෙන් සමාජයට මුහුණ දීමට නොහැකිවීම ඔවුන්ට දැඩි සිත් පීඩාවකි. වසර දහස් ගණනක් පුරා මේ සමාජයේ එකට ජීවත් වූ මිනිසුන් කොන් කිරීමට සාධාරණ හේතුවක් තිබේ ද යන්න අප බලධාරීන්ගෙන් මෙන්ම සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කරන දේශපාලනඥයන්ගෙන් ද විමසිය යුතුය.   
එරන්නාගේ මධුශංක මහතා (23) මේ ගම්මානයේ දී හමු නොවී වෙනත් තැනක දී හමුවූවා නම් ඔහු තෙළිඟු‍ බස කතාකරන ජන වර්ගයකට අයත්යැයි අපට කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය. ඔහු තමන් මුහුණපා ඇති ඛේදනීය තත්ත්වය මෙසේ විස්තර කළේය.   


“අපිට මේ ප්‍රශ්න ඇතිවෙන්නේ ඉස්පිරිතාලේ දී ළමයා ලැබෙන තැන ඉඳලා. මගේ අම්මාට මා ඉපදුණු වෙලාවේ මගේ ජාතිය ලියන තැනට අහිගුණ්ඨික කියලා දාන්න එපා කියා දොස්තර මහත්තයාට කියලා තියෙනවා. ඒ වෙලාවේ දොස්තර මහත්තයාම බැනලා එළවලා කිව්වලු‍ අහිගුණ්ඨික කියලා දානවා ඇරෙන්න වෙන එකක් දාන්න බැහැ කියලා. ඉස්පිරිතාලෙන් දෙන කොළේ ලියලා තියෙන්නේ අහිගුණ්ඨික කියලා. ඉතින් මගේ උප්පැන්න සහතිකයේ ජාතිය අහිගුණ්ඨික. දැන් මට දරුවෙක් ඉන්නවා. මගේ නෝනාට ළමයා ලැබුණාම මම ඉල්ලු‍වා ශ්‍රී ලාංකික කියලා ලියලා දෙන්න කියලා. ඒ දුන්නෙත් නැහැ. ලිව්වේ තෙළිඟු‍ කියලා. මට හිතාගන්න බැහැ අපිට මේ විදියට සලකන්නේ ඇයි කියලා. ”‍   


අහිගුණ්ඨික කියා ජාතියක් ලෝකයේ කොහේවත් නැත. අහිගුණ්ඨික යනු ගමින් ගමට ගොස් ජීවත්වන ස්ථිර පදිංචියක් නැති ජන කොට්ඨාස හඳුන්වන නාමයකි. ඔවුන්ගේ ජාතිය අහිගුණ්ඨික යැයි පවසමින් උප්පැන්න සහතික නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙනි. තෙළිඟු‍ යනු භාෂාවකි. ජාතියක් ලෙස පිළිගන්නේ නැත. තෙළිඟු‍ බස කතා කරන ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ ජාතිය තෙළිඟු‍ ලෙස සටහන් කර එය නිකුත් කළේ කෙසේ ද යන්න ගැටලු‍වකි.   


මේ පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතාගෙන් විමසූවිට ඒ මහතා මෙසේ කීවේය.   
“ පැහැදිලිවම අහිගුණ්ඨික කියා ජාතියක් ශ්‍රී ලංකාවේ නැහැ. ඒ වගේම තෙළිඟු‍ කියන්නේ භාෂාවක් මිසක් ජාතියක් නොවෙයි. අපේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන උප්පැන්න සහතිකවල මේ වගේ ජාතියක් සඳහන් වනවානම් එය බරපතළ වරදක්. මේ වැරදි නිවැරදි කිරීමට තමයි අපි අලු‍තින් උප්පැන්න සහතික ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකස් කිරීම ආරම්භ කළේ. ඉදිරියට මේ වගේ වැරදි සිදුවෙන්න දෙන්නේ නැහැ. ඒ වැරදි ආකාරයේ උප්පැන්න සහතික තිබෙන ජනතාව අපෙන් ඉල්ලා සිටිනවානම් මේ උප්පැන්න සහතිකවල ඇති වැරදි නිවැරදි කරලා දීමට හැකියාව තිබෙනවා. ”‍   
ඔවුන් පවසන්නේ මේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇති ජාතියේ ප්‍රශ්නය නිසා තමන්ට කිසිදු රැකියාවකට යාමටවත් නොහැකි බවයි. මේ නිසා දැන් සතුන් නැටවීමෙන් ඈත්ව සිටින ඔවුහු වැවේ මාළු ඇල්ලීම සහ බස්වල වෙළෙඳාමට යොමුව සිටිති.   


එගටන්නලාගේ විජේරත්න මහතා (26)   


“අපි බස්වල වෙළෙඳාමෙන් කීයක් හරි හොයාගන්න උත්සාහ ගන්නවා. ඒත් ගොඩක් වෙලාවට ඒකටත් අපේ ජාතිය ප්‍රශ්නයක් වෙනවා. අපිට ගමනාගමන මණ්ඩලයෙන් බස් වෙළෙඳාමට බලපත්‍ර දෙන්නේ නෑ. එයාලා කියන්නේ අපි අහිගුණ්ඨිකයෝ කියලා. අපිට සත්තු නටවලා සාස්තර කියලා ජීවත්වෙන්න කියනවා. බලපත්‍ර අරන් දෙන්නම් කියලා අපිව රවට්ටලා රුපියල් 1000 - 2000 පගා ගන්න අය ඉන්නවා. අපිට කිසිම සෙතක් නැහැ. වව්නියාවෙන් කිසිම බස් එකකට නගින්න දෙන්නේ නැහැ වෙළෙඳාම් කරන්න. අපි පුදුම දුකක් විඳින්නේ. වැඩිපුරම අපිව එළවන්නේ ආණ්ඩුවේ සීටීබී බස්වලින්.”‍   
මේ ජනතාව වසර ගණනාවක ඇවෑමෙන් වෙනස්වී සිටිති. දැන් ගම්මානවල පදිංචිව සිටින ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව තමන්ට වූ කෙනෙහෙලිකම් තම දරු පරපුරට සිදුනොවී වැළැක්වීමයි. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතු බව ඔවුහු දැඩිසේ පිළිගනිති.   
මේ දරුවෝ සිංහල බස හොඳින් හසුරුවති. නමුත් ඔවුන් පාසල් සඳහා ඇතුළත්කිරීමේදී ගැටලු‍ ඇතිවන බව දෙමාපියෝ කියති.   


ඊ.ලෙච්චමී මහත්මිය (41)   


“ අපි මේ ගමේ පදිංචියට ආවේ යුද්ධයෙන් පස්සේ. කැලෑවෙලා තිබුණු ගම එළිකරලා අපි පදිංචි වුණා. අපේ දරුවන් මේ කිට්ටුව තියෙන පාසලට භාරදෙන්න ගියාම මුලින් කිව්වා බෑ කියලා. අපි අහිගුණ්ඨික අය කියලා අපේ දරුවන්ට ඉස්කෝලයක් ලැබුණේ නැහැ. මේ ප්‍රදේශයේ හිටපු දේශපාලන බලපුළුවන්කාරයෙක් එයාගේ ළමයි ඒ පාසලට යන නිසා අපේ දරුවන්ව ගන්න එපා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති කළා. නමුත් පස්සේ අපේ දරුවන්ට ඉස්කෝලෙට යන්න අවස්ථාව ලැබුණා. දැන් එයාලා හැමෝම එකට එකතුවෙලා ඉගෙන ගන්නවා. අපේ දරුවන්ට ජාතියක් ආගමක් ප්‍රශ්නයක් නැහැ. එයාලා යාළුවෝ එක්ක හොඳින් ඉන්නවා. නමුත් ඒ යාළුවන්ගේ දෙමාපියන් සමහර වෙලාවට ප්‍රශ්න ඇතිකරනවා. අපි ඉතින් ඒවා ඔක්කොම ඉවසගෙන ඉන්න ඕනෑ. ”‍   


ෂෙල්ටන් මහතාගේ දරුවන් ඉගෙන ගන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉතා හොඳින් අධ්‍යාපනය ලබන ඔහුගේ වැඩිමහල් දියණිය මේ වනවිට ලන්ඩන් උසස් පෙළ හදාරන්නේ වව්නියාවේ නොච්චිකුලම ගමේ නිවසේ සිටිමිනි. ඇයගේ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක වීමයි. මාපියෝ ඇය ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිති.   
“අපේ ජාතියේ අය සහ අපේ දෙමාපියන් කරපු ජීවන වෘත්තීන් නිසා අපට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. අදටත් එහෙමයි. අපි නොවඳිනා දුක් විඳිනවා. ඇතැම් අය අපේ මුහුණටම අහිගුණ්ඨිකයෝ කියලා බනිනවා. නමුත් අපි අපේ දරුවන්ට කොහොම හරි උගන්වනවා. අහිගුණ්ඨික අපිටත් දොස්තරලා ඉංජිනේරුවෝ බිහිකරන්න පුළුවන් කියා අපි පෙන්නනවා. අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම ලේ. මේවා සිංහල, දෙමළ මුස්ලිම් කියලා නෑ, රතුපාට ලේ. මේක අපේ රට. නමුත් රජයේ නිලධාරීන් තමයි වැඩියෙන්ම අපිට කෙනෙහිලිකම් කරන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත්, දිසාපති කාර්යාලයට ගියත් අපි ප්‍රශ්නවලට මුහුණ දෙනවා. නමුත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා දෙවි කෙනෙක් වගේ අපේ පිහිටට ඉන්නවා.”‍ යැයි ෂෙල්ටන් වැඩිදුරටත් කීවේය. 

 
ෂෙල්ටන් ව්‍යාපාරිකයෙකි. ඔහු විවිධ පුද්ගලයන්ගේ විවාහ උත්සවවල ආහාර සැපයීම සිදුකරයි. ඒ ආහාර පිළියෙල වන්නේ ද ඔහු සහ ඔහුගේ සගයන් අතිනි. එමෙන්ම තම ගමෙන් දුරබැහැර තැනක ආහාර සපයන කඩයක් ද ඔහු පවත්වාගෙන යයි. ෂෙල්ටන් පවසන්නේ තමන්ට ඉතා රසවත්ව ආහාර පිළියෙල කළ හැකි බවයි.   


“මට මඟුල් ගෙවල්වල ඕඩර් ලැබෙනවා. මම ඒවා කරනවා. වැඩි පුර ලැබෙන්නේ සිංහල ගෙවල්වල. ඒ අය දන්නේ නැහැ මම මේ ගමේ කෙනෙක් කියලා. එයාලා හිතන්නේ මමත් සිංහල කියලා. උප්පැන්න සහතිකේ බලන්නේ නැහැනේ. මගේ කඩෙන් වැඩියෙන්ම කෑම ගන්නේ සිංහල අය ඒ අයත් දන්නේ නැහැ මගේ උප්පැන්න සහතිකේ මොකක් ද තියෙන්නේ කියලා. හැබැයි දැනගත්තොත් එදා ඉඳලා බිස්නස් අඩුවේවි. නමුත් මට මේවා පත්තරයට කියන්නත් ඕනෑ. මේ අපේ ජනතාවගේ සැබෑ තත්ත්වය.”‍   
ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පවා දැන් වෙනස් වී තිබේ. අතීතයේ යුවළක් විවාහ වූ විට ඔවුන් ලියාපදිංචි නොවූවේ යැයි තම ආච්චිලා සීයලා කියූ බව ඔවුන්ට මතක ඇත. එකල සිදුවූයේ කෙල්ල විවාහ කරදීමට කැමැත්ත දෙනවා දැයි කියා අසා විවාහය තීරණය කිරීමයි. ඉන් පසු උත්සවයක් සංවිධානය වන අතර එදින මනාලයා විසින් මනාලියගේ ගෙලෙහි කළු පැහැති පබළු මාලයක් පළඳා විවාහය සිදුකරයි. මානලිය ජීවිත කාලයම මේ පබළු මාලය පැළඳ සිටිය යුතුය. දෙදෙනා වෙන්වුවහොත් හෝ සැමියා මියගියහොත් හෝ ඇය පබළු මාලය ගලවා දමන්නීය. එකම ඉඩමේ කූඩාරම් දෙකක් ඉදිකර ඒ ගෙවල් දෙක අතර දවස් හතක් මගුල් කෑම ඔවුන්ගේ පැරණි චාරිත්‍රය විය. ඒ දින හතේදී සෑම දිනකම උදේ මනාල යුවළ කිරෙන් නහවා නිවෙස් දෙකෙහි තබන අතර දවස් හතකට පසු මේ විවාහය ඔවුන්ගේ සිරිත් අනුව නීත්‍යානුකූල වෙයි.   
දැන් සිදුවන්නේ විවාහය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිසාපති කාර්යාලයට හෝ ගොස් ලියාපදිංචි කරගෙන පැමිණ සිංහල චාරිත්‍රවල දී මෙන් මුදු මාරුකර මාලයක් පැලඳවීමයි. ඉන් පසු මංගල උත්සවය නගරයේ හෝ ආසන්න හෝටලයක නෑදෑ හිතමිතුරන් සමග පවත්වා මනාල යුවළ මධු සමය සඳහා පිටත්ව යති.   


කෙනෙකු මියගියවිට ඔවුන් අතීතයේ කළේ මඩුවක් තනා එහි මළ සිරුර දින තුනක කාලයක් තබා ගැනීමයි. ඉන් පසු රෙදිවලින් හෝ හන් පැදුරුවලින් ඔතා වළ දැමීම කළහ. දැන් මේ සියල්ල වෙනස්වී තිබේ. කෙනෙකු මියගිය විට එදා එම්බාම් නොකළ ද අද එම්බාම් කරන ලද දෙන පෙට්ටියක බහා ඔවුන්ටම වෙන්ව ඇති සුසානභූමියේ භූමදාන කරයි.   
මේ ගම්වාසීහු විවිධ ආගම් අදහති. කතෝලික, බෞද්ධ මෙන්ම හින්දු ආගම අදහන්නෝ ද සිටිති. ඔවුන් පවසන්නේ තම තමන්ගේ ආගම් අනුව අදාළ උත්සව සේම චාරිත්‍ර වාරිත්‍ර ද කරගෙන යන බවයි. මේ ගමේ සිටින වැඩි පිරිසක් කතෝලිකයෝය. පවුල් හතරක් බෞද්ධ ආගම පිළිගන්නා අතර හින්දු භක්තිකයන් කිහිප දෙනෙක් ද සිටිති.   


දැනට ද මේ ගමේ කාන්තාවෝ අත බලා සාස්තර කීමට ගමින් ගමට හෝ උත්සව පැවැත්වෙන තැන්වලට යති. අතබලා සාස්තර කීව ද ඇත්තටම කියන්නේ මුහුණ බලා යැයි ඔවුන්ම කියයි.   


එගන්නලාගේ තරංගනී මහත්මිය (26)   


“අපේ හැමෝටම සාස්තර කියන්න පුළුවන්. මේ සාස්තර කීම අපි පුරුදු වෙන්නේ අම්මලාගෙන්. පිරිමි අය සත්තු නැටවීම කරනවා. ගැහැනු අය සාස්තර කියනවා. අම්මලා සමග පොඩිකාලේ ඉඳලා ගිහින් සාස්තර කියන්න පුරුදුවෙනවා. අපි මේවා අමුතුවෙන් පුහුණු වෙන්නේ නැහැ. ඉතින් මුහුණ බලලා තමයි කියන්නේ. ඒකෙන් අපි ජීවත්වෙන්නේ.”‍   


විජය කුමරු මෙරටට පැමිණෙද්දී කිරි හරක් වෙළෙඳාම සඳහා තම මුල්ම ඥාතීන් මෙරටට පැමිණි බව ඔවුන්ගේ විශ්වාසයයි. දිගටම කිරි හරක් වෙළෙඳාමේ යෙදී සිටි ඔවුන්ට කරදර ඇතිවූයේ ආරාබි ජාතිකයන් මෙරට වෙළෙඳාමට පැමිණි පසුවය. බඩු විකුණන්නට ගමින් ගමට ගිය ආරාබි ජාතිකයන් නිසා තම වෙළෙඳාම නැති වූ බවත් ඉන් පසු කැලෑවැදී දඩයම් කර මස් වෙළෙඳාමට පුරුදුවී ඇති බවත් ඔවුන්ට සිය වැඩිහිටියන් පවසා ඇත. වනයේ සිටි වයස්ගත පුද්ගලයන් නයි සහ රිළවුන් අල්ලාගෙන පැමිණ මිනිසුන් රැස්වන ස්ථානවලදී නැටුම් පෙන්වා අවශ්‍ය භාණ්ඩ රැගෙන යාමට පුරුදුව සිටි බවත් එය ඉන්දියාවේ තමන් වැනිම කණ්ඩායම්වල තිබෙන ක්‍රමයක් බවත් ඔවුහු කියති.   


වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා මෙසේ කීවේය.   


“ මේ ජන කොට්ඨාසය අපේ රටේ ජනවර්ග පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ඉතා වැදගත් පිරිසක්. ඔවුන්ට විවිධ ප්‍රශ්න තිබුණා. අපි ඒ පවුල් දැන් පදිංචිකරලා ස්ථිර නිවාස සාදා ගැනීමට අවශ්‍ය උදව් කළා. ඔවුන්ගේ දරුවන්ට පාසල් යාමේ ගැටලු‍ තිබුණා. ඒවා විසඳාදීමට හැකි වුණා. මේ ජනතාව අපේම මිනිසුන් කියා සලකන්නට මහා සමාජය පුරුදුවිය යුතුයි. තවමත් ඔවුන් සමාජයෙන් කොන් කරන්න අතැම් පිරිස් උත්සාහ ගන්නවා. නමුත් මේ යම් ක්‍රමයකට හැඩගැසුණු ජනතාවක්. ඔවුන්ට තම වැඩිහිටි පරම්පරාවල අනන්‍යතාව තියාගෙන නූතන සමාජය සමග අනුගතවීමට අවස්ථාව උපරිමයෙන් දිය යුතුයි.”‍   


ඔවුන්ට තෙළිඟු‍ බස කතා කළ හැකි වුව ද තෙළිඟු‍ අකුරු කියවන්නට දන්නේ නැත. නමුත් පසුගිය දිනක ඉන්දියාවෙන් පැමිණි තෙළිඟු‍ ජාතිකයන් කතා කළ භාෂාවත් ඔවුන් කතා කරන භාෂාවත් අතර වැඩි වෙනසක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන්ගේ ඥාති බන්දුතාවක් ඇති බවනම් සත්‍යයකි. නමුත් මේ අපේම රටේ මිනිසුන් බව අප අමතක කළ යුතු නොවේ.   


අහිගුණ්ඨික ජනතාවක් යැයි තවමත් සමාජයෙක් කොන්කරන්නට උත්සාහ ගන්නා මේ මිනිසුන් පැවසූ වදනකින්ම අපි මේ ලිපිය අවසන් කරන්නෙමු. ඒ ඔවුන් මේ සමාජය දකින ආකාරයයි.   


“අපි ඉස්පිරිතාලෙට ගිහින් ලේ දෙනවා. අපේ ලේ ගන්නකොට ඒවායේ අහිගුණ්ඨික කියලවත් තෙළිඟු‍ කියලවත් ගහලා නෑ. අපි හැමෝටම තියෙන්නේ මනුස්ස ලේ.”‍   

 

 

 


සටහන සහ ඡායාරූප - සජීව විජේවීර 

 

 

 



Recommended Articles