අදටත් මිනීමරුවන් හෙළිනොවූ ‘රංජනී ටැක්සි කැබ්’ අබ්රහස


 

ආනන්ද හරිශ්චන්ද්‍ර විසින් අලස්ගේ පොතට අඳින ලද ඇල්බට් මැරී සිටින චිත්‍රය.   

 

එදා ඉරිදා ලංකාදීප පුවත්පතට සුසිල් ප්‍රේමරත්න විසින් ‘‘රංජනී මිනීමැරුම’’ ලිපියට අඳින ලද චිත්‍රය.   

 

 

 

  • කොහුවල රංජනී ටැක්සි කැබ් එකේ රියැදුරු ඇල්බට් පෙරේරා මැරූ මිනීමරුවා කවුද?   
  • බණ්ඩාරගම කිඳෙල්පිටියේ වෙල්යායේ සැඟව ඇති අබිරහස.   
  • සතියකින් විවාහවීමට සිටි ඇල්බට්ගේ මඟුල් මුදුව සහිත ඇඟිල්ල කපාගෙන ගිහින්.   
  • පිස්තෝල වෙඩි පහර හයක්, පිහි පහර දෙකක්.   
  • සැකකරුවන් වෙනුවෙන් ලංකාවේ ඉහළම නීතිවේදීන්   
  • පොන්නම්බලම්, කොල්වින්, සර් උක්වත්තේ, සිරි පෙරේරා, ඉයන් වික්‍රමනායක පෙනී සිටි නඩුව.   
  • කැබ් රථ සමාගමේ සිටි අවංකම, විශ්වාසවන්ත රියැදුරා මියගියේ කෙසේද?   
  • කැබ්රිය තුළ මාරක සටනක්.   
  • මිනීමරුවන් කොහිද?   

 

 

කෙනෙකුගේ ජීවිතයේ විවාහ වන දිනය තරම් තරුණයකුගේ ජීවිතයේ රසබර මෙන්ම, චමත්කාරජනක දිනයක් තවත් තිබේද? සතියකට පසු එළඹෙන ඒ දිනය එනතුරු තරුණයෙක් සතියක් බලා සිටියේ එවැනිම සුන්දර සිහින මවමිනි.   


ඊට පෙර කල් තියාම තමාගෙන් ඉටු විය යුතු චාරිත්‍ර ඉටු කළ මේ තරුණයා එළඹෙන සඳුදාට සිදු කෙරෙනු තම විවාහයට සතියක සිටම කළ යුතු දේ ගැන කල්පනා කරමින් තමා සේවය කරන සේවා ස්ථානයේ කළමනාකරුගේ අසුනේ සිට සිහින මවමින් සිටියේය. ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක මඟුල් මුදුවකි. තම ප්‍රියාව විසින් විවාහ ගිවිස ගත් දින පැලඳූ රන් මුදුව දීප්තිය නගයි.   


මේ තරුණයා විටෙක තනිවම සිනාසුණේය. තවත් වරෙක ජීවිතයේ නවමු අත්දැකීමකට මුහුණ දෙන අයුරු ගැන සිතින් මවාගෙන ඒ මේ අතර ඇවිද්දේය. ඈතීන් ඇසෙන ගුවන් විදුලි ප්‍රේම ගීතයකට ඔහු උරුවම් බෑවේය. එය එකල ප්‍රදර්ශනය කරමින් තිබූ ‘‘කැලෑ හඳ’’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයකි.   


‘‘අන්න සුදෝ අර පාට වළා   


සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ.’’   


තව නොබෝ දිනකින් තම සහකාරිය වන මනමාලි සිය මංගල ඇඳුමෙන් සැරසී සිනාසෙන අයුරු ඔහුට මැවී පෙනෙයි. විවාහයෙන් පසු ගත කරන අලුත් ජීවිතයද ඔහු සැලසුම් කර තිබුණි. ඒ සඳහා පුංචි කුලී නිවසකට ඔහු අත්තිකාරම් ද දී තිබුණේ ගෙදරට අවශ්‍ය දේවල් ගැන ද සැලසුම් කරගෙනය.   
මේ තරුණයාගේ නම ඇල්බට් පෙරේරාය. ඔහු සේවය කළේ කොහුවල රංජනී කැබ් ආයතනයේය. මෙහි අයිතිකරු මාතර ව්‍යාපාරිකයකු වූ ඩබ්ලිව්.ඩී. ගුණදාසය. 1953 පෙබරවාරි මාසයේ එක මොරිස් මයිනර් වාර්ගයේ කළු කැබ් රථයකින් ආරම්භ කරන ලද රංජනී කැබ් ආයතනයේ ප්‍රථම රියැදුරු වූයේ ඇල්බට්ය. ඇල්බට් උත්සාහවන්ත, දියුණුවීමට කැමති තරුණයෙකි. ඔහු තම හාම්පුතාට අවංකවත්, විශ්වාසවත් සේවය කරමින් තම රියැදුරුකම කරගෙන ගියේය. ඇල්බට් ගේ උත්සාහය නිසා කැබ් රි​යෙන් මාසය අවසානයේ රු. 1363ක් හා ශුද්ධ ලාබය රු. 800ක් ලාභයක් උපයා ගැනීමට ගුණදාස මුදලාලිට හැකි විය එය 1953 වසරේ ලොකු මුදලකි.   
එක රථයකින් පෙබරවාරි මස ඇරඹූ රංජනී කැබ් ව්‍යාපාරය අගෝස්තු මාසය වන විට කැබ් රථ 6ක් දක්වා වැඩිකර ගැනීමට ගුණදාස මුදලාලි වාසනාවන්තයෙකු විය.   
රංජනි කැබ් රථ ධාවනය වූයේ රජයේ අනුමත මිල අනුව සැතපුමට ශත 60කටය. ඒ පෙ.ව. 6 සිට ප.ව. 10 දක්වාය. රාත්‍රියේ ප.ව. 10 සිට පෙ.ව. 10 තෙක් ශත 90කි.   
රංජනී කැබ් ව්‍යාපාරය දියුණු කිරීමේ පුරෝගාමියා වූයේ ඇල්බට් බව දැන සිටි ඇතැමෙක් ඔහුට ඊර්ෂ්‍යා කළේය. ඇල්බට්ට එකල රු. 250ක මාසික වැටුපක් ලැබිණ. 1953 වර්ෂයේ රජයේ උසස් විධායක නිලධාරියෙකුට ලැබී ඇත්තේ ඊට අඩු වැටුපකි. ඇල්බට් කොහුවල කුඩා කාමරයක පදිංචිව සිටි අතර ඔහු බොහෝ දෙනෙකු හඳුනන චරිතයක්ව සිටියේය. ධනවත් අය රංජනී කැබ් සේවයෙන් කුලී රථයක් තෝරා ගන්නා විට ඇල්බට්වම තෝරා ගැනීම නිසා ඔහු හොඳ ඉල්ලුමක් තිබුණි. මේ තරුණ රියැදුරා​ගේ කාර්යශූරත්වය දුටු ගුණදාස මුදලාලි ඔහුට කළමනාකාර ධුරය පිරිනැමීය.   

 

රංජනී මිනීමැරුම ගැන සැක කරනු ලැබ සිටි අයකුගේ නිවසක් එදා පොලීසිය මගින් පරීක්‍ෂා කළ අවස්ථාවක්.  

 


එහෙත් ඇල්බට් ටෙලිෆෝනයක් මේසයක් පුටුවක් සහිතව සිට සෙසු අයට විධානය දෙමින් කාලය අපතේ යැවූ පුද්ගලයකු නොවීය. තම සහයක රියැදුරන්ටද මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් සලකා තමාගේ සුපුරුදු ‘කස්ටමස්ලාගේ’ ඉල්ලීම ඉටු කරමින් රියැදුරු තනතුරේද නියතු විය.   
එදා 1953 අගෝස්තු 02 වෙනිදාය ඇල්බට්ගේ සරණ මංගල්‍යයට තිබුණේ තව දින හතකි. මේ කාලයේ (S.S.C) සිංහල ක්‍රීඩා සමාජ ශාලාවේ (Sinhalese Sports Club) විශාල සැණකෙළියක් පැවැත්විණි. කොළඹ නගර මධ්‍යයේ වික්ටෝරියා උද්‍යානයේ (අද විහාර මහා දේවි උද්‍යානය) අසල මේ සැණකෙළිය ද බම්බලපිටියේ ඇරේබියන් නයිට්ස් සැණකෙළියද (Arabian Nights Carnival) ද, විනෝද රජා ලෙස ප්‍රකටව සිටි ඩොනවන් ඇන්ඩ්‍ර (Donovan Andree) ගේ Coronation Carnival සැණකෙළියද ජනතාව අතර ප්‍රකටව තිබුණි. මේ සැණකෙළි බැලීමට අතමිට ඇත්තෝ කොහුවල රංජනී කැබ්වලින් යාමට ඒමට ප්‍රිය කළෝය. සිංහල ක්‍රීඩා සමාජය (S.S.C) ඉදිරිපත් කළ ‘‘රාජාභිෂේක’’ සැණකෙළියට බොහෝ දෙනා ඇදී ආවේ එහි ඇති විසිතුරු බව නිසාමය. මේ නිසා රංජනී කැබ්වලට රාත්‍රී කාලයේ වැඩ වැඩි විය.   
එදා 1953 අගෝස්තු 02 වෙනිදා ඇල්බට් පෙරේරා තමා පදවාගෙන ආ EL 1936 Ranajani Cab අලුත්ම කළු මොරිස් මයිනර් රථය මේ සැණකෙළිය අසළ නතර කර දන්නා අඳුනන අය සමඟ අල්ලාප සල්ලාප යෙදෙමින් සැණකෙළියේ පිටත විසිතුරු බලමින් සිටියේය. මේ අතර කිසියම් කෙනෙක් ඇල්බට් වෙත පැමිණියේය.   
‘‘අපිට රෑ එකොළහමාරට බණ්ඩාරගමට ගමනක් යන්න තියෙනවා.’’ කැබ් එක ඇතුළත විපරම් කරමින් ඔහු ඇල්බට්ට කීවේය.   


‘‘මේක අලුත්ම කැබ් එකක්..’’ ඇල්බට් උජාරුවෙන් කීවේය.   
‘‘එහෙනම් මම එකොළහාමාරටම එන්නම්’’ කියා ඔහු පිටව ගියේය.   
මේ රාත්‍රියේ ‘හොඳ හයර් එකක් වදින්න යන්නේ’’ යැයි සිතා ඇල්බට් සතුටු වන්නට ඇත.   
හරියටම එකොළහමාරයට කාර් එක බුක් කළ තැනැත්තා තව කෙනෙකුද සමඟ පැමිණ රථයේ පිටු පස ආසනයේ හිඳ ගත්තේය.   
‘‘මේ කාර් එකේ අලුත් සුවඳ තවමත් තියෙනවා’’   
‘‘ඔව් අලුත්ම රංජනී කැබ් එක මේ...’’ ඇල්බට් සිනාසෙමින් කීවේය.   
‘‘අපි... කැස්බෑවට ගිහින් බණ්ඩාරගම පාරේ යමු’’   
‘‘හොඳයි’’   


ඇල්බට් පදවාගෙන ගිය කැබ් රථය කැස්බෑව බණ්ඩාරගම පාරේ කිඳෙල්පිටියේ කහටවෙල වෙල්යාය පසුකරමින් තිබුණි.   
‘‘මහත්තයා මේ වෙල්යාය බිලි ගන්නා තැනක් කියලා මම අහලා තියෙනවා. මේ හරියේ මිනීමැරුමකුත් වෙලා තියෙනවාලු. ඇත්තද? අවුරුද්දකට සැරයක් බිල්ලක් ගන්නවාලු. ඒක ඇත්තද? ඇල්බට් ඇසුවේ තමා එන්නේ භයානක පැත්තකට බව ඉවෙන් මෙන් දැන ගෙනය.   
පිටුපස සිටි අය කතාවක් නැත. මධ්‍යම රාත්‍රිය පසුව ඇත. නිශ්ශබ්දතාව ඇල්බට්ගේ සිතට බිය ගෙන දුන්නේය. දැන් ඔහු රිය පදවන්නේ වෙව්ලන දෑතෙනි. ඔහු අවට බැලුවේ දෙගිඩියාවකිනි. අවට තමාට පසුවෙන හැම ගහක්ම අවතාර, හොල්මන් ලෙස ඔහුට පෙනේ.   
දැන් ක්‍රම ක්‍රමයෙන් මේ කැබ් රිය බිලිගන්නා තැනට සේන්දු වෙයි. ඒ සමග කැබ් රිය තුළ ගැටුමක් ඇති විය. ඇල්බට් රථය නැවැත් වූයේ ඉදිරියට රූටා යන අයුරිනි. ඔහුගේ ගත හොඳටම දහඩියෙන් තෙත් වෙලාය. කුමක් දෝ නපුරක් සිදු වෙන බව ඔහුට හැඟිණ. දෙදෙනෙකු සමග තමාට පොර බදන්නට සිදුවූ බව සිහිනෙන් මෙන් පෙනුණේය.   
ඒ අතර පිස්තෝලයකින් වෙඩි පහර කිහිපයක් නිකුත් විය. වෙඩි පහරවලින්ද එකෙකුගේ පිහි පහර දෙකකින් පහර කෑ ඇල්බට්ගේ ලේ ගලන මළකඳ ඉදිරි අසුන මත පතිත විය. පුදුමය නම් ඊට යාර 100කට පමණ ඈතින් තිබූ නිවෙස්වල අයට මේ ශබ්ද නොඇසීමය. මේ අවාසනාවන්ත සිද්ධිය මුලින්ම දැක ඇත්තේ ඒ පාරෙන්ම ගිය බස් රථයක ගිය මගීන් විසිනි. ඔවුන් මේ ඛේදවාචකය පොලීසියට දන්වා ඇත.   


රංජනී ටැක්සි මිනීමරුම ගැන ‘‘ඉරිදා ලංකාදීප’’ පත්‍රයට ප්‍රකට ලේඛකයකු පුවත්පත් කලාවේදියකු වූ ගුණපාල වීරසේකර විසින් පනහ දසකයේ අග ලිපියක් ලියා තිබුණි. එහි මැය වූයේ ‘‘රංජිනී මිනීමරුම’’ කියායි. ඇල්බට්ට කිසිවකු පිස්තෝලයකින් වෙඩි තබන සිද්ධිය සිතින් මවා ගත් චිත්‍රයක්, සුසිල් ප්‍රේමරත්න නම් ප්‍රවීණ චිත්‍රශිල්පියා පුවත්පත් ලිපියට ඇඳ තිබුණි. හිටපු සොලිසිටර් ජනරාල් හා සුප්‍රීම් උසාවියේ හිටපු විශ්චයකාර ඒ.සී. අලස් මහතා 1995 ලියා පළ කළ The Ranjani Taxi Cab Murder Case’’ ග්‍රන්ථයේ පිටකවරයේ ඇල්බට් රථයේ ඉදිරි අසුනේ මැරී සිටි චිත්‍රයක් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ආනන්ද හරිශ්චන්ද්‍ර විසින් ඇඳ තිබුණි.   
ගුණපාල වීරසේකර විසින් ‘ඉරිදා ලංකාදීප’ ලියන ලද ලිපියේ පොලිස් පරීක්‍ෂණ ගැන මෙසේ සඳහන් කර ඇත.   
‘‘පොලීසිය මිනීමැරුම සිදුවූ ස්ථානයට ගොස් පරීක්‍ෂණ පැවැත්විය. මියගිය අයගේ (ඇල්බට් ගේ) සිරුර ඉදිරිපස අසුනේ විය. රථයේ දොරක් ඇරී තිබුණේය. ඇල්බට්ගේ සාක්කුවේ ලේ තැවරුණු රු. 50හේ නෝට්ටු කොළ කිහිපයක් තිබිණි. ශරීරයේ වෙඩි වැදී තිබුණු නමුත් වෙඩි උණ්ඩ එකක්වත් දක්නට නොලැබීම පුදුමයට කරුණක් විය. ඔහුගේ අතේ මැදඟිල්ල තිබුණේ නැත. එහි තිබුණු මුද්ද තිබුණේ නැත. එහි තිබුණ මුද්ද ඇඟිල්ලත් සමඟ කපාගෙනය.   
ඒ වනාහි ඔහුගේ මනමාලිය වන්නට සිටි පෙම්වතිය විසින් පලඳවන ලද මුද්ද විය හැකි බව සලකන ලදී. මිනීමරුවා වෙතින් මෝටර් රථයකට නැගී පලා යන්නට ඇතැයි පොලීසිය ඒ වෙලාවේ අදහස් කළේය. කලක් තිස්සේ සැලසුම් යොදා කරන ලද මිනීමැරුමක් බවද පොලීසියේ අදහස විය.   
ඉරිදා රාත්‍රියේ 10.30ට පමණ ඇල්බට් පෙරේරා සැණකෙළි භූමියේ සිටි බවද EL 1936 දරන අලුත් මොරිස් රථයක් ඔහු ළඟ තිබුණ බවද මහේස්ත්‍රාත් විභාගයේදී හෙළි විය. රාත්‍රී කාලයේ දුර ගමන් යන්නට එපා යයි ඇල්බට් පෙරේරාට කියා තිබුණු බව රංජනී කැබ් සේවයේ අයිතිකරු ගුණදාස මහේස්ත්‍රාත්වරයා හමුවේ කීයේය.   
එම වාර්තාවේ මෙසේද සඳහන් වේ.   


රංජනී ටැක්සි මිනී මැරුමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරන පස් දෙනෙකු අල්ලා ඔවුනට විරුද්ධව පානදුරේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරන ලදී.   


1. කේ. බුදිනිස්   
2. ඩබ්ලිව්. ඊටින්   
3. පී.පී. ඔම්පිසිංඤා්   
4. සයිමන් ද සිල්වා ජයසිංහ හෙවත් ආරච්චිරාළ   
5. කවනිස් හෙවත් පෙරියම්පෙරුම ආරච්චිගේ කෙවිනිස්. 

 
ඇෆ්.ආර්. ඩයස් බණ්ඩාරනායක, ඊ.එච්.ටී. ගුණසේකර, ටී.ඇස්. ප්‍රනාන්දු, එච්.ඩබ්ලිව්.ආර්. වීරසූරිය, මාෂල් පුල්ලේ යන විනිශ්චයකාර මණ්ඩලයක් හමුවේ විභාග වූ මේ මිනීමැරුම් නඩුවේදී පළමු වැනි සැකකරු බුදිනිස් වෙනුවෙන් රාජනීතිඥ ජී.ජී. පොන්නම්බලම්, සහායක අධිනීතිඥ සුනිල් කේ. රුද්‍රිගු ද දෙවැනි සැකකරු ඊටින් වෙනුවෙන් රාජනීතිඥ ආර්.එල්. පෙරෙයිරා සහායක අධිනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා හා අධිනීතිඥ ජයතිලකද ඔම්පිසිංඤෝ වෙනුවෙන් රාජනීතිඥ සිරි පෙරේරා සහායක අධිනීතිඥ ඉයන් වික්‍රමනායකද ආරච්චි රාල වෙනුවෙන් රාජනීතිඥ සර් උක්වත්තේ ජයසුන්දර සහායක අධිනීතිඥ කේ.සී. නඩරාජා අධිනීතිඥ සී.ඩී.ඇස්. සිරිවර්ධන අධිනීතිඥ ස්ටැනිල් පෙරේරා සෙසු සැකකරුවන් වෙනුවෙන්ද පෙනී සිට ඇත.   


ඇටෝනි ජනරාල්වරයාගෙන් සමාවක් ලැබූ කමකිස් පැමිණිල්ලේ සාක්ෂිකරයා වී ඇත. විත්තිකරුවන්ගේ මුල් තිදෙනාට මිනීමරුම සම්බන්ධයෙන් හතරවැනියා ඊට අනුබල දී සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වූහ.   


ගුණපාල වීරසේකර විසින් ලියූ ලිපියේ සඳහන්ව ඇත්තේ මියගිය ඇල්බට් ගේ ශරීරයේ තුවාල දොළහක් තිබූ බවත්, එයින් හයක් වෙඩි උණ්ඩවලින් සිදු වූ ඒවා බව අධිකරණ වෛද්‍යවරයා කියා ඇති බවය. තවදුරටත් වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තබන්නට පෙර පිහියෙන් ඇන තිබෙන බවත්, පිහිය උදුරා ගැනීමට ඇල්බට් බලවත් සටනක් කර ඇති බව තුවාලවලින් පෙනෙන බවය.   


මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි අගෝස්තු 10 වෙනිදා මෘත ශරීරය ගොඩ ගෙන පරීක්ෂා කිරීමේදි රංජනී ටැක්සි සමාගමේ රියැදුරෙකු වූ ලියෝ අප්පුහාමි මළ සිරුර ඇල්බට්ගේම බව හඳුනාගෙන ඇති අතර අගෝස්තු 02 වෙනිදා තම සැණකෙළි භූමියේදී ඇල්බට් පෙරේරා තමා සමඟ කතා කරමින් සිටිනවිට ඇම්.ජී. රථයකින් පැමිණි ආරච්චිරාල, ඇල්බට් පෙරේරා සමඟ කතා කළ බව පවසා ඇත. ඒ රථයේ ඉදිරි ආසනවල මුහුණ වසාගත් නාඳුනන මිනිසෙකු සිටි බවද ඔහු පවසා තිබුණි. ඇඟිලි සලකුණු නිලධාරියා සාක්කි දෙන අවස්ථාවේ රජයේ ඇඟිලි සලකුණු ඊටින්ගේ හා ඔම්පි සිංඤෝගේම ඇඟිලි සලකුණුවලට සමාන බව කියා ඇත.   


පොලීසිය විසින් ආරච්චිරාල අල්ලා ගැනීමට යන විට ඔහු පැන ගිය බවත් ඔහු පසුපස පන්නා අල්ලා ගත් බවත් උපපොලිස් අධිකාරියේ සාක්‍ෂියේ සඳහන් වූ බවද වීරසේකර විසින් ලියූ ලිපියේ සඳහන් වෙයි. දවස 64ක් තුළ විභාග වූ කොළඹ අපරාධ අධිකරණයේ ඇස්. සින්නදොරේ මහතා විභාග වූ නඩු ඉතිහාසයේ දිගම නඩුව වෙයි. වීරසේකර විසින් ලියූ ලිපිය කෙළවර කර ඇත්තේ මෙසේය.   


‘‘මාස දෙකකටත් වැඩි කලක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මේ නඩුවේදී විනිශ්චයකාරතුමාගේ දේශනයට දවස් දෙකක් ගත විය. ජූරිය පැය තුනකින් ස්වකීය තීරණය දුන්නාය. විත්තිකරුවෝ හතර දෙනාම නිදහස් වූහ. හෙළි වූ අබිරහස් අතරට මේ හෙළි නොවූ අබිරහසක් රුවන ලද්දේ කවර හෙයින් දැයි පාඨකයාට සිතෙන්නට පුළුවන. අභිරහස යට ගියේ කෙසේ දැයි ඔබම හිතා බලන්න.   


ඇල්බට් පෙරේරා කිසිවෙකු විසින් සාහසික ලෙස මරා දමන ලද බව පැහැදිලිය. විනිශ්චයකාරතුමා කියූ අන්දමට මියගිය අයගේ ශරීරයේ තිබුණු තුවාල සියතින්ම කරගන්නා ලද ඒවා නොවන හෙයිනි. මිනීමරුවා කොහිද?’’   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම: ලාල් සෙනරත්   

 



Recommended Articles