විසිවැනි සංශෝධනය අවසන් තීන්දුව නොවෙයි


ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

ආණ්ඩුවේ ඉදිරි ගමන ගැනත් අලුත් ව්‍යවස්ථා සංශෝධනය ගැනත් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.

 

  • අසීමිත බලයක් දේශපාලනයේදී කිසිවෙකු සතුව තිබිය යුතු නැහැ කියන එක තමයි නූතන ජනතා  විඤ්ඤාණය..

 

 

ප්‍රශ්නය:- 2015 ජනතා තීන්දුව රාජපක්ෂවරුන්ට මේ තරම් ඉක්මනින් අමතක වුණේ ඇයි කියන ප්‍රශ්නයෙන් මේ සාකච්ඡාව ආරම්භ කරමු?


පිළිතුර:- මට ඔබේ ප්‍රශ්නය පැහැදිලි නෑ.


ප්‍රශ්නය:- රාජපක්ෂවරුන්ගේ 2015 පරාජයට හේතුවක් තිබුණා. ඒ හේතු මෙච්චර ඉක්මනට අමතක ඇයි?


පිළිතුර:- හේතු කිහිපයක් 2015 පරාජයට බලපෑවා. ඒ හේතු සමහර ඒවා බොරු කියලා ඔප්පු වුණා. සමහර හේතු ඇත්ත නැමැති දවටනයේ ඔතලා තිබුණේ. සමහර හේතු ඇත්ත තමයි.


ප්‍රශ්නය:-  අසීමිත බලය තනි පුද්ගලයකු වටා ඒකරාශි වීම 2015 පරාජයට ප්‍රබලම හේතුවක්?


පිළිතුර:- යම් මට්ටමකට පිළිගන්නවා. අසීමිත බලයක් දේශපාලනයේදී කිසිවෙකු සතුව තිබිය යුතු නැහැ කියන එක තමයි නූතන ජනතා විඤ්ඤාණය.


ප්‍රශ්නය:-  නමුත් 20 හරහා අපි යළිත් ඇවිත් තියෙන්නේ එතැනට?


පිළිතුර:- මම හිතනවා 20 වැනි සංශෝධනය අවසන් තීන්දුව නොවෙයි. යම් දළ සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. අලුත් ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු කරුණු අධ්‍යයනය කරන්න විශේෂ කමිටුවක් පත්කරලා තියෙනවා. ජනතා අදහස් විමසීමක් කරනවා. අපේ කණ්ඩායම ඇතුළේ මේ ගැන සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධයෙන් අපේ විවිධ අදහස් තියෙනවා. ඒ අදහස් හරහා යම් වෙනස්කිරීම්වලට යන්න පුළුවන් කියලා මම හිතනවා.

ප්‍රශ්නය:-  ජනතාවගේ මුක්තිය ඉවත්කිරීම ගත්තොත් ජනාධිපතිවරයා වැරැදි කරන්නේ නැත්නම් ඇයි අධිකරණයට බය වෙන්නේ?


පිළිතුර:- අධිකරණයට බයට වඩා එතැන තියෙන ප්‍රශ්නය තමයි 2015 වගේ යහ පාලනය වගේ එකක් ආවොත් එළව එළවා ගිහින් බොරුවට හිරේ ද‌ාන්න ගත්තොත්? ඒ නිසා ජනාධිපති කෙනෙකුට ප්‍රබල තීන්දුගන්න වෙනවා. වෙන කාට හරි ඒක වැරැදි විදියට ගන්න පුළුවන් වෙයි. මුක්තිය කියන්නේ අපරාධමය වැරැදි සම්බන්ධයෙන් තියෙන කාරණයක්. රටේ ජනාධිපතිවරයා අපරාධකරුවකු නොවේය කියන එක රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය:-  පාර්ලිමේන්තුව වසරකින් විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගේ අතට දීලා තියෙනවා. මේවා ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙනවද?


පිළිතුර:- මම හිතනවා ඒක ටිකක් වෙනස් විය යුතුයි කියලා.


ප්‍රශ්නය:- දැන් එහෙම හිතුවට වැඩක් වෙනව ද? කැබිනට් එකේදී ඔබත් අත ඉස්සුවා?


පිළිතුර:- මේක තාවකාලික පියවරක්නේ. අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ගැන තව ටිකක් සාකච්ඡා කළයුතුයි.


ප්‍රශ්නය:-  තනි පවුලක් වටා සමස්ත රාජ්‍ය බලය කේන්ද්‍රගත කර ගැනීම නේද 20 අරමුණ?


පිළිතුර:- පවුලක් කියන්නේ? ජනතාව ඉතින් පවුලකට ඡන්දය දුන්නට පස්සේ ඒ ගැන කතා කරන්නේ මොනවාද? ජනතාවගේ පරමාධිපත්‍යය ගැන අපි කතා කරනවා නම් ඒ ජනවරම අපට පිළිගන්න වෙනවනේ. අපිට කැමැති පරමාධිපත්‍ය පිළිගන්නත් අකමැති පරමාධිපත්‍ය නොපිළිගන්නත් අපට තියෙන අයිතිය මොකක්ද?


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් තෝරාපත්කරලා එනවා. කැබිනට් එක ගත්තත් රාජ්‍ය ආයතන ගත්තත් එයින් තුනෙන් දෙකක් එක පවුලකට. ඒකත් ජනතා පරමාධිපත්‍යයද?


පිළිතුර:- එතැන ප්‍රශ්නයක් තියෙනවා. හතර බී වගන්තියේ පැහැදිළිවම තියෙනවා රටේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සතු වගකීම වන රටේ සෑම පුරවැසියාගේම ආරක්ෂාව සම්බන්ධ වගකීම තිබේ. එය අත්හල නොහැකිය.’ කියලා. ව්‍යවස්ථාවේ එහෙම තිබුණාට බලයක් දෙන්නේ නෑ. සේනාධිනායකයා කියලා නමට කියනවා. ඒ වුණාට අමාත්‍යංශයක් තියාගන්නත් බෑ. එතකොට ඒක විකෘතියක් නොවේද? ඒ විකෘතිය නිවැරැදි විය යුතුයිනේ. එවැනි දේවල් තිබිය යුතුයි. ඒ වගේම රාජ්‍ය නායකයාගේ සෘජු අධීක්ෂණයට ලක්විය යුතු ක්ෂේත්‍ර තියෙනවා. ජනාධිපතිවරයාට වගකීම පවරලා බලය නොදී හිටියම හරියනව ද?


ප්‍රශ්නය:-  මගේ ප්‍රශ්නය වුණේ මුළු රාජපක්ෂ පවුලම කැබිනට් එක ඇතුළේ වීම ගැනයි?


පිළිතුර:- මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියන්නේ ඔප්පු කරපු රාජ්‍ය නායකයෙක්. එතුමාට බලතල දුන්නා වගේ නොවෙයි රටේ ජනතාව පිළිගන්නවා එතුමාට බලතල දීපු හැම අවස්ථාවකදීම ඒක රටේ යහපතට හේතු වුණා කියලා. චමල් ඇමැතිතුමා අපිට ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයෙක්. මම දන්න විදියට එතුමා තමයි ලංකාවේ හිටපු හොඳම කතානායක. නාමල් රාජපක්ෂ ගැන නම් ඔබ ඔය අහන්නේ නාමල් තුන් පාරක්ම දිස්ත්‍රික්කයේ පළමුවැනිය. 2010 දී මුළු ලංකාවෙම වැඩිම මනාප ප්‍රතිශතය තිබුණේ එතුමාට. තුන් වතාවක් නොකඩවා දිස්ත්‍රික්කයේ පළමුවැනියා කරලා තියෙනවා. ඒ නිසා එතුමාට වගකීමක් පැවරීම වැරැදිද? රාජපක්ෂ කෙනෙක් වීම නිසා දක්ෂතාව මග ඇරලා අමතක කරලා ද‌ානවා නම් ඒක එතුමාට කරන බරපතළ අසාධාරණයක්.


ප්‍රශ්නය:-  රාජපක්ෂ කඳවුරේ ඉන්නේ වහල්ලු. ඒ වහලුන්ට ඕනෑම දෙයක් සුවඳයි කියලත් කියනවා?


පිළිතුර:- වහල්ලු කියන්නේ කාට ද? රටක වැඩක් වෙන තැනකට හිත යොමුකරලා ඒ වෙනුවෙන් පෙනීසිටීම වහල්භාවයක් නම් මට තේරෙන්නේ නෑ ඔබ කියන්නේ මොකක්ද කියලා. වහල්භාවයෙන් මිදුණ කියලා ලැබෙන්නේ මොකක්ද? රට හරි අතට හරි පීල්ලට ගන්න කොට ඒකට අකමැති අය ඉන්නවා. ඒ අය බලනවා ගරහලා, නින්ද‌ා කරලා අපේ කඳවුර බෙලහීන කරන්න පුළුවන් ද කියලා. රටේ යුද්ධය අවසන් කළාට පස්සේ.... ඒක කවුරුත් බැහැයි කියපු දෙයක්. මුළු රටම.... මුළු ජනතාවම තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවපු යුද්ධයක්. ඒ යුද්ධය අවසන් කරන්න නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගැන මේ රටේ ඔය එන්ජීඕකාරයෝ කිහිප දෙනෙකුට හැරෙන්න මේ රටේ හැම පුරවැසියකුටම විශාල ගෞරවයක් හා ආදරයක් තියෙනවා. එහෙම ගෞරවයක් හා ආදරයක් දිනන්න රාජ්‍ය නායකයකුට පෙර පින් තියෙනවා. ඇයි අපි අදත් ඩී.එස්. සේනානායක මහත්තයා ගැන කතාකරන්නේ? එහෙම කතා කරන්නේ වහල්ලු හින්දද? පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අදත් එතුමා ගැන කතා කරනවා.


ප්‍රශ්නය:-  ඔබේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒ බලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 17ක් ඉන්නවා. ඔවුන්ට සැලකුවා ඇද්ද?


පිළිතුර:- සැලකීම කියන එකේ සීමාවක් නැහැනේ. සැලකීම කියන එක අර්ථකථනය කළොත් ඒකට සීමාවක් නෑ. කාට කොහොම දුන්නත් කාට හරි අඩුවක් වුණා කියලා කියයි. ශ්‍රී ලංකා එකට විතරක් නොවෙයි. අපේම කඳවුරේ සමහර අයටත් කියන්න පුළුවන් අරයට මෙයාට සැලකුවා ඇද්ද කියලා. ඉතින් තියෙන රාමුව තුළ තමයි අපට මේ කර්තව්‍ය කරන්න වෙන්නේ.


ප්‍රශ්නය:-  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා 20 ගැන සලකා බැලිය යුතුයි කියලා?


පිළිතුර:- ඔව්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් පාවිච්චි කළාට අපට ප්‍රශ්නයක් නෑ.


ප්‍රශ්නය:-  20 ට ඔවුන් එරෙහි වුණොත්? මොකද ඔවුන්ගේ නායකය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන?


පිළිතුර:- කවුරු නායකයා වුණත් අපට විශ්වාසයක් තියෙනවා ඔවුන් එහෙම කරන එකක් නෑ කියලා. වාමාංශික කඳවුර ශක්තිමත් කරන්න එතුමන්ලා කටයුතු කරාවි.


ප්‍රශ්නය:-  ශ්‍රී ලංකා එකෙන් කොළ එළියක් නැති නිසා නේද සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බාගැනීමේ මෙහෙයුමක් යන්නේ?


පිළිතුර:- එහෙම මෙහෙයුමක් යනව ද?


ප්‍රශ්නය:-  ඒ විදියෙ ආරංචි තියෙනවා?


පිළිතුර:- ආ... ආරංචි නේද? ඒවා ඉතින් ඕපාදූපනේ. ඕවට අපි කියන්නේ රාවයන් යනවා කියලා. එහෙම රාවයන් මේ වගේ තත්ත්වයන් තුළ හැම වෙලේම ක්‍රියාත්මක වෙලා තියෙනවා


ප්‍රශ්නය:-  ඇමැති මණ්ඩලය 30 කට සීමාකිරීමේ වගන්තිය ඉවත් වෙන්නෙත් ඔය සාකච්ඡා නිසා?


පිළිතුර:- නෑ එහෙම දෙයක් අපි තාම හිතලවත් නෑ. අපට එහෙම අහේනියක් අර්බුදයක් නෑ. අනිත් එක පාර්ලි​මේන්තුවේ මහජන නියෝජිතයන්ට හොඳ දෙයකට එකඟවීමට තිබෙන අයිතියට අපිට විරුද්ධ වෙන්නත් බෑනේ.


ප්‍රශ්නය:- ඔබේ කටින් බළලා මල්ලෙන් එළියට පැන්නා වගෙයි?


පිළිතුර:- මම කිව්වේ ගරු කටයුතු මහජන නියෝජිතයකුට පාර්ලිමේන්තුවේදී වැරැදි දෙයට විරුද්ධ වීමටත් හොඳ දෙයට පක්ෂවීමටත් අයිතිය තියෙනවා කියලා.


ප්‍රශ්නය:-  පොහොට්ටුව ඇතුළෙනුත් අතෘප්තිය එළියට පනිනවා. ඇමැතිකම් ගැන කන්කෙඳිරි ගාන හඬ ඇහුණා?


පිළිතුර:- මේ දේශපාලනයේදී සීයට සීයක් තෘප්තිමත් කෙනෙක් මට පෙන්වන්න. කවුද ඉන්නේ එහෙම කෙනෙක්? එහෙම කිසි කෙනෙක් නෑ. තෘප්තිමත් දේශපාලනඥයා කියන එක සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. ඒ නිසා අපිට ආශාවන්වල සීමාවක් නෑ. ඒ නිසා කොයි දේ දුන්නත් මට අරක දුන්නා නම් හොඳයි. ‘මගේ අමාත්‍යාංශයේ කෑලි ගලවල’ ඔහොම තමයි කියන්නේ.


ප්‍රශ්නය:- පළාත් සභා මැතිවරණය කවදද?


පිළිතුර:- මම දන්නේ නෑ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවේ උතුරු - නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් හැටියට. එතකොට උතුරු - නැගෙනහිර ප්‍රශ්නයේ යුදමය තලයට පිළිතුරු දීලා තියෙනවා. නමුත් එහි මතවාදී තලය තවම තියෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුර පළාත් සභා ක්‍රමය ද කියන ප්‍රශ්නය මතුවෙනවා.


ප්‍රශ්නය:- පළාත් සභා විෂය බාර ඇමැති සරත් වීරසේකර කියනවා ‘පළාත් සභා අවශ්‍ය නෑ.’ කියලා?


පිළිතුර:- විෂය බාර ඇමැතිවරයා එහෙම කිව්වට ඒක සාමූහික වගකීමෙන් තොර ප්‍රකාශයක්නේ. ඒක සාමූහික වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ යුතු එකක්.’


ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළෙත් දැන්ම තනි මත එළියට එන්න පටන් අරන්?


පිළිතුර:- ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්නේ. මත ඉදිරිපත් වීම හා ඒ මත වෙනුවෙන් පෙනීසිටීම වගේම අවසානයේදී සාමූහික වගකීමට යටත්ව සාමූහිකය ගන්නා විසඳුමත් සමග හිටගැනීම ප්‍රජාතන්ත්‍රවාදයයි. පෞද්ගලික මතය ප්‍රකාශ කිරීම හා ඒ වෙනුවෙන් පෙනීසිටිම ප්‍රජාතන්ත්‍රවාදයයි. නමුත් අවසානයේදී ගනු ලබන පොදු තීන්දුවක් සමග හිටගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදයයි.


ප්‍රශ්නය:- සිංහරාජය දෙපළු කරගෙන පාරවල් හැදෙන්නෙත්, ආනවිලුන්ද‌ාව ඩෝසර් කෙරෙන්නෙත්, වනාතවිල්ලුවේ අක්කර සිය ගණනක් ගිනිබත් කරන්නෙත් ඔය ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදයට යටත්ව?


පිළිතුර:- කවුරු කළත් වැරැද්ද වැරැදියි. සමාන්තර බවක් පේනවා. නමුත් එහෙම නෑ. සිමෙන්ති සමාගමට අයිති ඉඩමක් බදු දීලා තියෙනවා. ඒ බදු ගත්ත සමාගම කරපු දෙයක්. තවත් සිද්ධියකට දේශපාලනඥයකුගේ සහෝදරයෙක් සම්බන්ධයි කියලා කියනවා. කවුරු සම්බන්ධ වුණත් වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුයි. ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව.


ප්‍රශ්නය:-  ජනතාව ජීවත්වෙන්නේ බොහෝම අමාරුවෙන්. විපක්ෂය ජනතාවගෙන් අහනවා ‘දැන් ඔබට සතුටුයිද’ කියලා?


පිළිතුර:- ජනතාව බුද්ධිමත්, ජනතාව දන්නවා එදා තිබුණ තත්ත්වයයි, අද තියෙන තත්ත්වයයි අතර තියෙන අහසට පොළොව වෙනස. ඒක අපිට දැනෙන්නේ. අනික් හැම රටකම ආර්ථිකය කඩාවැටිලා. ඇමෙරිකාව ගත්තොත් මිලියන 48 ක් රස්සාවලින් එළියට ද‌ාලා. රාජ්‍ය අංශයෙ අයට සියයට 60 යි පඩි ගෙවන්නේ. සංචිත වලින් ට්‍රිලියන 8 ක් එළියට ද‌ාලා. ඒ ඩොලර් එක පාලනය කරගන්න. මේක තමයි බලවත් ධනවත් කියන රටවල්වල තත්ත්වය. අපිට මේක දැනෙන්නේ නැති හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි කොවිඩ් 19 වසංගතයත් ඉතාම සාර්ථක ලෙස පාලනය කරලා තියෙන්නේ. ඒත් හෙට දවසේ මොනවා වෙයිද කියලා කියන්න බෑ ලෝක තත්ත්වයත් එක්ක. නමුත් දැන් වෙනකොට අපි සාර්ථක වෙලා තියෙනවා. රට ඉතාම ඉක්මනට සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒක අපේ රටේ අයට දැනෙන්නේ නෑ. අල්ලපු රටේ ඉන්දියාවේ දවසට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයක්. හිතාගන්න බැරිතරම් භයානක තත්ත්වයක්. අපිට දැනෙන්නේ නැත්තේ ඉතාම දක්ෂ ලෙස ඒක පාලනය කළ නිසා. මුළු ලෝකයම ඇකිලිලා තියෙන වෙලාවක, ආර්ථික අර්බුදය ඉදිරියේ කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න වෙලාවක, අපේ රටේ තත්ත්වය අරුමයක් පුදුමයක් නොවෙයි.


ප්‍රශ්නය:-  පහුගිය ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී මෙරට සාතිශය බහුතරයක් ජනයා ඔබේ කඳවුරට ඡන්දය දුන්නා. ඒ ජනතා අපේක්ෂාවන්ට කැළලක් නොවන ගමනක් යන්න පුළුවන් කියලා ඔබ හිතනව ද?


පිළිතුර:- සියලු බලාපොරොත්තු අංගසම්පූර්ණ රාජ්‍යයන් ලෝකයේ කොහේවත් නෑ. යම් යම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. රාජ්‍ය පාලනයේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ආරම්භය ඉතාම හොඳයි. ඒ ආරම්භය ගැනත් සමහරුන්ට විවේචන තියෙනවා. නමුත් අපි තීන්දුවක් ගන්න ඕනැ, අවසාන ප්‍රතිඵලයට සාපේක්ෂව. ඕනෑම කෙනෙකුට කරුණු ඉදිරිපත් කරන්න, විවේචනය කරන්න පුළුවන්නේ. එයට කළු පැල්ලමක් හැටියට සලකන්න හොඳ නෑ. විවෘත විවේචනයක් වරදක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි. අපිට වුණත් හිතෙනවා දෙපාරක් හිතන්න රටේ මතවාදයක් සමග යා යුතුයි කියලා. අපිත් හිතනවා ඒ නිසා විවේචනය වරදක් නොවෙයි. ඒවා හොඳ දේවල්. නමුත් එයින් කියැවෙන්නේ නෑ ‘ආණ්ඩුව ඉවරයි’ කියලා.


ප්‍රශ්නය:-  පෝරකයට නියම වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු ඒම සම්බන්ධයෙන් සමාජයේ සංවාදයක් තියෙනවා?


පිළිතුර:- ඔහුට ජනතාව වරමක් දුන්නා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ඒ හරහා ඔහු පාර්ලිමේන්තුවට එනවා. ආණ්ඩුව තමන්​ගේ බලය පාවිච්චි කරලා ඒ දේ කළා නොවෙයි. ඒක තේරුම්ගැනීම අතිශයින්ම වැදගත්.

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්