නොපෙනෙන අගාධයකට රට තල්ලු කරපු කණ්ඩායමකට නැවත වරක් වරමක් දෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක  
දිනේෂ් ගුණවර්ධන  

 

ජනාධිපතිවරණයට දින නියමවී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් සූදානම්ද? සුළු ජාතික ඡන්ද ලබාගැනීමට ඇති හැකියාව කෙබඳුද? ජයග්‍රහණය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි. 

 

 ප්‍රශ්නය - දැන් කොහොමද ඡන්ද ව්‍යාපාරය?  


පිළිතුර - ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ අපේ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපේ පක්ෂ ඔක්කොම වැඩ කරමින් ඉන්නවා. රටේ විවිධ ප්‍රදේශවල අපේ ඡන්ද ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපේ ඡන්ද ව්‍යාපාරයේ පළමු අදියර. ඒ වගේම අපේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් දහස් ගානක් ගම් මට්ටමෙන් අපේ පණිවිඩය අරගෙන යනවා.  


 ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අවශ්‍යයි කියලා ඔබ හිතනවද?  


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොවෙයි. අපේ කඳවුරට සහයෝගය දීමට කැමති සියලු දෙනාම එකතු කර ගැනීමයි අපේ උත්සාහය. අපි මේ කරමින් ඉන්නේ රටට හානිකර සෑම කේෂ්ත්‍රයකින්ම මේ රට වළපල්ලට අරගෙන ගිය මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනයි. එයට සහාය දක්වන සෑම බලවේගයක්ම අපි ඒකරාශි කර ගත යුතුයි.  


 ප්‍රශ්නය - පොහොට්ටුවට සහාය දෙන්න ශ්‍රී ලංකා එකත් ඉන්නේ අවංකවමයි කියලා ඔබ හිතනවද?  


පිළිතුර - සාකච්ඡා කෙරෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග. අපි විශ්‍වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න ගම්වල ඉතිරිවෙලා ඉන්න ජනතාවටත් අවශ්‍ය යූඑන්පිය ගෙදර යැවීමයි. ඒ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ උවමනාව ගමේ ඉතිරිවෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයාට තියෙනවා.  


 ප්‍රශ්නය - මුලින්ම අපේක්ෂකයා නම් කරලා ඊට පස්සේ සහයෝගය ගන්න සාකච්ඡා කරන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන සාධාරණයක් කියලා ඔබ හිතනවාද?  


පිළිතුර - ඕනෑම මැතිවරණයකදී එහෙම තමයි. මම ජනාධිපතිවරණ සටන්වල 1981 ඉඳන් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ කාලේත් එහෙම තමයි. නිශ්චිත අපේක්ෂකයෙක් ඉන්නවා. ඔහු දිනවන්න සෙසු බලවේග එක්ක සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරලා එකඟතාවලට එනවා. ඒක ඉතින් ඉවර වෙන්නේ නෑ ජනාධිපතිවරණය ඉවර වෙනකම්.  


 ප්‍රශ්නය - ශ්‍රී ලංකා එක කියනවා ලකුණ වෙනස් කරලා පොදු ලකුණකින් යමු කියලා. ඔබලා සූදානම්ද?  


පිළිතුර - ඔය ප්‍රශ්නය දැන් කෙරෙන සාකච්ඡාවල දී මතුවෙලා තියෙනවා. ඒ සාකච්ඡාවලදී යම්කිසි එකඟතාවකට ඒවි.  


 ප්‍රශ්නය - අපි මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලලා. මහ මැතිවරණයේදී පොදු ලකුණකට යමු කියලා පොදුජන පෙරමුණ කියනවා. නමුත් මන්ත්‍රී දයාසිරි ජයසේකර කියනවා ‘එහෙම බෑ’ කියලා?  


පිළිතුර - එහෙම අදහස් හුවමාරුවෙලා තියෙනවා කියලා අපි දන්නවා. පාර්ලිමේන්තු මැතිවරණය ගැනයි ඒකට ඉදිරිපත්වීම ගැනයි සාකච්ඡා කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඔය කෙරෙන සාකච්ඡාවලදී ඔය ප්‍රශ්න නිරාකරණය වෙයි කියලා.  


 ප්‍රශ්නය - පක්ෂ දෙක සමගි වෙන්න සාකච්ඡා යන අතරෙදි නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ජනධිපති මෛත්‍රී කියනවා ‘නෙළුම් කුලුන හදන්න දුන්න අත්තිකාරමෙන් කෝටි 200ක්’ ගිලලා කියලා. ඒ කාලේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ?  


පිළිතුර - ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සියලු කරුණු සහිතව නිවේදනයක් නිකුත් කළා. ඒ ප්‍රකාශය අසත්‍ය කරුණු මත පදනම්ව කරලා තියෙන්නේ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.  


 ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රීගේ මේ ප්‍රහාරය පක්ෂ දෙකේ සාකච්ඡාවලට බාධාවක් නොවේද?  


පිළිතුර - සාකච්ඡාවලට බාධා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. නමුත් අවංකවම සාකච්ඡා කිරීමේ ඕනෑකමත් එහි ප්‍රගතිය මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මේ මැතිවරණ කාලයනේ. විවිධ විවේචන එන්න පුළුවන්. අවලාද මඩ එන්න පුළුවන්. ඒවාට උපේක්ෂා සහගතව හා දේශපාලනිකව මුහුණ දීම තමයි අපේ කාර්යභාරය විය යුත්තේ.  


 ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී හා සජිත් ප්‍රේමදාස අතර සන්ධානයක් ගොඩනැගීමට ඇති ඉඩකඩක් ගැනත් දැන් සාකච්ඡා වෙනවා?  


පිළිතුර - එක්සත් ජාතික පක්ෂය තුළ අපේක්ෂකයන් තුන් දෙනෙක් ගැන කියැවෙනවා. අගමැතිතුමත්, කතානායකතුමත්, සජිත් ප්‍රේමදාස මැතිතුමත්. මේ තුන් දෙනාම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරු වුණත් ඔහුව හා එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා දැමීමේ උවමනාවෙන් තමයි මුළු මහත් සමාජයම ඉන්නේ. ඒ ස්ථාවරයේ ක්‍රියාකිරීමයි විය යුත්තේ. මේ සටනින් දිනන්න පුළුවන් එක අපේක්ෂකයකුටනේ.  


ඒ වගේම මේ සටන ඉතාම පැහැදිළිව යූඑන්පීයයි යූඑන්පී විරෝධී කඳවුරයි අතර සටනක්. එතැනදී අපේ කඳවුරේ අපේක්ෂකයා නියත වශයෙන්ම දිනනවා. වෙනත් කිසිම කෙනෙකුට දිනන්න බැරි බව ඉතාම පැහැදිළියි. ඒකනේ යථාර්ථය.  


 ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ජනාධිපති මෛත්‍රී, මහින්ද විරෝධී කඳවුරට හේත්තු වුණොත් මොකද වෙන්නේ කියලයි?  


පිළිතුර - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරලා නැති දෙයක් ගැන කිසිම දෙයක් කියන්න මට බෑ. එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට අද ඔක්කොම අය වැඩ කරමින් ඉන්නේ.  


 ප්‍රශ්නය - විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය යටතේ කථානායක කරු ජයසූරියට ජනාධිපති අපේක්ෂකත්වය දීමේ සූදානමක් ගැනත් කියැවෙනවා?  


පිළිතුර - පළමුවැනි වතාවට නොවෙයිනේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා යූඑන්පී නායකයෝ ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි මැරිලා ඉපදිලා නෑනේ. මැතිවරණ ක්‍රමය වෙනස් කරනව කියලත් කියලා තියෙනවා. යහ පාලනය ගේනවා කියලත් කියනවා. ඒ කියපු අයමනේ නැවතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කියන්නේ.  


 ප්‍රශ්නය - විධායකය අහෝසි කිරීමේ සටන් පාඨයෙන් කථානායක කරු ආවොත් ජවිපෙ අනුර කුමාර ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වෙනවා කියලත් වාර්තා වුණා. එහෙම වුණොත් සටන තියුණුයි?  


පිළිතුර - කවුරු කෙසේ කීවත්...... පොරොන්දු වුණත්, ලියලා දුන්නත් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා තමයි මේ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. වේදිකා කතාවලින්, මාධ්‍ය සංදර්ශනවලින් ඒක කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ගත යුතුයි. ඕකනේ සැබෑ තත්ත්වය. ඔය තත්ත්වය තේරුම් අරගෙනනේ පාලකයන්වීමට උත්සාහ කරන අය හැසිරෙන්න ඕනෑ.  


 ප්‍රශ්නය - විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ආවොත් ඔබලාට මග ඇරලා යන්න බෑ?  


පිළිතුර - තවම ආවේ නැහැනේ. අවුරුදු හතරහමාර තිස්සේ කෙකර ගෑවා විතරනේ. අති පූජනීය සෝභිත ස්වාමීන් වහන්සේ ​අපවත් වුණා. උන්වහන්සේට ගෞරවයක් වශයෙන් හරි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න උත්සාහ ගන්න තිබුණානේ. නමුත් ඒක කළේ නැහැනේ. ඒ නිසා ඔය මිනිස්සු කියන කතා ගැන කතා කරලා වැඩක් තියෙනවද? පොරොන්දු වෙච්ච ඒත් නොකරපු දේවල් තව කොච්චර තියෙනවද? පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුවට පොරොන්දු වෙච්ච ඒවා තියෙනවා.  


 ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ එහෙම යෝජනාවක් පාර්ලිමේන්තුවට ආවොත් ඔබලාට මග ඇරලා යන්න බෑ නේද කියලයි.  


පිළිතුර - හුඟක් ඒවා එනවා කියලා කියනවා. ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කිව්වා. ඒත් ආවේ නැහැනේ. අඩු තරමින් තියන්න තියෙන ඡන්දවත් තිබ්බේ නෑ. පළාත් සභා ටික විසිරෙන්න ඇරලා ඔහේ බලාගෙන ඉන්නවා. ඔය කියන කතානායකතුමාට පාර්ලිමේන්තුවේදී කී පාරක් කිව්වද ‘අපි පළාත් සභා ඡන්දය තියනවා’ කියලා. දැන් අවුරුදු කීයක්ද? තවම පළාත් සභා ඡන්ද තියලා නෑ.   


 ප්‍රශ්නය - මේ ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙයි කියලා කියනවා. ඔබේ දැක්ම කොහොමද?  


පිළිතුර - පැහැදිළිවම සටන් පෙරමුණු දෙකයි තියෙන්නේ. ගෙදර යන්න සූදානමින් ඉන්න යූඑන්පීයයි යූඑන්පීය ගෙදර යැවීමේ අරගලය අතට ගත්ත අපේ කඳවුරයි. ඒක ඉතාම පැහැදිළියි. ජයග්‍රාහකයන් පැහැදිළියි. පරාජිතයන් පැහැදිළියි. වෙනත් කිසිවක් එතැන නෑ.  


 ප්‍රශ්නය - ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා මොකක් වෙයිද?  


පිළිතුර - මැතිවරණ කොමිසන් සභාව කියලා තියෙනවා මැතිවරණය පවත්වනවා ඒකට ලැස්ති වෙන්න කියලා. දැනට ඇල්පිටියේ ඡන්ද රාජකාරි ආරම්භවෙලා තියෙනවා. ඒ අතරතුර අධිකරණයට ගිහිල්ලා පෙත්සම්කරුවන් පිරිසක් ඉල්ලනවා ඡන්දය තියන්න එපා කියලා. අධිකරණය තීරණය කරයි කුමක් කළ යුතුද කියලා. ඒ ගැන පුරෝකථනයක් කරන්න අපිට බෑ. අපි දැනට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.  


 ප්‍රශ්නය - කරන්දෙණිය ඡන්දය ‘ලිට්මස් පරීක්ෂණයක්’. ඔබට අනුව කුමක් වෙයිද?  


පිළිතුර - ගිය අවුරුද්දේ පෙබරවාරි 8 වැනිදා මුළු රටම තීරණය කළා පොහොට්ටුවට මහා ජයග්‍රහණයක් ලබාදෙන්න. ඒ වගේම යූඑන්පීයට ඉතිහාසයෙවත් නැති නින්දිත පරාජයක් අත්පත් කරලා දෙන්න. පළාත් පාලන මැතිවරණයකදී මේ තරම්ම නින්දිත ලෙස ආණ්ඩුවක් පැරදුණේ මේ පාර විතරයි. ඒ නිසා මොන කතන්දර කිව්වත් එක්සත් ජාතික පක්ෂයේ නායකයොනම් දන්නවා මොන කතන්දර කිව්වත් පරාජය නළලේ කොටලා කියලා. ඒ නිසා තමයි පළාත් සභා ඡන්දය තියන්නෙ නැත්තේ. මේ මැතිවරණයෙනුත් ඒ නින්දිත පරාජයම තමයි එක්සත් ජාතික පක්ෂයට හිමි වෙන්නේ.  


 ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙනවා. මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වෙනවා. මේවා මෙහෙම වෙන්නේ බොරලුගොඩ සිංහයාගේ පුත්‍රයත් මැදමුලන වලව්වේ වහල්ලු බවට පත්වෙලා නිසා කියලයි සමහරු කියන්නේ?  


පිළිතුර - අපි කිසිම කෙනෙකුගේ වහලෙක් වෙලා නෑ. අපි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන දේශපාලන පක්ෂයක්. අපි 1981දීත් කොබ්බෑකඩුව මහත්තයාට සහයෝගය දුන්නා. 88දී කවුරුත් නැති වෙලාවෙත් මැතිනියට සහයෝගය දුන්නා. ඉතිහාසය පුරාම යූඑන්පී විරෝධී දේශපාලන බලවේග ශක්තිමත් කිරීම සඳහා අපි උපරිමයෙන් කැපවෙලා තියෙනවා. ඒ මේ රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන්. අනාගත පරපුරට මේ රට ආරක්ෂා කර දීම සඳහා ඒ වෙනුවෙන් දේශප්‍රේමී කඳවුරේ ශක්තිය වෙනුවෙන් අපි කැපවිය යුතුයි.  


 ප්‍රශ්නය - නමුත් පොහොට්ටුවේ දේශපාලනය පුද්ගල ප්‍රතිරූප මත මිස ප්‍රතිපත්ති මත ගොඩනැගිලා නෑ?  


පිළිතුර - පක්ෂ රාශියක් ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක සන්ධානගත වෙච්ච පක්ෂ ඉන්නවා. පිටස්තර පක්ෂ තියෙනවා. මූලික වශයෙන් යූඑන්පී විරෝධි ප්‍රතිපත්ති මත තමයි අපි ගොඩනැගෙන්නේ. අපි විශ්වාස කරනවා සක්‍රීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මේ රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරලා එයට ජනතා අනුමැතිය ලබා ගන්නවා.  


 ප්‍රශ්නය - පොහොට්ටුව තවමත් ඡන්ද බලාගෙන ජාතිවාදය වපුරනවා?  


පිළිතුර - අපට විවිධ චෝදනා කරනවා තමයි. නමුත් මොන චෝදනා කළත් මේ රටේ ජනතාව දන්නවා ​අපේ දේශපාලනය මොකද්ද කියලා. මොනතරම් සංයමයකින්, හික්මීමකින් හා විනයකින් යුතුව අප කටයුතු කළාද කරනවාද කියලා ජනතාව අවබෝධයෙන්ම දන්නවා. ජාත්‍යන්තරව පවා අපේ කටයුතු ගැන පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම ගොඩනැගෙන්නෙම අපේ ක්‍රියාකාරීත්වය මතයි. ඒ නිසා අපි ජාතිවාදී ද නැද්ද කියන කාරණාව අපේ භාවිතයෙන්ම බලාගන්න පුළුවන්.  


 ප්‍රශ්නය - සුළු ජාතික ඡන්ද ජනාධිපතිවරණයකදී තීරණාත්මකයි. මේ සුළු ජාතික ඡන්ද දිනාගන්න ඔබේ කඳවුරට හැකියාවක් තියෙනවා කියලා ඔබ හිතනවද?  


පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්! සුළු ජාතික ජනයා තුළ අන් කවරදාටත් වඩා ප්‍රගතිශීලී ප්‍රබෝධයක් තියෙනවා. අසාර්ථක වෙච්ච පිරිසකට....... රට තිබූ තැනින් පතුළ නොපෙනෙන අගාධයකට තල්ලු කරපු කණ්ඩායමකට........ සියලු ජාතිකයන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට ඇද දාපු පිරිසකට නැවත වරක් වරමක් දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. අප්‍රේල් 21 මහා ඛේදවාචකයට වගකිවයුත්තේ ආණ්ඩුවේ බලධාරීන්. ජාතික ආරක්ෂාව තඹ දොයිතුවකට මායිම් නොකරපු පාලකයන්ට ආපහු වරමක් දෙයිද?  


කාදිනල්තුමා ඉතා පැහැදිළිව ඒ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුද කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මහජනයා හරිම බුද්ධිමත්. ජීවිතය වෙනුවට මරණය රැගෙන එන පාලකයන්ට ජනතාව නැවත වරක් නම් මොනම හේතුවක් නිසාවත් ඉඩ දෙන්නේ නෑ. ඒක සෑම ජාතිකත්වයටම අයත් ජනතාව තීරණය කරලා ඉවරයි.  


 ප්‍රශ්නය - ජනාධිපතිවරණය නියමිත පරිදි නියමිත දිනයේදී පැවැත්වෙයි කියලා ඒකාන්ත විශ්වාසයක් ඔබට තියෙනවද?  


පිළිතුර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ මූලික නීතිය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. ඒ අනුව ජනාධිපතිවණය නොවැම්බර් 16 වැනිදා පැවැත්විය යුතුයි. ඒ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශයට පත් කරලා ඉවරයි. මේ ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක්. ඒ නිසා මේ ජනාධිපතිවරණය කිසි ලෙසකින් වෙනස් කරන්න බෑ.  


 ප්‍රශ්නය - ජයග්‍රහණය සම්බන්ධ අපේක්ෂාව?  


පිළිතුර - නියත වශයෙන්ම අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. ඒ වගේම රට වැටී තිබෙන මේ අගාධයෙන් රට ගොඩ අරගෙන සියලු ජනතාවට සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලු ජනතාවට මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි රටක් අපි ගොඩනගනවා කියන එකත් අපි අවධාරණය කරනවා.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්