දිගටම අපේ පක්ෂයේ තිබුණු ගැටලුවක් තමයි මුස්ලිම් මන්ත්‍රීවරු


සමගි ජන බලවේගයෙ කොළඹ දිස්ත්‍රික් 
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  

 

  • එක අතකින් ඔහොම වෙච්චි එකත් හොඳයි
  • ඔය නම් පැතිරෙන අය නම් අපට කියලා තියෙනවා එහෙම දෙයක් නෑ කියලා
  • මට ආරාධනා ආවේ අද ඊයෙ නොවෙයි

 

රටේ දේශපාලන තත්ත්වයත්, සමගි ජන බලවේගයේ අනාගතය පිළිබඳවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.  

 
ප්‍රශ්නය - සමගි ජන බලවේගයට මොකද වුණේ?  
 
පිළිතුර - අපේ වැඩේ අපි කරගෙන යනවා ඉස්සරහාට.  
 
ප්‍රශ්නය -ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හදාගන්න උදව් කළේ ඔබේ මන්ත්‍රීවරුන් හයදෙනෙක්?  
 
පිළිතුර - ඔව්. ඒක ඉතාම පාවාදීමක්. ඔවුන්ව මුදලට ගත්තා කියලා තමයි අපි විශ්වාස කරන්නේ.  
 
ප්‍රශ්නය -ඔබට ඒ සඳහා සාක්ෂි තියෙනවා ද?  
 
පිළිතුර - අපට හැඟෙන විදියට ඒ අයව ගත්තේ මුදලට තමයි. මේ සියලුදෙනාම 20ට විරුද්ධව ඡන්දය දෙනවා කියලා තමයි කණ්ඩායම් රැස්වීමේදී කතා කළේ. කළු පටි බැඳගෙන අපි කරපු විරෝධයට ඔවුනුත් එකතු වුණා. එහෙම නැතිව 20ට පක්ෂ වෙනවා කියලා අපට කොයිම වෙලාවකදීවත් කියලා තිබුණේ නෑ. ආණ්ඩුවට තිබුණේ ඡන්ද 148යි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීත් ඔය දේමයි කළේ. අපි දැක්කා උපේක්ෂා ස්වර්ණමාලි වැනි මන්ත්‍රීවරියක්ව ගත්තේ කොච්චර හිරිහැර කරලා ද කියලා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ අහලා තිබුණනේ ලක්ෂ පන්සියයක කතාවක්. ඉතින් අපට හැඟෙන්නේ විශාල මුදල් ගනුදෙනුවක් මත රජය මේක කරගත්තා කියලයි. මේක විශාල පාවාදීමක්. සමගි ජන බලවේගයට පක්ෂව මේ රටේ ජනතාව මහ මැතිවරණයේදී ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒකාධිපතියෙක් බිහිවීම වැළැක්වීමටයි අපට ඡන්දය දුන්නේ. ඒ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඒ සටන මුදලට පාවා දුන් බව තමයි අපට පේන්නේ.  
 
ප්‍රශ්නය -මේ සිද්ධියෙන් ඔප්පු වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දුර්වල නායකයෙක් කියන කාරණය නේද? ඔහුට බැරි වෙනවා මාස දෙක තුනක් යනකම්වත් තමන්ගේ කණ්ඩායම එකට තියාගන්න?  
 
පිළිතුර - ඒක නොවෙයි මේ සිද්ධියෙන් පේන්නේ. ප්‍රතිපත්තියක් නැති මුදලට තමන්ගේ හෘද සාක්ෂිය පාවාදෙන නිවට ඉතාමත්ම පහත් දේශපාලනයක නිරත වන පිරිස් ඉන්නවා කියන එකයි. අපි යම් විශ්වාසයක් ඇතිව තමයි ඔවුන් අපේ කඳවුරට එකතු කරගත්තේ. නමුත් අපි හිතුවේ නෑ මේ විදියට කැත විදියට පාවා​ දෙයි කියලා.  
 
ප්‍රශ්නය -20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් හයදෙනා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද?  
 
පිළිතුර - අපි ඒ හයදෙනාවම සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපුවා. අපේ කණ්ඩායම රැස්වෙලා පැය දෙක තුනක් මේ ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී අපි සියලුදෙනාම ඒකමතිකව තීරණයක් ගත්තා ඒ හයදෙනාව මන්ත්‍රී කණ්ඩායමෙන් වහාම නෙරපා හරින්න ඕන කියලා. ඒක තමයි එක දවසෙන් අපට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. ඒක අපි ගත්තා.  
 
ප්‍රශ්නය - පක්ෂයෙන් නෙරපා හැරීමක් වෙනවා ද?  
 
පිළිතුර - ඔව් ඔව්. ඒ සියලු දේම සිදු වෙයි. ඒ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.  
 
ප්‍රශ්නය - මන්ත්‍රීනි ඩයනා ගමගේ පක්ෂයේ උපලේකම් කෙනෙක්. ඇගේ සැමියා පක්ෂයේ උපසභාපතිවරයෙක්. ඔබලාගේ මන්ත්‍රී ධුර අවදානමක තියෙන බවක් තමයි පේන්නේ?  
 
පිළිතුර - එහෙම කිසිම අනතුරක් නෑ. පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස. පක්ෂයේ මහලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර. අපේ ජාතික පෙරමුණ කියන ඔවුන්ගේ පක්ෂය අරගෙන අපි මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒකට ලැබුණු ජාතික මන්ත්‍රී ධුරයක් තමයි ඩයනා ගමගේට ලබාදුන්නේ. එතකොට මම අර කලින් කිව්වා වගේම අපි කිසියම් ප්‍රතිපත්තියක් මත වැඩ කරන කණ්ඩායමක්. මේ විදිහේ පාවාදීමක් කරයි කියලා මම හිතන්නේ නෑ කවුරුවත් බලාපොරොත්තු වුණා කියලා. මෙතුමියටත් අපි දිගින් දිගටම කතා කළා. එහෙම කිසිම වෙලාවක 20ට පක්ෂව ඡන්දය දෙනවා කියලා කිව්වේ නෑ. අපිත් එක්ක අපේ කණ්ඩායම් රැස්වීමේදී සභා සම්මත කරගත්තා. එතැනදී තීරණය වුණේ 20ට විරුද්ධව ඡන්දය දෙන්න. මරික්කාර් මන්ත්‍රීතුමාගේ යෝජනාවක් මම සම්මත කරලා ඒ ගමන ආවේ. ඒ සභා වාර්තාව තියෙනවා. එතැනදී සම්මත වුණේ කවුරු හරි 20ට පක්ෂව ඡන්දය දුන්නොත් නෙරපා හරිනවා කියලා. ඡන්දයට කිට්ටු වෙලා ඩයනා ගමගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා තමයි කියලා තියෙන්නේ 20ට පක්ෂව ඡන්දය දෙනවා කියලා.  
 
ප්‍රශ්නය -හකීම්ගේ සහ බදියුදීන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් 20ට පක්ෂව ඡන්දය දුන්නා. එහෙම බැලුවාම ඔබේ කඳවුර බරපතළ නායයෑමකට ලක්වෙලා?  
 
පිළිතුර - ඔව් ඉතින්, ඒක පිළිගන්න වෙනවා. ඒ අය ඒ පැත්තට ගිය එක අපි ශක්තිමත්වීමක් නොවෙයිනේ. ඒක අපිට ආයෙත් ඒක එහෙම නොවෙයි කියලා කියන්න හේතුවක් නෑ. අපි යථාර්ථය පිළිගන්න ඕන. එක අතකින් ඔහොම වෙච්ච එකත් හොඳයි. මොකද දිගින් දිගටම අපේ පක්ෂයේ තිබුණ ගැටලුවක් තමයි මුස්ලිම් මන්ත්‍රීවරු. ඒ අය අපට එකතු වුණේ හකීම්ගේ සහ බදියුදීන්ගේ පක්ෂවලින් තමයි. හැබැයි අපට ඕනෑ තරම් අපේ මුස්ලිම් මන්ත්‍රීවරු ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති කබීර් හෂීම් මැතිතුමා වගේ කෙනෙක් කවදාවත් හීනෙන්වත් ඔය වගේ වැඩක් කරන්නේ නැහැනේ. අපට ඉන්නවා ඉමිටියාස් බාකිර් මාකර් වගේ මන්ත්‍රීවරු. ඊට අමතරව මුජිබර්, මරික්කාර් වගේ මන්ත්‍රීවරු. ඒ වගේ ශක්තිමත් මුස්ලිම් මන්ත්‍රීවරු අපට ඉන්නවා. ඒ වගේ ශක්තිමත් අපේම මන්ත්‍රීවරුන් හරහා අපේම ශක්තියක් අපි හදාගන්නවා. ඒ නිසා කෙටි කාලීනව මේක ප්‍රශ්නයක් වුණාට මධ්‍යම කාලීනව අපට වෙච්ච හොඳ දෙයක්. අර කියමනක් තියෙනවානේ හැම අඳුරු වළාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. ඒ රිදී රේඛා මතුවෙයි.  
 
ප්‍රශ්නය - ඔබ ඔය මතුවෙයි කියන රිදී රේඛා මැකෙන්න ඉඩ තියෙනවා අයවැය ආවාම. එතැනදී ඔබේ කඳවුරේ මන්ත්‍රීවරු ගණනාවක් ආණ්ඩුවට එක්වීමට නියමිතයි කියලා වාර්තා වෙනවා?  
 
පිළිතුර - ඔය නොයෙකුත් දේවල් සමාජ මාධ්‍යජාලාවල කතා වෙනවා. අපට ඔය විදියට නම් වගයක් පැතිරෙනවා. හැබැයි ඔවුන් සියලුම දෙනා අපට කියලා තියෙනවා ඒ කතාවල කිසිම සත්‍යතාවක් නැහැ කියලා. 
 
ප්‍රශ්නය -මන්ත්‍රීනි ඩයනා ගමගේ කළ ප්‍රකාශයක් හැටියට මයන්ත දිසානායක, චමින්ද විජේසිරි හා හේෂා විතානගේ ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි කියන්නේ. තිස්ස අත්තනායක කපුකම කළා කියලත් කියනවා?  
 
පිළිතුර - ඕක අද මේ බ්‍රහස්පතින්දා උදේනේ ආවේ. අද උදේම මයන්ත මටත් ඍජුවම පණිවිඩයක් එවලා තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්, මේක මේ කිසියම් කණ්ඩායමක් මෙහෙයවන ව්‍යාපාරයක් කියලා. ඉතින් අපට විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න බෑනේ. අපි හැමෝම දේශපාලනය කරන්නේ කිසියම් ප්‍රතිපත්තියක් එක්ක. ඔහොම නොවෙයි අපි වගේ මිනිසුන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා, අපට ඕනෑකමක් තියෙනවා නම් ඕනෑම වෙලාවක එකතු වෙන්න. 
 
ප්‍රශ්නය - ආණ්ඩුවට යන්න දුන්න කණ්ඩායමේ ඔබත් ඉන්නවා කියලා ආරංචියි?  
 
පිළිතුර - නමුත් අපි ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෝ. අපිට කිසිම දවසක අපි විශ්වාස කරන ප්‍රතිපත්තිමය රාමුව තුළ මිසක් ඉන් පිටත ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නෑ. අපේ ජානවල එහෙම දේවල් නෑ.  
 
ප්‍රශ්නය -මට ඍජු උත්තරයක් දෙන්න. ඔබට එන්න කියලා ආරාධනාවක් ලැබුණා ද නැද්ද?  
 
පිළිතුර - මට ආරාධනා ආවේ අද ඊයේ නොවෙයි. මට ආරාධනා ආවේ බොහොම කලින්. නමුත් ඒ ආරාධනා මම ප්‍රතික්‍ෂේප කළේ අවුරුදු ගාණකට කලින්. ඕනෑම කෙනෙක් දන්නවා අපි වගේ කෙනෙක්ව එහෙම ගන්න බෑ කියලා. අපි ප්‍රතිපත්ති පාවා නොදෙන අය බව කවුරුත් දන්නවා. ඒ නිසා ඔවුන් අපට ආරාධනා කරන්න පෙළැඹෙන්නෙත් නෑ. අපි ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් බව කවුරුත් දන්නවා.  
 
ප්‍රශ්නය -ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න කියලා ඔබේ කඳවුර කිව්වා. ඒ ගිවිසුම දේශද්‍රෝහියි කියලාත් දැන් කියනවා. නමුත් මේක ගෙනාවේ ඔබේ යහපාලන ආණ්ඩුව?  
 
පිළිතුර - මම ඉදිරිපත් කළානේ පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ මහත්මයා ජෝර්ජ් බුෂ්ට ලියපු ලියුම, මේක දෙන්න කියලා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ගැන උනන්දු වුණානේ. එම්.සී.සී. කමිටුවේ ලංකාවේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ අජිත් නිවාඩ් කබ්රාල්. ඒගොල්ලෝ එහෙ ගියා. හමුවුණා. සාකච්ඡා කළා. අවුරුදු ගාණක් තිස්සේ ඒගොල්ලෝ වාර්තාවක් සකස් කළා. ඒක පරක්කු වෙනකොට තමයි කවදාවත් නොකරපු වැඩක් මහින්ද රාජපක්ෂ මහත්මයා කළේ. ඇමෙරිකානු ජනාධිපතිවරයට ලියුමක් ලිව්වා. එහෙම ලියලා කිව්වා කරුණාකරලා අපට මේක දෙන්න, ඔබතුමා මැදිහත් වෙන්න කියලා. එහෙමයි එම්.සී.සී. එක ගන්න ඒ කාලේ උත්සාහ කළේ. ඊට පස්සෙ තමයි මහා විශාල බිල්ලෙක් මැව්වේ. උපාසකම්මලාට කිව්වේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න යන්න වෙන්නේ නෑ. මොකද මේගොල්ලෝ තාප්පයක් ගහනවා. ඔය විදියට ලෝකෙ නැති බොරු කිව්වා. එදා වියත්මගේ හිටපු අය අද ඇමැතිවරු. ඔවුන් කිව්වා ගෑනු දරුවෝ ගෙවල් ඇතුළට දාගන්න, ඇමෙරිකානු සෙබළුන් ඇවිත් අපේ ළමයි දූෂණය කරයි කියලා. ඒ විදියට විශාල බියක් ඇති කළා. එහෙම කරලා මේක නැතිභංගස්තාන වෙන්න ගැහුවා. දැන් සමහරු කියනවා දැන් ඉන්නේ හරිම දේශප්‍රේමී නායකයෙක්, ඒ නිසා එම්.සී.සී. ආවාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. පුදුම කතා කියන්නේ. එක දවසකට පොම්පියෝ හොඳයි. තවත් දවසකට පොම්පියෝ නරකයි. ප්‍රතිපත්තියක් මත ඉඳගෙන නොවෙයි මේ අය කටයුතු කරන්නේ. කෙටි කාලීන දේශපාලන වාසි වෙනුවෙන් රටවල් බේදභින්න කරලා ලංකාව අමාරු තැනකට තල්ලු කරලා තියෙන්නේ.
 
ප්‍රශ්නය - ඔබලාත් බිල්ලෙක් මැව්වා පොම්පියෝ එන්නේ එම්.සී.සී. අත්සන් කරන්න කියලා. නමුත් එහෙම කිසිම දෙයක් වුණේ නෑ?  
 
පිළිතුර - අපි මවපු බිල්ලෙක් නෑ. මම නම් මුකුත්ම කිව්වේ නෑ ඔය ගැන. මම විදේශ නියෝජ්‍ය ඇමැති විදියට අවුරුදු දෙකක් වැඩ කළා. මට මේ ගැන යම්කිසි විදියක අත්දැකීම් තියෙනවා. මම දන්නවා විදේශ නායකයොත් එක්ක කොහොම ද ගනුදෙනු කළ යුත්තේ කියලා.
  
ප්‍රශ්නය -ඔබ ඒකාධිපති පාලනයක් ගැන කිව්වා. ඒ තැනට රට යොමු කළේ යූඑන්පීය කඩාගෙන ගිය ඔබලායි?  
 
පිළිතුර - එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි කියන කණ්ඩායම් දෙක එකට හිටියා නම් මෙවැනි මෙච්චර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් පොහොට්ටුවට ලැබෙන්නේ නෑ. ඒක ඇත්ත. ඔබ කියන කාරණාවත් එක්ක මම වාදවිවාද කරන්න යන්නේ නෑ. නමුත් එහෙම වෙන්න හේතුව අපි නොවෙයි කියන එක ඉතාම පැහැදිලියි. අපිට කිසිම අවශ්‍යතාවක් තිබුණ් නෑ පක්ෂය දෙකඩ කරන්න. නමුත් ඒක වුණා. ඒකට වගකියන්න ඕනෑ කවුද කියලා ජනතාව දන්නවා.  

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්