ආණ්ඩුව අද එකපෙළට රටේ සම්පත් විකුණන්න පටන් අරගෙන


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ

  • නැගෙනහිර ජැටිය අපිට අහිමි වෙනවා කියන්නේ ලොකු නැව් එන එක අහිමි වෙනවා.

 

 

කොළඹ වරාය ඇතුළු මේ දිනවල කතාබහට ලක්වන මාතෘකා කීපයක් පිළිබඳ මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහගෙනි.


මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙන මාතෘකාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය.


ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එනකොට කිව්වෙ එයාල කිසිම රටේ සම්පතක් දේපොළක් විකුණන්නේ නෑ, ඊට කලින් රනිල් - මෛත්‍රී ආණ්ඩුවෙන් විකුණපුවත් ආපු ගමන් ආපහු පවරා ගන්නවා කියලා. පාරවල් ගාණේ පෙළපාලි ගිහින් පොළොවෙ පස් කාල තමයි ​ඕවා පොරොන්දු වුණේ. එහෙම කියපු ගෝඨාභයගේ ආණ්ඩුව අද වෙනකොට එක පෙළට රටේ සම්පත් විකුණන්න පටන් අරගෙන. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන ද‌ාන කැබිනට් පත්‍රිකාවේ ඉන්දියාවෙ අද‌ානි සමාගම ගැන මාර ප්‍රශස්ති තමයි ලියල තියෙන්නේ. මේක ඉන්දියාවෙ කොපැම්නියට දුන්නම අපිට වෙන්නේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න. 85% ක් අද‌ානි එකට දෙන්න සූද‌ානම් වෙනවා. මේක සම්පූර්ණ අපරාධයක්.


අපේ රටේ තියෙන වරාය කීපයෙන් හරියට වැඩ කරන එකම වරාය කොළඹ වරාය විතරයි. ඒකෙත් ජැටි කීපයක් එක එක අයට දීලා තියෙන්නේ. එද‌ා ඉඳලා මේවා කාට කාට හරි දීපු එක තමයි කෙරුවෙ. දැන් ඉතුරුවෙලා තියෙන නැගෙනහිර ජැටියත් අපිට අහිමි වුණොත් එහෙම කොළඹ වරාය ගැන බලාපොරොත්තු තියාගන්න බැරි වෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කියන්නේ වරාය ගැන අපිට තියෙන අවසාන බලාපොරොත්තුව. කොළඹ වරාය සහ වරාය අධිකාරිය තවදුරටත් ඉතුරුවෙන්නේ මේ නැගෙනහිර ජැටිය ඉතුරු වුණොත් විතරයි.


නැගෙනහිර ජැටිය අපිට අහිමි වෙනවා කියන්නේ ලොකු නැව් අපිට එන එක අහිමි වෙනවා.


අපිට මේක තියාගෙන තවත් සංවර්ධනය කරලා මේකෙ වැඩකටයුතු කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. මේක රටට සල්ලි ගේන සල්ලි උල්පතක්. ඒකටයි ආණ්ඩුව ගේම දෙන්න හදන්නේ. චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ඇවිල්ලා මේවා ගන්නේ අත නිකං පිහිද‌ාගන්න නෙවෙයි. කොළඹ වරායේ පිහිටීම අනුව ඒකෙ තියෙන වටිනාකම ලෝකෙම දන්නවා. ඒක තමයි ලෝකෙ බොහෝ රටවල් මේකට කෙළ හලන්නේ.
ආණ්ඩුව මේ වැඩ හරහා පෙන්නන්නේ විස්සේ රැස්. විසිවෙනි සංශෝධනය තුනෙන් දෙකේ බලය ඔක්කොම අරගෙන ආණ්ඩුව කරන්නේ රට විකුණන එක. මේ වගේ තක්කඩි ආණ්ඩුවකට තමයි හැටනම ලක්ෂයක් ජනතාව රැවටුණේ.


ආණ්ඩුව කියන්නේ රටේ සම්පත් විකුණන්නේ නෑ. විදේශ ආයෝජකයින්ට ආරාධනා කිරීමක් විතරයි කියලා.


ආණ්ඩුවේ නායකයින්ගේ මේ වගේ තක්කඩි කතාවලින් තමයි රටේ මිනිස්සු රවට්ටන්න පුළුවන්වෙලා තියෙන්නේ. ඒත් ඇත්ත ඕක නෙවෙයි. ඒ අය පෙන්නන්නේ කොළඹ වරාය කොළඹින් ගලවලා ඉන්දියාවට අරන් යන්නේ නෑනේ වගේ එකක්. ඒත් ඒවයි අයිතිය අවුරුදු ගාණකට විදේශීය සමාගම්වලට දෙනවා කියන්නේ අන්තිමට අපිට රොඩ්ඩක්වත් ඉතුරු වෙයිද? කොළඹ වරායේ නැගෙනහිර ජැටියෙ මෙහෙයුම් අපිට කරන්න පුළුවන් කියලා වරායෙ සේවකයො ඇතුළු පාර්ශ්ව ගණනාවක් කියනවා. හොඳට වැඩ කරමින් යන මේ ජැටිය මොකටද පිට රටට දෙන්න හදන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවෙ ලොක්කන්ට එන කොමිස් කුට්ටියට කෑදරකමට. මේව මේ පොඩි ගනුදෙනු නෙවෙයි. අපිම මේ ජැටියෙ මෙහෙයුම් කරගෙන ගියොත් ආණ්ඩුවෙ ලොක්කන්ට කොමිස් කුට්ටිය හම්බවෙන්නෙ නෑ. මේක කාට හරි දීලා අත යටින් එන ගාණ සාක්කුවෙ ද‌ාගන්න මාන බලන්නේ ඒ නිසා. කොමිස් කුට්ටිවල තරම පේනවා මේ සම්බන්ධව ද‌ාන කැබිනට් පත්‍රිකාවේ ඉන්දියාවේ අද‌ානි සමාගම පිළිබඳ ලියලා තියෙන වර්ණනාවෙන්ම. පාඩු ලබන ආයතන ගණනාවක් පවත්වාගෙන යන ගමන් සල්ලි උල්පතක් වෙච්ච නැගෙනහිර ජැටිය විකුණලා ද‌ානවා. මේක හෙන ගහන අපරාධයක්. ජාතික දේපොළ විකිණීම තමන්ගේ ඇබ්බැහිය බවට පත්කරගත්තු රාජපක්ෂලා මේ වගේ වැඩ කරන එක ගැන අපිට පුදුමයක් නෑ.


ජේ.වී.පී. එක මේ ගැන කරන මැදිහත්වීම කොයි වගේද? කතා කරනවාට අමතරව බිමට බැහැල තියෙනවද?


අපි මේ වෙනකොට වරාය සේවකයින් එකතු කරගෙන වෘත්තීය සමිති පැත්තෙන් සටන දියත් කරල තියෙන්නේ. අනික් පැත්තෙන් මේ රටේ දේශප්‍රේමි බලවේග එකතු කරගෙන මේක ජාතික ව්‍යාපාරයක් විදියට ඉදිරියට ගෙනියනවා. මේ ආණ්ඩුව බිලි දෙන්නෙ ජාතියේ උරුමය. ඒක රැකගන්න ඕන ජාතික යුතුකමක්. අපි මේ ගැන ජනතාව දැනුවත් කරමින් රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා. ජනතාව මීට එරෙහිව පෙළ ගස්වලා මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරගන්න අපි කටයුතු කරනවා.


ගාල්ලෙ නගරයේ පොලිසිය සහ තැපැල් කාර්යාල භූමිය විදේශිකයන්ට විකුණන්න ලියුම් ගහල කියලා ජේ.වී.පී. එක පසුගියද‌ා ගාල්ලෙදි උද්ඝෝෂණයක් කළා. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද?


ගාලු වරායේ අක්කර හයක ඉඩමක් දෙන්න මේ වන විටත් මිනුම්දෝරුවො මැණුම් කටයුතු කරනවා. ගාල්ල තැපැල් කාර්යාලය තියෙන ඉඩම, පොලිස් බැරැක්කය තියෙන ඉඩම වගේ ගාල්ලෙ තියෙන වටිනාම ඉඩම් ටික අනූනම අවුරුද්දට බදු දෙන්න මේ ආණ්ඩුව පටන් අරන් ඉවරයි. ආර්ථිකය හදන්න කියලා පම්පෝරි ගහගෙන ආපු ආණ්ඩුවනෙ මේ. කොළඹ ඉඩම් ආපු දවසෙ ඉඳල විකුණනවා. වනාන්තර ටික කපනවා. ලොක්කන්ගෙ යාළුවන්ට ඉඩම් දෙනවා වගා කරලා බිස්නස් කරගෙන යන්න කියලා. කිසිම ක්‍රමවේදයක් නෑ.
තව මොනව කතා කරන්නද. වැදිනායක වන්නිලැත්තො අධිකරණයට යනවා මේ රටේ කැලෑ කපනවට විරුද්ධව. දකුණේ ඉදන් උතුරට පරිසරය විනාස කරගෙන යනවා. දේශප්‍රේමය ගැන පැය විසිහතරෙම බණ කියන ආණ්ඩුව අද රට හැඳිගෑවිලා යන තැනට ගෙනල්ලා ඉවරයි. දැන් මේවට විරුද්ධව ජනතාව පෙළ ගැහෙමින් ඉන්නේ.


අලුත් මාතෘකා එද්දී පරණ මාතෘකා යට යනවා. මහරත් ටික ටික අමතක වෙනවා වගේ.


මොන මාතෘකා අලුතෙන් ආවත් අමතක නොකළ යුතු මාතෘකා ගැන අපි අවදියෙන් ඉන්නවා. කොළඹ අධිකරණ සංකීර්ණයේ ගින්න නිසා හෝ කොරෝනාවට හදල බෙදනවා කියන පැණි බෝතල් නිසා හෝ මහර සිදුවීම යට යන්න නොදිය යුතුයි. මහර සිදුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ම්ලේච්ඡ ක්‍රියාවක්. මේ තැනට බන්ධනාගාරය පත් කරන්න කටයුතු කළේ කවුද? රැඳවියන්ගෙ සාධාරණ ඉල්ලීමට ඇහුම්කන් නොදී බුලට් එකෙන් විසඳුම් හොයන්න නම් ආණ්ඩුව උත්සාහ ගන්නේ රට ආපහු ලේ විලක් වෙලා තමයි නතර වෙන්නේ. රැඳවියන්ගේ පී.සී.ආර්. කරන්න කියලා ඉල්ලුවාම ඒක කරන්නෙ නැතුව වෙඩි තියලා මැරුනම ඊට පස්සේ මැරුණු අයට පී.සී.ආර්. කරනවා. පුදුම ආණ්ඩුවක්. මේ ඛේදවාචකයේ නිර්මාතෘ ආණ්ඩුව. මේ ආණ්ඩුව බන්ධනාගාර රැඳවියන් සම්බන්ධව කටයුතු කරන්නේ මොන වගේද කියලා 2012 වැලිකඩදිත් පෙන්නුවා. එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන ආණ්ඩුවක් මේක. අපිට පේන විදියට මේකත් බන්ධනාගාර නිලධාරීන්ගෙ කරපිටින් ද‌ාලා ආණ්ඩුව අත හෝදගන්න තමයි හදන්නේ. ඒ නිසා අපි කියන්නේ වහාම මහර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලා.


ආණ්ඩුවෙ නොහැකියාව කාගෙ හරි පිටින් ද‌ාලා ෂේප් වෙන්න තමයි දැන් මාන බලන්නේ. කොයි වැඩේ ගත්තත් එහෙමයි. වැඩ කරන විරුවා කියාගෙන ඇවිත් දැන් මොනවද කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවෙලා ගිය රටක ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් අපි නිරතුරුවම පෙනී ඉන්නවා කියන එක මතක් කරන්න ඕනැ.


අලුත්ම කතාව තමයි පළාත් සභා ඡන්දය. ආණ්ඩුව මොන දුෂ්කරතා මැද්දේ වුණත් ඉතා ඉක්මනින් පළාත් සභා ඡන්දෙ තියන්න සූද‌ානම් කියලා කියනවා.


ආණ්ඩුව රට පුරා කොරෝනා පැතිරෙනකම් වගකීම් විරහිතව වැඩ කර කර ඉඳලා දැන් පම්පෝරි ගහනවා මොන කොරෝනා තිබුණත් ඡන්දය තියනවා කියලා. ආණ්ඩුවෙ මුග්ධකම මේකෙන්ම පේනවා. බලය තහවුරු කරගන්න ජීවිත ඕන තරම් බිලිදෙන්න ආණ්ඩුව සූද‌ානම් කියලනේ මේ කියන්නේ. කොරෝනාවලට අවශ්‍ය වැඩකටයුතු කරනවා වෙනුවට පැණි වෙද්දු ප්‍රමෝට් කරපු ආණ්ඩුව දැන් ජනතාව තවදුරටත් අවද‌ානමක හෙළන්නයි මේ සූද‌ානම. දෙවෙනි කෙරෝනා රැල්ල පාලන කරගන්න බැරි වීමේ වගකීම සම්පූර්ණයෙන් ආණ්ඩුව බාරගන්න ඕන. සෞඛ්‍ය අංශවල ප්‍රවීණයන් උපදේශකයන්, විශේෂඥයන් පැත්තකට ද‌ාලා හොරු තක්කඩි පස්සෙ යන ආණ්ඩුවට මේ ගැන කිසිම දැක්මක් නෑ. මේ අය බලයට ආවෙත් මිත්‍යාව වපුරලා බලය රැකගන්නෙත් මිත්‍යාව වපුරල. අපි ජනතාවට කියනවා හරියට ඔළුව පාවිච්චි කරලා ඉදිරි ඡන්දවල දී මේ තක්කඩි, මුග්ධ ආණ්ඩුවට උත්තර දෙන්න කියලා. මේ සැරසෙන්නේ තවත් සුදු අලියෙක් නඩත්තු කරන්න. පහුගිය කාලය පුරාම පළාත් සභා නැතුව රට ගියානේ. එහෙමයි කියලා රටට වෙච්ච හානියක් නෑනේ. මේ අය පළාත් සභාවල බලය ගන්න හදන්නෙත් රට හදන්න නෙවෙයි තමන් හැදෙන්න. මේ ටික ජනතාව හරියට තේරුම් අරගෙන ඉදිරි මැතිවරණවල දී කටයුතු කරන්න ඕන. අද ඡන්දයක් පවත්වන්න පුළුවන් තැනක ද රට තියෙන්නේ. මේක තේරුම් ගන්න බැරි පාලකයො එක්ක නම් තවදුරටත් යන්න වෙන්නේ රටට දෙයියන්ගෙම පිහිටයි. මේ ආණ්ඩුව රටත් විනාස කරල ජනතාවත් විනාස කරන්න තමයි මේ කැසකවන්නේ.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි