අපිට ඉක්මනින්ම ආණ්ඩුව ගන්න රවි හිටියොත් පුළුවන් කියලා අපේම අය කීවා


ශ්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉකුත් දා සිදුවිය. රටම බලා සිටියේ මුදල් ඇමැති රවි කරුණානායකගේ ඉරණම කෙසේ විසඳේවිද යන්නය. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.


● ප්‍රශ්නය - රවි නීච වෙයි කියලා හිතුවට කැබිනට් සංශෝධනයෙන් අන්තිමට රවි උච්ච වුණා?
පිළිතුර - උච්ච වුණා කියලා ඔබ කියන්නේ කොහොමද?


● ප්‍රශ්නය - රවි කරුණානායකට හම්බ වුණේ විදේශ ඇමැතිකම. මුදල් අමාත්‍යංශයේ ගොඩාක් කෑලිත් විදේශ අමාත්‍යාංශයට පූට්ටු කරලා?
පිළිතුර -
නෑ මෙතැන වෙලා තියෙන්නේ නීච වීමකුත් නොවෙයි. බාල්දුවීම තියෙනවනේ. බාල්දුවීමේ හොඳම එක තමයි මස්ත බාල්දුවීම. මෙතැන වෙලා තියෙන්නේ ඒකයි.


● ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ?
පිළිතුර -
මම එහෙම කියන්නේ මේ ඉවත් කරලා තියෙන්නේ ලේසි පාසු කෙනෙක්ව නොවෙයි. එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකය. ලෝකයේ ඉන්න හොඳම මුදල් ඇමැති ලෙස සම්මානයට පාත්‍ර වූ කෙනා කියලා ආණ්ඩුව කියපු කෙනා. ඉතින් ලෝකයේ හොඳම මුදල් ඇමැතිට මුදල් ඇමැතිකම දෙන්නේ නැතිව විදේශ කටයුතු ඇමැතිකම දුන්නම ඒක මස්ත බාල්දුවීමක් නොවෙයිද?

 


● ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්‍ෂය මුළු වෙර යොදා ගැහුවෙත් රවීට. ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු ගැහුවෙත් රවීට. රවීට බය නිසා නේද එහෙම වුණේ.
පිළිතුර
- නෑ රටක සමස්ත ආර්ථිකය, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට දැනෙන රටේ නිෂ්පාදනය, මිනිසුන්ගේ ආදායම, විරැකියාව, බඩු මිල, ගෙවුම් ශේෂය, ඉතුරුම්, ආයෝජනය කියන ඒව තමයි සාමාන්‍ය ජනතාවගේ බොක්කට පමණක් නොවෙයි, ඊට පහළින් තියෙන උණ්ඩුක පුච්චයටත් දැනෙන්නේ. එතකොට රටක පාර්ලිමේන්තුව තියෙන්නෙත් ඒ වැඬේට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මහජනතාවගේ මුදල් හැසිරවීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටනේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයක් තමයි මුදල් හැසිරවීම. මුදල් අමාත්‍යවරයාගේ කාර්යත් මුදල් හැසිරවීමයි. ඒ මුදල් ඇමැතිකම ඒ තරම්ම වැදගත් වන නිසානේ මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවෙන් මුදාගෙන ජනාධිපති යටතේ තියා ගන්නේ. ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ මේ හැම කෙනෙක්ම මුදල් අමාත්‍යාංශය තමන් යටතේම තියාගත්තා. ඒ වැදගත්ම අමාත්‍යාංශය බාර ගත්තාම ඉතාම නිහතමානීව මේක ඉතා විශාල වගකීමක් කියලා තේරුම් අරගෙන පාර්ලිමේන්තුවේ උත්තරීතර බව පිළිඅරගෙන පාර්ලිමේන්තුවේ කමිටු නිර්දේශවලට ගරු කරමින් මූල්‍ය හසුරුවන ආයතනයක් ගණන් නොගෙන තනතුර ආභරණයක් සේ සලකලා ඒ තුළින් උච්චමානයට පත් වෙලා දඩබ්බර, හිතුවක්කාරී, ප්‍රචණ්ඩ ස්වරූපී හැසිරීමක් තුළින් සාර්ථක මුදල් ඇමැතිවරයෙක් බිහි වෙන්නේ නෑ.


● ප්‍රශ්නය - ඇමැති රවී පිළිගන්නවා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වුණා කියලා.
පිළිතුර -
මෙතැන තියෙන්නේ ඒක නොවෙයි. අර මම කියපු ආකාරයට හැසිරෙන්න ගිහිල්ලා තමයි රවි කරුණානායක මහතාට මේ දේ සිද්ධ වුණේ. ඔහු ඉතාම බරපතළ විදියට අර ඔබ කියපු විදියේ ප්‍රහාරයට ලක් වුණෙත් ඒ නිසයි. ඒකට සාධක, සාධාරණ හේතු තිබුණා.

 


● ප්‍රශ්නය - කොහොම වුණත් රවි කරුණානායක මුදල් ඇමැතිකම බාර ගන්නේ ඉතාම දුෂ්කර මොහොතක. රට ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබුණ මොහොතක?
පිළිතුර -
ඒක තමයි ඔහුට වැරදිච්ච පළමු තැන. ඔහු කිව්වා ‘පින් එක ගලවපු ග්‍රෙනේඞ් එකක් තමයි බාර ගන්න වුණේ’ කියලා.

 


● ප්‍රශ්නය - ඒක බොරුවක් නොවෙයි?
පිළිතුර -
ඒක තමයි මම කිව්වේ ඔහුට වැරදුණා කියලා. මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ අපි සියලු දෙනා මේ රට කාලා විනාශ කරලා හප කරලා නැති කරලා මහා ඛේදවාචකයක් ඇති කරලා තියෙනවා කියලයි ඔහු කිව්වේ. ඔහුගේ හැම පාර්ලිමේන්තු කතාවක්ම බැලුවොත් අපට, මහින්ද රාජපක්‍ෂට, ඒකාබද්ධ විපක්‍ෂයට, ඒ වගේම ඔහුත් නොදැනුම්වත්ව ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රී ලංකා එකේ ඇමැතිවරුන්ට, අවුරුදු 33ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ලේකම් හා මහින්ද රාජපක්‍ෂ යුගයේ දී වැදගත්ම කැබිනට් අමාත්‍ය ධුර දරූ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් එක්ක තමයි ඔහු ප්‍රහාරය එල්ල කරන්නේ. දින සියයේ විප්ලවය කියලා පටන් ගන්නකොට අනුර කුමාර දිසානායක කරන කතාවක් තමයි රවි කරුණානායක කළේ. “මහින්ද රාජපක්‍ෂ හොර නඩය” කියලා උච්ච වෛරයෙන් තමයි පටන් ගත්තේ.

 


● ප්‍රශ්නය - රවිට වැරදුණ මූලිකම දේ ඒකද?
පිළිතුර -
ඔව්. ඔහුට ආරම්භයේදීම වැරදෙන්න පටන් ගත්තේ එහෙම තමයි. ලෝකයේ ඕනෑම රටක තියෙනවනේ මූලික ආර්ථික දර්ශක. “හැම මහ බැංකු වාර්තාවකම පළමු පිටු දෙක තුන වෙන් කරන්නේ ඒවාට. ඒ ‘කී ඉකොනොමික් ඉන්ටර්කේඩිට්’ 2016 වසරේ 52ක් මම සසඳලා තියෙනවා. 2014ත් එක්ක මහින්ද රාජපක්‍ෂ යුගයට වඩා ඒ ප්‍රධාන සාර්ථක දර්ශක 52න් 6ක් හැර අනික් ඔක්කොම මේ රවි කරුණානායක යුගයේදී අසාර්ථකයි. ඒකෙන්ම පේනවනේ ඔහුගේ පූර්ව නිගමනය සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. ඇත්තටම ඔහු මුදල් ඇමැතිකම ගත්තේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවක. ප්‍රභාකරන් හා යුද්ධය, ලෝක ඛණිජ තෙල් අර්බුදය හා තෙල් මිල අඩු වෙලා. ගෑස් මිල අඩුවෙලා. කිරිපිටි මිල අඩුවෙලා. ලෝක ආහාර අර්බුදය නෑ. ඕනෑතරම් ආහාර ද්‍රව්‍යත් තියෙනවා. මිලත් අඩුයි. ලෝක මූල්‍ය අර්බුදය නෑ. රාජ්‍ය ණය අර්බුදය නෑ. ණය අර්බුදය තිබුණේ 2002.  2002 - 2004 වසරවලදී. ජාතික නිෂ්පාදනයට වඩා ණය වැඩියි. ඒ ණය අර්බුදය ඉවර කළේ මහින්ද රාජපක්‍ෂ. ණය අර්බුදය නෑ. ඊළඟට ආර්ථිකය එක තැන ලැග සිටීමේ අර්බුදය. මහින්ද රාජපක්‍ෂ සමයේ තිබුණ සප්ත මහා අර්බුදයක්. හැබැයි රවි කරුණානායකට තේරුණේ නැත්තේ මෙයාලා ආණ්ඩුව බාර ගන්නකොට මෙයාලා දන්නෑ ප්‍රභාකරන් නෑ කියලා. යුද්ධය නෑ කියලා. අඩු ආදායම් ලබන රට පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙලා කියලා. ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවීම නිසා මේ අවුරුදු දෙකට ඉතිරි වුණ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක්. ඒවා දැක්කේ නෑ. ආහාර අර්බුදයක් නෑ කියලා දැක්කේ නෑ. ලෝකයේ මූල්‍ය අර්බුදයක් නෑ කියලා. ණය අර්බුදය සියයට 70ට අඩු කරලා තිබුණේ. එක ළඟ තිබුණු ආර්ථිකය වෙනුවට මුළු රටම කඩිගුලක් සේ ඇවිස්සී වැඩ බිමක් ලෙස තමයි මහින්ද රාජපක්‍ෂ යුගයේදී රට තිබුණේ. එහෙම රටක් අරන් ඒ රට විනාශ කරපු කට්ටිය කියලා අපට දෙස් දෙවොල් තිබ්බාම ඒකට තමයි ඔය දිට්ඨ ධම්ම වේදනීය කර්මය ලෙස පටිසන් දුන්නේ.

 


● ප්‍රශ්නය - නමුත් මහින්ද රාජපක්‍ෂලා ගත්ත ණය ලියවෙච්ච තැනක් නෑ. ඒ අනුව රට ණය උගුලක හිර කරලා කියලා ඇමැති රවි කරුණු සහිතව රටට ඉදිරිපත් කළා.
පිළිතුර -
ඒකෙන්ම තේරෙනවනේ ඔහු මුදල් ඇමැතිකමට නුසුදුස්සෙක් කියලා. ලෝකයේ මුදල් ඇමැතිවරයෙක් කවදාවත් මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරන්නේ නෑනේ. ආණ්ඩුව ගත්ත ණය දන්නේ නෑ කියනවා නම් නොගෙවා ඉන්න එකනේ තියෙන්නේ. ඒකනේ ලේසිම වැඬේ. එතකොට කවුරුවත් ඉල්ලන්න එන්නෙත් නෑනේ. එතුමා හිතින් මවා ගත්ත ලෝකයක් තියෙනවා. ඒ නිසා එතුමා හිතනවා එතුමට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන් කියලා.

 


● ප්‍රශ්නය - ඔබ ඔය කියන කාරණයට එක උදාහරණයක් දෙන්න?
පිළිතුර -
ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමා කිව්වා රුපියල් පන්දාහේ නෝට්ටු අච්චු ගහලා ඡන්ද රැස්වීම්වල බෙදුවා කියලා.

 


● ප්‍රශ්නය - එහෙම පැමිණිල්ලක් එෆ්.සී.අයි.ඩීයට ආවා.
පිළිතුර -
කෝ එහෙම නම් පරීක්‍ෂණ. දැන් මම කියන්නේ ලෝකයේ වෙනත් රටක මුදල් ඇමැතිවරයෙක් ඒවගේ කතාවක් කිව්වොත් ඒ මුදල් නෝට්ටු ඔක්කොම අවලංගු කරනවා. මේ මුදල් ඇමැතිව ගණන් ගන්නේ නැති හින්දා හොඳයි. ඒකනේ අර බැඳුම්කර කොමිසමේදී අහලා තියෙන්නේ මුදල් ඇමැතිට ණය ප්‍රශ්න විසඳන්න යන්න අවශ්‍ය නෑ. ඒකට තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවක්. ඒකේ වෙනම විද්වතුන් පිරිසක් ඉන්නවා, ණය කොහොමද ගැටලුවක් ඇති වෙන්නෙ නැතිව කළමනාකරණය කරන්නේ කියලා සොයන්න. එතකොට මහා භාණ්ඩාගාරයට සල්ලි ඕනෑ වුණාම මම මහා භාණ්ඩාගාරයේ ඉඳලා තියෙනවනේ. මුදල් ඇමැති නොවෙයි මහා භාණ්ඩාගාරයේ නිලධාරින් මාසිකව මුදල් ප්‍රවාහය කියලා ප්‍රකාශයක් හදනවා. මුදල් එන ප්‍රමාණයයි, යන ප්‍රමාණයයි, ණය වාරික හා පොලිය ගෙවන්න තියෙන ප්‍රමාණයයි හදල. ඒක යවනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට මේ මුදල හොයලා දෙන්න කියලා. ඒවා නිලධාරීන්ගේ මට්ටමින් කෙරෙන ඒවා. රවි කරුණානායක මුදල් ඇමැතිවරයා දිනය නොමැතිව බිලියන 75ක්ද 80ක්ද ඕනෑ කියලා මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලියනවා. මුදල් අමාත්‍යංශයක එහෙම පෞද්ගලික මුදල් ගනුදෙනු කෙරෙන්නේ නෑ.

 


● ප්‍රශ්නය - ඒ ලිපියේ නිරවද්‍යතාව පිළිබඳව ප්‍රශ්න තියෙනවා?
පිළිතුර -
නමුත් බැඳුම්කර කොමිසමට එහෙම ලිපියක් ඉදිරිපත් කළානේ. දිනය පිළිබඳවනේ ප්‍රශ්න තියෙන්නේ. අත්සන ගැන නොවෙයි. මේක මේ ලංකාවේ මහ දවාලේ සිද්ධ වෙච්ච ප්‍රධානම මංකොල්ලය මහ බැංකු කොල්ලයනේ. ඒ මහ බැංකු කොල්ලය වෙන්න පෙර දවසේ ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් ඇමැතිවරයා ගිහින් තියෙනවනේ. කවද්ද ලංකාවේ එහෙම වුණේ. පටන් ගත්ත දවසේ ඉඳලම එතුමව මෙහෙම අමාරුවේ දාන්න සම්මාදන් වුණ පාර්ලිමේන්තුවත් වගකිව යුතුයි. අනුර කුමාර දිසානායකලා ඇතුළු නිල විපක්ෂයත් වගකියන්න ඕනැ මේ තරම් දුරට අපට මෙතුමගෙන් හානියක්වීම වළක්වා ගැනීමට නොහැකිවීම ගැන.

 


ප්‍රශ්නය - කුහකයන් හා ඊර්ෂ්‍යාකාරයන් නිසා විශ්වාසභංග දෙකක් ඔබලා රවිට විරුද්ධව ඉදිරිපත් කළා.
පිළිතුර -
ඔව්. ඒ වෙලාවෙත් අපේම අය කිව්වේ රවිට විරුද්ධව විශ්වාසභංග ඉදිරිපත් කරන්න එපා. උසාවි යන්නත් එපා. අපට හොඳට ඉක්මනින්ම අපට ආණ්ඩුවක් ලබාගන්න පුළුවන් වෙන්නේ රවි හිටියොත් තමයි කියලා. මෙතුමා මුදල් ඇමැති කාලේ අපට මොකක් හරි අලුත් ප්‍රශ්නයක් හැමදාමත් හදලා දුන්නා. මේ ගෙවිච්ච අවුරුදු දෙක තුළදී වැඩිම ජනතා උද්ඝෝෂණ ආවේ මොනවටද කියලා මතක්කර ගන්න. ඒ නිසා ඇත්තටම මෙතුමට ඊර්ෂ්‍යා කරන්න නොවෙයි තෙල් මල් පුදමින් හැමදාමත් තියා ගන්නයි තිබුණේ.

 


ප්‍රශ්නය - කොහොම වුණත් දැන් රවි කරුණානායක විදේශ ඇමැති?
පිළිතුර -
පළමුවෙන් කිව යුතුයි මේක කැබිනට් සංශෝධනයක් නොවෙයිනේ. හොරකම් වංචා දූෂණ නිසා මේ කැබිනට් සංශෝධනය කළා නම් පරීක්ෂණයක් කරලා දඬුවම් දිය යුතුයි. නමුත් මෙතැනදි වෙලා තියෙන්නේ තවත් ඇමැතිකමක් දීමයි. දැන් රවිට ලැබිල තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයයි. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ වුවමනාවට ලංකාණ්ඩුවත් අත්සන් කරලා එක්සත් ජනපදයත් එක්ක එකතුවෙලා, ජිනීවා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා අපි යුද අපරාධ කළා කියලා, රණවිරුවෝ ටික බිල්ලට දෙන්න. දැන් යුද්දෙට ඔච්චම් කරපු කෙනෙකුටනේ විදේශ ඇමැතිකම දීලා තියෙන්නේ. කවුරුත් දන්නවනේ අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියපු කෙනා විදේශ ඇමැති වුනාම තව හොඳට හිටියි නේද?

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්