නාරාහේන්පිට ඉඩම කාගෙද? ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට ප්‍රශ්නයක්


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් 
විජිත හේරත්

ඔය කියන ඉඩම් අපේ මාමණ්ඩිලගෙ පරම්පරාවෙ ඉඩම්

වත්මන් දේශපාලනය පිළිබඳ අදහස් දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ එක්වේ.   


ආපහු වතාවක් විජිත හේරත් ගැන කතාබහක් ඇතිවෙලා. සද්ද නැතුව හිටියට කෝටිපතියෙක්ලු නේද?   


ඕව සුපුරුදු පරිදි ඡන්දෙ කාලෙට එන කතා. මගේ මාමණ්ඩි, මාමණ්ඩිගෙ සීයා, සීයගෙ තාත්තා ඒ ඔක්කොටම අයිති ඉඩම් තියෙනවා. නාරාහේන්පිට හන්දියෙ පාරේ දෙපැත්තෙම දෙ‌ාන් ආරොන් අප්පුහාමිගෙයි දොන් දියෝනිස් අප්පුහාමිගෙයි ඉඩම් තමයි තියෙන්නේ.

නාරාහේන්පිට අභයාරාමෙට පූජා කරල තියෙන්නෙත් ඒ මුත්තලගෙ ඉඩම්. මේවා පාරම්පරිකව එන ඉඩම්. එහෙම නතුව මම දේශපාලනයට ඇවිත් හම්බ කරපු දෙයක් නෙවෙයි. මගේ කියලා කිසිම ඉඩමක් නෑ. ඔය කියන ඉඩම් අපේ මාමණ්ඩිලාගෙ පරම්පරාවෙ ඉඩම්.   


එක පාරට මේ ඉඩම් කඩම් කරළියට එන්නේ කොහොමද?   


මේ ඡන්දෙ කාලෙනෙ. ඡන්දෙ කාලෙට ඔය වගේ හරියට එනවනේ අපි ගැන. ප්‍රතිපත්තිමය කරුණුවලින් හැප්පෙන්න බැරි තැන ඔය වගේ මොනව හරි වල්පල් තමයි අපේ ප්‍රතිවාදීන් තෝර ගන්නේ. මේව කරන්නේ සහ කරවන්නෙ කවුද කියල අපි හොඳට දන්නවා. දැන් කාලයක් තිස්සෙ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන චරිත ඉලක්ක කරල මේ වගේ මඩ ව්‍යාපාර ගෙනියනවා. අනුර සහෝදරයගේ පිටරට නිවසක් ගැනත් පහුගිය කාලේ කොච්චර කිව්වද?   

 

  • මම මගේ නෝනව කසාද බැන්දෙ දේපොළ ගන්න නෙවෙයි. ඒවා එයාලගෙ. මටත් මගේ ආච්චිගෙන් හම්බවෙච්ච ඉඩමක් තියෙනවා.


ඔය කියන නාරාහේන්පිට හන්දියේ ඉඩම් සහ ගොඩනැගිලි ඔබලට අයිතිද?   


ඒව අපේ මාමණ්ඩිලගෙ දේපොළ. අපේ අයිතියට මේව නෑ.   


ජවිපෙ කට්ටිය රටට පෙන්නාගෙන ඉන්න විදිහයි. ඇත්ත විදිහයි අතරෙ වෙනස හොයන්න මිනිස්සු මෙච්චර උනන්දු ඇයි?   


අපිට එහෙම දෙවිදිහක් නැහැ. අපේ විදිහ රටේ මිනිස්සු දන්නවා. අපි කිසිදෙයක් සඟවලා නෑ. මටත් මගේ කියලා හංගන්න දෙයක් නෑ. අපේ මාමණ්ඩිට නාරාහේන්පිට හන්දියේ කඩ හතරකුයි ගෙවල් දෙකකුයි ඉඩකඩම් එහෙම තියෙන බව මම කොහේවත් හංගල නෑ. ඒ වගේම ඒ ගැන කිය කිය ගිහිල්ලත් නෑ. මේක අලුතෙන් හොයාගත්ත ප්‍රවෘත්තියක් නෙවෙයි. මම මගේ නෝනව කසාද බැන්දෙ දේපළ ගන්න නෙවෙයි. ඒවා එයාලගෙ. මටත් මගේ පරම්පරාවෙන් එන දේපොළ තියෙනවා. මටත් මගේ ආච්චිගෙන් හම්බවෙච්ච ඉඩමක් තියෙනවා. ඒ ඇරෙන්න දේශපාලනයෙන් අපි සතපහක් හම්බකරල නෑ. දේශපාලනය කරල ඉඩකඩම් දේපොළ එකතු කරගෙන නෑ. මම කැලණිය විශ්වවිද්‍යාලයෙ ගණිතය පිළිබඳ විශේෂවේදී උපාධියක් තියෙන කෙනෙක්. මගේ පවුලෙ සහේදර සහෝදරියො කවුරුත් රජයේ සේවකයෝ. මගේ අම්මයි තාත්තයි දෙන්නත් රජයේ සේවකයෝ. අපි හිඟන්නො නෙවෙයි. ඒ විස්තර අපි කිසි තැනක හංගලා නෑ. විශේෂයෙන් කිය කිය යන්නෙත් නෑ. මම දැන් අවුරුදු විස්සක් නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇමැතිකම් කරලත් තියෙනවා. ඒත් සතපහක් අපි ඒකෙන් හම්බකරල නෑ.   


ජවිපෙ අය ඔහොම කිව්වට ඔයගොල්ලෝ කප්පම් පවා ගන්නවලුනේ. මේව ඇවැන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති තමයි කියන්නේ. ඒ ගැන එයා ජවිපෙට විවාදෙකට පවා අභියෝග කරනවා. ඔබල ඒක බාරගත්තෙත් නෑ. හැබැයි දැන් ඔන්න ජනාධිපති කොමිසමට යන්න වෙලා.   


 ජනාධිපතිවරයා පත්කරපු කොමිසමට අපි යන්න සූද‌ානම්. ඒකට ගිහිල්ලා අපි ළඟ තියෙන සියලු තොරතුරු ලබාදෙන්න අපි සූද‌ානම් ඇවන්ගාඩ් ගනුදෙනුව විතරක් නෙවෙයි මේ රටේ වෙච්ච සහ සිදුවෙන බරපතළ වංචා දූෂණ රාශියක් තියෙනවා. අපි එද‌ා ඉඳලා මේ ගැන රටට හෙළිකළා. අපි ඕනෑ වෙලාවක සූද‌ානම් ඕනෑ තැනකට ගිහින් මේවා ගැන කියන්න. ඒවා මේ අරයගෙ මෙයාගෙ දේපොළ නෙවෙයි. ඒව මේ රටේ ජනතාවගෙ සල්ලි. රටේ සල්ලි හොරකම් කරපු හැටි ගැන අපි දන්න සියලු තොරතුරු ඕනෑ වෙලාවක ලබා දෙන්න සූද‌ානම්. ඕනැනම් උසාවියට යන්නත් සූද‌ානම්.   


නිශ්ශංක සේනාධිපති ඔය තරම් තදේට අභියෝග කරන්නෙ කොහොමද? ඕවයි ඇත්තක් නැත්නම්. එයා කියන්නේ ජවිපෙට හය දෙනාම හරි විවාදෙට එන්න කියලා.   


 පහුගිය ආණ්ඩුව කාලෙ මහ බැංකුව කොල්ලකෑවනේ. එකෙ දේශපාලන තීන්දු ගත්තෙත් රනිල් වික්‍රමසිංහ හොරා කාපු ප්‍රධාන චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන්. අපිට විවාදය තියෙන්නේ හොරකමට සහාය දීපු දේශපාලන නායකත්වය දීපු රනිල් වික්‍රමසිංහ එක්ක මිසක් අර්ජුන මහේන්ද්‍රන් එක්ක නෙවෙයි. හම්බන්තොට වරාය චීනෙට විකුණුවහම අපි චීනෙත් එක්ක විවාදෙට යන්නෙ නෑ. අපිට ගනුදෙනුව තියෙන්නේ ඒක කරපු ආණ්ඩුවෙ නායකයො එක්ක. හොරු එක්ක වාද කරන්න දෙයක් නෑ. හොරකමට අනුග්‍රහය දක්වන දේශපාලන නායකත්වය එක්ක තමයි අපිට විවාදය තියෙන්නේ. හොරු එක්ක විවාද කරන්න තරම් දෙයක් නෑ අපිට. අනික හන්දි ගානෙ කෑ ගහන හොරු එක්ක මොන විවාද ද අපිට.   


විජේද‌ාස රාජපක්ෂ පහුගියද‌‌ා ප්‍රකාශ කරලා තිබුණා රාජපක්ෂලා දඩයම් කරන්න දූෂණ විරෝධී කමිටුව හරහා කරපු උත්සාහයට අනුර දිසානායකත් හවුල්වෙලා හිටියා කියලා.   


 දූෂණ විරෝධී කමිටුවට ජේවීපී එක සහභාගි වුණා. මොකද අපි තමයි රාජපක්ෂ පාලනයේ වංචා දූෂණවලට විරුද්ධව තදින්ම කතා කරපු අය. ඒ වෙනුවෙන් තදින්ම පෙනී ඉඳපු අය. අපි තමයි ඒ වෙනුවෙන් පැමිණිලි කළේ. අපි තමයි ඒ වෙනුවෙන් උසාවි ගියේ. ඒ ගැන සොයා බලන එක අපේ වගකීම. ඒ පරීක්ෂණවල තත්ත්වය දැන ගැනීමට අපේ වගකීමක්. ඒ ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් අපිට තියෙනවා. ඒක රටේ ජනතාව වෙනුවෙන් කරපු වැඩක්. දූෂණ විරෝධි කමිටුවට අපි සහභාගි වුණේ නිල වශයෙන්. ඊට පිටින් අපේ සම්බන්ධයක් නෑ. ඒ කමිටුවෙ ඉන්න ගමන්ම තමයි අපි රනිල් වික්‍රමසිංහලගෙ ආණ්ඩුවෙ මහබැංකු කොල්ලය ගැනත් හෙළිදරවු කළේ. අපිට හොරා මොන පිලේද කියන එක අද‌ාළ නෑ. හොරාට හොරා කියන්න අපි එදත් අදත් පසුබට වෙලා නෑ. රාජපක්ෂලාගෙ වගේම රනිල් වික්‍රමසිංහලාගෙත් හොරකම් එක වගේ අපි හෙළිදරවු කළා.   


අපි එ්කෙදි විජේද‌ාස රාජපක්ෂ ගැනත් හෙළිදරව් කළා. ඇවන්ගාඩ් එකත් එක්ක එයාට තිබුණු සම්බන්ධය හෙළිදරවු කළා. අපි නිසා තමයි තිලක් මාරපනට ඉල්ලා අස්වෙන්න වුණේ.   
විජේද‌ාස රාජපක්ෂ ඔය කතාව දැන් කියන්නේ රාජපක්ෂලගෙ ඔඩොක්කුවට ගියාට පස්සෙනෙ. එයා ස්වාධීනව ඉඳගෙන ඔය කතාව කිව්ව නම් හිතන්න තිබුණ ටිකක්. දේශපාලන වශයෙන් අනාථවෙලා රාජපක්ෂලගෙ වළං හෝදන ගමන් විජේද‌ාස රාජපක්ෂ ඔය කියන කතා ගණන් ගතයුතු නෑ. රාජපක්ෂලා සතුටු කරන්න විජේද‌ාසට ඔය වගේ කතා කියන්න සිද්ධවීම පුදුමයක් නෙවෙයි.   


ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට හොඳට දෙහි කපලා වැඩ කරවගන්න උත්සාහ කරනවා දැක්කා.   


 ජනාධිපති පත්වෙලා මාස අටක් ගතවෙලා. කියපු දේවල් කරගන්න බැරිවෙලා. දැන් එයාට කේන්ති ගිහින්. ඒක නිසා මාධ්‍ය එහෙමත් ගෙන්නලා රාජ්‍ය නිලධාරීන්ට පළුයන්න බණිනවා. ඔක්කොම නිලධාරීන්ගෙ පිට ද‌ාල ෂේප්වෙන්න හදනවා. වැඩ කරන අපේ විරුවා කිව්වට කයිවාරු විතරයි. වැඩ කර ගන්න බැරිවුණාම නිලධාරීන්ට බණිනවා. හාල් මාෆියාව ගැන කියපු කතා අපිට මතකයි. කඩවල් ගානෙ ගිහින් සංදර්ශන දැම්මා. ඒත් අන්තිමට හාල් මාෆියාකාරයො ඉස්සරහ දණ ගැහුවා. ඔන්න වැඩ කරන විරුවගෙ කෙරුවාව. සද්දෙ විතරයි.

   
දැන් හැම පක්ෂයක්ම උගතුන් විද්වතුන් ඡන්දෙට ද‌ානව කියලා ලොකු ඝෝෂාවක් කරනවා. හැබැයි ඔය වගේ උගත්තු තමයි පහුගිය කාලේ පාර්ලිමේන්තුවෙ යකා නැටුවෙ. පොතේ උගත්කම විතරක් ඇද්ද පාර්ලි​ෙම්න්තුවට යන්න? ඔබලත් කියන්නේ ඔබේ ලිෆ්ට්වල ඉන්නේ ඔක්කොම උගතුන් කියලා.   


පහුගිය කාලෙ ලොකු කතාවක් තිබුණා වියත් මග ගැන. ඊළඟ පාර්ලිමේන්තුව වියතුන්ගෙන් පුරවනවා කියලා කිව්වෙ. ඒත් පොහොට්ටුව නාම යෝජනා දීලා තියෙන්නේ කාටද? පරණ සුපුරුදු හොරුන්ට, දූෂිතයින්ට, කුඩු ජාවාරම් කරන, පස් ජාවාරම් කරන, වැලි ජාවාරම් කරන, බුකී ජාවාරම් කරන අයගෙන් තමයි ඒ ලැයිස්තු පිරිලා තියෙන්නේ. අපේ ලැයිස්තුවල ඒ වගේ අය නෑ. ඒක සහතික කරල කියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා දෙපැත්තට චෝදනා කරගන්නේ දෙපැත්තෙම ඉන්නෙ හොරු කියලා. ඒ අය ගැන තවත් කතා මොකට ද ඉතිං. ජාතික ජනබලවේගය වටා ඉන්න උගතුන් බුද්ධිමතුන්ගෙන් තමයි අපේ දිස්ත්‍රික් ලැයිස්තු වගේම ජාතික ලැයිස්තුවේ පිරිල තියෙන්නේ. අපේ අයගෙ සහ අනෙක් පක්ෂවල අයගෙ භාවිතය සංසන්දනය කරලා බලන්න පුළුවන්. උගත්කම විතරක් නෙවෙයි දේශපාලන භාවිතාවෙන් ආදර්ශමත් පුද්ගලයෝ අපි එක්ක ඉන්නවා.   
 

 

 

 ප්‍රියන්ත කොඩිප්පිලි