ප්‍රවාහන තදබදය නැති කරන්න සැහැල්ලු දුම්රිය


 

 

ප්‍රවාහන තදබදය බරපතළම ප්‍රශ්නයක් වී ඇත. පවතින වාහන තදබදය නිසා කාර්ය බහුලවීමෙන් කිලෝ මිටර් 15 ක දුරක් යෑම සඳහා පැය 1 1/2 කට 2 කට අධික කාලයක් ගතවීම සිදුවෙයි.  


මේ නිකරුණේ ගතවන කාලය ඉතිරි වුවහොත් වැඩ කරන ජනතාවගේ ශ්‍රම ඵලදායීතාව ඉහළ නැංවීමටත් මෙන්ම නාගරික ජන ජිවිතය වඩාත් සුව පහසුවට හේතු වනු ඇත. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරන අාකාරයට ජනතාව පෞද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහන ක්‍රමය සමඟ සම්බන්ධවීමත් නාගරික රථවාහන තදබදය අඩුවීමත් හේතුවෙන් ඉන්ධන දහනය අඩු වී කාබන් විමෝචනය අඩු වනු ඇත. ඇස්තමේන්තුවලට අනුව වසරකට කාබන් විමෝචනය ටොන් 53,929 කින් අඩු වනු ඇතැයි සඳහන් වේ.   


බස්නාහිර පළාත් වාහන තදබදය ඉතා බරපතළ ලෙස පවතින පළාතක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකෙන බස්නාහිර පළාත රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 42කට දායක වේ.   


කොළඹ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ වැඩිම නාගරික ජනගහනය වෙසෙන දිස්ත්‍රික්කය ලෙස සලකනු ලබයි. ඉහළ ආදායම්ලාභී රටක තත්ත්වය අත්කර ගැනීමට යන ගමනේදී රටේ වෙ​ෙළඳ නගරය ප්‍රධාන වරාය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටා ඇති බස්නාහිර පළාතේ පවතින ප්‍රධාන ගැටලු කීපයකට විසඳුම් සෙවීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේ වනවිට පියවර ගෙන ඇත.  


ඒ අනුව වසර 2035 දක්වා වූ බස්නාහිර පළාතේ ප්‍රවාහනය දියුණු කිරීමේ සැලැස්මක් සකස් කර ඇති අතර කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය එහි ප්‍රධාන අංගයකි.  
වර්ග කිලෝමීටර් 3684 ක්වූ බස්නාහිර පළාතේ ජනගහණය 2012 වන විට මිලියන 5.8 ක් වූ අතර එය 2025 දී මිලියන 7.8 දක්වාද වසර 2035 වනවිට මිලියන 9.1 දක්වාද වැඩි වනු අතැයි අැස්තමේන්තු කර ඇත.   


මෙම වැඩි වන ජනගහණයත් සමග ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුමද ශීඝ්‍රයෙන් වැඩි වේ. අද වනවිට කොළඹ නගරයට දිනකට කාර්, වෑන්, ත්‍රිරෝද රථ වැනි සැහැල්ලු වාහන 450,000 ක් පමණ ද බස් රථ වැනි පොදු ප්‍රවාහන වාහන 29,000 ක් පමණ ද ඇතු​ළු වේ. මෙම වාහනවලින් දිනකට මගීන් මිලියන 1.8 සිට 1.9ක ප්‍රමාණයක් නගරයට රැගෙන එති. වර්ෂ 2035 වනවිට මෙලෙස නගරයට ඇතුළුවන සංඛ්‍යාව මිලියන 4.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.  


මේ තත්ත්වයට මුහුණදීම සඳහා මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ සැලැස්මකට අනුව මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම සිදු වේ.  


ඒ අනුව සැහැල්ලු දුම්රිය මාර්ග 4 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.   


මාල​බේ - කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය.   


රාගම, කඩවත, කිරිබත්ගොඩ, මරදාන, කොළඹ කොටුව හා කිරුළපන දක්වා වූ ව්‍යාපෘතිය  


මොරටුව, කටුබැද්ද, පිළියන්දල, නුගේගොඩ හරහා බොරැල්ල කැලණිය දක්වා වූ ව්‍යාපෘතිය.  


කොට්ටාව, පන්නිපිටිය, බත්තරමුල්ල, නුවර පාර (ටයර් හන්දියෙන්) හුණුපිටිය දක්වා වූ ව්‍යාපෘතිය.  


මෙම මාර්ග එකිනෙකට සම්බන්ධ වන ස්ථානද සැලසුම් කර ඇත. ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ පී. දිසානායක මහතා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීය.  
රෙඩ් ලයින් වශයෙන් හඳුන්වන රාගම, කඩවත, කිරිබත්ගොඩ, මරදාන කොළඹ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය කිලෝමීටර් 33ක දුරකින් යුක්තය. ඒ අතර දුම්රිය නැවතුම් පොළ 24 ක් පිහිටුවනු ලබයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 1700 ක් මේ සඳහා වැය වෙතැයි ගණන් බලා ඇති අතර රජය හා පෞද්ගලික ඒකාබද්ධ ආයෝජනයක් ලෙස ඉදි කිරීම් සිදු කිරීමට නියමිතව ඇත. මොරටුව, කටුබැද්ද, පිළියන්දල නුගේගොඩ හරහා බොරැල්ල, බේස්ලයින් පාර ඔස්සේ කැලණියට පිවිසෙන මාර්ගය ග්‍රීන් ලයින් වශයෙන් නම්කර ඇත.   
කිලෝ මීටර් 28 ක දුර ප්‍රමාණයක් සහිත මෙම මාර්ගයේ දුම්රිය ස්ථාන 17 කි. අැ​ෙමරිකානු ඩොලර් මිලියන 110 ක් වැය වනු ඇතැයි ගණන් බලා ඇති අතර ඒකාබද්ධ ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා ආරම්භ කර අැත.  


කොට්ටාව, පන්නිපිටිය, බත්තරමුල්ල, නුවර පාර, හුණුපිටිය දක්වා වන මාර්ගය බ්ලූ ලයින් වශයෙන් හඳුන්වනු ලබයි.  


කිලෝ මීටර් 22 ක් දිග මේ මාර්ගයේ දුම්රිය ස්ථාන 14 කි. ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ක මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත. එ්කාබද්ධ ආයෝජනයක් ලෙස මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වනවිට යෝජනා ඇගයීමට යොමුකර ඇත.   


සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ මාලබේ කොළඹ ඉදි කිරීමේ සමාරම්භක උත්සවය මේ වනවිට පවත්වා ඇත. මෙම දුම්රිය මාර්ග ඉදිකිරීමෙන් දැනට ගතවන කාලය විනාඩි 45 ක් 90 ක් පමණ වන අතර එම කාලය විනාඩි 32 දක්වා අඩු වනු ඇතැයි ගණන් බලා තිබේ. 

 
මෙම ව්‍යාපෘති මගින් මාලබේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර් 16 ක් දුර නව දුම්රිය මාර්ගය ඉදිකරනු ලබන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද ආරියදාස මහතා සඳහන් කරයි. දුම්රිය මාර්ගය දැනට පවතින මහා මාර්ගවල මධ්‍යයේ ඉදි කෙරෙන කොන්ක්‍රිට් කුලුනු මත ඉදි කෙරේ. ගමනාන්ත දෙක අතර දුම්රිය ස්ථාන 16 කි.   


එම අවස්ථාවට මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගණයක්ද ඉදි කෙරේ. ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගි සැහැල්ලු විදුලි දුම්රිය මෙහි ධාවනය සඳහා යොදාගනු ලබයි.  


ව්‍යපෘතියේ සැලසුම සැකසීම හා ප්‍රසම්පාදන කටයුතුවලින් පසුව ඉදිකිරීම් කටයුතු 2020 දී ආරම්භ කිරීමට නියමිතය. එම කටයුතු 2024 දී නිම කිරීමට අපේක්ෂා කෙරේ.  
ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය 2025 වර්ෂය වනවිට මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වනු ඇත. කණු මත ඉදිවන කොළඹ - මාලබේ දුම්රිය මාර්ගය මිටර් 8.4 ක පළලින් සමන්විතය ධාවනය සඳහා දුම්රිය කට්ටල 25 ක් යොදා ගැනීමට නියමිතය ඒවා මැදිරි 4 කින් සමන්විත වන අතර වරකට මගීන් 800 ක් පමණ රැගෙන යාමේ ධාරිතාවකින් යුක්තය.  


මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නිම වූ පසුව කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ සිට මාලබේ දුම්රිය ස්ථානයට ගමන් කිරීමට ගතවන කාලය මිනිත්තු 32 කි. කාර්ය බහුල වෙලාවන් තුළ සෑම මිනිත්තු 3 කට වරක්ම දුම්රියක් දුම්රිය ස්ථානවලට ළඟාවීමට සැලසුම් කර ඇත.  


කොළඹ - මාලබේ ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 පමණ වන අතර එම මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක ප්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් සහනදායී ණයක් ලෙස ලබා දෙනු ලබයි. මෙම ණය මුදල පියවීමට වසර 40 ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර වසර 12ක සහන කාලයක් ඒ සඳහා ඇතුළත්ව ඇත.

 

 

 

දයාසීලි ලියනගේ