විමල්ට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ නැගිටියි


(අජන්ත කුමාර අගලකඩ)   

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව ආණ්ඩුව තුළ දැඩි සටනක් ගෙන යාමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.   

වීරවංශ මහතා ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව තව දුරටත් විවේචනය කරන්නේ නම් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.


මෙම මන්ත්‍රීවරුන් පිරිස විමල් වීරවංශ මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ගිය සතියෙ හමුවී දැනුවත් කර ඇති බව ද එම ආරංචිමාර්ග කියයි.   


කොළඹ වරාය බටහිර ජැටිය සම්බන්ධයෙන් සහ පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් වීරවංශ ඇමැතිවරයා කළ ප්‍රකාශවලින් ආණ්ඩුවට බරපතළ හානියක් සිදුව ඇතැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කර ඇත.   


ආණ්ඩුවේ සමහරුන් මුස්ලිම් අන්තවාදීන් සමග ඉදිරියේ දී දීග කන්නට සූදානම් වන බවට වීරවංශ මහතා කොළඹ දී ගිය සතියෙ පැවැති සම්මන්ත්‍රණයක දී කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් ද මෙම මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට පෙන්වනු ලැබ ඇති බව ද වාර්තාවේ.   


ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ආණ්ඩුව පියවරක් නොගන්නේ නම් ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව ද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.