මෛත්‍රී - මහින්ද නව සන්ධානයේ සම සභාපති


නම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලකුණ පොහොට්ටුව? 

 

(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සඳහා සම සභාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට යෝජනා වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සම සභාපතිවරුන් ලෙස පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව ද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.  

නව දේශපාලන සන්ධානය පිහිටුවීම සම්බන්ධ එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව රැස්වී සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද වාර්තා විය. මේ අතර නව දේශපාලන සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී පෙරේද‌ා (22) පැවැත්වීමට නියමිතව තිබිණි.  


යෝජිත නව දේශපාලන සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස නම් කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බව ද දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ. මේ අතර නව දේශපාලන සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැති අතර ‘පොහොට්ටුව’ ලකුණ ඒ සඳහා වඩාත් සුදුසු බව පොදුජන පෙරමුණ පාර්ශ්වයේ අදහස වී ඇතැයි ද වාර්තා වේ.