හන්දි හන්දි ගානේ කතා කරලා එජාපය නැති කරලා තියෙන්නේ


එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී   
රවි කරුණානායක

  • මේ රට කෑවා නම් කෑවේ මහ බැංකුවේ අය  
  • හර්ෂ-ඉරාන් සුජීව මේ අය අපිව නැතිකරන ගමනකනේ හිටියේ

 

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ මොකද වෙන්නේ? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

 ප්‍රශ්නය:- දැනට තියෙන තත්ත්වය අනුව පක්ෂය දෙකඩ නොවී නායකත්ව අර්බුදය විසඳගන්න බැරි පාටයි?   


පිළිතුර:- මම එහෙම හිතන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ විශේෂත්වය තමයි මොනවා වුණත් අන්තිමට එකට එකතු වෙලා ජයග්‍රහණය කිරීම. අපේ දුර්වලතා ගොඩාක් තියෙනවා. එකමුතුකම බිඳ දැමීමේ අරමුණු යම් යම් අය තුළ තියෙනවා. ඒත් මම කියනවා අපි අන්තිමට ඔක්කොම එකතු වෙලා ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසයි මේ දවස්වල අපි කතා කරන්නේ නැතිව එකට එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් හැදුවේ.   


 ප්‍රශ්නය:-නමුත් සජිත් පාර්ශ්වය කියන්නෙම ‘නායකත්වය සජිත්ට දිය යුතුමයි’ කියලයි?   


පිළිතුර:- මම ඒ ඒ පාර්ශ්ව ගැන කතා කරන්නේ නෑ. නමුත් මම එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නම්. පාර්ශ්ව ගැන කතා කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.   


 ප්‍රශ්නය:- ඔබට අනුව පක්ෂ නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතු ද නැද්ද ?   


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ බූදලයක් නොවෙයි. ඒ වගේම හැමෝටම එකට වැඩ කරන්න පුළුවන් විශ්වාසයක් ඇතිකළ යුතුයි. ලී ක්වාන් යූගෙන් ආදර්ශයක් ගත්තොත් ජනප්‍රියම පුද්ගලයා කවුද? රටක් හදන්න පුළුවන් පුද්ගලයා කවුද? කියලා හඳුනාගත යුතුයි. රට හදන්න ගන්න සිද්ධ වෙන තීන්දු, හුරේ කියලා අත්පුඩි ගහලා ගන්න තීන්දු නොවෙන්න පුළුවන්. රට හදන්න ඉන්න පුද්ගලයා ඉදිරිපත් කළාම ‘මෙයාද?’ කියලා ප්‍රශ්න කරයි. නමුත් ප්‍රතිඵලය දිහා බැලුවම කියයි ‘එයා කොච්චර දක්ෂ ද’ කියලා. ලී ක්වාන් යු එනකොට හැමෝම බැන්නා. නමුත් ඔහු ආවා. රට හැදුවා. මහතීර් මොහොමඩ් රට හැදුවා. ඒ වගේ එකක් තමයි අපිටත් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ජනප්‍රියම පුද්ගලයා නොවෙයි දක්ෂයා තමයි ඉදිරියට ගත යුත්තේ.   


 ප්‍රශ්නය:-මහ මැතිවරණයට තව මාස තුනයි. එජාපය තියෙන්නේ ගිනි කන්දක. කොහොමද මැතිවරණයට යන්නේ?   


පිළිතුර:- මම හිතන්නේ අපේ පක්ෂය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වේවි. රනිල් වික්‍රමසිංහ හුඟාක් කාලයක් නායකත්වයෙ ඉඳලා තියෙනවා. එයාට සද‌ාකල්ම ඉන්න බෑ. අලුත් නායකත්වයක් හද‌ාගෙන අපිට යන්න තියෙනවා. මට තාම පේන විදියට මෙතැන මෝඩකම් කරන පිරිසකුත් ඉන්නවා. මේකට හැමදෙනාම වග කියන්න ඕනැ. කරන්න ඕනෑ දේ හරි වෙලාවට නොකිරීම ගැන වග කියන්න ඕනෑ. ඒ නිසා රනිල්, සජිත්, කරු, රවී මේ අපි හැමෝටම තම වගකීමක් තියෙනවා. ඉදිරියේදී සජිත් සහ මම අපි ළඟින් වැඩ කරලා මේක හද‌ා ගන්නම ඕනැ. අවිශ්වාසයෙන් මේ ගමන යන්න බෑ. එක නායකයෙකුට ජනප්‍රියත්වය තියෙනවා. වැඩ කිරීමේ දක්ෂතාවය තවත් නායකයෙකුට තියෙනවා. මේවා තේරුම් ගන්න ඕනැ. මේ පක්ෂ ඉතිහාසයෙ කවද‌ාවත් නොතිබුණු රෝගයක් මේ පක්ෂයට වැලඳුණා. ඒ තමයි ඊර්ෂ්‍යාව. ඒ වගේම දුෂ්ටභාවය. මේක කවද‌ාවත් අපේ පක්ෂයේ තිබුණේ නෑ. නමුත් මේක කොරෝනා වෛරසය වගේ අපේ පක්ෂයට වැලඳුණා.   


 ප්‍රශ්නය:- කවුද ඒ වෛරසය ගෙනාවේ?   


පිළිතුර:- මම නම් ගම් කියන්න යන්නේ නෑ. මගේ දේශපාලන ගුරුවරයා ලලිත් ඇතුළත්මුදලි මගෙත් එක්ක කිව්වා ජේ.ආර්. ජයවර්ධන මේ පක්ෂය පරාජිත තැනක ඉඳලා ජයග්‍රාහී තැනකට ගෙනිච්චේ ප්‍රේමද‌ාස, ලලිත්, ගාමිණී, රොනී ද මැල් වගේ පිරිස් ඉදිරියෙන් තියාගෙන කියලයි. අපේ කට්ටිය ඒ තිබුණ දක්ෂතාව නැති කළා. හොඳම උද‌ාහරණය මම.  


 ප්‍රශ්නය:-ඔබ දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමැති වුණා. නමුත් අන්තිමට ඇමැතිකම ගහල ගියා?  


පිළිතුර:- ඒකනේ මම කිව්වේ. හොඳම උද‌ාහරණය මම කියලා. එක්සත් ජාතික පක්ෂයේ අයමනේ මට පහර ගැහුවේ. මම කිසිසේත්ම නැති.... මගේ විෂයට අයත් නැති දෙයකටනේ මාව සම්බන්ධ කළේ.  


 ප්‍රශ්නය:-ඔබ කියන්නේ බැඳුම්කර මගඩිය ගැන?  


පිළිතුර:- ඔව්. ඔව්. ඒක මගේ ඇඟට ද‌ාන්නයි හැදුවේ. අන්තිමට මොකද වුණේ? වෝහාරික වාර්තාව හරහා දෙයියෝ දුන්නා වගේ මාව නිදෙ‌ාස් කළා. මේ කටකතා කියන කට්ටිය අද නිරුවත් වෙලා තියෙනවා. හැබැයි ඒක අපේ පක්ෂයට ලොකු පාඩුවක් වුණා. අපේ පක්ෂයට ප්‍රශ්න එකක් දෙකක් තියෙන කොට ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා දහස් ගානක් තිබුණා. නමුත් ඒවා ගැන කතා කරන්නේ නැතිව අපේ කට්ටියම අපව විවේචනය කරන්න පටන් ගත්තා. ඔන්න ඕකයි වුණේ. ඔය තක්කඩි හැසිරීම නැති කිරීම තමයි අපි කරන්න ඕනැ. අපි එකතු වුණාම ඒ හැම මොහොතකදීම අපි දිනුම්.  


 ප්‍රශ්නය:- ජනාධිපතිවරණයක් පැරැදිලා ඊළඟට එන මහ මැතිවරණය පරාජිත කඳවුරට සෑහෙන්න අමාරුයි?  


පිළිතුර:- ඒක මම පිළිගන්නවා. නමුත් පරාජය වෙනවා කියලා. එහෙම හිතලා ඇස් වහගෙන අත් බැඳගෙන ඉන්න ඒක නොවෙයි කළ යුත්තේ. ඒ පරාජය හරහා ජයග්‍රහණයට යෑම තමයි දක්ෂතාවය කියන්නේ. නැත්නම් ඉතින් ඡන්දයකට යන්න ඕනැ නැහැනේ. 2015 දීත් අපේ කට්ටිය හිටියේ ඔය මතයෙමයි. ඒත් අපි දිනුවා. අපේ මිනිසුන්ට උදේ කාපු දේ දවල් වෙනකොට අමතකයි. දැන් බලන්න අපේ ආණ්ඩුව කාලේ ජනතාවට දුන්න දේවලුත් මේ ආණ්ඩුවට දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි ගත්තොත් අපේ ආණ්ඩුවේ පළමු අවුරුදු තුන තුළ 2015 - 2016 - 2017 කාලය තුළ අපි කරපු වැඩ ටික කාටවත් කරන්න බැරි වුණා. අද මේ ආණ්ඩුව හොල්මන් වෙලා ඉන්නේ. කොහොමද එහෙම දුන්නේ කියලා. මේ ආණ්ඩුව දැන් කියනවා තුනෙන් දෙක ඕනැලු දුන්න පොරොන්දු ඉටු කරන්න. එතකොට අපි? වැටිලා තිබ්බ ආර්ථිකයත් මම මුදල් ඇමැති වශයෙන් බාර ගත්තේ. අපට ලැබුණේ දණ ගස්වපු ආර්ථිකයක්. ලැබුණු ආද‌ායම මදි වුණා පොළිය ගෙවන්න. අපි මොනවද කළේ? රුපියල් දහද‌ාහක පඩි වැඩි කළා. විශ්‍රාම වැටුප් වැඩි කළා. ගෑස් මිල, පෙට්‍රල් මිල, ඩීසල් මිල, භූමිතෙල් මිල අඩු කළා. කිරිපිටි, සැමන් මිල අඩු කළා. රක්ෂණ ක්‍රමයක් ඇති කළා. මේවා ඔක්කොම දුන්නේ තුනෙන් දෙකේ බලයක් තියා බහුතරයවත් නැතිව. අපට හිටියෙ මන්ත්‍රීවරු 43 යි. වැඩකාරයට, දක්ෂයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. බැරි එකාට තුනෙන් දෙක තිබ්බත් අහයි ‘කොහොමද මේක කරන්නේ’ කියලා. ඒ නිසා බොරු හේතු අවශ්‍ය නෑ. ජනාධිපතිවරණය ඉවරයි. දැන් අපි ජනතාවට කියන්න ඕනැ ‘එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන්න කියලා. අපි ඔක්කොම ඒකරාශි වෙලා ආණ්ඩුවක් හද‌ා ගැනීම කළ යුතුයි. ඒක තමයි රටට හොඳ. මට ඒකාන්ත විශ්වාසයක් තියෙනවා. එද‌ා ජාතික ආණ්ඩුවක් හැදුවා වගේ යළිත් වතාවක් ඒ වගේ ජාතික ආණ්ඩු ස්වරූපයක් හැදුවා නම් ඒක තමයි කළ යුත්තේ.  


 ප්‍රශ්නය:-ඔබ කියන්නේ ජනාධිපති ගෝඨාභය යටතේ ජාතික ආණ්ඩුවක් කියල ද?  


පිළිතුර:- ඉතින් ඒක වෙනස් කරන්න බෑනේ. ඒක තුළ අපිට කරන්න තිබුණේ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හදන එකයි. එක්සත් ජාතික පක්ෂයයි පොදුජන පෙරමුණයි එකතුවෙලා වැඩ කරන්න පුළුවන් ස්වරූපයක් හැදුවොත් ඒක රටට හොඳයි.  


 ප්‍රශ්නය:-තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ යූඑන්පියට. ඇයි ආණ්ඩුව බන්දේසියක තියලා විපක්ෂයට දුන්නේ?  


පිළිතුර:- අපිට හිටියේ ඉදිරිය දකින්න බැරි පිරිසක්. ඒක තමයි වුණේ. කියන දේට ඇහුම්කන් දුන්නේ නෑ. අපි වගේ අයට පක්ෂයමයි ගැහුවේ.  


 ප්‍රශ්නය:-ඔබ කාටද චෝදනා කරන්නේ?  


පිළිතුර:- චන්ද්‍රිකා බණ්ඩාරනායක. හිටපු ජනාධිපති මෛත්‍රිපාල. අපේ එක කොටසක් මෛත්‍රිපාල ජනාධිපතිතුමත් එක්ක ඩීල් ද‌ාලා හිටියා. අගමැතිකම දෙනවා කිය කියා මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක පිරිසක් හුරතල් කර කර හිටියා. චන්ද්‍රිකා, මෛත්‍රි, මලික්, කබීර්, මංගලත් ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ සමහර මන්ත්‍රීවරු හිටිය. හර්ෂ, ඉරාන්, සුජීව මේ අය අපිව නැතිකරන ගමනකනේ හිටියේ. විපක්ෂය නැති කරන්න කතා කළේ නෑ මුං ටික. අපිව නැති කරන්නයි හැදුවේ. අද හැබැයි දෙයියෝ දුන්නා වගේ වෝහාරික වාර්තාවෙන් මාව නිදෙ‌ාස් කරලා තියෙනවා. මේ වෝහාරික වාර්තාව අවුරුදු පහක් තියාගෙන මොනවද කළේ? මේක බද‌ාගෙන හිටියා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. මේ රට කෑවා නම් කෑවේ ඔය මහ බැංකුවේ අය. මම මේක එදත් කිව්වා. වෝහාරික වාර්තාවෙන් පේනවනේ මහ බැංකුවනේ ඔක්කොම පිස්සු කෙළලා තියෙන්නේ. අපිටයි ඇඟිල්ල දිගු කළේ. නමුත් අපි දන්න විෂය නිසා රජයේ නිලධාරීන්ට අපිව නටවන්න බෑ. අපි ඒගොල්ලන්ව නැටෙව්වා මිසක්. ඒක තුළින් වුණේ මංගල සමරවීරට බැනලා වැඩක් නෑ. මොකද එයා දන්නේ නෑ ආර්ථිකය ගැන. එයාට මේක මලික්ලා ගිහින් දුන්නා. අන්තිමට ආණ්ඩුවත් නැති වුණා. යූඑන්පියත් නැති වුණා. රටත් නැති වුණා.  


 ප්‍රශ්නය:- බැඳුම්කර ප්‍රශ්නය එනකොට ඔබයි මුදල් ඇමැති?  


පිළිතුර:- මුදල් ඇමැති මම වුණාට මහ බැංකුව මට අයිතිත් නෑ. වාණිජ බැංකු මගේ අතෙත් නෑ. ඒකනෙ පිටු දෙද‌ාස් දෙසීයක වෝහාරික වාර්තාවේ තියෙන්නේ අපේ හොඳ. නමුත් මාධ්‍ය තුළ මාව නැටෙව්වේ කවුද? මම මහත්වරුන්ගේ දේශපාලනයක් කරන නිසා කරබාගෙන මම හිටියා. මම වගේ කවුද ඉල්ලා අස්වෙන්නේ? ආණ්ඩුවක් හදපු අපි.  


 ප්‍රශ්නය:-කවුද ඔබේ පක්ෂයේ අගමැති අපේක්ෂකයා?  


පිළිතුර:- මේ මොහොතේ මම ඒ ගැන කතා කරන්නේ නෑ. හන්දි ගානේ කතා කරලා එක්සත් ජාතික පක්ෂය නැති කරලා තියෙන්නේ. පක්ෂයේ උපනායක වශයෙන් මට යුතුකමක් තියෙනවා ප්‍රශ්න ඇති නොකරන්ට. අපි ඔක්කොම එකතු වෙලා දිනන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළ යුතුයි. නමුත් කනගාටුයි මට ඔබේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරි වීම ගැන. මම ඉන්නේ පක්ෂය දිනවන වැඩපිළිවෙළක.  

 

වෝහාරික වාර්තාව හරහා දෙයියෝ දුන්නා වගේ මාව නිදෙ‌ාස් කළා. මේ කටකතා කියන කට්ටිය අද නිරුවත් වෙලා තියෙනවා. හැබැයි ඒක අපේ පක්ෂයට ලොකු පාඩුවක් වුණා. අපේ පක්ෂයට ප්‍රශ්න එකක් දෙකක් තියෙන කොට ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා දහස් ගානක් තිබුණා. නමුත් ඒවා ගැන කතා කරන්නේ නැතිව අපේ කට්ටියම අපව විවේචනය කරන්න පටන් ගත්තා. ඔන්න ඕකයි වුණේ.


 ප්‍රශ්නය:-ඔබ නමක් නොකීවට එක්සත් ජාතික පක්ෂයේම කොටසක් කියනවා ‘අපි මහ මැතිවරණයට යන්නේ ‘ජනාධිපති ගෝඨාභය - සජිත් අගමැති’ කියන තේමාවෙන් කියලා?  


පිළිතුර:- ඒ කියන්නේ සජිත් එන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද? මම දන්නවා ඔය වගේ තේමාවන් කවුද කියන්නේ කියලා. එහෙම කියනවා නම් මොකක්ද මේ කියන්නේ? අපි බලන්නේ එක්සත් ජාතික පෙරමුණ දිනවන්න. එතකොට මහින්ද රාජපක්ෂ ද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ? ඔය වගේ විහිළු කතා කියන්න ගිහින් තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇතිකර ගත්තේ. ඔහොම කිව්වම අපි නිකම් වෙනත් මතයකට යනවා. රනිල්, සජිත්, කරු, මම අපි ඔක්කොම එකතුවෙලා වැඩ කළ යුතුයි. මේකේ මේ වෙලා තියෙන්නේ ඊයේ පෙරේද මේ පක්ෂයට ආපු අය මේ පක්ෂය හසුරුවන්න හදනවා. එහෙම නම් ඉතින් ජනාධිපතිවරණයත් අපිට දිනන්න තිබුණනේ. අපි පැරදුණේ වෙන මුකුත් නිසා නොවෙයි. අපි ජාතික මතවාදයට යට වුණා. මේ ගොල්ලො මැව්වේ අපි රට විකුණනවා, අපි බුදුදහම නැති කරනවා. අපි සුද්දන්ට රට දෙනවා.’ එහෙමනේ කිව්වේ. අනික් අතට ඒවා ඇත්ත වුණානේ. රංජන් රාමනායක හා මංගල සමරවීරත් ඒ වගේ කතා කිව්වනේ. එම්.සී.සී ගිවිසුම ගන්න. මට නම් ඒක ගැන කිසිම භයක් නෑ. ඒ ගිවිසුමේ තියෙන්නේ හොඳ දේවල්. මම මේ ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා ඒක ක්‍රියාත්මක කරන්න කියලයි. එක්සත් ජාතික පක්ෂය හැටියට ඕක ගේනකොට හොඳයි කියන්නත් විපක්ෂයට ගියාම නරකයි කියන්නත් බැහැනේ. අන්න ඒ දේශපාලනය තුරන් කරන්න ඕනැ.  


 ප්‍රශ්නය:-විපක්ෂනායක සජිත් නම් කියන්නේ එම්.සී.සී. ගිවිසුම වහා අවලංගු කරන්න කියලයි?  


පිළිතුර:- ඒක එතුමගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්.  


 ප්‍රශ්නය:- එතකොට පක්ෂයේ මතය?  


පිළිතුර:- මෙහෙමනේ, අපේ කැබිනට් එකෙන් ගේන්න හොඳ නම් ඒක නැති කරන්නේ ඇයි? ඒ වගේ ලාබාල දේශපාලනයක් කරන්න මම කැමැති නෑ. මේගොල්ලොම කිව්වා හම්බන්තොට වරාය බිලියන 1.2 ක් දීලා නැවත ගන්නවා කියලා. මම කියන්නේ ඒ වගේ අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා. ඔය කරලා තියෙන්නේ හොඳම දේ. මොකෝ මේක බිලියන 1200 ක් ගෙවලා අවුරුද්දට බිලියන 10 ක් විතර ගෙවනවා ණය වශයෙන්. අපට ආද‌ායමක් ලැබෙන්නේ නෑ. ඊට වඩා හොඳයි දුන්න එකාටම විකුණලා ද‌ාන එක. මෙන්න මේවා තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. දේශපාලන වේදිකාවල කියන ඒවා කරන එක නොවෙයි රටට හොඳ. හම්බන්තොට වරාය දීපු එක හොඳයි.  


 ප්‍රශ්නය:-ඔහොම කියලා ඡන්දයකට යන්නේ කොහොමද?  


පිළිතුර:- එහෙම දුන්නා කියලා මොකද වෙන්නේ? වරාය චීනයට අරන් යන්න පුළුවන්යැ. මේක මෙහෙමම මේ රටේ තියෙනවා. රටට සම්පූර්ණයෙන්ම අයිතියි. ඕවා තමයි අපි නිවැරැදි කරගත යුත්තේ.  


 ප්‍රශ්නය:-ජනාධිපතිවරණයේදීත් පොදු සන්ධානයක් හදනවා කිව්වා. හද‌ාගන්න බැරි වුණා. දැන් ආපහු සන්ධානයක් ගැන කියනවා. ඒකවත් හැදෙයි ද?  


පිළිතුර:- මන් දන් නෑ. අපි හදන්න බැලුවා. යම් යම් අය ඒක වැළැක්වූවා.  


 ප්‍රශ්නය:-ඒ කියන්නේ මේ පාරත් සන්ධානය හැදෙන්නේ නෑ.  


පිළිතුර:- මෙහෙමයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කර ගත් සන්ධානයක් හදනවා මිසක් අපි ට්‍රේලරයෙන් ට්‍රැක්ටරය දුවවන්න හදන්නේ නෑ. මෙතැන තියෙන්නේ අලියා උඩ නැගලා අලියව නැති කරන ගමනක්නේ. එහෙම නොවෙයි. අපට සියලු දෙනාම අවශ්‍යයි. හැබැයි කරුණාකරලා පක්ෂය නැති කරගෙන මේ ගමන යන්න හදන්න එපා. මේක තමයි තියෙන ප්‍රශ්නය. සමහර දේශපාලනඥයෝ ඉන්නවා හැම ඡන්දෙටම වෙනත් පක්ෂයකින් ඇවිත් තියෙන්නේ. එහෙම ඇවිත් මේ පක්ෂය ආක්‍රමණය කරන්න හදනවා. ඒවට ඉඩ දෙන්නේ නෑ මොන විදියෙන්වත්. සමහරු හැසිරෙන්න හදනවා මුළු පක්ෂයම එක පුද්ගලයකුගේ අතේ තියෙනවා කියලා හිතාගෙන. ඔය වගේ දේවල්වලට අපි බය වෙන්නෙත් නෑ. රැවටෙන්නෙත් නෑ. අහිංසක ජනතාවට අපි කියන්න ඕනැ මේ පක්ෂයේ නායකත්වය දරලා තියෙන්නේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් බාරොන් ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමද‌ාස, ඩී.බී. විජේතුංග හා රනිල් වික්‍රමසිංහ වැනි නායකයන්. ඒ නායකයන්ගේ ගරුත්වය රැකගෙන වැඩ කළ යුතුයි. අපි නම් ඔය කෑගැහුව කියල ඕවට නම් බයවෙන්නේ නෑ.  


 ප්‍රශ්නය:-දේශපාලනඥයෙකු නොවූ ගෝඨාභය ජනාධිපති වුණා. මහ මැතිවරණයේදී ඔහු පරාජය කළ හැකි යැයි හිතනවා ද?  


පිළිතුර:- එක විදියකින් එතුමා නිර් දේශපාලනඥයෙක් වීම හොඳයි. මොකද එතුමා පක්ෂයක නායකයෙක් නොවෙයි. එතුමා පක්ෂයකින් යැපෙන්නේ නෑ. මම ඒ නිසාම බලනවා ඇයි මේ නායකත්වයට පොරකන්නේ කියලා. මම හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා ජනතාවට සේවය කරන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙනවා. මේ වෙලාවේ රටට විනයක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයට වුණේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක ඩීල් ද‌ාගෙන පක්ෂය නැති කරගෙන යන ගමනක් ගිය නිසයි. මෛත්‍රිපාල ජනාධිපතිවරයා අපේ තුන් හතර දෙනෙක් එකතු කරගෙන වෙනත් ගමනක් යන්න හැදුවා. අන්තිමට රටම නැති වුණා. ඒ වගේම තමයි 2015 දී අපි රට බාරගන්න කොට සම්පූර්ණ ණය බර බිලියන 8 යි. අද ඒක බිලියන 13 යි. මේ වගේ වැඩිවීම් රටට ඔබින්නේ නෑ. ආද‌ායම අඩුවෙලා තියෙනවා. සියයට 25 කින් ආද‌ායම අඩුවෙලා. සියයට 40 කින් වියදම වැඩි වෙලා. පරතරය තව වැඩි වෙනවා. ඒක රටට දරාගන්න බැරි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුද්දෙ‌‌ා් කියන ඒවට අපි නටන්න අවශ්‍ය නෑ. හිටපු මුදල් ඇමැති වශයෙන් පැසිපික් - ආසියාවේ හොඳම මුදල් ඇමැති වශයෙන් මම ඒ අවස්ථාව ලබා ගත්තේ බය නැතිව ක්‍රියාත්මක වෙච්ච නිසයි. මම සියයට සීයකින් ආදායම වැඩි කළා. මේ යන ගමන ආර්ථිකයට අහිතකරයි. 2015 බැඳුම්කර සිද්ධිය හෙණයක් වගේ වැදිලා අපේම මන්ත්‍රීවරු හර්ෂ ද සිල්වලා, ඉරාන්ලා, අජිත් පෙරේරලා මේක යූඑන්පිය කලේ කියලා කෑගගා ඉඳලා පක්ෂය විනාශ කළා. වෝහාරික වාර්තාවෙන් පේනවා මොනවද වෙලා තියෙන්නේ කියලා. මොකද මේ අය මට කළ අපකීර්තිය. අපේ පක්ෂයට කරපු අපකීර්තිය. යූඑන්පිය ආරක්ෂා කරගන්න ඕනැ නිසා මම සියල්ලම විඳ දරාගෙන හිටියා.  


මම අහනවා මංගලගෙන් වෝහාරික වාර්තාව හංගාගෙන හිටියේ ඇයි කියලා. දැන් අපි ඉදිරියේ තියෙන්නේ මහ මැතිවරණය. අපිට ප්‍රතිවාදියා කවුරු වුණත් කමක් නෑ. අපි සමගියෙන් වැඩ කරලා පෙන්නුවොත් අපට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබන්න පුළුවන්.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්