සජිත්ගෙන් තවත් බස් තෑග්ගක්


සිය 51 වැනි ඡන්ම දිනය වෙනුවෙන් පාසල් කීපයකට බස් රථ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන බස් රථයක් පිරිනැමීම පසුගිය දා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් සිදුවූයේ උත්සවශ්‍රීයෙනි.


දරු දැරියන් 605 දෙනෙකු ඉගෙනුම ලබන සහිරා ජාතික පාසල හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වෙන එකම පාසලයි. වසර 107ක් පැරණි මෙම පාසල ආරම්භ කර ඇත්තේ එදා බ්‍රිතාන්‍ය පාලන සමයේ හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් විසිනි. බස්රථය හම්බන්තොට නගරයේ සිට විදුහල වෙත පදවාගෙන ආවේ සජිත් විසින්මය. එය කෙමෙන් විදුහල වෙත ළං වන අයුරු ළමුන්ද, ගුරු දෙගුරුන්ද බලා සිටියේ නොඉවසිල්ලෙනි. බස් රථය විදුහල් ගේට්ටුවෙන් ඇතුල් කිරීම නම් පහසු කාර්යයක් නොවන බව සියල්ලන්ටම වැටහුණේ එය ආසන්නයටම රැගෙන ඒමෙන් පසුවය.


‘‘සර් ඕක රියදුරු මහත්තයට දෙමු. ඇතුළට ගන්න කියලා’’ කවුදෝ කියද්දී සජිත් කීවේ ‘‘යමක් බාගෙට කරන්නේ නැතිව සම්පූර්ණයෙන්ම කරන්න කියලයි මගේ තාත්තා මට උගන්නලා තියෙන්නේ. හම්බන්තොට ටවුමේ ඉඳන් එළවාගෙන ආපු මේ බස් එක ගේට්ටුවෙන් ඇතුළු කරන්නත් මට පුළුවන්’’ කියාය. සජිත් පටු ගේට්ටුවෙන් බස් රථය සීරුවෙන් ඇතුළට ගත්තේය. උත්සව සභාවේදී සජිත් දෙපසින් අසුන් ගත්තේ විදුහලේ ආදි සිසුවකු වූ විදුහල්පතිවරයා සහ ආදි සිසුවියක මෙන්ම එහි ප්‍රථම උපාධිධාරී ගුරුවරිය වූ නියෝජ්‍ය විදුහල්පතිනියයි. ‘‘අපේ පැත්තේ නම් කිසිම කලබලයක් නෑ, කොයි කවුරුත් හරිම සමගියෙන් ඉන්නවා’’යි නියෝජ්‍ය විදුහල්පතිනිය කීවාය.