විශ්වාසභංග දෙකෙන් මුලින්ම එන විශ්වාසභංගය


අප්‍රේල් 21 වැනිද‌ා එල්ල වූ මුස්ලිම් ත්‍රස්තවාදයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ මෙහෙයවීම හා ආරක්ෂක අංශවල කැපවීම තුළ මේ වන විට සම්පූර්ණයෙන්ම සාර්ථකව තිබේ.


ප්‍රහාරයෙන් පසු සිංහල-මුස්ලිම් කෝලාහල ඇතිවේ යැයි අපේක්ෂා කළ ඇතැම් අන්තවාදී කොටස් හා ඊට උඩගෙඩි දුන් පිරිස් එසේ නොවූ තැන කෝලාහල ඇතිකිරීමේ උත්සාහයක් ද කළ අතර එය ද ක්ෂණිකව යටපත් කර රට පුරා සාමය පැතිරවීමට ද ආණ්ඩුව හා ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබේ.


පාසල් සහ ජනතාව​ගේ දෛනික කටයුතු ද දැන් ප්‍රකෘතිමත් බවට පැමිණ තබේ. එහෙත් විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් වඩාත් දැඩිව ඉදිරියට යන පසුබිමක ඇමැති රිෂාඩ්ට එරෙහිව පොහොට්ටුවෙනුත්, ආණ්ඩුවට එරෙහිව ජවිපෙනුත් විශ්වාසභංග දෙකක් පසුගිය සතියේ කතානායකතුමාට භාර දුන්නේය. ඊට අද‌ාළ පාර්ලිමේන්තු විවාදය අඟහරුවාද‌ා සිට ඇරඹුණු අතර එය ඉතා ගිනියම් ස්වරූපයක් ගත් බවක් පෙනිණ.


අගමැතිවරයා බ්‍රහස්පතින්ද‌ා උදයේම පාර්ලිමේන්තු ගියේ එහි තුන්වැනි දිනයට මුහුණ දීමටය.


21 වැනිද‌ා ප්‍රහාරයයි, ඇමති රිෂාඩ්ට විරුද්ධ හා ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයයි පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න කලින් තේරීම් කාරක සභාව පත්කර මේ ගැන කරුණු සෙවීම වැදගත් ​ෙවනවා. තේරීම් කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත එළිදක්වන්න පියවර ගන්න කියා මා අද උදේ (23) කතානායකතුමාගෙන් ඉල්ලුවා. ඒක කෙරේවි.’ අගමැතිවරයා සිය පාර්ලිමේන්තු කාර්යාලයට ඇතුළු වෙන ගමන් එහි පැමිණ සිටි මැති ඇමැතිවරුන්ට කීවේය.


‘පොහොට්ටුවේ කට්ටිය විශ්වාසභංග දෙන කොට දිනේවත් හරියට ද‌ාන්න දන්නෙ නැහැ. මේ ගෙවෙන්නේ 2018 නොව 2019 කියා පෙන්නා දුන්නෙත් අපියි. ඉතින්, මේ විශ්වාසභංගේ තිබෙන කරුණුත් ඒ ජාතියේම වෙන්න ඕනෑ.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.


‘තේරීම් කාරක සභාවට පොහොට්ටුව එන්නේ නැහැ කියා මහින්ද මහත්තයා කියා තිබුණා. එතුමා වෙනුවට වීරවංශයි තවකෙනකුයි කලින්ම තීන්දු ගන්න නිසයි, මේ අවුල් ඇති වෙන්නේ.’ දයා ගමගේ කීවේ එවැන්නකි.


‘තේරීම් කාරක සභාවට එන්නේ නැතිනම් මේව ගැන විවාදයක් මොකටද කියලත් එහෙම නම් තර්කයක්‍් මතු වෙනවා.’ නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


‘රිෂාඩ් ඇමැතිතුමාට පොහොට්ටුවේ පැත්තට එන්න කියා ඒකෙ ලොක්කෝ දිගටම කතා කරනවලු. ඒ අස්සේ රට රවටන විශ්වාසභංගත් ගෙනැත්. පොහොට්ටුවේ අයට ලැජ්ජ නැහැ. චමින්ද විජේසිරි කීවේය.


‘පොහොට්ටුවට එන්න කියා ආපු දුරකථන ඇමැතුම් ඇමැති රිෂාඩ් ළඟ රෙකෝඩ් වෙලා තිබෙනවා. ඒව එළියට දාන්න කියා අප හැමෝම කිව්වා. ඒත් ඒක එළියට ද‌ාන්න එපා කියා ජනාධිපති ඉල්ලීමක් කර තිබෙනවා කියලයි ඇමැති රිෂාඩ් කියන්නේ. හේෂා විතානගේ ප්‍රකාශ කළේ එවැන්නකි.


‘රිෂාඩ් හා ආණ්ඩුවේ ඉන්න ඒ වගේම ආණ්ඩුකාරධුර දරණ මුස්ලිම්වරුන්ට විරුද්ධව අන්තවාදය පෝෂණය කළා කියා විශාල ජනමතයක් තිබෙනවා. අප ඒවත් තේරුම් ගෙන පරිස්සමෙනුයි වැඩ කළ යුත්තේ.’ නවීන් දිසානායක කීය.


‘ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමේදී හොඳ පළල් තර්ක මතුවීම වැදගත් වෙනවා. රිෂාඩ්ට විරුද්ධව රටේ තිබෙන්නේ දේශපාලන හා ජනමාධ්‍ය ප්‍රහාරයි. ඒත් නීතියට අද‌ාළව චෝදනා තාම කවුරුවත් ඉදිරිපත් කර නැහැ. ඔහු ඉල්ලා අස්වෙන්න ඕනෑ තේරීම් කාරක සභාවෙන් යමක් ඔප්පු වුණොත් විතරයි කියන එකයි බොහෝ දෙනෙකුගේ මතය වෙන්නේ. රවීලට - මාරපනලට විරුද්ධව කොමිෂන්වල නොයෙක් සටහන් තිබුණ නිසයි, ඔවුන් ඉල්ලා අස්වු​ණේ. පස්සේ ඒවා නිවැරදි වුණ නිසා යළිත් තනතුරු ලැබුණා.’ ලක්ෂ්මන් කිරිඇල්ලගේ පැහැදිලි කිරීම එය විය.


‘දැන් විශ්වාසභංග දෙකෙන් මුලින් ගන්නේ මොකක්ද?’ මුජිබර් රහුමාන් විමසුවේ අගමැතිගෙනි.


‘දෙකෙන් ඕනෑ එකක් කලින් ගන්න පුළුවනි. ජවිපෙ මුලින් ඉල්ලලත් නැහැ. මෙතන විශ්වාසභංග දෙකක් කියන එකයි ඔවුන්ගේ තර්කය වෙන්නේ.’ අගමැතිවරයා පිළිතුරු දුන්නේය.
‘කතෝලික මන්ත්‍රීවරුන්ට පල්ලියේ බලපෑම හා ඒ ජනතාවගේ බලපෑම ඉතා විශාලයි. තේරීම් කාරක සභාව නිසා ඔවුන්ටත් අස්වැසිල්ලක් ලැබේවි.’ නවීන් දිසානායක කීය.
‘ගලගොඩඅත්තේ හිමිට නිදහස දෙන්න ජනාධිපති ක්‍රියා කිරීම ගැන එජාප ස්ථාවරය මොකක් ද?’ ඇමැති ගයන්ත කරුණාතිලක විමසුවේය.


’උන්වහන්සේ හිරේට ගියේ ආණ්ඩුව කරපු දෙයක් නිසා නෙවෙයි. උසාවිය ඇතුළෙදි අධිකරණයට පරුෂ වචනයෙන් බැන්න නිසා දඬුවම් ලැබුණා. උසාවිය ඇතුළෙදීම අධිකරණයට අපහාස කිරීම නරක පූර්වාදර්ශයක් වෙන නිසා ඒ කාලේ නීතිපති ඒකෙ හිටපු ප්‍රධානීන් මේ නඩුව ගොනු කිරීමේදී මූලික වුණා. ඒ මූලික වෙච්ච දෙන්නෙකු අද අගවිනිසුරු හා මහාධිකරණයේ ප්‍රධානියායි. එහෙම නම් මේ හාමුදුරුවන් නිදහස් කරන්න කලින් ඔවුන් දෙදෙනා හා අධිකරණයෙන් අදහස් විමසුවා ද දන්නෙ නැහැ. මේ ගැන අධිකරණ ක්ෂේත්‍රය තුළ දැන් විශාල රහස් සංවාදයක් යනවා. මේ නිදහස් කිරීම පිටුපස විශාල දේශපාලනයකුත් තිබෙනවා.’ එජාප නීති නිලධාරියෙක් විග්‍රහ කළේය.


‘ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා වෙනව ද, නැතිනම් වෙනත් ක්‍රමේකින් ජනාධිපතිවරණෙට ඉල්ලනව ද කියා සංවාදයක් දැන් රට තුළ යනවා. මොකක්ද ඒ කතාව? ඉතින් ඔබතුමාම තමයි, පැහැදිලි කරන්න ඕනෑ.’ නවීන් දිසානායක අගමැතිගෙන් විමසුවේ මද සිනහවක් ද සමගිනි.


‘ධම්මික ලංකාවට අද‌ාළ බිස්නස් කමිටුවේ ඉන්නවා. ඉතින් අප විටින් විට හම්බ වෙනවා. එයා මාත් එක්ක නම් හැප්පෙන්න හේතුවක් නැහැ. හැබැයි ඔහු ජනාධිපතිවරණෙට එනවා කිව්වාම පොහොට්ටුවයි, සමහර අපේ කට්ටියගෙත් නළල රැලි වැටුණා කියා ආරංචියි. කාලය සියල්ල විසඳාවි. අප ඔහොම යමුකෝ.’ අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.
‘පහුගිය සති දෙක මංගල ඇමැතිතුමාට ටිකක් අඟුණයි. ලංකාව සිංහල - බෞද්ධ රටකට වඩා රටේ ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරය සිංහල - බෞද්ධ බවත් අපට අනිත් ජාතික ආගම් පිට අපේ මතය බලෙන් පටවන්න බැහැ කියපු එක මීඩියාවල ලොකු ඉෂු එකක් කරගෙන ඇමැතිතුමාට පහර දුන්නා. ඊට අමතරව ලිට්‍රෝ ගෑස් එකේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය අයින් කර මංගල ඇමැතිතුමා ද‌ාපු අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක ගිහින් රැස්වීම් තියන්න ගියාම ඒ සේවකයොත් විරෝධය පළ කරලා.’


අායතනයේ ප්‍රධාන විධායකකම අන්‍ය ජාතිකයෙකුට දීම භයානකයි කියලයි සේවකයන් කියන්නේ. ඊට පහුවැනිද‌ාම හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය උසාවි ගිහින් අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයට ආයතනයට ඇතුළු වෙන්න ඉඩ නොදෙන වාරණ නියෝගයකුත් ගත්තා. පළමු වතාවටයි මුදල් ඇමැති කෙනෙකුට ​ මෙහෙම දෙයක් වෙලා තිබෙන්නේ.’ එජාප නිලධාරියෙකු කීවේ එවැන්නකි.


‘ඕනෑම ආයතනයකින් චෝදනා නැති අධ්‍යක්ෂක මණ්ඩලයක් සාකච්ඡාවෙන්, සම්මුතියෙන් මිසක් ඉවත් කරන එක සාධාරණ නැහැ. අප කාටත් මේ සිද්ධිය ආදර්ශයක්. ආණ්ඩුව ඇතුළෙ සුහදව බේරා ගත යුතු ප්‍රශ්නවලට උසාවි යාමට සිදුවීමත් කනගාටුද‌ායක තත්ත්වයක්. ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සියළු දෙනා ඊට අනුමැතිය පළ කළේ නිහඬතාවට ඉඩ සලසමිනි.