මෛත්‍රීගේ සාකච්ඡාවට එන්න ඒකාබද්ධය බෑ කී හේතුව


 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද ආරාධනය කර තිබිණි. ඔවුන්ට ආරාධනා ලිපි යවා තිබුණේ‍ පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායකගේ අත්සනින් යුතුවය. ලිපි ලැබුණේ ලියාපදිංචි තැපෑලෙනි. ලිපිය ලැබිමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ඉකුත් සතියේ සිකුරාදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවූහ. ඒ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීය. කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ගොස් හිටපු ජනාධිපතිවරයා හමුවූහ.  


‘‘ඡන්දයක් ළඟ එන කොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නෙ මොකක් හරි උපක්‍රමයක් දාලා අපි ළං කර ගන්නයි’’ යැයි මහින්දානන්ද කතාවට මුල පුරමින් කියද්දී, ‘රෑ වැටුණ වළේ දවලුත් වැටෙනවද කියලා මිනිස්සු අපෙන් අහනවා’ යැයි ප්‍රසන්න රණතුංග කීවේය. පවිත්‍රා වන්නිආරච්චි ඇසුවේ ‘එක පැත්තකින් අපට ගහනවා. අනෙක් පැත්තෙන් අත දිගු කරනවා. එහෙම අයත් එක්ක සාකච්ඡා කරන්නේ කොහොමද? කියාය. සියලු දෙනාගේම අදහස් වලට සවන් දුන් මහින්ද කීවේ අපි කලබල වෙන්න හොඳ නැහැ කියාය. අපි ප්‍රතිචාර දක්වන්න ඕන පරෙස්සමෙන්. එහෙම නොවුණොත් අපේ අයට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේකෙ නීතිමය තත්ත්වය හොයලා බලන්න ඕන යැයි මහින්ද කීවේය.   


මහින්ද ඉන්දියාවේ යන නිසා මේ ගැන නීතිමය තත්ත්වය සොයා බැලීම වෙල්ගම ප්‍රසන්න, ජනක හා පවිත්‍රා ඇතුළු කිහිප දෙනෙකුටට පැවරිණි.   


ඒ අනුව ප්‍රසන්න ඇතුළු පිරිස් සෙනසුරාදා දිනයේ නීති විශාරදයින් කිහිපදෙනෙකු හමුවූයේ ශ්‍රිලනිපයෙන් ලැබුණු ලිපියට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය ගැන විමසා දැන ගන්නටය. එම පිරිස හමුවීමෙන් අනතුරුව තව දුරටත් මේ ගැන දැන ගන්නට මන්ත්‍රීවරු පිරිස තවත් නීතිඥ කණ්ඩායමක් හමු වූහ. ඒ ගමනට ජනක, ප්‍රසන්න, රෝහිත, ලොකුගේ, මහින්දානන්ද මෙන්ම පවිත්‍රාද එක්වූහ.   


ඉන්දියාවේ සංචාරයක නිරත වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසුව ශ්‍රිලනිප ලිපිය ගැන සාකච්ඡා කරන්නට එ්කාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු බදාදා හවස රැස්වූහ. මුලින් වි​ජේරාම මාවතේ මහින්දගේ නිල නිවසේ පවත්වන්නට තිබූ මේ රැස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේය. ශ්‍රී ලංකා නිදහස පක්ෂයත් පරදිනවා කියලා පේන හැම වෙලාවෙම අපිත් එක්ක සාකච්ඡාවලට එනවා. දිනන්න බැරි වුණාමයි අපි මතක් වෙන්නේ.

මහින්දානන්ද කීවේය. පසුගිය මහ ඡන්දෙදි අපි රැවැට්ටුවා. ​ෙල්කම්වරු අයින් කළා. මහින්දට දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා පාක්ෂිකයෝ බය කළා. එහෙම කරලා අපේ අතේ තිබුණ ජයග්‍රහණය උදුරා ගත්තා යැයි ප්‍රසන්න රණතුංග කීවේය. පවිත්‍රා කීවේ අපේ අය රිමාන්ඩ් කරද්දී අපි කොහොමද රෙද්දක් ඇඳගෙන මේ සාකච්ඡාවට යන්නේ කියාය.   


එහි සිටි වැඩි දෙනා කීවේ සාකච්ඡාවට යාමෙන් පලක් නැති බවය. කණ්ඩායමේ තීරණය ලිඛිතව දැනුම් දීමට එහිදී තීන්දු විය.  


ඒ අනුව ලිපිය සකස් කිරීම වෙල්ගම, බන්දුල, ප්‍රසන්න, රමේෂ් පතිරණ, මහින්දානන්ද, පවිත්‍රා ඇතුළු කණ්ඩායමකට පැවරිණි. ලිපියට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම බාර ගත්තේ ප්‍රසන්න රණතුංග ය.   


ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායකට යැවීමට ලිපිය බදාදා රාත්‍රිය වන තෙක්ම සකස් කෙරිණි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව කටයුතු කිරීමට නම් කොන්දේසි 7 ක් ඉටු කළ යුතු බවට ලිපියේ සඳහන් කර තිබිණි. එහි පළමු කොන්දේසිය වූයේ ශ්‍රිලනිපය එජාපය සමග එක්ව කටයුතු කරන හවුල් ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතු බවය.

ප්‍රසන්න රණතුංග බදාදා රාත්‍රිය පුරාම මන්ත්‍රීවරුන් හමුවන්නට ගොස් ලිපියට අත්සන් ගත්තේය. ලිපියට මුලින්ම අත්සන් කළේ හිටපු ජනපති මහින්දය. අනතුරුව චමල් රාජපක්ෂ අත්සන් කළේය. ඒකාබද්ධ විපක්ෂය නිෙයා්ජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකි. ඉන් තිදෙනෙකු හැරෙන්නට 42 දෙනෙක්ම ලිපියට අත්සන් තැබූහ. නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ ඩුලිප් විජේසේකර ද ලිපියට අත්සන් තැබීය. විදේශ ගතව සිටි ඩලස් හා ලොකුගේ ද කොළඹින් බැහැරව ගොස් සිටි ප්‍රේමලාල් ජයසේකර ද ලිපියට අත්සන් කර නොතිබිණි. ඒ අනුව මන්ත්‍රීවරුන් 42 දෙනකුගේ අත්සනින් යුත් ලිපිය ශ්‍රිලනිප මහ ලේකම් වෙත බ්‍රහස්පතින්දා උදේ යවා තිබිණි.