මෛත්‍රී-මහින්ද මුහුණට මුහුණ හමුවෙති


 

ඉකුත් බ්‍රහස්පතින්දා දිනය කොළඹ නගරයේ හෝටල් ගණනාවක විශේෂ මංගල උත්සව කීපයකි. ඉන් කාගෙත් අවධානයට ලක්වුණ මංගල උත්සවය වූයේ ජනාධිපති මෛත්‍රීත් හිටපු ජනපති මහින්දත් කාලෙකට පසුව මුහුණට මුහුණ හමුවී කතාබහ කළ ලක්ෂ්මන් යාපාගේ පුතාගේ මංගල උත්සවයයි. මංගල උත්සවය පැවැත් වූයේ බ්‍රහස්පතින්දා දහවල්ය. ගාලු මුවදොර පිහිටි ෂැන්ග්‍රිලා හෝටලයයි. මනාලයා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපාය. මනාලිය ජනක මල්ලිමාරච්චිගේ දියණිය ජනාසි මල්ලිමාරච්චිය. ජනක මල්ලිමාරච්චි යනු හිටපු ඇමැතිවරයකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත්‍රයෙකි. මනාලයා වෙනුවෙන් සාක්ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මනාලියගේ පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබීය. ජනපති මෛත්‍රී කල් වේලා ඇතිවම පැමිණ සිටි අතර මෛත්‍රී පැමිණ විනාඩි 15කට පමණ පසුව මහින්ද පැමිණි​ෙය්ය. මෛත්‍රී පිළිගත් ලක්ෂ්මන් යාපා අනතුරුව ගොස් මහින්ද පිළිගත්තේය. මෛත්‍රීත් මහින්දත් එකම මේසයේ එකට වාඩි වූයේ දෙදෙනාටම ආචාර කර ගනිමිනි.   


අද මඟුල් 9කට යන්න තියෙනවා යැයි මෛත්‍රී කියද්දී මහින්ද ද හිනාවෙමින් කීවේ, මටත් 11කට යන්න තියනවා. එකක් කැන්සල් කරලයි මේකට ආවේ කියාය. මෛත්‍රීත් මහින්දත් එකම මේසයක එකට හමුවූයේ වසර දෙකහමාරකට පමණ පසුව නිසා එය පැමිණ සිටි අයගේ මෙන්ම මාධ්‍යවල ද විශේෂ අවධානයට හේතු විය. මේ නිසා එහි සිටි මාධ්‍යවේදීන් ද දිගට හරහට ඡායාරූප ගනිමින් සිටිනු දක්නට ලැබිණි. ගිවිසුමක් ගහලයි කියල තමයි පත්තරවල යන්නෙ කියා මහින්ද කීවේ එක දිගට පින්තූර ගන්නා දෙපස බලමිනි. මෛත්‍රී ද හිනාවුණා මිසක් කිසිවක් කීවේ නැත. 


විවාහයට අත්සන් කරන්නට සුබ හෝරාව එනතෙක් දෙදෙනා කතාබහ කරමින් සිටි අතර ලක්ෂ්මන් යාපාගේ ලොකු පුතාගේ දරුවාද දෙදෙනාම මාරුවෙන් මාරුවට අතට ගෙන සිටිනු දක්නට ලැබිණි. නැකත් ඔක්කොම එකම වෙලාවෙ තියෙන්නෙ ඒ නිසා සමහර හිතවත් අයගේ ඒවත් නතර කරන්න වෙනවා යැයි මෛත්‍රී කීවේය. ‘‘නැකත් තියෙන කාලෙට එහෙම තමයි. ඔක්කොම එකම දවසෙ එකම වෙලාවට’’ යැයි මහින්ද කීවේය. 


නායකයින් දෙන්නගේ කතා බහ යන අතරේ එතැනට ආ දයාසිරි මහින්දට කීවේ ‘‘සර් ඔහොමනෙ ඉන්න ඕන’’ කියාය. ඒකට හැමෝටම හිනා ගියේය. ‘‘අනිත් අයනෙ ඕව කරන්නෙ යැයි’’ මහින්ද කියද්දී දයාසිරි කීවේ ‘‘සර් තීන්දු ගන්න ඕනනෙ’’ කියාය. 


අනතුරුව සුබ හෝරාව පැමිණි අතර දෙදෙනාම මේසයේ දෙපස මුහුණට මුහුණලා ඉඳගෙන විවාහයේ සාක්ෂිකරුවෝ ලෙස අත්සන් තැබූහ. 


අනතුරුව ලක්ෂ්මන් යාපා නායකයින් දෙදෙනා කැඳවාගෙන ගියේ නව යුවළ සමඟ සමූහ ඡායාරූපයක් ගන්නටය. මෛත්‍රීත් මහින්දත් කතා කරමින් ගොස් නව යුවලට සුබපතා සමූහ ඡායාරූපයට පෙනී සිටියහ. මේ අතරේ දයාසිරි ජයසේකර නව යුවළට සුබ පතමින් වෙනම ගීතයක්ද ගායනා කළේය. මංගල උත්සවයට ශ්‍රීලනිපයේ එජාපයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ද මැති ඇමැතිවරු පැමිණ සිටියහ. එජාපයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ද පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනා පැමිණියේ මෛත්‍රීත් මහින්දත් පිටව ගිය පසුවය. සුසිල්, අනුරයාපා, චම්පික, රාජිත, මහින්ද සමරසිංහ, ගයන්ත, කිරිඇල්ල, වජිර ෆයිසර් මුස්තාපා යන ඇමැතිවරු ද ඒකාබද්ධයෙන් දිනේෂ්, බන්දුල, ගාමිණි ලොකුගේ, වෙල්ගම, සී.බී. රත්නායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ සිටියහ.


එදිනම රාත්‍රියේ ෂැන්ග්‍රිලා හෝටලයේ තවත් මංගල උත්සවයක් පැවැත්විණි. ඒ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ලාෆ් සමූහ ව්‍යාපාරයේ සභාපති වෑගපිටියගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයයි. ඊටද මෛත්‍රී, මහින්ද, රනිල් යන තිදෙනාම පැමිණ සිටි නමුත් තිදෙනාම පැමිණ තිබුණේ අවස්ථා තුනකදීය. ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් ෂැන්ග්‍රිලා හෝටලයෙන් පසුව අවස්ථා දෙකකදී හිල්ටන් හෝටලයට ගියේ හිටපු ඇමැතිවරයකුවූ ජයතිස්ස රණවීරගේ පුත්‍රයාගේ මංගල උත්සවයට සහභාගි වීමටය. මෛත්‍රීත් මහින්දත් පිටව ගිය පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද පැමිණ සිටියාය. එහි විශේෂත්වය වූයේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතීන්ට වෙනමත්, ඒකාබද්ධයේ මන්ත්‍රීන්ට වෙනමත් අසුන් පනවා තිබීමය.   


ජනාධිපතිවරයා හිල්ටන් හෝටලයෙන් අනතුරුව බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයට ගියේ එහිද මංගල උත්සවයක් පැවැති හෙයිනි. මනාලයා ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායකගේ සහෝදරයාය. ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු රැසක්ද ඊට සහභාගිවී සිටි අතර, අනතුරුව හිටපු ජනාධිපතිනියද පැමිණ සිටියාය.