විදේශිකයෝ 3,500 ක් ලොස්ඇන්ජලීස්හිදී ඇමෙරිකානු පුරවැසි භාවය ලබා ගනිති


විදේශ කටයුතු පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ මුරණ්ඩු ප‍්‍රතිපත්තිය දෙස මුළු ලොවම බලා සිටින මොහොතකි මේ. ට‍්‍රම්ප්ගේ අදහසකට අනුව ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාව වෙන්කරමින් ඉදිවීමට නියමිත තාප්පය, සියලු වරප‍්‍රසාද සහිතව ඇමෙරිකාවට සංක‍්‍රමණය වීම සඳහා විදේශික පුරවැසියන් පිරිසකට සෑම වසරකම පිරිනැමුණු ග‍්‍රීන්කාඩ් ලොතරැයිය අහෝසි කිරීම, ඇමෙරිකාව පිළිබඳව සිහින දකින විදේශිකයන් පසුබෑමකට පත්කර ඇත. අනවසරයෙන් ඇමෙරිකාවේ රැඳීසිටින සියලුම විදේශික පුරවැසියන් රටින් පන්නා දමන බවට ද ට‍්‍රම්ප් ප‍්‍රතිඥා දී ඇත. 


උක්ත තර්ජන ගර්ජන මැද මාර්තු මස විසිවැනිදා ලොස්ඇන්ජලීස් ප‍්‍රාන්තයේ විසූ විදේශික රටවල් 147 කට අයත් පුරවැසියන් තුන්දහස් පන්සිය හතළිස්හත් දෙනෙකු ලොස්ඇන්ජලීස් සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඇමෙරිකානු පුරවැසියන් ලෙස දිවුරුම් දුන්හ. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඇමෙරිකානු ආගමන හා පුරවැසි බලපත් සේවා කටයුතු සඳහා වන කාර්යාලය විසිනි. මෙදින ඇමෙරිකානු පුරවැසියන් ලෙස දිවුරුම් දුන් පිරිස අතර සිටි ශ‍්‍රී ලාංකික තරුණියක, දිවුරුම් දීමෙන් පසුව ඇමෙරිකානු පුරවැසි සහතිකය සමග ඡායාරූපයකට මුහුණ දුන්නේ මෙසේ ය. 

 

 


කල්ප ගුරුගේ
මිලානෝ, ඉතාලිය.