IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


නගරය හෙල්ලූ ‘චුට්ටේ’ගේ කතාව ‘චණ්ඩියා’ චිත්‍රපටයට

සලරුවක කතාව

ඇන්තනී සී. පෙරේරා (අණ්ඩයා) ඩී, ආර්. නානායක්කාර (පිලෝරිස්)   

එච්. ඩී. කුලතුංග (කළු මහත්තයා), ක්‍රිස්ටි ලෙනාඩ් (පිනා) ගාමිණි (චුට්ටේ)   

 
 

හිරු අවරට යයි. රැකියාවෙන් තොර කෙළිලොල් දිවියක් ගත කරන තරුණයෝ වීදියේ එක් තැනෙක ප්‍රීතිවෙති. වීදියෙහි එහා කොනේ පුළුල් පදික වේදිකාව අයිනේ ඇති රික්ෂෝ නැවතුම් පොලේ වේළු නමැති අන්ධ වාදකයා රබන් වාදනයක් පවත්වමින් යන එන්නන්ගෙන් සත දෙක තුනක් බලාපොරොත්තු වෙයි.   

මෙයට වසර 53කට ඉහත එනම් 1965 වස​ෙර් තිරගත වූ “චණ්ඩියා” චිත්‍රපටයේ ආරම්භයයි ඒ. නගරයේ මංසන්ධියක ගණන් ගෙන ගිය “චණ්ඩියකු” ගේ කතාවයි මේ. කොළඹ මරදාන, බොරැල්ල, කොස්ගස්හන්දිය ආශ්‍රිත ප්‍රදේශවල හැටේ දශකයේ දක්නට ලැබුණු ගණන්කාරයන් චණ්ඩියන් ඇසුරෙන් ටයිටස් තොටවත්ත තම කුළුඳුල් අධ්‍යක්ෂණය සඳහා කතාවක් රචනා කළේය. එයට නිමිත්ත වූයේ හැට ගණන්වල වූ අහඹු සිදුවීමකි.   
ටයිටස් තොටවත්ත යනු නිර්මාණශීලී චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකි. “රේඛාව” -“සන්දේශය”, “දස්කොන්”-“රන්මුතු දූව” “ධීවරයෝ” ආදි චිත්‍රපට සංස්කරණය කළ ඔහුගේ දස්කම් දුටු සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් ඒ ගැන පැහැදී සිටියේය. මේ ගැන ටයිටස් කිව්වේ මේ කතාවය.   


“හැඳල විජය චිත්‍රාගාරයේ “ධීවරයෝ” චිත්‍රපටයේ සංස්කරණය කරමින් ඉන්න කොට සිනමාස් සමාගමේ කළමනාකරු චාල්ස් පෙරේරා මා ළඟට ආවා.   


“මිස්ටර් ගුණරත්නම්” ටයිටස්ව හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”   


මම ගුණරත්නම්ව හමුවීමට චිත්‍රාගාරයේ ඔහුගේ කාමරයට ගියා. මා දිහා බලලා ඔහු සිනාසුණා.   


“මට චිත්‍රපටයක් හදල ඕනෑ.”   


“සංස්කරණය කරලද”   


“නෑ ටයිටස්ම අධ්‍යක්ෂණය කරන ෆිල්ම් එකක්.” කතාවක් තියෙනවද?” 

 
“කතා නම් ඕනෑ තරම් තියෙනවා”   


“කවද්ද ගේන්න පුළුවන්?”   


“ලබන සතියේ ....”   


“හොඳයි”   


මම කිව්ව දිනේට ගුණරත්නම් හමුවුණා.   


“මොකක්ද ෆිල්ම් එකේ නම”   


“චණ්ඩියා” මම කිව්වා. ඒ කාලේ බොරැල්ලේ හන්දියේ මාෂාල් සහ සරත් කියලා බොරු චණ්ඩියෝ දෙන්නෙක් හිටියා.   


"Very good"   


“කවුද දෙබස් ලියන්නේ?”   


ඒ දිනවල සිනමාස් සමාගමේ දෙබස් ලිව්වේ හියුගෝ ප්‍රනාන්දු.   


“කරුණාරත්න අබේසේකර හොඳ නැද්ද?” ගුණරත්නම් එවර මගෙන් ඇසුවා.   


“එයා තමයි හොඳ. චොප්පෙ, සීනි මල්ලි, මදාවි සෝමේ එයා අඳුනනවා.” මම කිව්වා.   


“කවුද? චණ්ඩියාට රඟපාන්න ගන්නේ ....”   


“කවුද ... ඉතිං ගාමිණී ​ෙෆාන්සේකා මිස එයා “රේඛාව” කාලේ ඉඳලා මගේ හොඳ මිත්‍රයෙක්.” ටයිටස් කීවේය.   

 


“චණ්ඩියා” කතාව ටයිටස් ලියා ඇත්තේ කලකට ඉහතය. අහස වහල කරගෙන පදික වේදිකාව ඇඳ ලෙස සැළකූ සමාජයෙන් කොන් වූ මිනිහෙක් ගැන කතාවකි ඒ. මේ කතාවට “බජාර් බාසාව” දෙබස් සඳහා කරුණාරත්න අබේසේකර උපයෝගි කරගත්තා. ඒවා ප්‍රාණවත් දෙබස් ය. ටයිටස් “රන් මුතු දූව” රසායනාගාර කටයුතුවලට ලන්ඩනයට ගිය අවස්ථාවේ, එරට නිෂ්පාදන එ්කකයකට බැඳී ෆයිනරිස් චිත්‍රාගාරයේ වැඩ කරන කාලයේ Tale of two cities' චිත්‍රපටයේ එළිමහනේ ඉදිකර තිබූ ප්‍රංශ නගරයේ අනුරුව දැක තිබුණ. ප්‍රංශයේ බැස්ටීල බළකොටුව වටා තිබූ වීථි ආදිය නිර්මාණාත්මකව ඉඳිවූ අයුරු දැක තිබූ ටයිටස්ට හැඳල විජය චිත්‍රාගාරයේ කොළඹ මරදානේ ‘පිචෝස් ලේන්’ එක එහි නිර්මාණාත්මකව ඉදිකිරීමට සිත් විය. මරදානේ වීථිවල රෑගත කරන්න ගියොත් මිනිසුන් පිරිලා, වාහන තදබද ඇවිත් අවුල් වෙන බව ඔහු මුල සිටම සිතුවේය. ටයිටස් ගේ යෝජනාවට ගුණරත්නම් එකඟ විය. හැඳල විජය චිත්‍රාගාරයේ (1963) එක මැදිරියක ‘අල්ලපු ගෙදර’ රූගත වූ අතර චිත්‍රාගාරය පිටුපස තිබූ අක්කර ගණනක එළිමහනේ කොළඹ නගරයේ සංකීර්ණ පරිසරයක් මැවිණි. ක්ලබ් එකක්, සැලුන් එකක්, මුඩුක්කුවක් ප්‍රසිද්ධ වැසිකිළියක්, ගරාජ් එකක්, මස් කඩයක් සහිත අංග සම්පූර්ණ වීථියක් නිර්මාණය විය. එතෙක් සිංහල සිනමාවේ නුදුටු පරිසරයක් මැවිණ.   


චිත්‍ර ශිල්පියකු වූ ටයිටස් ‘රේඛාව’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාද විය. ඔහුගේ සැළැස්ම අනුව මේ කෘතිම වීථියේ කළු මහත්තයා ගේ ත්‍රී ස්ටාර් සමාජ ශාලාව හැදුණේ.   


“මට හුදෙක් චණ්ඩියකුගේ කතාව කීමට නොව ඒ තුළින් කරන සමාජ විග්‍රහයක් ලෙස. කාර්යබහුල ජනයා විසින් ගැවසීගත් මහ නගරවල අහුමුලු අමුතුම මුහුණුවරක් පෙන්වනවා. එහි ජීවත් වෙන්නෝ අන්ත දුගී ජීවිතයක් ගෙවන අය. සමාජයෙන් කොන්වුණු ඔවුන් වනාහි තමන්ගේම අත්තනෝමතික අණසකකට යටත් වන්නා වූ පිරිසක්. “බලවතාගේ ගොදුර දුබලයා යැ” යන සත්ත්ව ලෝකයේ දහම්නියාවම මොවුන්ගේ ද දහම් නියාමය වෙනවා. “චණ්ඩියා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘චුට්ටේ’ ගේ ජීවිතය වනාහි තමාත්, තම පවුලත්, තමාට එරෙහිව නැඟෙන සමාජයක් සමඟ අතරක් නැතිව යෙදුණු කෙළවරක් නැති සටනෙක දුඃඛාලාපයකි. පුදුම විදිහේ දර දඬු ගති පැවතුම් ඇති චුට්ටේ අවසානය දක්වාම පරාජිත චිත්තයකින් මඬනා ලද්දෙක්.   


චණ්ඩියා චිත්‍රපටයේ කතාව විකාශය වෙන්නේ මෙසේය.   


චුට්ටේ (ගාමිණී ​ෆොන්සේකා) පිනා (ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා) සහ පච්ච සිරා ඔට්ටුවට සල්ලි උඩ දමති. මේ අතර පිනා වෙරි මතින් වැනි වැනී ඔවුන් ඉදිරියට එන තඩිපියා දකියි. ඔහු එසේ එන විට එහි රැඳීම නුවණට හුරු නැති බව ඔවුහු දනිති. පිනා සහ සිරා මඟ හරිති. තඩිපියා චුට්ටේගේ ඇඟට පැන කාසිවලට පයින් ගසා අයින් වෙන මෙන් ඔහුට අණ කරයි. චුට්ටේ අණට නොනැමෙයි. කෝපයෙන් ඇවිස්සුණු තඩිපියා චුට්ටේට පයින් ගසයි. තරුණ මදයෙන් මත්වූ චුට්ටේ විදිලිය මෙන් පැන තඩිපියාට පාරක් දුන්නේ ඔහු අසල හෙළයි.   


මුඩක්කු ලෝකයට නව යුගයක් උදාවෙයි. එක් චණ්ඩියෙක් වැටෙයි, අනෙකෙක් නැඟෙයි. චුට්ටේ අලුත් චණ්ඩියා ලෙස, වීදියේ පාතාල ලෝකයේ ප්‍රධාන අනුග්‍රාහකයා වූද, “ත්‍රී ස්ටාර්” ක්‍රීඩා සමාජය අයිතිකරු වූද, කළු මහත්තයා (එච්. ඩී. කුලතුංග) විසින් පිළිගැනෙයි.   


සුමනා (අනුලා කරුණාතිලක) සුන්දර තරුණියකි. වීදියේ ආප්ප කඩය අයිතිකාරිය වන ඇය පරිසරයේ ඇති වන අඬදබර, දූෂණ, දුගී බව නුරුස්සයි. කළු මහත්තයාගේ මත්පැන් වීදුරුවෙන් සිත් සතන් පිනවා ගන්නා ඇගේ පියා වන පිලෝරිස්ගෙන් (ඩී. ආර්. නානායක්කාර) ඈට කවර පිළිසරණක්ද? මේ කරදර මධ්‍යයේ තමන්ගේ පාඩුවේ ඇගේ සහෝදරයා වන නිමලුත් (ලෙන් පෙරේරා) රැක බලා ගන්නා සුමනා මුඩුක්කු ජීවිතයේ දූෂණවලින් ඈත්වී ජීවත් වෙයි.   

 

චණ්ඩියා නිපදවීමට දායක වූ පිරිස වම් පස කෙළවරේ කරුණාරත්න අබේසේකර සහ ටයිටස්


සුමනා වසඟ කර ගැනීමේ බලාපොරාත්තුව ඇති කළු මහත්තයා, පිලෝරිස් ප්‍රිය කරන ‘අඩිය’ ඔහුට නිතරම සපයයි. කළු මහත්තයාට ඔහුගේ සහචරයනට ඈ දක්වන අකමැත්ත හා වෛරය නොමැති නම් ජිලෝරිස් මෙළහකටත් දුව ඔහුට විවාහ කරදී හමාරය.   


වීදියේ දුසිරිත් වපුරනවාටත් වඩා චුට්​ෙට් නොමඟ යවන නිසා සුමනා කළු මහත්තයා නුරුස්සයි. ඕ චුට්ටේ හා පෙමින් බැඳ ගන්නීය. චුට්ටේ නිතරම ආප්ප කඩේට එයි. මේ ජීවිත රාමුවෙන් ඈත් වී හොඳ රැකියාවක් සොයාගෙන වැදගත් මිනිහෙකු මෙන් ජීවත් වෙන ලෙස සුමනා නිතරම චුට්ටේට නොකියා කියයි. ඇය පමණක් නොව චුට්ටේගේ අඹ යාළුවා වන පෙදා (ජෝ අබේවික්‍රම) ද, කළු මහත්තයාගේ රැහැනින් චුට්ටේ බේරා ගැනීමට උත්සහ දරයි.   


මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සුමනා සහ පෙදා චණ්ඩියකු ලෙස ජීවත්වීමේ නිසරුකම චුට්ටේට ඔප්පු කිරීමට සමත් වෙති. චුට්ටේ කෙරෙහි එතෙක් සැඟවී පැවැති සුසිරිත් පුළිඟුව සුමනාගේ ඇවිටිලි සුළඟින් මෙලෙක් වී දැල්වෙන්නට විය. හේ කළු මහත්තයාගේ ඇසුරින් ඈත් වී සිසිල් බීම සමාගමක රැකියාවක් ලබා ගනී. සමාජයේ තැනක් ලබාගත යුතු යැයි චුට්ටේ කෙරෙහි ඇති වූයේ බලවත් ආසාවකි. එහෙත් ඔහු පිළිගැනීමට නොකැමැති කම්කරුවන් ඔහු “අයි. ආර්. සී. කාරයකු ලෙස හංවඩු ගසයි.   


චුට්ටේගෙන් බිඳී ගිය කළුමහත්තයා චුට්ටේගේ විරුද්ධකාරයකු වූ ජෙමා (ඇන්. ආර්. ඩයස්) සමඟ එකතුවී චුට්ටේ විනාශ කිරීමට කුමන්ත්‍රණය කරයි. කෙසේ හෝ ඒ ප්‍රයත්නය නිෂ්ඵල වෙයි. අන්තිමේදී පෙදාගේ විවාමඟුල් දින චුට්ටේ මරා දැමීමට ඔවුන් යෙදූ උපක්‍රමය පොට වැරැදී, චුට්ටේ වෙනුවට සුමනාගේ මල්ලී හා පියා නිමල් හා පිලෝරිස්ගේ ගොදුරු වෙති.   


මෙයින් ප්‍රකෝප වූ චුට්ටේ කළු මහත්තයා සමඟ මුහුණට මුහුණ සටන් කොට ඔහුට පහර පිට පහර දී ඔහු පොලිසියට භාර දෙයි. නීතිය තමන් අතට ගැනීමේ වරදට අධිකරණය චුට්ටේට තදින් අවවාද කරයි. මිනීමැරීමේ වරදට චෝදනා ලබන කළුමහත්තයා රිමාන්ඩ් භාරයට ගැනෙයි.   


සුමනා විවාහ කර ගත් චුට්ටේට දැන් කුඩා දියණියක් සුනිලා (බේබි මධුමතී) සමඟ සතුටින් සාධාරණව ජීවත්වීමට උත්සහ කළත් තමා යළිත් සේවයට ගිය සිසිල් බීම සමාගමේ ඔහුගේ පන්තියේ සේවකයෝ ඉඩ නොදෙති.   
හොඳින් හෝ නරකින් සමාජයේ ඉහළට නැඟීමට සිතන චුට්ටේ රාත්‍රී සමාජ ශාලාවකින් ලැබුණු රැකියාව ඉහළින් පිළිගනී. එය සිහින ලෝකයකි. වැඩි වැඩිය මුදල් ඉපයීමේ තණ්හාව චුට්ටේට ඇති වෙයි. සමාජ ශාලා හිමියා වූ කාල් වයමන් (කාල් ගුණසේන) හා කළමනාකරු මිල්ටන් (​ඩොමී ජයවර්ධන) මුදල්වලින් චුට්ටේට ඉහළ සමාජයට නැඟීමට මඟපෙන්නා මහා පරිමාණයේ සොරකම්වලට යොමු කරයි. පොලිසිය විමසිල්ලෙන් සිටී. චුට්ටේ හා මිල්ටන් දරුණු ලෙස ගැටෙයි. මිල්ටන් කාල්ගේ රහස් ව්‍යාපාර පොලිසියට දන්වයි.   


චුට්ටේ දැන් වෙනස් පුද්ගලයෙකි. යුරෝපීය අඳුමින් සැරැසී ධනවතුන් ඇසුරු කරන ඔහු මුඩුක්කුවකින් පැමිණි අයෙක් ලෙස කිසිවකු පිළිනොගනි. ඔහු අතේ දැන් දහස් ගණන් මුදල් ගැවසෙයි. අයුතු ලෙස මේ මුදල් සොයන බව සුමනා දැනගෙන ඔහුට එරෙහි වෙයි. බිරිඳ සමඟ තරහවෙන චුට්ටේ කාල්ගේ සමාජ ශාලාවේ නතර වෙයි. ප්‍රාණ සමාන මිතුරා වූ පෙදා ඔහු සුමගට ගෙන ඒමට හැම උත්සාහයක්ම දරද්දී අකාලයේ මිය යයි. කාල් පසුපස පොලිසිය ලුහු බඳිද්දී අනතුරකින් ඔහු නසී. චුට්ටේ සුපුරුදු සරමින් සැරැසී පොලිසියෙන් සැඟවී පළාගොස් පදික වේදිකාවේ හිඟන්නන් අතර සිඟන්නෙකු මෙන් සිටී. පන්සලේ දානයක් තිබෙන බව දැන නිරාහාරව සිටි නිසා පන්සලකට යන චුට්ටේට දානය බෙදන සුමනා දක්නට ලැබෙයි. පොලිස් සයිරන් නළා හඬ අසන චුට්ටේ පලා යයි. ඔහු පිටුපස සුමනා යයි. ඇය ඔහු වැළඳ ගනී. ඔහු තුළ ඇය අනාගත බලාපොරොත්තු ඇති කරයි. ධෛර්යය දෙයි. චුට්ටේ පෙරලා පැමිණෙන තුරු බලා සිටීමට සුමනා පොරොන්දු වෙයි. චුට්ටේ පොලිසියේ අත්අඩංගුවට පත් වෙයි.   


මේ චිත්‍රපටයෙන් ටයිටස් අවසානයේදී පසුබිමින් අපූරු සමාජ පණිවුඩයක් දෙයි. එය චිත්‍රපටයේ පසුබිමින් මෙසේ ඇසේ.   


 

“නගරයේ අඳුරු අහුමුලු ඇති මුඩුක්කුවල දිනපතා බිහිවෙන සිය ගණනකින් එක් පුද්ගලයෙක් පමණි. ‘චුට්ටේ’ පමා වී වුවද හොඳ නරක දෙකෙහි වෙනස අවබෝධ කර ගැනීමට තරම් වාසනාවක් ඔහුට විය. සෙස්සවුන් ගැන කිම? මිත්‍රත්වයේ හස්තය දිගු කොට, ඔවුන් ද අපේ සමාජයේ කොටසක් මෙන් භාර ගැනීමට සූදානම් බව පෙන්වීම අපේ යුතුකමයි. ඔවුන්ගේ අනාගතය රඳා ඇත්තේ ඔබත් මාත් අතෙහිය.”   


ටයිටස් තොටවත්ත ‘චණ්ඩියා’ ලිවීමේදි විශේෂයෙන් මරදානේ ‘පිචෝස් ලේන්’හි සැරසරා ඇත. විශේෂයෙන් මරදානේ එකල සිටි ඇස් අන්ධ රබන් වාදකයා වූ වේළු දැන සිටියේය. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේ ඔහු අපූරු රබන් වාදනයක් කරයි. ඔහු කටින් දක්වන සංඥාව ‘පොලිසිය ළඟ එන බවට’ දෙන පණිවුඩයි. ඔහුගේ හඬින් ගයන මේ ගීතය චිත්‍රපටය තිරගත වූ කාලයේ අතිශයින්ම ජනප්‍රිය වූ අතර ඈත පළාත්වලින් පවා ඔහු දැක ගැනීමට පිරිස් පැමිණ ඇත. අහිංසක සිනාවකින් මුව සරසා ඔහු මෙසේ චිත්‍රපටයේ ගී ගයයි.   


‘උන්නත් දාහයි මැරුණත් දාහයි මේ ලෝකේ   


එක සිරුරක අත් දෙක සැප ලෝකේ’   


වේළු මේ ගීතය ගයන්නේ මොහොදීන් බෙග් හා මිල්ටන් පෙරේරා සමඟය.   


‘චණ්ඩියා’ ගීත හා දෙබස් රචනා කළ කරුණාරත්න අබේසේකර අර්ථාන්විත දෙබස් සඳහා උපයෝගි කොට ගත්තේ මරදානේ බජාර් භාෂාවය. ‘චොප්පෙ අයියා’ ලෙස ප්‍රකටව සිටි රාජපක්ෂගේ ධර්මදාස ගැන එදා මිනිස්සු කතා කළේ ‘නූතන සරදියෙල්’ කෙනෙකු ලෙසය. මරදාන ආශ්‍රිතව ගණන් ගෙන ගිය ‘මදාවි සෝමේ’, මෙන්ම ‘සීනි මල්ලී’ මාෂල්, සර්පීනු, හර්මන් ගැන තොරතුරු රැසක්ද එකල මරදානේ ආනන්දයේ මා සමඟ ඉගෙන ගත් ප්‍රේමකීර්ති ද අල්විස් මට කියා ඇත. 1964 වසරේ වේගයෙන් පදවාගෙන ගිය වෑන් රථයකින් බිමට පැනීමෙන් මිය ගිය මදාවි සෝමේ හෙවත් මරදානේ අඹවත්ත හේවාගේ සෝමපාල අපි දෑසින් දැක ඇත්තෙමු.   


‘චණ්ඩියා’ චිත්‍රපටය කරන කාලේ ගාමිණී ​​ෆොන්සේකාද ‘චොප්පෙ’ හමුවී එදා කඩු කිනිසිවලින් සහ අතින් පයින් ගහගන්නා සැටි අසා සිට අත්දැකීම් එකතු කළ බව පැවසේ. ‘චණ්ඩියා’ චිත්‍රපටියේ කළු මහත්තයා ලෙස රඟ පෑ එච්. ඩී. කුලතුංග සමඟ කළ සටන තවමත් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් මතක් කරන්නක්” අන්න පයිට්. අන්න නියම චණ්ඩි” කියා ඇත. ගාමිණී ඇඳ සිටියේ දැල් බැනියමකි. කුලතුංග ඇඳ හිටියේ නයිලෝන් ටෙරලින් වර්ගයේ කළු කමිසයකි. එක් අවස්ථාවක කුලතුංග කරත්ත රෝදයකින් බිම සිටින ගාමිණීව යටකර ගනී. ගාමිණී කරත්ත රෝදය තදකර අල්ලාගෙන ප්‍රවාදියාගෙන් ගැලවීමට උත්සාහ ගනී. අත්වලින් ගිලිහෙන කරත්ත රෝදය රෝල් වී සටන බලා සිටි සෙනඟ අතරින් අධිවේගයෙන් ගමන් කරයි. බටහිර සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපටයක දර්ශනයක් සිහිපත් කළ මේ දර්ශනය නම් එදා සිටි ප්‍රේක්ෂක මනසින් ගිලිහී නොගියහ.   


එවැනි දර්ශනයක් කොටහේනේ නගර සභා පිහිනුම් තටාංගණයේ දී ගාමිණී හා නවක නළු රොබින් ප්‍රනාන්දු අතර සිදුවූයේ ද ‘චණ්ඩියා’ චිත්‍රපටයටය. ගාමිණී සමඟ කරට කර සටන් කරන මේ දෙදෙනා ක්‍රමයෙන් තටාංගණයේ උඩ යට යයි. එය දී උඩ සිට පහළට පනින ස්ථානයේදී ගාමිණීගෙන් පහරක් ලබන රොබින් අඩි 40ක් පහළට ඇද වැටෙන්නේ මුනින් අතටය. මේ දර්ශන වැල අපූරු සංස්කරණයකින් ටයිටස් ත්‍රාසය තීව්ර කිරීමට සමත්වී ඇත. චිත්‍රපටයේ අවසාන දර්ශනයේ චුට්ටේ (ගාමිණී) පොලිසියෙන් පළා යන දර්ශනයේ කොළඹ කොටහේනේ පාරකින් ගමන් කරයි. අලුත් ගණන්කාරයෙක් එහි අධිපතිත්වය දරයි. ඔහු මහ පාරේ මැද වේවැල් රාග බෝලයකින් තම හිතවතුන් සමඟ ක්‍රීඩා කරමින් සිටී. චුට්ටේ එ් පාරේ ඇවිදගෙන යනවිට කෙනෙකුගේ ඇඟේ හැපෙයි. එවිටම චණ්ඩි නායකයා චුට්ටේ අසළට එයි. ඔහු අතේ සිගරට් ටින් එකකි.   
“මොකද ගණන්ද? ඉලක්කම්ද?” ඔහු චුට්ටේ වෙත එමින් අසයි.   


චුට්ටේ අහිංසකව පැත්තට යන්නේ ‘උඹට ඉස්සර වෙලා අපි මේ ගෙන්දගම් පොළොවේ ගණන් ගෙනිච්චෙ’ කියන හැඟීම් මාලාව මුහුණින් මතු කරමිනි. මේ දර්ශනයේ ‘ගණන්කාරයා’ ලෙස රඟපෑවේ ඔසී කොරයාය. ඔහු එදා විවාද සම්පන්න චරිතයකි. කොටහේනේ මහා පන්සල අසළ නිවසක එකල පදිංචිව සිටිනු මම දැක ඇත්තෙමි.   


ටයිටස් තොටවත්ත ‘චණ්ඩියා’ චිත්‍රපටයේ චුට්ටේගේ පෙම්වතිය ලෙස තෝරා සිටියේ පුණ්‍යා හීන්දෙණිය හෝ විජිත මල්ලිකාවය. එහෙත් ‘රන්තෝඩු’ වේදිකා නාට්‍ය 1963 වසරේ නැරැඹූ ටයිටස් හා ඔහුගේ බිරිඳ සුජාතා පැවැසුවේ චණ්ඩියාගේ පෙම්වතියට සුදුසු නිළිය එහි රඟපා වසරේ (තාත්වික) හොඳම නිළිය වූ අනුලා කරුණාතිලක වඩාත් සුදුසු බවය. ඒ පිළිබඳ අනුලා කියන්නේ මේ කතාවය.   


“චණ්ඩියා චිත්‍රපටයේ රඟපාන කොට මට වයස 17ක් විතර ඇති. මාව තෝරා ගැනීමේ වැඩි කැමැත්ත පළ කළේ ගාමිණී. ‘ස්ක්‍රීන් ටෙස්ට්’ එකක් තියලයි මාව තෝරා ගත්තේ. මම මුලින්ම රඟපෑවේ චුට්ටේ විවාහවූ පසු දර්ශන. මම බයෙන් රඟපෑවේ. මා වැරැද්දූ හැම විටම ටයිටස් බැන්නේ මට නෙවෙයි, අසළ ඉන්න කැමරා ශිල්පියට, හෝ ආලෝකය භාරව සිටි කාර්මිකයාට. ටයිටස්ගේ බිරිඳ සුජාතා කිව්වේ ‘අනුලා ටයිටස් බැන්නට ගණන් ගන්න එපා. ඒ එයාගේ හැටි. එයා පුංචි ළමයෙක් වගෙ.’ කියලා. මට වරදින හැම විටම ගමිණී මට වැරැද්ද කියා දී මා වෙනුවෙන් පුන පුනා ඒ දර්ශනවලට පෙනී සිට මට දුන් සහය මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ. හැඳල විජය චිත්‍රාගාරය සිහින ලෝකයක්. කොළඹ ජනාකීර්ණ වීදියක් මවලා. එදා ගාමිණියි, කුලතුංගයි ගහගත්ත දර්ශනය බලන්න විශාල පිරිසක් ඇවිත් හිටියා. ඒ දෙන්නා ඇත්තටම ගහ ගත්තා. දෙන්නගේ මුහුණු තුවාල වෙලා. හීරිලා මට බය හිතුණා. මම අත් දෙකෙන් ඇස් වහ ගත්තා. බලන් හිටිය අයට නම් හරි විනෝදයි. එක දර්ශනයක ගාමිණි තඩිපියා කියන එතෙක් ගණන් ගෙනිච්ච උස මහත මිනිහා ‘නාන ටබ්’ එක දාලා වතුරේ ඔබාගෙන හිටිය. මම හිතුවා ඒ මනුස්සයා මළාම කියලා. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ ලයිසා ලෙස තත්පර කීපයක් රඟ පෑ මා මේ වගෙ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම අරුමයක් නොවේද? ඒ කාලේ ‘චණ්ඩියා’ ෂූටිං කරන අතරේ අනිත් චිත්‍රාගාරයේ ‘අල්ලපු ගෙදර’ ෂූටිං. එහි ප්‍රධාන චරිතය රඟපෑ ක්ලැරිස් ද සිල්වා රඟපානව බලන්න මම ගියා. එය දුටු ගාමිණී මගේ කණින් අල්ලා ඇදගෙන ආවේ ‘උඹ මෙතැනට වෙලා අනිත් අය රඟපාන හැටි බලන් හිටපිය’ කිව්වාය.   


ටයිටස්ගේ ‘චණ්ඩියා’ තුළින් ඔහු තමා ආදර කළ කුමරතුඟුන්ගේ බස් වහර නාමාවලිය සඳහා උපයෝගී කොට ගත්තේය. නිෂ්පාදක නිපයු විය. කතා රචක, අධ්‍යක්ෂක, කතා රසසු, අදියුරු විය. ගීත රචනය ගී රසැසුම් විය. සංගීතය, මියැසිය විය. කැමරා අධ්‍යක්ෂණය රූ ගැන්වීම විය. විවේකය ඉසිඹුව විය. චණ්ඩියා ටයිටස්ගේ සිනමානුරූපී චිත්‍රපටයකි. 

 

 

 


සටහන  ඒ. ඩී. රන්ජිත් කුමාර

 



අදහස් (1)

නගරය හෙල්ලූ ‘චුට්ටේ’ගේ කතාව ‘චණ්ඩියා’ චිත්‍රපටයට

රංජිත් ප්‍රේමලාල් Friday, 03 September 2021 09:53 PM

මෙම චිත්‍රපටය මා පාසල් යන අවදියේ නැරඹුවා මතකයි. මතකයේ හැටියට හැත්තෑව දශකයේ මුල් භාගයේ පමණ. මගේ ඉතාමත් සිත්ගත් චිත්‍රපට අතරින් මුල් පෙලේ චිත්‍රපටයක්. මෙහි රඟපෑ බොහෝ පිරිසක් මේවනවිට අපගෙන් සමු අරන්. මෙම චිත්‍රපටය ගැන මතකය අවදි කල ඵ්.ඩී. රංජිත් කුමාර කතෘ තුමන්ට මගේ කෘතඥතාව පුදකරමි. මෙම චිත්‍රපටයේ ඩීවීඩී පිටපතක් හැකිනම් සොයා දෙන්න. ස්තූතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site