එදා ගම්මුලාදෑණියට ‘හොල්මන’ පහරදුන් ​ෙඓතිහාසික නාලගමුව සුසාන භූමිය අද...

 

 

කරන ලද වැරැද්දකට අනුව යම් පුද්ගලයෙකුට නීතිය මගින් කටයුතු කිරීම සාමාන්‍යයෙන් පවතින සම්ප්‍රදායකි. වැරදිකරුවෙකු වුවහොත් කිසියම් දඩයක් හෝ දඬුවමක් දීමද සිදුවෙයි. එයද එම චූදිතයා ජීවත්ව සිටිනවා නම් පමණි. නමුත් මේ සියල්ලටම වඩා ජීවත්ව සිටියදී හටගත් කිසියම් වූ සිදුවීමක් වෙනුවෙන් වෙර බැඳගත් මිනිසෙකු මිය යෑමෙන් අනතුරුව මුහුණ දෙන්නට සිදුවූ අදෘෂ්‍ය බලවේගයකට විරුද්ධව පවරන ලද අපූරු නඩුවක් පිළිබඳව වාර්තාවක් කුරුණෑගල දිස්ත්‍රික් ඉතිහාසයෙන් දැනගන්නට තිබේ.  
සිදුවූ සිදුවීමට මේ වනවිට වසර 80 ක් පමණ ගතවී ඇති අතර ඒ පිළිබඳව ඇති තතුදන්නෝ මෙන්ම බඳුන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දැනට දිවියෙන් සමුගෙන ඇති නිසා මතකයෙන් පවා ඈත් වී ගොස් හමාරය. එහෙත් මේ පිළිබඳව පසුබිම්වූ උපහාසාත්මක උපමා උපමේයන් පවා ගැමියන් අතර ප්‍රචලිත වීම තුළ මෙහි ඇති ඓතිහාසික අගය තව තවත් රසවත් වෙනවා විය යුතුය.   


හොල්මනකට නඩු දාපු මිනිස්සු ඉන්න රටේ මේවත් කජ්ජක්ද ආදී වශයෙන් පැවති පැරණි උපමාවන්ම මෙම රස කතාව සොයා යන්නට මග පෑදුවේය.  


ඒ වර්ෂ 1935 දී පමණ සුදු පාලන සමයයි. එවකට කුරුණෑගල දිසාව පාලනය කරන ලද්දේ සුදු ජාතික ඒජන්තවරයෙකි. මෙම දිසාවට අයත් වන්නි හත්පත්තුව පාලනය කළ නිලමක්කාරය වූයේ ඉලංගන්තිලක රටේ මහත්මයාය. රටේ මහත්මයා යනු වත්මන් යුගයෙහි ප්‍රාදේශීය මහ ලේකම්වරයාට සමාන බලතලයකි. කොට්ඨාසයක් හෝ පත්තුවක් හැඳින්වීමට රට යන්න උපයෝගී කරගත් අතර එය පාලනය කළ බලවතාගේ නාමය රටේ මහත්මයාය.  


අදට වඩා එදා ඔහුට බලතල අධිකය. ප්‍රදේශය සුවිශාලය. වැඩ වසම් යුගයෙහි වූ නිලතල නිමාවන යුගයක ආදායම් පාලක නිලධාරී හෙවත් ඩී.ආර්.ඕ (DRO) තනතුරු තරඟ විභාග මගින් තෝරාපත් කරගන්නා තෙක්ම වන්නි හත්පත්තුවේ අවසන් රටේ මහත්මයා තනතුර දැරුවේ ඉලංගන්තිලක මැතිඳුය.  


නිකවැරටිය නගරයේ නිල නිවහන පවත්වා ගනිමින් ඉලංගන්තිලක වලව්ව යයි ප්‍රකට මෙය අද දක්නට නැතත් නටඹුන් පමණක් ඉතිරිව තිබේ. ඉංග්‍රීසි පාලන යුගයේ සත්කෝරළ මහාධිකාරම් ධුරය හෙබවූ හුළුගල්ල මහ දිසාවගේ මී මුණුපුරෙකු වූ ඉලංගන්තිලක රටේ මහත්මයා මෙම කතාවේ එක් කතා නායකයෙකි.  


රටේ මහත්මයා යටතේ වූ ගම්මුලාදෑනි හෙවත් ආරච්චි වසම් රැසකි. එවකට අංක 48 හුලව වසමට අයත් එක් ගමකි. නාලගමුව වර්තමානයෙහි නිකවැරටිය මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටි කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. පිහිටා ඇත්​ෙත් හුළුගල්ල ගිරිල්ල මාර්ගයේය. හුලව වසමේ ගම්මුලාදෑනියා වූයේ එම වසමට අයත් එළගම්මිල්ලව නම් ගමෙහි පදිංචි අයෙකි.  


සැරපරුෂ ගතිපැවතුම් සහ වෙනත් කටයුතු නිසා මේ වැයික්කියේ ගැමියෝ ඔහුට වැඩි මනාපයක් නොදැක්වූහ. බොහෝ අවස්ථාවලදී ඒ හා සම්බන්ධ විවිධ අර්බුද ද පැන නොනැගුණා නොවේ. මේ අසාමාන්‍ය සිදුවීමට පාදක වූයේද එවැන්නකි.  


නාලගමුව නමැති ගම්මානයේ ජීවත්වූ අවුසදහාමි නම් ගොවියා අහිංසක මිනිසෙකි. එහෙත් ඔහු අයුක්තිය හමුවේ නම් වෙඩි කෑ ඌරෙකු වැනිය. මනා දේහධාරී සිරුරකට හිමිකම් කී ඔහුට ගමේ හෝ අහල පහළ කව්රුවත් අභියෝග කළේ නැත. ඒ ඔහුගේ ස්වභාවය හොඳින්ම දන්නා නිසාය.  


කලක් තිස්සේම ඔහුගේ කුඹුරක මායිම් වැටකට අදාළ අරියාදුවක නියුතු ගමේ යමක් කමක් ඇති පවුලක ඇත්තෝ අවුසදහාමිට විරුද්ධව ගම්මුලාදෑනියා හමුවේ පැමිණිල්ලක් කළේ ඔහු වැරදිකරුවෙකු කරමිනි. තමාගේ නිදොස් බව ගම්මුලාදෑනියා හමුවේ පැවසුවද අවුසදහාමිගේ සාධාරණීය ගැන ඔවුහු නොසිතූහ.  


එය කිසියම් අර්බුදයකට මුල පිරීමක් විය. දිගින් දිගටම ගැටුමක ස්වරූපයක් ගත් මෙම සිද්ධිය තුළින් අවුසදහාමිත් ගම් මුලාදෑනියාත් අතර ඇතිවූයේ වෛරී තත්ත්වයකි. ගැමියන්ගේ මැදිහත්වීම මත සිදුවෙන්නට ගිය ව්‍යසනය ලිහිල් වුවද අවුසදහාමිගේ තරහ එළිපිටම පිටවිය.  


හැබැයි පුතෝ උඹ දැනගනිං අද උඹ බේරුණා කියල.. ඒ වුණාට කවදාහරි උඹට මේ අසාධාරණ වැඩේට දෙන්නං බැටේ... හැබැයි අදින් පස්සේ මේ ගම හරහා උඹ ගමන් ගිහින් ඉවරයි කියල හිතාගනිං.. හිරේ විලංගුවේ වැටුණත් නොමැරී සිටියොත් මම උඹෙන් පළිගන්නවාමයි.  


අවුසදහාමිගේ ගෝරනාඩුව හමුවේ ගම් මුලාදෑනියා නිහඬව සිටියේ ඔහුගේ හැටි දන්නා නිසාය. කෙසේ නමුත් ගමේ බොහෝදෙනා මේ හිත්පිත් නැති මිනිහාගෙන් හැකිතරමින් බේරෙන ලෙසට ගම්මුලාදෑනියාට කියා සිටියහ. මෙයින් තවත් බියට පත් ඔහු ඉන්පසු කිසිම දිනෙක මේ ගම හරහා නිකවැරටිය කඩපළ වෙත නොයන්නට වග බලා ගත්තේය.  
සතියකට වතාවක් එළගම්මිල්ලව ගමේ සිට නිකවැරටියට ඉලංගන්තිලක රටේ මහත්මයාට රපෝර්තු කරන්නට යා යුතු වුවද ඔහු ගමන් කළේ නැබඩාව මාර්ගයේ පුත්තලම් පාර ඔස්සේය. වාහන නොතිබුණ එම වකවානුවේ සුපිරිම වාහනය ගොන් කරත්තයයි. එහෙත් තනිවම ගමන් යනවිටෙක නම් ඒකාන්තයෙන්ම පා ගමනය.  


දින සති මාස ගණන් ගතවී මේ සිද්ධිය අමතකව යද්දී ගම්මුලාදෑනියාට සිතුණේ දැන් මේ සිදුවීම අවුසදහාමිටද අමතකව ඇතැයි කියාය. විශේෂයෙන්ම අවුසදහාමිගේ ගම හරහා යා යුතු ළඟ ගමන දැන් දුරින් යා යුතු වීම නිසාත් දුර ගමන නුපුරුදු සහ වගවළසුන්ගෙන් අනාවරණය වන නිසාත් ඔහුට එසේ සිතෙන්නට ඇත.  


දිනක් කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා රටේ මහත්මයා මුණගැහෙන්නට නිකවැරටිය වලව්ව වෙත ගිය ගම්මුලාදෑනියාට ඉන් නික්මෙන්නට සිදුවුණේ අඳුරත් සමගය. ඒ සමගම වැස්සක්ද ඇදහැළෙන්නට විය. ආරච්චිල අද රෑ අපේ වළව්වේ ඉඳල පලයං.. යනුවෙන් රටේ මහත්මයා පැවසුවද ඔහු ඊට එකඟ නොවීය.  


එහෙනං ඉතිං මේ විලක්කුවත් අරගෙන පලයං. රටේ මහත්මයා කීවේය. රෑ බෝවීමත් අනෝරා වර්ෂාවත් නිසා ඔහු අවුසදහාමිගේ ගම හරහා කෙටි මග ඔස්සේම යෑමට තීරණය කළේ කාත් කව්රුවත් මේ ගමන ගැන නොදන්නවා යයි සිතාගෙනය.  


විලක්කුවේ පිළිසරණින් එළගම්මිල්ලව තම නිවස වෙතට එන ගම්මුළාදෑනියා අවුසදහාමිගේ ගම වන නාලගමුව හරහා එනවිට මැදියමට ආසන්නව තිබිණ. වැහි වතුරට සේදී ගියා වූද ඇතැම් තැනෙක මඩ ගොහොරු වූද දුෂ්කර මාර්ගයේ බියෙන් හා සැකයෙන් ගමන් ගත් ගම්මුලාදෑනියාට කලකට ඉහත තම සතුරු අවුසදහාමි විසින් පැවසූ දේ පවා ගණන් නොගත්තේ ඒ වනවිටත් මුළු පෙදෙසම නිදිලොව වැළඳගෙන පාළුව රජ කරමින් තිබුණ නිසාය.  


වෙව්ලන දෑතින් විලක්කුව ඔසවාගෙන විමසිල්ලෙන් ගිය ඔහු ඊළඟට ප්‍රවිෂ්ට වූයේ ගමෙහි කෙළවර වූ සුසානභූමිය සමීපයටය. එහෙත් නොපෙනෙන යක්ෂයාට වඩා පෙනෙන අවුසදහාමි ගැන බියපත්ව සිටි ගම්මුලාදෑනියාට සුසානය ප්‍රශ්නයක් නොවීය.  


පන්දම් විලක්කුවේ ආලෝකය පාර හොඳින් පෙන්වයි. වර්ෂාවෙන් උද්දාමයට පත්ව සිටින ගෙම්බන්ගේ ගෝරනාඩුව මිස වෙනත් ශබ්දයක් නැත. යාන්තම් සුසානය අසලට පැමිණියා පමණය. එහිවූ සොහොන් ගොඩැලි හා මළ කඳන් පිළිස්සූ තැන්වල ඉතිරිවූ දරකඳන් සුන්බුන් ඔහුට මැනවින් පෙනේ. මද බියකි. නමුත් ඔහුගේ වීරිය බලවත්ය. දෙපා ඉක්මන් කළේය. එහෙත් අභාග්‍යයකි.  


සුසානය දෙසින් තමා වෙතට සැණෙකින් දිව එන අඳුරු සේයාවක් ඔහුට පෙනේ. ආවේ වෙන කිසිවෙකුත් නොව අවුසදහාමිය. තමාගේ එකම සතුරාය. වියරු වූ ඒ රුදුරු මුහුණ බියජනකය. සැනෙකින් ගම්මුලාදෑනියාගේ අතෙහි තිබුණ විලක්කුව උදුරාගත් අවුසදහාමි එය සුසානය දෙසට වීසිකරන්ට මුළු පෙදෙසම ඝණ අන්ධකාරය විසින් ගිලගත්තේය. අඳුර අවුසදහාමිගේ වාරයයි.  


අතොරක් නැතිව එල්ල වෙන ප්‍රහාර හමුවේ ගම්මුලාදෑනියා අසරණය. සිරුර පුරා තැවරුණ මඩය. කෝට් බෑය ඉරී ගොස්ය. ඇඟ පුරාම රිදුම්ය.  


ආරච්චිල උඹ හිතාගෙන ඉන්න ඇති මගෙන් බේරිලා යන්න නේද? දැන් ඉතින් ඇති වෙන්න කෑවනෙ.. පළ යන්ඩ? හෙට ගිහින් මට නඩුවක් දාපිය රටේ මහත්මයා ළඟ... දැන් මටනං නින්ද යයි... තව තවත් මොන මොනවාදෝ දෙඩවූ අවුසදහාමි සුසානය වෙතට ගියේ ඝණ අඳුර කපාගෙනය.  


අඳුරේම අතපත ගා පාර සොයා ගත් ගම්මුලාදෑනියා තවරාගත් මඩ සහිතව ඉරීගිය ඇඳුමින්ම ගෙදර ගියේ උසුලාගත නොහැකි වේදනාවෙන් සහ ලැජ්ජාවෙනි. ඔහු තම බිරිඳිටවත් මේ පුවත නොකියූ අතර මගදී ලිස්සා ඇදවැටුණ බවක් කියා ආඩම්බරය බේරා ගත්තේය.  


පසුදිනම අවුසදහාමි කීවාත් වගේම ගම්මුලාදෑනියා ගියේ රටේ මහත්මයාට පැමිණිලි කරන්නටය.  


අවසර බෝයි.... මම ඊයේ රෑ මෙහේ ඉඳලා ගෙදර යද්දී නාලගමුවේ අවුසදහාමි කියන එකා මිනී කනත්ත ළඟ හැංගිලා ඉඳලා මට හොඳටෝම තඩිබෑවා...  


පන්දම් විලක්කුව උදුරාගෙන වීසිකරලා ගන අන්ධකාරේම ඌට ඇති තරම් තඩිබෑවා. තව තවත් බොහෝ දේ කීවේය.  


රාජ්‍ය පහිංඩක්කාරයෙකුට මග රැක පහරදී මරන්නට තැත් කිරීම අපහාස වන අයුරින් කටයුතු කිරීම රාජකීය කිරීටයට නිගරු කිරීම ආදී අධි චෝදනා යටතේ අවුසදහාමිට විරුද්ධව නඩු පැවරීමට රටේ මහත්මයා පියවර ගත්තාසේම වහාම ඔහු කුදලාගෙන එන්නට ආරක්ෂකයින් දෙදෙනෙක් අවුසදහාමිගේ ගමට යැවීය.  


අාරක්ෂකයින් විසින් අවුසදහාමි නම සහිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන ආවත් සිදුවූයේ මහත් ගැටලුවකි. ඒ නියමිත වැරදිකාර අවුසදහාමි නොවීමයි. නිවැරැදි අහිංසකයෙකි.  
හාමුදුරුවනේ මේ මිනිහා නෙවෙයි මට තඩිබෑවේ අර උස මහත එකා.... ගම්මුලාදෑනියාගේ ප්‍රකාශයෙන් අන්ද මන්ද වූයේ රැගෙන ආ අවුසදහාමිය.  


අනේ අප්පොච්චියේ මට නං මේක තේරෙන්නෙ නෑ හාමුදුරුවනේ. අපේ ඒ අවුසදයා ආරච්චි මහත්තයාට ගහන්නෙ කොහොමද... ඒකා මැරිල දැන් තුන්මාසයක් නොවැ. ඊයේ පෙරේදා දවසක තුන් මාසේ දානෙත් දුන්නානෙ.  


අහිංසක ගැමියාගේ මේ ප්‍රකාශයෙන් පහර කෑ ගම්මුලාදෑනියාගේ පමණක් නොව රටේ මහත්මයාගේද දෑස් උඩ ගියේය.  


ඈහ් එහෙනම් මට ගැහුවේ අවුසදහාමිගේ අවතාරයද දෙයියෝ සාක්කි.. ගම්මුලාදෑනියා මහත්සේ බියපත්ව සිටියේය.  


බලනව මේ වගේ තකතීරු වැඩ හින්දා අපේ වටිනා කාලය. හොල්මන්වලට නඩු දාන මිනිස්සු පිස්සොද? හොඳට සොයා බලල වැඩ කළොත් හොඳා... රටේ මහත්මයා කාටත් අවවාදයක්ද දුන්නේය.  


මෙම සිදුවීමත් සමගම ඒ ගම්මුලාදෑනියා මියයන තුරුම මෙම සුසාන භූමිය අසළින් ගමන් නොගිය බව අපේ පැරැන්නෝ පවසා තිබේ. එපමණක් නොව මේ ඓතිහාසික සිද්ධියත් සමගම නාලගමුව සොහොන් බිම බිහිසුණු හොල්මන් බිමක් බවට නම් ලැබීය. රාත්‍රී කාලයේ මේ අසලින් පිටගම්කාර කිසිවෙකුත් ගමන් කළා නම් ඒ ගමේ අයෙකුගේ පිහිටෙන් පමණය.  


වර්ෂ 1963 වනතුරුම මේ තත්ත්වයෙන් තිබුණ නමුත් මෙම සුසානභූමිය අබියස ශ්‍රී පුණ්‍යවර්ධන යෝගාශ්‍රමය බිහිවීමත් සමගම සියලුදෙනාගේ බිය සැක සදහටම පහවී ගියේය. එහෙත් හොල්මනකට විරුද්ධව නඩුවක් දැමූ සුසාන භූමියක් ලෙසට සත්කෝරළ ඉතිහාසයට එකතු වූ කතාව නම් අපේ පැරැන්නන්ගේ මතකයෙන් මකා දැමිය නොහැකිවූ අපූරු වෘත්තාන්තයක් ලෙසින්ම ප්‍රකට වූයේය.  

 


උබේසේකර කුමාරසිංහ