ලංකාව බැබළ වූ  මහ සිටුවරු   

 

හාරඹ වලව්වේ පැරණි ඡායාරූපයක්

බලපිටිය හාරඹ වලව්වේ අද තත්ත්වය

 

 

බළපිටිය හාරඹ වලව්වේ විසූ ලුවී ද සොයිසා ජයතිලක මහමුදලි අග්‍රගණ්‍ය පඬිවරෙයෙකි.   


ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ගැන පර්යේෂණ රැසක් සිදුකළ මේ මහා පඬිවරයා සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි හා ලතින් යන භාෂාවන් මැනවින් දැන සිටි මහා වියතෙකි.   


බළපිටිය වූ කලී තවමත් හරිහැටි නොලියවුණ මහා වීර කාව්‍යයක් යැයි විටෙක මට සිතේ.   


එද‌ා රට බැබළ වූ මහා මුදලිවරු හා වලව්වල ඉතිහාසය සොයා ගිය ගමන මහා සඟරුවනට කප්රුකක් බදු වූ බළපිටිය මහා කප්පින වලව්වෙන් ආරම්භ කළේ ඒ නිසාවෙනි. ඒ ගැන ලැබුණු දෙස් විදෙස් හි ශ්‍රී ලාංකික පාඨක ප්‍රතිචාරවලට ප්‍රථමයෙන් තුති පුදමි.   


හාරඹ වලව්ව ද බළපිටියේ පිහිටි පැරණිතම වලව්වකි. මෙහි ඉතිහාසය 1806 වසර දක්වා දිව යයි.   


 නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා මෙන්ම බළපිටිය ගුරු විද්‍යාලයේ හා බළපිටිය වත්මන් රේවත ජාතික පාසලේ නිර්මාතෘවරයා වූ දිවංගත ශ්‍රීමත් ලලිත රාජපක්ෂයන්ගේ ද මහගෙදර වූයේ මේ හාරඹ වලව්වය. මහා වියත් ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිගේ සහෝදරියගේ දුවගේ පුතා ලලිත අභය රාජපක්ෂ ශ්‍රීමතාණන්ය.   


ගාල්ල - කොළඹ මහා මාර්ගයේ බළපිටිය රේවත ජාතික පාසල දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් ගොස් දුම්රිය හරස් මාර්ගය පසුකොට ගිය විට ගල්මන්ගොඩ පිහිටි හාරඹ වලව්වට ළඟා විය හැක.   


වලව්භූමියට පිවිස වසර සියයකටත් වඩා පැරණි දෙපස පිහිටි දැවැන්ත නාගස් පේළියක සෙවන මැදින් ගොස් අපි දැන් හාරඹ වලව්වට ගොඩවෙමු.   


 හාරඹේ ද සොයිසා ජයතිලක මුදලිතුමාගේ පුතකු ලෙස වර්ෂ 1816 දී මෙලොව එළිය දුටු ලුවී ද සොයිසා අකුරු කරන්නට වැලිතොට (බලපිටිය) මරද‌ාන පන්සලේ ලොකු හාමුදුරුවන් වෙත එළැඹ තිබුණේ සුභ මොහොතටය. සුභ නැකතට අත්පොත් තබා පිටව යන දරුවා පසුද‌ා ආපසු පන්සලට පැමිණියේ ලොකු හාමුදුරුවන් බැහැ දැක අකුරු ඉගෙනීමටය.   
 පෙර දිනයේ ​ෙලාකු හාමුදුරුවන් ‘අයනු’ ‘ආයනු’ යනුවෙන් දරුවාට අකුරු කියැවුවෝය.   


 ‘හාමුදුරුවනේ, ඊයේ කී අකුරු නේද’ යි ඇසීය.’ ඊයේ කී අකුරු මට මතක තිබෙනවා’ යි දරුවා කීවේ ලොකු හාමුදුරුවන් පුදුමයට පත් කරමිනි.   
 ‘කොහොමද මතක හිටින්නේ?’ ලොකු හාමුදුරුවන් දරුවාගෙන් විමසීය.   


 ‘කෙනෙකු පෙන්නා අද ඔහුගේ නම කිව්වොත් අනික් දවසේ පෙන්නූ විට මට නම මතකයි’ දරුවා කීවේ ලොකු හාමුදුරවන් පුදුමයෙන් පුදුමයට පත්කරවමිනි.   
දරුවාගේ මුවින් පිට වූ වචන අසා ලොකු හාමුදුරුවෝ ඉමහත් සතුටට පත්වූහ.   


 මරද‌ාන පන්සලේ ලොකු හාමුදුරුවන් හා දරුවා අතර එකල සිදුවූ බව කියන දෙබස අදද ගම වහරෙහි පවතී.   


 සංසාර පුරුද්ද අනුව උපතින්ම ගෙන ආ දක්ෂතාවයේ ප්‍රතිඵලය වන්නේ උපන් ගමට පමණක් නොව උපන් රටට උගතෙකු වියතකු බිහි වීමය.   


විදෙස් ආක්‍රමණ නිසා එද‌ා දකුණේ සරසවිය වූ තොටගමුවේ විජයබා මහා පිරිවෙනද අභාවයට පත් විය. ධර්ම ශාස්ත්‍ර යම්තම් ​ෙහා් ආරක්ෂා වූයේ ගමේ පන්සල හා මහා සංඝරත්නය නිසාවෙනි. භාෂා හා සාහිත්‍යයට අමතරව වෛද්‍ය හා ජ්‍යොතිෂයට පන පෙවුණේ ගමේ පන්සලෙනි. ගමේ හාමුදුරුවන්ගෙනි. කියැවීමට ලැබුණේ පුස්කොල ලිපි පිටපත්ය. ගමේ පන්සලේ හාමුදුරුවන් හා ගුරුන්නාන්සේම අකුරු කරවීම සීමා විය.   


අප කතානායක ලුවී ද සොයිසා සිසුවා පන්සල ඇසුරෙන් ඉගෙනුම ලබා පෙරදිග භාෂා පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගැනීමෙන් පසු ඉංගිරිසි බස සිය පුතුට ඉගැන්වීමට මාපියන්ගේ අභිලාෂය විය.   


 අටලොස් වියේ පසුවූ ලුවී සොයිසා සිසුවා කොළඹ ශාස්ත්‍ර ශාලාවට යැවූහ. තම පාලන කටයුතු කරගෙන යාමට එද‌ා ස්වදේශිකයන් යොද‌ා ගැනීම සුදු පාලකයන්ගේ අරමුණ විය. ඉංගිරිසි භාෂාව ඉගැන්වීම සඳහා කෝට්ටේ ආරම්භ කළ ඉංගිරිසි පාඨශාලාවට ලුවී සිසුවා ඇතුළත් වන්නේ දෙගුරුන්ගේ ආශිර්වාද මැදය.   


 ලුවී සිසුවා කෝට්ටේ ඉංගිරිසි පාඨශාලාවට ඇතුළත් වූ දිනයේ සිදුවූ සිද්ධියකින් සෙසු සිසුවෝ ලුවී සොයිසා තරුණ සිසුවා උපහාසයට හා සමච්චලයට ලක් කළෝය.   
 රැවුල ඇති කෙනෙක් හෝඩිය කියන්න ආවා.’ ඔව්හු පැවැසූහ. සෙසු සිසුවන්ගෙන් එසේ සමච්චලයට ලක්වූ තරුණ ලුවී සිසුවා සිව්වසක ඉගෙනුමෙන් අනතුරුව පැවැති පරීක්ෂණයෙන් පළමු තැන දිනා සමච්චලයට පිළිතුරු දුන්නේය.   


 එකල රජයේ තනතුරකට සුදුස්සකු තෝරා ගැනීම සඳහා අවස්ථාවක් උද‌ාවිය. රජයේ උසස් නිලධාරියකු කෝට්ටේ ඉංග්‍රීසි පාඨශාලාවට පැමිණ විදුහල්පතිවරයාගෙන් ඒ ගැන තොරතුරු විචාළේය.   


 ‘ඔව් එහෙම කෙනෙක් හිටියා ඔළුව ලොකු තරුණයෙක්. ඔහු තෝරා ගන්න’ යැයි විදුහල්පතිවරයා රජයේ උසස් නිලධාරියාට දැනුම් දුන්නේය.   
 දින කීපයකට පසු අද‌ාළ තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය උද‌ාවුණි.   


ඒ සම්මුඛ පරීක්ෂණය සඳහා කිහිප දෙනෙකු පැමිණ තිබුණි. එහෙත් බලාපොරොත්තුව සිටින පුද්ගලයා පැමිණ නොසිටියේය. සම්මුඛ පරීක්ෂණය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී කඩිසර ලෙස පාගමනින් එන තරුණයකු දුටු රජයේ උසස් නිලධාරියා ඔහු සිය කාර්යාල කාමරයට කැඳවීය.   


 ඇසූ ප්‍රශ්නවලට තරුණයා දුන් පිළිතුරු රජයේ නිලධාරියාගේ සිත් ගත්තේය.   


 කාර්යාලයට ගිය කඩිසර තරුණයා ඉන් පිටව ආවේ එකල ජනතාව අතර ප්‍රකට ‘රජ්ජුරුවන්ගේ කන්තෝරුවේ ‘මුහන්දිරම්’ පදවිය සහිත තනතුරකින් පිදුම් ලබමිනි. රජයේ භාෂා පරිවර්තක තනතුර ලුවී සොයිසා තරුණයාගේ රජයේ මුල්ම පත්වීම විය. ඒ 1845 වසරේ ජූනි 01 ද‌ා වැනි දිනකය.   


එසේ ඇරඹුණ රාජ්‍ය සේවය තුළ ඔහු දැක්වූ දක්ෂතාව හා හසල දැනුම හේතුවෙන් රුපියල් එක්දහස් අටසීයක වාර්ෂික වැටුපක් සහිතව සිංහල තෝල්ක මුදලි හා ප්‍රධාන භාෂා පරිවර්තක තනතුරට උසස් වීම් ලබා ගැනීමට ලුවී තරුණයා සමත් වූයේ 1863 වසරේ දෙසැම්බර් 01 ද‌ාය.   


 මල් දමකට මල් එක්වෙන්නාක් මෙන්ම තනතුරෙන් තනතුර ඉහළට පියවර තබා 1867 වසරේදී බෙන්තර වළල්ලාවිට කෝරළයේ මුදලි පදවිය ද ඉන් පසුව වාසල මුදලි හා සමස්ත ලංකා සාමවිනිසුරු සම්මාන පදවියෙන් ද පිදුම් ලැබුවේය.   


 රාජ්‍ය සේවයේ තමාට හිමි තනතුරින් හා බලය අනුව රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ගොස් ශාස්ත්‍රීය හා සමාජ මෙහෙවරක් කරමින් සොයාගත් තොරතුරු රට කරවන නිලධාරීන්ට ඉදිරිපත් කළේ මහා මෙහෙවරක් කරා යන ගමනේ තවත් වැදගත් ඉදිරි පියවරක් තබමිනි.   


රජයේ උසස් නිලධාරීන්ට පෙරදිග භාෂා ගැන දැනුම වැඩිකර ගැනීමට තරුණ ලුවීගෙන් ලැබුණේ මහඟු පිටුවහලකි. එකල සිවිල් සේවයේ නියුතු බොහොමයක් නිලධාරීහු තරුණ ලුවී මුදලිගෙන් පෙරදිග භාෂා හැදෑරූ ශිෂ්‍යයෝ වූහ.   


එකල ස්වදේශිකයකුට ලබාගත හැකි උසස්ම පදවිය වූ මහමුදලි තනතුර ලුවී ද ​ෙසයිසා මුදලිඳු වෙත පිරිනමනු ලබන්නේ 1879 වසරේදී මහත් හරසරින් යුතුවය. මහමුදලි පදවිය ලබා වැලිතොට (බලපිටිය) සිය ගම් ප්‍රදේශයට පැමිණෙන විට මගදෙපස තොරණ රැසක්ම ඉදිකර තිබූ බව කියැවේ.   


 එද‌ා අක්කර හතරකින් පමණ තිබූ හාරඹ වලව්ව ඉඩමේ කොටසක අද වන විට රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය පිහිටුවා තිබේ.   


 අශ්ව ගාලක්, ඇත් ගාලක් මෙම මහ මුදලිවරයාට තිබූ බව පැරැන්නෝ කියති. මෙම මහ මුදලිතුමාට පිහිටා තිබූ හිස සාමාන්‍ය මිනිසකුගේ හිසට වඩා විශාල වීම නිසා ඔහුට අපමණ දැනුම් සම්භාරයක් තිබූ බව කියැවේ.   


 එදවස හාරඹ වලව්වේ සිට බැලූ විට මුහුද දුටු බවට කතාවක් තිබේ. වලව්වේ සිට මුහුද එක එල්ලේ බැලීම සඳහා මාර්ගය සකස් කර තිබුණි. බළපිටිය රේවත ජාතික පාසල මැදින් මීට වසර ගණනාවකට ඉහත මෙම මාර්ගය වැටී තිබුණි.   


 භාෂා දැනුමට අමතරව ජ්‍යොතිෂය හා වෙදකම ගැන ද දැනුමක් මේ මහා මුදලිවරයාට තිබූ බව පැවසේ.   


කොස්ගොඩ දෙවැනි වලව්වේ මුහන්දිරම්ගේ දියණිය වූ සොපායා ද සිල්වා ගුණසේකර අභය ශ්‍රී වර්ධන මෙනවිය සමග යුගදිවියට පත් ලුවී ද සොයිසා මහමුදලිවරයා විවාහයෙන් පසුව​ කොස්ගොඩ කුඩාගොඩගම මහවලව්වේ සතුටින් කල්ගෙවූ බව සඳහන් වේ.   


 සුදුවතින් නිති සැරසී සිටින මහමුදලි ලුවීගේ ළමා තැනී මුණගැසෙන කතාබහ කරන හැම විට ‘දුවේ’ ‘පුතේ’ යන ආදරබරව කතා කිරීම නිසා ප්‍රදේශයේ ලොකු කුඩා කා අතරත් ඇය ආදරයට ගෞරවයට පාත්‍රවූවාය.   

 

 


 ජෝර්ජ් ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක බීලී ඇලෙක්සැන්ඩර් යන පුතණුවන් දෙදෙනා හා කැතරින් හා ග්‍රේස් යන දියණියන් දෙදෙනා ලුවී ද සොයිසා මහමුදලිට හා සොපායා ළමා තැනියට ද‌ාව උපන් දරුවන් සිව්දෙනාය.   


ජෝර්ජ් නම් වූ වැඩිමහල් පුතා කොස්ගොඩ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් පදවිය දැරූ අතර දෙවැනි පුතු බීලී මුහන්දිරම් ලෙස කළුතර කච්චේරියේ රාජකාරි කර පසුව පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයේ යෙදී තිබේ.   


 ලුවි ද සොයිසා මහමුදලි කලක් බළපිටිය, ගොඩගෙදර පිහිටි ‘ගජේරුව’ වලව්වේ වාසය කළ බව ද කියැවේ.   


 පෙරදිග රටවල සුදු පාලකයන් එරටවල පැරණි ලිපි ලේඛන සොයා කටයුතු කිරීම ආරම්භ කළේය. එම කටයුත්ත ඉන්දියාව හා ලංකාව වැනි රටවලින් ආරම්භ කෙරුණි. ලංකාවේ මේ රාජකාරිය කිරීමේ වගකීම පැවරුණේ ලුවී ද සොයිසා මහමුදලිටය. මේ අනුව රට​ පුරා ගොස් තොරතුරු සොයා සියලු විහාර පොත්ගුල් පිරික්සීමට එතුමාට හැකි විය.   
 ​ෙපාත්ගුල් පුස්තක (පුස්කොල) නාමාවලිය සකස් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. 1885 වසරේ එය මුද්‍රණයෙන් පළකෙරුණි.   


ලක්බිමේ මුල්ම පදිංචිකරුවන්ගේ විස්තර පිළිබඳ ලුවී ද සොයිසා මහමුදලි ඉදිරිපත් කළ මත හා තොරතුරුවලට මුල්තැන හිමි වූයේ නිතැතිනි.   


 එද‌ා සමකාලීන උගතුන්, වියතුන්, වැදි ජනයාගේ සම්භවය ගැන විවිධ මත පළකළ ද ලුවී ද සොයිසා මුදලිඳුගේ මතය වූයේ වැදි ජනයා කුවේණියගේ දරු දෙදෙනාගෙන් පැවත එන බවය.   


 ‘මාමිනි’ යන වැදි වචනය ‘මාගේ මැණික’ යන ජේ. බේලි මහතාගේ අර්ථය පිළිනොගත් මහාවියත් ලුවී පඬිවරයා ‘මහා පුරුෂයාණනි’ අර්ථය ඉදිරිපත් කළහ. 

 
 සත්කෝරළයේ පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ‘පදසාධන ටීකාව’ සොයා ගත්තේ 1873 දී රිදී විහාරයේ තිබියදීය. හික්කඩුවේ සුමංගල නාහිමියන් හා බටුවන්තුඩාවේ ශ්‍රී දේවරත්ත පඬිතුමන් ඇතුළු පාළි භාෂා විශාරදයන් මෙය කිසිද‌ා නොදුටු ග්‍රන්ථයක් යැයි කියා සතුට පළ කළහ.

   
මුල්ගිරිගල හා උඩුනුවර ගඩලාදෙණි විහාරයෙන්ද පදසාධන ටීකාවේ පිටපත් සොයා ගත්ත ද රිදී විහාරයෙන් සොයාගත් පිටපත පැරණිම පිටපත බවටත් එහි අකුරු පහළොස් වන සියවසේ ගල්අකුරු හා සම වන බවත් කියති.   


 මුල්ගිරිගල විහාරයෙන් හමුවූ මොග්ගල්ලා යන වුත්ති සන්නය මෙන්ම යටපත්ව තිබූ ජාතක කථා වස්තු කීපයකම සැඟව තිබූ නම් සොයා කළ විශිෂ්ටතම ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය වූයේ පන්සියපනස් ජාතක පොත අද පවතින මට්ටමට සකස් කිරීමය. එය සකස් කිරීමට පුරෝගාමීත්වය ගත්තේ මහාවියත් ලුවී ද සොයිසා මහමුදලිය.   


 පැරණිතම සන්දේශ කාව්‍යයක් වූ මියුරු සඳෙ​ෙසහි අත්පිටපතක් මහමුදලි ලුවී ​ෙසායිසා වියතාණන්ගේ පුස්තකාලයේ තිබුණි. මයුර සන්දේශ විවරණ සංඥාපනයෙහි මුනිද‌ාස කුමාරතුංගයන් මේ බවට හෙළි කර තිබේ.   


 ඉන් අනතුරුව ලුවී මහා මුදලිඳු හට ‘මහාවංශය’ නම් වූ පාළි ග්‍රන්ථය ඉංගිරිසි බසට පෙරළීමේ බාරදූර වගකීම පැවරුව ද ඇස් පෙනීමේ හා ශාරීරික දුබලතා නිසා එය මගහැරුණි.   
දැනට අප රටේ පවතින පළාත් මායිම් සීමා නිර්ණය කිරීමේදී අවශ්‍ය කඩඉම් ඉංග්‍රීසි ආණ්ඩුවට ලබා දී තිබෙන්නේ ද ලුවී ද සොයිසා මහමුදලිතුමන් විසිනි.   


එවකට ඉංග්‍රීසි ආණ්ඩුව මේ රට පාලනය කිරීමේදී තනි රටක් වශයෙන් නොව පළාත් වශයෙන් වෙන් කිරීමට අද‌ාළ පැරණි සීමා මායිම් ගැන ඉංග්‍රීසි පාලකයන්ට කියා දුන්නේ බළපිටියේ උපන් මේ මහා මුදලි ධුරය දැරූ අග්‍රගණ්‍ය පඬිරුවන විසිනි.   


 ඒ පැරණි කඩඉම් පොත් නිසා වර්තමාන වාරිමාර්ග ශිෂ්ටාචාරය ගොඩනැගුණි. එම වාරිමාර්ග ශිෂ්චාරය ගැන කියැවූ බ්‍රෝහියර් නමැති ඉංග්‍රීසි ජාතිකයා වැව් සංස්කෘතිය ගැන ලියන ලද ග්‍රන්ථයෙන් ඉංග්‍රීසි ආණ්ඩුව පුදුමයට පත් විය.   


මේ මහා වියත් මහමුදලිතුමා ජීවිතයේ අවසන් භාගයේ පවා ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූයේ රට දැය සමය වෙනුවෙන් කළ යුතු තම යුතුකම වගකීම සිත්හි තදින් දරා ගනිමිනි.   
රාජකීය ආසියාතික සමිතියට අනුබද්ධ ලංකා ආසියාතික සමිතිය 1845 වසරේදී පෙබරවාරි 07 දින සංවිධානය වී ‘රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව’ නමින් එය 1846 වසරේ පෙබරවාරි මස 07 වැනිද‌ා පිහිටුවීය.   


ලංකාවේ ඉතිහාසය, ආගම්, භාෂා, සාහිත්‍ය, කලා සහ අතීත හා වර්තමාන තත්ත්වය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ පවත්වා සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය විය.   


 රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය ලැබූ ලුවී ද සොයිසා මහා පඬිවර මහා මුදලිවරයා ටික කලකදී එහි කාරක සභාවට පත්ව 1866 වසරේදී පුස්තකාලායාධිපති පදවිය ද දැරූහ. කලක් කෞතුකාගාරයේ පුස්තකාලයාධිපති පදිවියෙහිද මෙතුමා කටයුතු කළ බවට ද සඳහන් වේ.   


 1881 වසරේදී එම සමිතියේ ගරු සාමාජිකත්වය ලැබූ මෙහි සිටි අල්පයක් ස්වදේශිකයන් අතර සිටි එකම ස්ව​ෙද්ශිකයා වූයේ ද මෙතුමාය.   


දිවා රෑ නොබලා ශාස්ත්‍රීය කටයුතුවල යෙදීම නිසා ලුවී ද සොයිසා මහමුදලි අග්‍රගණ්‍ය පඬිවරයාගේ ආයු කාලය ද කෙටි විය.   


 මෙවන් උත්තරීතර අනුපමේය උද‌ාර ශාස්ත්‍රීය මහා සේවාවක් තමන් උපන් රට ජාතිය වෙනුවෙන් කළ මහා වියත් ලුවී ද සොයිසා විජයශේඛර ජයතිලක මහ මුදලි 1884 වසරේ මාර්තු මස 02 දින කොස්ගොඩ මහ වලව්වේදී සිය ශාස්ත්‍රීය ජාතික මෙහෙවරින් සමුගත්තේය.   


 අවමංගල්‍යය මහත් හරසරින් කොස්ගොඩ තානායම්පොළ සුසාන භූමියේදී පස්වරුවේ සිදුකෙරිණි.   
 ලුවී ද සොයිසා මහමුදලි වියතාණන්ගේ ජීවිතය පුරා ඇති කතා බොහෝය. ඉන් එක් කතාවක් පමණක්

ගෙනහැර දක්වන්නේ ස්වදේශිකයන් පමණක් නොව වි​ෙද්ශිකයන් ද ඔහුට දැක්වූ ගෞරවය ගැන නිදසුනක් ලෙසිනි.   


ලුවී ද සොයිසා මහමුදලිගේ අභාවය සිදුව ටික කලෙකි. ඒ 1907 වසරයි. කොස්ගොඩ ප්‍ර​ෙද්ශයේ උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවා කොස්ගොඩ පාසලෙහි සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දිනයයි. (සුනාමිය නිසා කොස්ගොඩ පොලීසිය පිහිටි ඉඩමට යාබදව පිහිටි මෙම පාසල සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා විය.)   
කොස්ගොඩ පාඨශාලාවට සම්මුඛ පරීක්ෂණය සඳහා පිරිසක් පැමිණ සිටි අතර ලුවී මහා මුදලිතුමාගේ ළමා තැනිය ද උපශාන්ත ගමනින් පැමිණ එහි නතර වූවාය.   


 ‘මොකද පුතේ මෙතැන සෙනඟ එකතු වෙලා?’ එහි සිටි අයෙකුගෙන් ළමා තැනිය ඇසුවාය.   


‘අද රෙජිස්ට්‍රාර්කම් දෙනවා’ එම පුද්ගලයා කීය.   


 සම්මුඛ පරීක්ෂණය සඳහා පළාතේ දිසාපතිවරයා පැමිණ තිබුණි.   


ළමා තැනිය ගිය ගමන නවතා පළාතේ දිසාපතිතුමා සිටි ශාලාවට ගොඩවැදුණාය. ළමා තැනිය දුටු දිසාපතිවරයා වහා සිය අසුනෙන් නැගිට ළමා තැනිය අසලට ගොස් අතින් අල්ලාගෙන පැමිණ සිය අසුනේ හිඳුවා පැමිණි කාරණය විමසීය.   


‘​ෙමාකද අම්මේ මේ ආවේ..’ඇසුවේ මහත් වූ ගෞරව පෙරදැරිවය.   


 ‘පුතේ මට අහන්ඩ ලැබුණා අද රෙජිස්ට්‍රාර්කම් දෙනවා කියා. අන්න ජෝ නිකම්ම ගෙදර ඉන්නවා. එයාට රෙජිස්ටාර්කමක් දෙන්ඩ කියන්නයි මං ආවේ යැයි ළමා තැනිය දිසාපතිට කීවාය.   


 ‘හොඳයි මම ඒක කරනවා’ යි දිසාපතිවරයා කී පසු ළමාතැනිය ඉන් පිටව ගියාය.   


පසුව සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ සිටි සෙසු පිරිස අමතමින් පළාතේ දිසාපතිවරයා කීවේ ‘ඒ ළමාතැනීගේ ඉල්ලීම කොහොමත් කඩකරන්න බැහැ. කවුරු විරුද්ධ වුණත් ඉටුකරන්න ඕනෑ. කිසිවකුට එය නවත්වන්න බැහැ.’  කියා ළමාතැනියගේ වැඩිමහල් පුතු වන ජෝ ට කොස්ගොඩ රෙජිස්ටාර්කම ලබා දුන්නේ තම ගුරුවරයාට ගෞරවය දක්වමිනි. මේ ඉංග්‍රීසි ජාතික දිසාපතිවරයා ලුවී ද සොයිසා මහ මුදලිගෙන් සිංහල භාෂාව උගත් සිසුවෙකි. සිසුවා සිය ගුරුවරයාට ගරු කළේ එලෙසිනි.   


 ලංකාවේ කඩඉම් හැදීමට බළපිටිය හාරඹ වලව්වේ උපන් මහා වියත් ලුවී ද සොයිසා මහ මුදලිඳු සම්බන්ධ වුණා සේම හාරඹ වලව්වේම උපන් එම පරපුරේ පුරුකක් වූ ඔහුගේ මුනුපුරු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය ධුරයට පත් ලලිත අභය රාජපක්ෂ ශ්‍රීමතාණන් ජාතික කොඩිය නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකත්වය දැරීය.   
 එසේම බළපිටියේ උපන් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමියන් බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේදී ඊට එක්වූ පුරෝගාමී හිමිනමකි.   


එංගලන්තයට ගොස් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් ලලිත රාජපක්ෂ මහතා රාජ නීතිඥවරයකු ලෙස කටයුතු කළේය. බළපිටිය ගුරු විදුහල හා බළපිටිය රේවත ජාතික පාසල පිහිටුවමින් තමා උපන් ප්‍රදේශයේ දරුවන්ට පමණක් නොව අවට ගම්දනව්වල දරුවන්ගේ ණැනස පෑදීමට සිය කාලය, ධනය, ශ්‍රමය වැය කළ මෙතුමා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා ලෙසට ද පත් විය.   


ඩී.ඇස්. සේනානායක යුගයේදී බළපිටිය හාරඹ වලව්ව රටේ දේශපාලන නායකයන් හා ප්‍රභූන් ආගිය තැනකි.   


 ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මැතිඳුන්ගේ දෙටු සොහොයුරිය විවාහ වූයේ එවකට කීර්තිමත් වෛද්‍යවරයකු වූ ඊ.එම්. විජේරාම නැතහොත් එඩ්වින් මැන්දිස් විජේරාම මහතා සමගය.   
ඔහු සිංහල විශ්ව කෝෂය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වචනවලට වැදගත් විස්තරාත්මක ලේඛන සැපයූ ලේඛකයෙකු ද විය.   


 කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වූ ඔහු තමා උපන් බළපිටිය, කොස්ගොඩ උපන් බිමේ බෙහෙත් ශාලාවක් තනවා රජයට පරිත්‍යාග කළේය. අහුන්ගල්ල රාජපක්ෂ මහා විදුහලේ ඉගෙනුම ලැබූ දොස්තර විජේරාම මහතා හා අනුලා වි​ෙජ්රාම මැතිනිය තමන් ජීවත් වූ කොළඹ කුරුඳුවත්තේ ‘හංස ශ්‍රී’ නිවස 1964 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිරිනැමූ අතර එයින් වසර දහයකට පසු තම බිරිඳට ද‌ායාද ලෙස ලැබුණු බළපිටියේ හාරඹ වලව්ව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට පරිත්‍යාග කළේ මේ රටේ අසරණ දූ දරුවන්ගේ යහපත හා ඔවුන්ගේ සෙවන වෙනුවෙනි.   


 ඒ අනුව ආරම්භ කළ අනුලා විජේරාම ළමා නිවාසය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිතුමා සුරතින් විවෘත කොට මේ වන විට වසර 43 ක පමණ කාලයක් සපිරේ.   


බළපිටිය තරුණ බෞද්ධ සංගමය මෙන්ම බළපිටිය මිගෙට්ටුවත්තේ, ගාල්ල-කොළඹ මහා මාර්ගය අයිනේ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමියන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් පිහිටුවීමට මුල් වූයේ ද බළපිටියේ හාරඹ වලව්වේ උපන් ලලිත රාජපක්ෂ ශ්‍රීමතාණන්ය.   


 පසුගිය දිනක සවස් වරුවේ මා හාරඹ වලව්වට ගියේ මා මිතුරු ධම්මික පෙරේරා වික්‍රමරත්න මහතා සමගිනි. බළපිටියේ දැනට ඉතිරිව තිබෙන වලව් කීපය අතුරින් හාරඹ වලව්ව පැරණිතම වලව්වකි.   


හාරඹ වලව්වේ පිහිටි අනුලා විජේරාම ළමා නිවාසයේ පාලිකාව ලෙස වසර විස්සක පමණ කාලයක් සේවය කරන ප්‍රධාන පාලිකා නිලානි මෙනවිය මෙහිදී සිහිපත් කළ යුතුය.   
වසර දෙසීයකට වඩා පැරණි වලව්වේ වහල සිංහල උළු සෙවිලි කර තිබෙන අතර මෙහි බිත්ති ගොබලු කහට හා මී පැණි, බෙල්ලාටු ගස්වල කහට යුෂ මිශ්‍ර බද‌ාමයකින් තනා ඇති බව පැරැන්නෝ කියති.   


 ආලින්ද දෙකකින් යුත්​ මෙහි ඉහළ මාලයේ මුදලිවරුද දෙවැනි මාලයේ ආරච්චි, විද‌ානේ, කංකානම්වරු හා සුළු මුලාදෑනිවරුන්ට අසුන් පනවා තිබූ බව ඉතිහාසයේ කියැවේ. මෙම ආලින්දය වරක අධිකරණ ශාලාවක් ද වී තිබේ. ප්‍රධාන උළුවස්ස වසර දෙසීයක් පැරණිය. තොරණ ආකාරයෙන් සකස් වූ මෙය මිල කළ නොහැකි වටිනා නිර්මාණයකි.   


 මෙහි සටහන් කළ යුතු තවත් කරුණකි. කොළඹ විජේරාම මාවත නම් කර ඇත්තේ මෙම වලව්වෙන් විවාහ වූ දිවංගත දොස්තර විජේරාම මහතාට උපහාර ලෙසිනි. බළපිටියේ මහා කප්පින වලව්වට අත්වූ ඉරණම බළපිටියේ හාරඹ වලව්වට වෙන්නට ඉ​ඩ නොදී මේ උරුමය රැකගැනීමට ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇති බව සටහන් කරමින් හාරඹ වලව්වෙන් සමුගනිමි.   

 

 


සටහන හා ඡායාරූප   
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා