ලංකාවේ අභිරහස් ස්ථාන

 

 

ලංකාවේ දෙවන උසම කන්ද වන්නේ කිරිගල්පොත්තයි. එය හැර කිරිගල්පොත්ත ලෙස නම් ලත් වෙනත් කන්දක් පිළිබඳ අති බහුතරයක් සංචාරකයන් දැන සිටියේ නැති නමුත් මේ නකල්ස්වල සිව් වන උසම කන්ද කිරිගල්පොත්ත බවත් මෙහි පළමු ලිපිය පසුගිය සතියේ පළවූ බවත් ප්‍රථමයෙන්ම සිහි ගන්වමි. 

GPS සිතියමට අනුව අප පෙර සලකුණු කොට පැමිණි කඩඉම් 4න් දෙකකට ළඟා වුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. දෙවන නැවතුම් පොළ වූයේ කිරිගල්පොත්තේ උතුරු බෑවුමේ රත්තොට බඹරකිරිඇල්ල පෙදෙසට වන්නට නාය ගිය ස්ථානයේ පටන්ගැන්මට මදක් ඉහළින් පිහිටි කුඩා පතනකි. උදෑසන ආහාරය සහ සමූහ ඡායාරූපය රැගෙන අප නැවතත් දුම්බර වනරොදට පිවිසියේ GPS මාර්ගයේ ගමන් කරමින් තෙවන නැවතුම්පොළ සොයා ගැනීමටයි. 


කට්ටිය පොඩ්ඩක් අහන්න. තව පැය දෙකක් ඇතුළත අපිට කන්ද මුදුනට යන්න පුළුවන්. මේ වෙනකම් අපි කපාගෙන ආපු පාරට වඩා ඉදිරියේ අපිට යන්න තියෙන පාර ගොඩක් අමාරුයි. දැන් අපි ඇතුළුවෙන්නේ ගූගල් සිතියමේ සුදු පාට මීදුමෙන් වැහිලා තියෙන කොටසකට. ඒ හින්දා කට්ටිය ඉක්මන් ගමනින් එකා පිටිපස්සේ එන්න. නවතින්න එපා. ඒ මගේ විධානය විය. මන්ද සිතියම ආධාරයෙන් සේම මේ දක්වා පැමිණි වන පියසේ සංයුතිය සහ ඉදිරි වන පියසේ අප දුටු සංයුතිය පිළිබඳ ඉවෙන් මෙන් අප දන්නා නිසා කල්තියාම නඩය දැනුම්වත් කළේ අනතුරුදායක ස්ථානවලින් ආරක්ෂා විය යුතු නිසාවෙනි. 


වන පියස දැඩි ලෙස නිහඬය. නිසොල්මන්ය. සමස්ත වනයම වසා ගෙන ඇත්තේ නෙලු ශාක වලිනි. අඩි තුන හතරක පරතරයක දැවැන්ත ගස් පිහිටා තිබූ අතර ඒ සියලුම හිඩැස් අතර එක යායට අංශක 360කට කෙළවරක් නොපෙනන ඉසව්ව වෙන තුරු තිබුණේ අඩි 3ක් පමණ උසට වැඩුණු නෙලු ගස් සමූහයයි. නෙලු ගස්වලට වඩා අප උස් වූ බැවින් නෙලු ගස් අතරින් ඉදිරියට යන අපගේ පෙනෙනුයේ ඔළුව කොටස පමණි. මන්ද නෙලු ශාක අතරින් ඍජුවම යන විට පිටුපසින්ද අප නැවතත් නෙලු ගස්වලින් වැසෙන හෙයිණි. 


දෙපා හෝ පොළොවේ පවතින බාධක අපට නොපෙනුනද මෙවන් කැලයක පොළොව දඩි අනතුරුදායක නොවන බව අප දැන සිටියේ මින් පෙරද මෙවැනි නෙලු පිරි උයන් අපට හමුව තිබූ හෙයිණි. 


නෙලු ශාක පත්‍ර තරමක් විශාලය ගසේ කඳ තද නොවන අතර එක පොකුරට ගස් වැවී ඇති හෙයින් අතු මගින් මුළු වනයම එකම පොළොවක් ලෙස දිස් විය. නෙලු මල් පිපුණු ඉසව්වද කදිම වූ අතර නෙලු ගස් කොළ සහ අවට තුරු මුදුන් අතර ප්‍රදේශය දැඩි ලෙස අන්ධකාරයක ගිලී තිබුණි. පරිසරයේ අඳුරු බව කියැවුණේ ගුප්ත කථාවකි. අදෘශ්‍යමාන බලවේග පිළිබඳ මැවෙන චිත්‍රපටයක ගුප්ත පරිසරයක පසු බිම වැනි අත්දැකීමක් අපි මෙහි වින්දෙමු. මුළු වන පියසම එකම මීදුමෙන් වැසී යන ලදී. විසල් තුරු කඳන් හැර අනෙක් හිස් අවකාශය සුදු මීදුමෙන් පිරුණේ ඇසිපිය ගසන්නටත් මත්තෙනි. 


මෙවැනිම පරිසරයක් අප අවාරේ මහ වැස්සේ සිරිපොදේ යන විටත් නකල්ස්හිම උසම කන්ද වන ගොම්බානියා කන්ද තරණයේ දී අත්විඳ ඇති නිසා එතරම් තර්ජනාත්මක බවක් අපට නොදැණුනු නමුත් මුල් වරට මෙවැනි ගමනක පැමිණි නඩයේ කිහිප දෙනෙකුට මෙම සජීවී අත්දැකීම සිහිනයක් දෝ කියා සිතෙන තරමට පුදුමය දනවනසුලු විය. මිනිස් වාසයෙන් කිලෝමීටර් 5ක පමණ දුරින්ද පැය 4කට ආසන්න දුෂ්කර කඳු තරණයක ද සිටි හෙයින් මෙවැනි අත්දැකීමක් ලංකාවේ බොහෝ අයට විඳගැනීමට අවස්ථාව නොලැබෙනු නොඅනුමානය. නමුත් ලංකාවේ අතිශය දුෂ්කරම ඉසව් කෙසේ හෝ සොයාගෙන තරණය කරන අය සොබාසිරි කණ්ඩායමට මෙය තවත් අභියෝගයක් පමණක් විය. 


වේවැල් හාතාවාරිය වැනි කටු සහිත ගස් අතරින් ද ගමන් කරමින් නෙලු කැලය ඉවර වූ පසු අපි ඍජුවම අංශක පනහක පමණ ආනතියකින් යුත් කන්දක් නැගීමට පටන් ගත්තෙමු. මේ වන විට අප විසින් සලකුණු කරගෙන පැමිණි තෙවන නැවතුම්පොළට ආසන්නව සිටි අතර ප්‍රදේශයේ තෙත් ගතිය සහ මීදුමේ ඝණත්වය එන්න එන්නම තීව්‍ර වන්නට විය. මෙසේ ගමන් කරමින් සිටිය දී එකවරම අප පිවිසියේ බට කැලයකටයි. 

 


උණ බට යනු කැලයක ජලය සොයා ගත හැකි හොඳම නිදසුනක් වන්නේ ඒ තුළ ජලය අන්තර්ගත හෙයිනි. ඒ නිසාමදෝ සමස්ත උණ කැලයම අපගේ හිසටත් උඩින් ජල බිඳු කඩා වැටෙන්නට විය. වර්ෂාවකින් තොරව අප තෙත් වන්නට වූයේ පරිසරයේ තිබූ අධික තෙත් බවයි. පෙර කී පරිදි අප මෙම කන්ද වලාකුළු වනාන්තරයක් ලෙසට සැලකීමට ගත් තීරණයේ නිදසුන මෙම ඉසව්ව තුළ අපට පැහැදිලි විය. මන්ද ගූගල් චන්ද්‍රිකා සිතියමටත් මීදුම වලාකුළින් වැසුණු කන්දේ මෙම කොටස තුළ වාතයේ තෙතමනය අධික විය. එමනිසාම මෙම මුදුනත නිතරම වලාකුළින් වැසී පවතින්නේ ජල අංශුවල ක්‍රියාවලිය හේතුවෙනි. උණ යාය තුළ ජනනය වන ජලය වලාකුළු සමග එකතු වීම අපට ද දක්නට ලැබිණි. පොළොව ද අධික තෙත් ගතියෙන් යුක්ත විය. අප අවට සහ ඉහළින් ජල බිංදු කඩා වැටෙන්නට විය. 


කිරිගල්පොත්ත යනු හුළුගඟේ උපත පිහිටි කන්දයි. තවද මීට යාබද ගොම්බානියා කඳුවැටියෙන් සුප්‍රකට තෙල්ගමු ඔය නිර්මාණය වේ. තෙල්ගමු ඔය මුල් දියවර පිහිටියේ කිරිගල්පොත්ත හා ගොම්බානියා කඳු අතරය. එම නිසා කිරිගල්පොත්ත කන්ද තෙල්ගමු ඔයට ජලය සපයන අතිරේක ජල පෝෂක කන්දකි. තවද උතුරු බෑවුමෙන් නායගිය ස්ථානයේ සිට පහළට ගලා යන දියවර තවත් දිය උල්පතකට කදිම නිදසුනකි. මෙම සියල්ල එකතු වන ස්ථානය නම් ගූගල් චන්ද්‍රිකාවල සිතියම්වල (Satellite Maps) වලාකුළින් වැසී තිබෙන අපගේ තුන්වෙනි නැවතුම් පොළ පිහිටි ඉසව්වයි. 


බට කැලේ ගමන බොහෝ දුෂ්කර වූයේ යන්තමින් හෝ අඩි පාරක් සකසා ගෙන ගියද මග අහුරමින් බට වැටී තිබුණු හෙයිනි. එසේම පස එරෙන සුලු වූයේ අධික තෙතමනය නිසාවෙනි. පරිසරයේ ගුප්ත බවත් අන්ධකාරය දසතින්ම වෙලා ගන්නා විට අප බටකැලය පසුකරමින් ගමනාගමනයේ අවසන් අදියර වෙත ළඟා වෙමින් තිබූ බව GPS මගින් දැක ගත හැකි විය. බට කැලය අවසන් විය. 


මීළඟට අප පිවිසි කැලය මා හට සිහිපත් කළේ අප නැග්රුක් සිට හෝර්ටන් තැන්නේ අභ්‍යන්තර වන රොදකට පිවිස ගලගම ඇල්ල සොයා ගිය ගමනයි. එහිද පරිසරය වර්ණවත් වූයේ කොළ පාටේ විවිධ වර්ණ ස්ථර මගින් සේම සෑම ගස් කඳකම තිබූ පාසි වර්ග මගිනි. මෙම ඉසව්ව ද එලෙසමය. විශාල වේවා කුඩා සිහින් කඳන් වේවා කැඩී වැටුණු ගස් කඳක් වේවා මේ සියල්ලෙම මුළුමනින්ම පාහේ පාසිවලින් වැසී තිබුණු හෙයිනි. ගස් කඳන් බොහෝමයක් කළු පැහැතිය තෙත්ගතිය බහුල නිසා දිරාපත්වීමටත් ලක්ව තිබුණි. බට කැලයට වඩා මෙම කොටස තවත් අමාරු වූයේ මෙහි බොහෝ ස්ථානවල අපට කෙළින්ම සිටගෙන යාමට නොහැකි වූ නිසාවෙනි. 
මෙම ඉසව්ව මුහුදු වට්ටමේ සිට මීටර් 1600 කිට්ටුවට පැවැති අතර දැඩි ශීත කාලගුණයක් වූයෙන් මෙම ඉසව්වේ අප කූඩැල්ලන්ව දුටුවේ නැත. එම නිසාම දෙකට නැවී පොළොවට අත තබා ඉදිරියට යාම ගමන ඉක්මන් කරවීය. GPS සිතියම අනුගමනය කිරීම සාර්ථක කරමින් අපි මීටර් 1630 ක් උසැති කඳු මුදුනකට පැමිණියෙමු. සිතියමේ ලකුණු කළ කන්දේ ඉහළම මුදුනට මීට ටිකක් දුරින් පිහිටියද මෙම ස්ථානයට ආ කල දසතින්ම අපට පෙනුණේ පහළ හෙළයි. 


නමුත් GPSවලට අනුව කඳු මුදුන සහ කන්දේ උස ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියම වල මීටර 1648 ක් ලෙස සඳහන් වූ නිසාවෙන් නඩයම මෙම කඳු මුදුනේ තබා මා සහ මධුසංක සොයුරා නැගෙනහිර දිශාවට පල්ලම් බැස ගියේ අනෙක්කඳු වැටිය සොයා ගැනීමටය. මීදුම පහව ගිය පසු අපි තවත් කඳු මුදුනක් දුටුවෙමු. නඩය සිටි ස්ථානයෙන් මීටර 800 ක් පමණ පහලට බැස කුරු ශාක පිරුණු ඉඩමක ගල්තුලාවකට අප ළඟා වුණෙමු. එහි කොටියාගේ වසුරු පවා අපි දුටුවෙමු. 


පසුව අප ගොස් නඩය එම ස්ථානයට කැඳවා ගෙන ආපසු අා ගමනේ දී පවා නැවතත් නෙලු කැලයක් මැදින් යාමට අපට සිදු විය. එහිදී මුදුනේ උල්පතක් තිබිණි. කෙසේ හෝ නඩයම ගල්තලාවට ගෙන්වා ගත් පසු අපි නවාතැන් අවට කන්දේ කෙළවරවත් පිරිස්සන්නටවීමු. එහිදී අප ගල්කිරිපොත්ත කන්දේ සහ දකුණු දිශාවේ කෙළවරද හමුවූ අතර පෙර මාසයේ අප සුදුගල කන්දට ගිය ​ඉසව්වද එහිදී දැක ගැනීමට ලැබුණි. 
ඇස් අදහාගත නොහැකි තරම් පරිසරය පුදුමාකාරය. ඊටත් වඩා මෙම නිමැවුම් පුදුම සහගතය. මන්ද අප මෙම කෙළවරට පැමිණි සුළු බෑවුමක් ගොස් මීදුම පහව ගිය පසු අප සිටි ඉසව්ව ට දකුණු පසින් පොළ පහළට නෙරා ගිය දැවැන්ත ගල් පර්වතයක් දුටුවෙමු. එහි ගිය අපි සුන්දර දර්ශන දුටු අතර මෙම ස්ථානය මදක් උස්වූ බැවින් එතන සුළු වේලාවක් ඉඳ නැවත  බලන විට අපට නඩය සිටි ස්ථෘනයට මදක් දුරින් හා ඉහළින් ක්ෂණිකවම කන්දක් දැකගත හැකි වුයේ මීදුම එහෙ මෙහෙ වූ නිසාවෙනි. 

 


හණිකට එම ස්ථානය කරා ගිය අප පුදුමයට පත්කරවන දර්ශන දැක ගැනීමට ලැබුණි. එකම විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ විවෘත අවකාශය අැති දැවන්ත කළු ගල් තලාවකි. එය බොහෝ දිගය. එම කන්දේ කෙළවරට ගිය පසු අපගේ ගමනේ සාර්ථකත්වය අපට දැකගත හැකි විය. 


එනම් මීට සියවසකට පමණ පෙර මෙහි මිනුම් කටයුතු සඳහා පැමිණි සුදු ජාතිකයා විසින් කළ සටහනයි. එය පවතින ගල් පර්වතයක කොටා තිබුණේ මෙසේය. Cerskine april 18 to 29. 1910 මෙය තවමත් පැහැදිලිව දැක ගත හැකි විය. එය පිහිටියේ කන්දේ උසම ස්ථානය වන මිටර් 1648 අපගේ මෘදුකාංගයේ සටහන් වූ ස්ථානයටයි. 


එක එකා නඩයේ පිරිස මෙම ස්ථානයට ළඟවූයේ ඝන මීදුමක් මැදය. මීදුම අතරින් කෙනෙකු පැමිණීම විටෙක චිත්‍රපට දසුනක භීතිය දනවන රූපරාමුවක් ලෙස පෙනුණි. අප පැමිණි මොහොතේ සිට විනාඩි දහයක් පමණ යන තුරු මීදුම පහව නොගියහ. මීදුම මඳකට පහව ගිය විට අප දුටුවේ දසුදුගල කන්ද සහ ගොළුම්බානියා කඳුවැටියයි. පහළ පයිනස් කැලය අසල සුදු පාට බංගලාව ඇති බවත් එම නිම්නය ඇටන්වල ගම දක්වා පෙනෙන බවත් අපි දුටුවෙමු. 


කෙසේ හෝ හෝරාවක් පමණ අපි කන්ද මුදුනේ ගිමන් හැරියෙමු. වෙලාව දවල් 1 ට ආසන්න වූ නිසාවෙන් සියල්ලෝම දිවා ආහාරය ගන්නට වූහ. මෙම ස්ථානයේ සුළං ප්‍රවාහය ඉතාමත්ම අධිකය. අපව පහළට ගසාගෙන යන තරම් මා සුළඟ දරුණු විය. අපට මතක් වූයේ මෙහි ඊසාන දිගින් පිහිටි රිවස්ටන් කන්දයි. මෙම කඳුවල මහා අසාමාන්‍ය ලක්ෂණයක් වූයේ අධික සුළඟය. මෙය ගිය මස සුදුගල .. අප අත්වින්දෙමු. 
මීදුම වලාකුළුවලින් වෙළා ගස් පරිසරය රතු කහ කොළ සුදු පැහැයෙන් ගස් පුෂ්ප හා අතු රාශියක් විය. කවද මීටර් 1900 ට වැඩි උසින් යුත් ​හෝර්ටන් තැන්නේ පමණක් අප දැක ඇති මහරත්මල් ශාක මීටර් 1648 ක් වූ උසින් යුත් නකල්ස් හි කඳු වැටියක තිබීම සුවිශේෂී විය. 


කෙසේ හෝ ගමන අවසන් කර අප නැවතත් කපාගෙන පැමිණි මහ දිගේ පහළට ගමන් කර පසු ගම්මානයට ළඟා වූයේ හතරේ කණිසමටය. කෙසේ හෝ අපි පෙර සුදු මහත්වරු මිනුම් කටයුතු කළ නකලස් වන පෙතේ සිවුවන කන්ද වන කිරිගල් පොත්ත මත තරණය කළෙමු. සංචාරක සටහන හා ඡායාරූප 

 

 


ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු