උඩරට රාජධානි සමයේ යස ඉසුරින් වැජඹුණ වලව් අතර ඇහැළේපොළ, පිළිමතලාව, කැප්පෙටිපොළ, මඩුවන්වල, මහවලතැන්න, ලෙව්කේ වැනි වලව් විය. අධිකරණ හා පාලන බලය හිමි දිසාව පාලනය කළ නිලමේවරුන් දිසාව නම් වූ අතර ඔවුන් වැඩිපුරම ජීවත් වූයේ මහනුවරය. දිසාව කෙනකු පත් කිරීමේදී ඇතකු හෝ අශ්වයකු තෑගි දීම සාමාන්‍ය සිරිතය.


(උඩරට මහ කැරැල්ල - තෙන්නකෝන් විමලානන්ද)   
ක්‍රි.ව. 1873 සිට 1892 දක්වා මහනුවර දිස්ත‍්‍රික් විනිශ්චයකාරවරයා ලෙස කටයුතු කළ ඒ.සී. ලෝරි මහතාගේ ගැසටියර් නම් ප‍්‍රකාශනයේ සඳහනක් මෙසේය.   


1817-1818 දක්වා පැවැති උඩරට කැරැල්ලත් ඉංග‍්‍රීසීන් විසින් ඒ මැඩ පැවැත්වූ අකාරයත් පිළිබඳව ලැජ්ජාවෙන් තොරව පැවසිය නොහැක. 1819 වනවිට ප‍්‍රභූ පවුල්වල සාමාජිකයන් එක්කෙනකු හෝ නොසිටි තරම්ය. තුවක්කුවට කඩුවට හෝ නෙරපීමට ලක් නොවුණ කිසිවකු වූයේ නම් ඔවුහු ද කොලරාවට හා වසූරියට බිලි වී සිටියහ. ඔවුන්ගෙන් පැවතෙන්නන් ද ජීවතුන් අතර නොසිටි අතර නායකත්වයක් නොමැති ගැමියෝ නොදැනුම්වත්කමින් හා මන්දෝත්සාහි බයෙන් යටපත් වී සිටියහ.  

 
දිසාවරුන් පිළිබඳ කොතෙකුත් විස්තර සඳහන්ව පැවතියත්, ලෙව්කේ දිසාවරුන් පිළිබඳ අතරින් පතර තොරතුරු සඳහන්ව තිබුණු බැවින් වැඩිමනත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් අපි ඔහුගේ ගම් බිම් සොයා ගියෙමු.   


මාවනැල්ලෙන් හැරී, උස්සාපිටිය තෙක් ගොස් ගලතර මාර්ගයේ සුදුගල හන්දියෙන් හැරී, කිලෝ මීටර් දෙකක් පමණ ගල්පතුරු මතුවී ඇති ඉතා දුෂ්කර පටු මාවතේ රබර් වතු, ගල්වළවල්, මූකලාන පසුකර ගමන් කිරීමේදී පාරේ කෙළවර ලෙව්කේ වලව්ව හමු විය.   
ලෙව්කේ යනු එම ග‍්‍රාමයේ නමයි. වලව්වක ලක්ෂණ විද්‍යමාන නොවුණ වලව්වට පිවිසි විට ලෙව්කේ පරපුරේ කෙනකු යැයි සිිතිය හැකි අයෙක් අපට හමු විය. අපගේ පැමිණීම මුලදී නොරිස්සූ ඔහු පසුව අප හා කතා කළේය.   


දේවවංශාධාර අර්වින් රත්වත්තේ  
‘‘ලෙව්කේ වලව්ව මේක තමයි. දිසාව යුද්ධවලට ගියේ මෙහේ ඉඳලා. මගේ පනත්තා වෙනවා. උතුරු ඉන්දියාවෙන් ඇවිල්ලා දෙවුන්දරින් ගොඩබැහැලා තියෙනවා. හංවැල්ලේදී ඉංග‍්‍රීසින් එක්ක යුද්ධ කරලා තියෙනවා. රජු පැනලා ගිහින් තියෙනවා. තනියම තමයි යුද්ධ කරලා තියෙන්නේ. පිළිමතලාවේ, රජුට බොරු කියලා ලෙව්කේව 1812 මරලා දාලා තියෙනවා.   


එතුමාගේ කාලතුවක්කුව නුවර කෞතුකාගාරයේ තියෙනවා. කසාද බැඳලා හිටියේ නැහැ. දරුවෝ නැහැ. තල්ගහගොඩ රත්වත්තේ කුමාරිහාමි හදා ගත්තා. එයාගේ පරපුරෙන් එන අයට දේපළ අයිති වුණේ. මගේ අක්කාගේ පුතාටයි දැන් අයිති. මගේ වයස අවුරුදු 82යි”   


ඉහත කරුණුවල සත්‍යාසත්‍ය විමසා බැලීමේ අටියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් කරුණු විමර්ශනය කර බැලූවෙමි.   
ලෙව්කේ පවුලේ ආදිතමයන් 11 වන ශතවර්ෂයේ පළමුවන විජයබා රජ සමයේ ඉන්දියාවෙන් පැමිණ ලංකාවේ පදිංචි වූ බ‍්‍රාහ්මණ පවුල්වලින් පැවත එන්නන් යැයි ජනප‍්‍රවාදයේ පවතී.   


(ජන උරුමය - මිරැන්ඩෝ ඔබේසේකර)   
ලෙව්කේ දිසාවරුන් දෙදෙනකු පිළිබඳ සඳහන් වන අතර ඔවුහු හතර කෝරලයේ උපන් වංශවත් අය වූහ. ලෙව්කේ රාලහාමිගේ පුත‍්‍රයා වූ පළමුවන ලෙව්කේ 1698 වැලිවිට උපන් ශ්‍රී සරණංකර ඝංඝරාජයන් තරුණ සාමණේර භික්ෂුවක ලෙස සිටි අවස්ථාවේ, උන්වහන්සේට පාලි වියරණ උගැන්වූ බව සඳහන් වේ. (ශ්‍රී සරණංකර - සර්. ඩී.බී. ජයතිලක)   


එකල පාලි භාෂාව දැන සිටි කීපදෙනා අතරින් එක් අයකු ලෙස ලෙව්කේ සැලකෙන අතර කලක් පැවදිව සිටි හෙයින් විහාරයේ ‘‘රාලහාමි” නමින් ද හඳුන්වා ඇත. ලෙව්කේ විවාහ වී සිටියේ දෙවන රාජසිංහ රජු සමයේ තුන් කෝරලයේ හා සතර කෝරලයේ දිසාව වූ ඒදඬුවාව දිසාවගේ දියණියක් සමගිනි. (ශ්‍රී ලංකා ඉතිහාසය - II වන කාණ්ඩය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)   


ලෙව්කේ කලක් සිරගතව සිටි හෙයින් විජය රාජසිංහ රජුගේ මුල් සමයේ පවුල පිරිහී ගියේය. එහෙත් ඕලන්ද තානාපති ජේ.එන්. ෂ්නි 1731 මහනුවරට පැමිණි අවධියේ ලෙව්කේ මොහොට්ටාල, ලේකම් පදවියක් ඉසිලූ බව සඳහන් වේ. අන්තිමේ සිංහලේ රජවූ ශ්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජු හට පුතකු නොවූ හෙයින් රාජ්‍ය උරුමය පිළිබඳව ගැටලූ මතු වූ අතර රජුගේ සිංහල ගොවි කුල යකඩ දෝලි බිසවගේ පුත් උනම්බුවේ කුමරාට සියසුන හිමි කර දීමට ලෙව්කේ උත්සාහ ගනු ලැබීය.   


නමුත් නරේන්ද්‍රසිංහ රජුගේ බිසවගේ සහෝදරයා ශ්‍රී විජය රාජසිංහ නමින් රජ වූ අතර මෙසේ නායක්කාර් වංශය රාජ්‍ය උරුමයට හිමිකම් ලැබීය. ලෙව්කේ නායක්කාර් වංශය රජවීම පිළිබඳව විරෝධය දැක්වූ පක්ෂයේ නායකයාව සිටි අතර ඔහුගේ දේශප්‍රේමී භාවය ඊට හේතු වී යැයි සිතිය හැකිය.   


ඇහැලේපොළ අදිකාරම රජවාසලේ බලවත් අයකු වූ බැවින් එසේ සිටීම සිහසුනට තර්ජනයක් බව සිතූ රජතුමා අදිකාරම්ගේ ප‍්‍රතිපක්ෂයේ පුද්ගලයන් උසස්කොට තබා එමගින් ඔහු මැඩ පැවැත්වීමට අදහස් කළේය.   


ඇහැළේපොළ විරෝධී පක්ෂයේ නායකයා වූයේ ලෙව්කේය. පවුලේ කෙටීමේ ප‍්‍රතිපත්තිය විදේශීය රජ පෙළපතකට තම උරුමය රැක ගැනීමට ප‍්‍රකට උපාය මාර්ගයක් වූ අතර මේ ප‍්‍රතිපත්තිය අවසන් නායක්කාර් රජ වූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජ විසින්ද කරන ලද්දකි. ලෙව්කේගේ වැරදි අමතක කළ රජතුමා තුන් කෝරලේ හා හතර කෝරලයේ දිසාවේ තත්ත්වයට ලෙව්කේ පත් කරන ලදී.   


 ඕලන්ද පළාත්වල ආණ්ඩුකාර (1736-1740 බැරන් ෆන් ඉම් හොෆ් 1740 මාර්තු 12 වන දින ලියූ ලිපියක ලෙව්කේ තුන් කෝරලයේ හා හතර කෝරලයේ දිසාවේ ලෙස සඳහන් කරයි. (උඩරට රාජධානිය - ලෝනා ශ්‍රීමතී දේවරාජ)   


කොළඹ පහත රට හා මහනුවර උඩරට අතර මහා මාර්ගයේ වැඩි කොටසක් මේ හරහා වැටී තිබුණ බැවින් ලන්දේසි හා රජවාසල අතර ගනුදෙනු වූ සියලූ ලිපි යවන ලද්දේ මේ දිසාවේ මගිනි. මෙසේ ලෙව්කේ දිසාව වැදගත් වූ අතර ලන්දේසීන්ගේත් රජතුමන්ගේත් සිත් දිනා ගෙන කටයුතු කළ ඔහු දක්ෂ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු විය.   

 


ලෙව්කේ ශ්‍රී විජය රාජසිංහගේ විශ්වාසය දිනා සිටි හෙයින් 1744 දී ලෙව්කේ විජේසුන්දර, රාජකරුණා හේරත් මුදියන්සේට ගම්බිම් ප‍්‍රදානය කරන ලදී. (1744 ලෙව්කේ සන්නස) මෙය ප‍්‍රවේණි දීමනාවක් වූ හෙයින් ලෙව්කේගේ දරු මුනුබුරන්ටද ඉඩම් පිළිබඳ සම්පූර්ණ අයිතිය හිමිවිය.   


ඇහැළේපොළ පළමුවන අදිකාරම් පදවිය ද පිළිමතලාවේ දෙවෙනි අදිකාරම් පදවිය ද දැරූ නමුත් එය සිංහාසනයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි සිතූ රජතුමා දෙවැනි අදිකාරම් තනතුර ඇහැළේපොළ විරෝධියෙකු වූත් ලෙව්කේගේ ඥාතියකු වූත් සමනක්කොඩිට පැවරීය. රජතුමා ලෙව්කේ හට ඉඩම් ප‍්‍රදානය කිරීමේ හේතුවෙන් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ක‍්‍රි.ව. 1745 දී අලංකාර කැටයමින් යුතු රෝද යුගයක් මත නංවන ලද කාලතුවක්කුවක ආකෘතියක් තනා එය පිරිනැමූ දිනය ද ඒ මත කොටා රජුහට පරිත්‍යාග කළේය.   


1765දී ලන්දේසීන් මහනුවර ආක‍්‍රමණය කළවිට මෙම කාලතුවක්කුව ලන්දේසි ආණ්ඩුකාරයා වූ බැරන් වෑන් එක් විසින් අයිතිකරගෙන එහි අලංකාර බව සලකා ඕලන්දයේ රජු වූ 5 වන විලියම් කුමාරයාහට යැවීය. ඕලන්දයේ රික්ස් කෞතුකාගාරයේ එය ප‍්‍රදර්ශනයට තබා ඇති අතර එහි ආකෘති කොළඹ කෞතුකාගාරයේද, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේද ප‍්‍රදර්ශනයට තබා ඇත.   
ලෙව්කේ දැඩි බෞද්ධ භක්තිමතකු ද වූ අතර උපසම්පදාව යළි ලංකාවේ පිහිටුවීම සඳහා උනන්දුවකින් කටයුතු කළ අයෙකි. වරක් බෞද්ධ විරෝධී ග‍්‍රන්ථ රචනා කරන ලදැයි පූජකයන්ට චෝදනා එල්ල වූ අතර 1745 අප්‍රේල් 16 වන දිනට යෙදුණ මහ සිකුරාදා දින ලෙව්කේ හා ශ්‍රී සරණංකර හිමියන් ඇතුළු විනිශ්චය සභාවක් විසින් ඒ පිළිබඳ පූජකයන්ගෙන් ප‍්‍රශ්න කර තිබේ. (උඩරට රාජධානිය - ලෝනා ශ්‍රීමතී දේවරාජ)   


1751 දී ලෙව්කේ දිසාව කොළඹ සිට පෙරළා එන ගමනේදී මරණයට පත් විය. ලෙව්කේ දිසාව 1751 පෙරවාරි 20 වන දිනට පෙර මිය ගියේය. (memoir of van gollensnesse) පළමුවන ලෙව්කේ යුගය එනම් 1730-1751 ඉතිහාසයෙහි සිංහල මෙන්ම ලන්දේසි මූලාශ‍්‍රයන්හි කැපී පෙනේ. ලන්දේසි මූලාශ‍්‍ර මත පිහිටා ලෙව්කේ ලන්දේසි පාක්ෂිකයකු යැයි පෝල් ඊ. පිරිස් හා ඊ. රයිමර්ස් සිතන බව පෙනුණද ඔහු මතුපිටින් ලන්දේසි මිතුරුකම් පෙන්නුවද ඔහු සිංහල රජට පක්ෂපාතීව කටයුතු කළ මනා පෞරුෂත්වයකින් හෙබි අයකු බව පැහැදිලිය. ඔහුගේ දිසාව තනතුරට දුම්බර රාළහාමි නොහොත් මීගස්තැන්නේ පත් විය.   


දෙවන ලෙව්කේ I වන ලෙව්කේ දිසාවගේ පුත‍්‍රයාය. ලෙව්කේ රල (රාජවර්ධන කරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ) ලෙසද හඳුන්වනු ලැබූ ලෙව්කේ විජයවර්ධන (විජේසුුන්දර) රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ දිසාවේය.   


ඔහු ඌවේ දිසාව ලෙස පත් කරන අතර පසුව සතර කෝරලේ මහදිසාව ලෙසට ද පත් කරනු ලැබීය. මිගස්තැන්නේට ඌව පවරනු ලැබීය. පිළිමතලාවේ තමාම සිංහාසනාරූඪ වීමේ අභිප‍්‍රායෙන් කටයුතු කළ නිසා ලෙව්කේ ඒ බව මේජර් ඩේව්ට හෙළිකර ඇත. කිර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු ශ්‍රී රාජාධිරාජසිංහ රජු වූ අතර ඒ සමයේ (1796) දී ඉංග‍්‍රීසීහු කොළඹ යටත් කර ගත්හ. ඉන්පසු ශ්‍රී වික‍්‍රම රාජසිංහ හෙවත් කන්නසාමි 1798-1815 රජවිය.   


දෙවන ලෙව්කේ දිසාව වූ කලී බලසම්පන්න සිරුරකින් හෙබි කලාකාමියකු මෙන්ම මල්ලවපොර, අංගම්, කඩු, ගුස්ති දැන සිටි සටන් කාරයෙකි. මල්ලව පොර ක‍්‍රමය රෞද්‍ර මැලේ ජාතිකයකු වන කපිතාන් අසානා මුහන්දිරම්ගෙන් උගෙන ඇත. ලෙව්කේගේ මඟ අවහිර කළ කාලතුවක්කුවක් කකුලෙන් තල්ලූ කර ඉවත් කළ බව ජනප‍්‍රවාදයේ ඇත.   


වලව්ව අසලදී අසල්වැසියකු හමු විය.   


සරත් බණ්ඩාර   
ලෙව්කේ දිසාව ශක්තිමත් අයෙක්. එයාගේ ශක්තිය හොයන්න එංගලන්තයෙන් ආවා කට්ටියක්. උදේ වලව්වේ කිරිබත් හැදුවා. කිරිබත් පිඟානට ලෙලි ඇරපු කොට්ට පොලය බැගින් තිබ්බා. පොලය අතින් මිරිකා කිරි පිගානට දාගෙන තියනවා.   
දනගිරිගල රජමහ විහාරයේ ගල්පඩි 367 ක් පඩි පෙළේ තියනවා. ලෙව්කෙ නිලමෙතුමා දවල් මහඔයට නාන්න ගිහිල්ලා ඒ ගල් සොයාගෙන රැට එයාගේ ශක්තිය පෙනෙයි කියලා සඳ පානේ ගල් එක එක ගෙනිහින් පඩි පෙළ හදල තියෙන්නේ. අර කුඹුරු යායත් එදා අස්වද්දලා තියෙනවා.   


කෙළවර නොපෙනෙන තරම් ඈතට විහිදුණු වෙල් යායකි. වලව්වට උඩින් වලව්වේ පන්සල ඇත. යෝධ නුග වෘක්ෂයක් එහි ඇත. වලව්ව තුළ පැරණි කීප දෙනකුගේ ඡායාරූප ඇත. පැරණි උළුවස්සක් හා දොරක් ඇත. ලෙව්කේ පැරණි පන්සල් කීපයක් ප‍්‍රතිසංස්කරණය කර ඇත. යටදොළ පහළ ලෙන් විහාරය ලැන්දුරුමුල්ල ගල්විහාරය, දනගිරිගල ගල් විහාරය, දඹුල්ල කන්ද විහාරය මේ අතර වේ.   


කුරුණෑගල රඹුක්කන මාර්ගයේ පිහිටි ගල්විහාරයට 1866දී ඔහු සන්නසක් මගින් ඉඩම් පූජා කරන ලදැයි බෙල් වාර්තාවේ සඳහන් වේ. දඹුල්ලේ කන්ද විහාරයේද වලව්ව සමීපයේ බුදු මැදුරේද දනගිරිගල විහාරයේද ලෙව්කේ දිසාවගේ රූප ඇත. කොට්ට පොල් ගෙඩියක් දකුණු අතේ දරා සිටිණු ඒවායේ දැක ගත හැකිය.   


කේ.එස්. රාජා.   
‘‘අපේ පරම්පරා 4ක්ම මේ වලව්වේ ඉඩම්වල වැඩ කරලා තියෙනවා. එදා මේ ඉඩමේ අක්කර 365ක් තිබිල තියනවා. අද ඉතිරිවෙලා තියෙන්නේ අක්කර 2 පර්චස් 20ක පමණ ප‍්‍රමාණයක්. පරම්පරාවේ අය ඉඩම් විකුණුවා. අක්කරය රු. 200, රු. 500, රු. 800 ට වික්කේ. හීනෙන් නිලමෙට කියපු කතාවක් අනුව තමයි වලව්වයි පන්සලයි හදල තියෙන්නේ.  

 
නිලමෙට කරදර කරපු බහිරවයකුත් ඒ කාලයේ ඉඳලා තියෙනවා”   


18 වන සියවසේ කෑගල්ලේ ලෙව්කේ වලව්ව පිළිබඳ බෙල් විසින් කරන ලද විස්තරය සිංහල සමාජ සංවිධාන ග‍්‍රන්ථයේ රැල්ෆ් පීරිස් මෙසේ සටහන් කර ඇත.   


තනි කඳින් කපා ගන්නා ලද අති විශාල දොරවල් හා පරාල යත්ත හා කියත නොතිබූ අවධිය සිහිපත් කරයි. එක් ලීයක් වූ අඩි 30ක් දිග බාල්කය අසල දොර තරණය කිරීම සඳහා ඒදණ්ඩක් මෙන් ප‍්‍රයෝජනයට ගැනිණි. ජනේල වශයෙන් තිබුණේ මිනිස් හිසක් පෙවීමට තරම්වත් විශාල නොවූ බිත්තිවල තිබූ කපොලූ බැවින් කාමර අඳුරුය. දොරවල් දෙකට නැමී යායුතු තරම් මිටිය. මැටි ගෙබිම ගොම පිරිබඩ ලන ලදී. බිත්ති සුදු මැටි වර්ගයකින් ආලේප කෙරිණි. හිඳ ගැනීම සඳහා බිත්තිවලට සම්බන්ධව තැනුණු මැටි කාප්ප තිබුණි. ඒවා සිනිඳුව තබා ගැනීමට ගොම පිරිබඩ කර තිබුණි.   


ප‍්‍රධානියාගේ රාජකාරී කාර්යාලය වූයේ මඩුවයි. ගෘහස්ථ සේවකයෝ හා වහල්ලූ අවට ගෙවල්වල ද විසූහ. 1886 වන විට දිස්ත‍්‍රික්කයේ පැරණිතම වලව්වක් ලෙස එය වැජඹුණි.   


දිසාවගේ පරපුර ගැන විමසීමේදී ඔහු දෙල්ගොඩ කුමාරිහාමි හා විවාහ වූ අතර ඔවුනට දියණියෝ තිදෙනෙක් වූහ. එක් දියණියක වූ ලොකු මැණිකේ, රත්වත්තේ දේව මැද්ද දිසාවගේ ප‍්‍රථම බිරිඳ මිය ගිය පසු ඔහු හා විවාහ වූවාය.   


1811 දී රත්වත්තේ දිසාව මරණීය දණ්ඩනයට පත්වූ බැවින් ඇය මොල්ලිගොඩ (කනිෂ්ඨ) අදිකාරම් හා විවාහවූවාය. නැවත වැන්දඹුවක් වූ ඇය තෙවැනි වර තල්ගහගොඩ කෝරාල හා විවාහ වූවාය. මෙසේ තල්ගහගොඩ, ලෙව්කේ දිසාවගේ බෑනා විය. ලෙව්කේගේ ¥දූවරු තිදෙනාටම දරුවන් නොවිණි.   


1842 ඔප්පුවකින් ලෙව්කේ ලොකුමැණිකේ තල්ගහගොඩ කෝරාලට දේපළ පැවරූ අතර ඔහුගෙන් පසු ඔහුගේ බාල සොහොයුරු තල්ගහගොඩ බණ්ඩාරට දේපළ අයිති විය. තල්ගහගොඩ සහෝදරයෝ ලෙව්කේ නාමය ද තමනට එකතු කර ගත්හ. තල්ගහගොඩ බණ්ඩාගේ බාල දියණිය වන ලෙව්කේ ටිකිරි කුමාරිහාමි මහ දේවාලයේ බස්නායක ධූරය දැරූ අබේරත්න රත්වත්තේ හා විවාහ විය. අබේරත්න රත්වත්තේ ද ලෙව්කේ නාමය ව්‍යවහාර කෙරිණි.   


මේ දෙදෙනාගේ දරුවන්ගේ දරුවන් අද ඒ දේපොළවලට උරුමක්කරුවෝ වී සිටිති. මේ අනුව ලෙව්කේ පවුල සමඟ සෘජු සම්බන්ධතා නොමැති ලෙව්කේ නාමය එකතු කර ගත් අය වෙත දේපොළ උරුමවී ඇත. (ප‍්‍රථම නිදහස් සටනේ නායකවරුන් - ආනන්ද එස්. පිළිමතලාව)   


ක්‍රිස්තු වර්ෂ 1803දී ඉංග‍්‍රීසින් හා සිංහලූන් අතර සටන් කීපයක් සිදු විය. මහනුවර සේනාවට ඉංග‍්‍රීසි සේනාවේ දැඩි ප‍්‍රහාර හමුවේ අවිස්සාවේල්ලෙන් පසු බැසීමට සිදුවිය. ගැටුමේ උච්චතම අවස්ථාවේදී සිය සේනාපති වූ ලෙව්කේ දිසාව කුරුම්බා ගෙඩි කීපයක වතුර බී තුරු සෙවණක සුව නින්දේ පසුවන බව දුටු ශ්‍රී වික‍්‍රම රාජසිංහ කෝපාවිෂ්ටව දිසාවගේ හා මහා මොහොට්ටාලගේ හිස් ගසා දමන ලෙස නියෝග කළේය.   


ලෙව්කේ දිසාවගේ හිස රහිත සිරුර වක්ඔය කොට්ටාවෙල වෙල්යායේ දිය කඩිත්තකට දමන ලදී. හංවැල්ලේ වෙලක හිස ගසා දැමූ සිරුර තිබුණ බැවින් ඒ සිද්ධිය ඇසුරින් ජනකවියක්ද නිර්මාණය විය. මෙම සිද්ධිය සිහි කරනු වස් හංවැල්ල කලූඅග්ගල වරකාගොඩ හි කොළඹ අවිස්සාවේල්ල පැරණි හා අලූත් මාර්ගය සම්බන්ධවන ස්ථානයේ විසිවන සියවස අවසානයේ ස්මාරකයක් ඉදිකර ඇත.   
වලව්වෙන් පිට වූ අපි ඒ අසල ඇති ගඩොල් පෝරණුව පසුකර වෙනත් පටු පාරකින් ගොස් වී මෝල හන්දියට පැමිණ වලගම්බා රජ ගොඩ නැඟූ දනගිරිගල විහාරයට ගියෙමු. ගල්පඩි පෙළත්, දිසාවගේ රූපයත්, එහි ඇතුළත චිත‍්‍රත් නැරඹූ අපි හෙට්ටිමුල්ල හරහා කෑගල්ලට පැමිණියෙමු.   


පුන්සඳ සේම පායාලා රට මැද් දේ   
රන්කෙඳි සේම පීරාලා පිට මැද් දේ   
මාර සෙනඟ වට කරගෙන යම යුද් දේ   
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ   


මෙම ලිපිය සකස් කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය පුස්තකාලයාධිපතිනිය දුන් සහායට ස්තූතිය පුද කරමි.

කැනීෂියස් පලිහවඩන