ශ්‍රී ලංකාවේ හදවත බදු කොළඹ කොටුවට පිවිසෙන්නකුට යටත් විජිත යුගයට අයත් පෞරාණික  ගොඩනැඟිලි රැසක්ම දැකගත හැකි    වන්නේය. ඒ අතර එක්වරම   නෙත්   ඇදගන්නා සුවිශේෂී ගොඩනැඟිල්ලක් ඇත.  යෝක් වීදිය, බාරොන් ජයතිලක මාවත (ප්‍රින්ස් ස්ටී්‍රට්), මුදලිගේ මාවත (බේලි ස්ටී්‍රට්) යන මාවත්වලට මායිම්ව පිහිටා ඇති ආරුක්කු රැසකින් හා පුළුල් කොරිඩෝවකින් මෙන්ම මල්ලියකමින් අලංකාර වූ රතු සහ සුදු පැහැයෙන් වර්ණ    ගැන්වුණු මෙම ගොඩනැඟිල්ල හඳුන්වන්නේ කාගිල්ස් සහ මිලර්ස් ගොඩනැඟිල්ල ලෙසිනි. එහි එක් පසෙක කාගිල්ස් වෙළෙඳ සලත් අනික් පසින් මිලර්ස් වෙළෙඳ සලත් සියවසරකට අධික කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යනු ලැබිණි.


කාගිල්ස් වෙළෙඳ ව්‍යාපාරයට සහ එම ගොඩනැඟිල්ලට ඇත්තේ අපූරු ඉතිහාසයකි. 18 වැනි සියවසේ එංගලන්තයේ ව්‍යාපාර පවත්වාගෙන ගිය විලියම් මිල්නේ එවක එංගලන්තයේ යටත් විජිතයක් වූ ලංකාවේ ද ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස මෙරට පැමිණියේය. 1844 දී ඔහු කොළඹ කොටුවේ “මිල්නේ සහ සමාගම” නමින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. එම ව්‍යාපාරය එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳාම හා ආනයනික භාණ්ඩ බෙදාහැරීම සදඟා වෙන්වූවක් විය. පසුව මහනුවරත්, ගාල්ලේත් ශාඛා පිහිටුවනු ලැබූ අතර මෙරට ජීවත් වූ විදේශිකයන්ගේ හා කොළඹ අවට ජීවත් වූ ධනවතුන්ගේ සියලු පාරිභෝගික භාණ්ඩ අවශ්‍යතා එම වෙළෙඳසලෙන් සපුරා ගත හැකි වූයේය. 


1850 පමණ කාලයේ එංගලන්තයේ ව්‍යාපාර කටයුතුවල නිරත ඔහුගේ මිත්‍රයකු වූ ඬේවිඞ් සයිම් කාගිල් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුහු දෙපළ එක්වී ව්‍යාපාරය පු`ඵල්  එකක් බවට පත් කළහ. එය නම් කෙරුණේ “මිල්නේ කාගිල්” සහ සමාගම ලෙසිනි. 1860 වසරේ විලියම් මිල්නේ ලංකාවේ ව්‍යාපාරවලින් ඉවත්ව නැවත එංගලන්තය බලා නැව් නැංඟේ ග්ලස්ගෝව්හි පවත්වාගෙන ගිය කාගිල් මව් සමාගමේ ව්‍යාපාර කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණිනි. එතැන් සිට මඳ කලක් තනිව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය  ඬේවිඞ් කාගිල් පසුව ඬේවිඞ් මැකන්සි නම් තවත් ව්‍යාපාරිකයකු හා අත්වැල් බැඳ ගත්තේය. එතැන් සිට එම වෙළෙඳ ව්‍යාපාරය නම් කෙරුණේ “කාගිල් සහ සමාගම” ලෙසිනි. එවක එම සමාගමේ කොළඹ ප්‍රධාන වෙළෙඳසලේ සේවක සංඛ්‍යාව සය දෙනෙකු වූ අතර මහනුවර ඉහළ වැව පාරේ පිහිටි වෙළෙඳසලේ සේවකයෝ පස්දෙනෙක් ද, ගාල්ල පෙඞ්ලර් වීදියේ අංක 22 දරන ස්ථානයේ පිහිටි වෙළෙඳසලේ සේවකයෝ තිදෙනෙක් ද වූහ. 


ගාල්ල ශාඛාව 1863 වසා දැමිණි.


ඬේවිඞ් කාගිල් ස්කොට්ලන්තයේ ධනවත් පවුලක සාමාජිකයකු වූ අතර දක්ෂ ව්‍යාපාරිකයකු වූයේය. බුරුම තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ ඔහු ලංකාවට පැමිණීමෙන් පසු මතුරට ප්‍රදේශයේ කෝපි වතු අක්කර ගණනාවක් මිලට ගෙන වගා කටයුතුවල නිරත විය. කෝපි වගාව විශාල වශයෙන් ව්‍යාප්තව පැවති එම කාලයේ එම සමාගමට විශාල වශයෙන් ආදායම් උපයා ගැනීමට අවකාශ සැලසිණි. කාගිල් සමාගම මෙරට පිහිටුවන ලද පළමු සුපිරි වෙළෙඳසල ලෙස හැඳින්විය හැකිය. එකල එය නම් කෙරුණේ ඩිපාර්ට්මන්ටල් ස්ටෝර්ස් නමිනි. එනම් බහු අංශ වෙළෙඳසලක් ලෙසිනි. එහි විවිධ අංශ යටතේ ආහාර වර්ග, රටබීම වර්ග, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, කු`ඵබඩු, පොත්පත්, කාන්තාවන්ට අවශ්‍ය උපකරණ වැනි දෑ මෙන්ම කාන්තා හා පිරිමි ඇඳුම් මැසීමේ අංශයකින් ද සමන්විත වූයේය. 1890 දී කාගිල් ව්‍යාපාරය තවදුරටත් පු`ඵල් කෙරිණි. ඒ අනුව “මෙඩිකල් හෝල්” නමින් ඖෂධ අලෙවිහලක් ද, සාමාන්‍ය ජනතාවට මිලට ගත හැකි මිල අඩු සාමාන්‍ය බඩු භාණ්ඩ අලෙවි කිරීම සඳහා “සයිම් සහ සමාගම” නමින් ව්‍යාපාරයක් ද ආරම්භ කෙරිණි. සයිම් යනු ඬේවිඞ් කාගිල්ගේ බෞතිස්ම නාමය විය. 


1896 දී කාගිල් සමාගම සීමාසහිත සමාගමක් ලෙස ගලස්ගොව්හි ලියාපදිංචි කෙරිණි. ඉන් දෙවසරකට පසු එය ජේම්ස් මැක්ලරන් සහ සමාගම සමග බද්ධ වූයේය. නුවරඑළියේ කාගිල්ස් ශාඛාව විවෘත කෙරුණේ ඉන්පසුවය.


තම ව්‍යාපාරය දියුණු වෙමින් පැවති මෙම වකවානුවේ වඩාත් පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාව එහි හිමිකරුවන්ට වැටහී ගියේය. 1896 පමණ කාලයේ ඬේවිඞ් කාගිල් මෙම ස්ථානය මිලට ගෙන තිබිණි. ඒ වන විට ඔහු කාගිල් සමාගමේ සභාපතිවරයා වූ අතර වෝල්ටර් හැමිල්ටන් අධ්‍යක්ෂවරයා ලෙස ද විලියම් ජෙන්කිංග්ස් ප්‍රධාන කළමනාකරු ලෙස ද කටයුතු     කළහ.    ඒ අනුව   නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම ආරම්භ    වූයේ      1902 දීය. මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා තෝරාගත් ස්ථානයේ පිහිටා තිබූ නිවස ලන්දේසි පාලන සමයේ කපිතාන්වරයකු වූ ස්ලුයිස්කින් නම් පුද්ගලයකුගේ නිවහන විය. ඔහු කලක් ගාල්ලේ කොමදෝරුවරයා ලෙස ද කටයුතු කර තිබිණි. පසුව ෆ්‍රෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා ද එම නිවසේ කලක් වාසය කළ අතර එම ගොඩනැඟිල්ල මඳක් උෂ්ණාධිකයැයි පවසමින් ඔහු වෙනත් ස්ථානයක පදිංචියට ගොස්    තිබිණි.     1904 දී   නව ගොඩනැඟිල්ලේ වැඩ අවසන්වීමට පෙර ඬේවිඞ් කාගිල් අභාවප්‍රාප්ත විය. 1906 දී වර්තමානයේ අපට දැකිය හැකි අලංකාරවූත් ප්‍රතාපවත්වූත් ගොඩනැඟිල්ල අංක 40 යෝක් වීදියේ විවෘත කෙරිණි. ඊ. ස්කිනර්ගේ සැලසුමකට අනුව යුරෝපීය පුනරුද ශෛලියට අනුගත වන අයුරින් (රෙනෙයිසන්ස් ස්ටයිල්) මෙම ගොඩනැඟිල්ල ඉදි කරන ලද්දේ එවක මෙරට බොහෝ   ගොඩනැඟිලි  ඉදිකළ වෝකර් සහ සමාගමය.


විදුලි පංකා සහ හයිඩ්‍රොලික සෝපාන සහිතව කොළඹ ඉදිවූ ප්‍රථම ගොඩනැඟිල්ල එය වූයේය. 1907 වන විට ප්‍රධාන වෙළෙඳසලේ සහ ශාඛාවන්හි යුරෝපීයෝ තිස් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෝ 600ක් පමණ සේවය කළහ. කොළඹ වරාය අසලම මෙම වෙළෙඳසල පිහිටා තිබූ හෙයින්   නැව්   මඟින් ගමන් ගන්නා විදේශිකයන් අතර පවා මෙම ස්ථානය ප්‍රචලිතවී තිබිණි. එංගලන්තයේ සිට ඔස්ටේ්‍රලියාව බලා යාත්‍රා කළ නැව් කොළඹ ජැටියට පැමිණි කල එහි ගමන් ගත් විදේශිකයෝ මොහොතකට හෝ කාගිල් සාප්පුවට ගොඩවැදීමට අමතක නොකළහ. විශේෂයෙන් කාන්තාවන් සඳහා වූ උසස් තත්ත්වයේ නිමි ඇඳුම්වලට එය ප්‍රචලිත විය. 1960 දසකයේ අග භාගයේ එවක කුඩාවුන් වූ අප ද අපගේ පියා සමඟ සතියකට දෙකකට වරක් මෙම ගොඩනැඟිල්ලට යාම සිරිතක්ව පැවතිනි. අප එහි ගියේ එම සාප්පුවෙන් පමණක් මිලදී ගත හැකි වූ සුවිශේෂී රසකැවිලි වර්ගයකට දැක්වූ ආසාව හේතුවෙනි. එංගලන්තයෙන් ගෙන්වූ එම විශේෂ රසකැවිලි රාත්තලක එවක මිල රුපියල් 2.00ක් පමණ විය. පියා අවශ්‍ය දෑ මිලට ගන්නා තෙක් එයද රස විඳිමින් එම වෙළෙඳසලේ වූ පොත් සාප්පුවට රිංගා ගන්නා මාත් මගේ සොහොයුරාත් බොහෝ වේලා   ඉංග්‍රීසි ළමා     පොත් අතපතගාමින් සිටි අයුරු මගේ මතකයෙන් බැහැර නොවේ. 


එහි බිම මනාව මදින ලද ලෑලි අතුරා සකස් කොට තිබූ හෙයින් ඒ මත ඇවිදීමේදී එයින් නැඟෙන “කිරි කිරි” හඬ ඇසීම අපේ විනෝදාංශයක් විය. ඬේවිඞ් කාගිල්ගේ පසු පරම්පරාව ශ්‍රී ලංකාවේ පැවැති තම ව්‍යාපාර විකුණා දැමීමට තීරණය කළ අතර 1946 දී  සිලෝන් තියටර්ස් සමාගමේ හිමිකරු වූ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් විසින් මෙම ගොඩනැඟිල්ල සහ ව්‍යාපාරය මිලට ගන්නා ලදී. එම ව්‍යාපාරය කාගිල්ස් නමින්ම පවත්වාගෙන යාමට ඔහු තීරණය කළේය.  ඔහුගෙන් පසු එම ව්‍යාපාරය ඇල්බට් පේජ් මහතා සතු වූ අතර වර්තමානයේ ඔහුගේ පුතුන් විසින් කාගිල්ස් සුපිරි වෙළඳසල් ජාලය දිවයින පුරා ව්‍යාප්ත කර තිබේ.


1877 වැනි කාලයේ සිට එංගලන්තයේ ව්‍යාපාර කටයුතු කළ මිලර්ස් සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූයේ 1900 මුල් කාලයේය. 1907 දී ඔවුහු කාගිල්ස් සමාගම සතු ගොඩනැඟිල්ලට යාබදව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කළහ. එය නම් කෙරුණේ මිලර්ස් ගොඩනැඟිල්ල ලෙසිනි. එයද කාගිල්ස් සමාගමේ අනුරුවටම වෝකර් සමාගම මඟින් ඉදි කරනු ලැබූ අතර පිටතින් බලන කල එක් ගොඩනැඟිල්ලක් ලෙස දිස්වෙයි. මිලර්ස් සමාගමේ හිමිකරු වූයේ විලියම් ක්‍රැමන්ඞ් මිලර්ය.


ඔස්ටේ්‍රලියාවෙන් හා එංගලන්තයෙන් ආනයනය කළ ආහාර ද්‍රව්‍ය සහ රටබීම එහි අලෙවි කළ අතර පසුව ඇති වූ විශාල ඉල්ලුම හේතුවෙන් චීනයෙන් ද වීදුරු භාණ්ඩ හා ඉලෙක්ට්‍රෝ ප්ලෙටඞ් උපකරණ හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කළ බැව් සඳහන් වෙයි. එඩින්බරෝ සාන්ත පාවුළු බෲවරි සමාගමේ ලංකා නියෝජිත ලෙස කටයුතු කළේ ඔවුන්ය. 1907 වන විට එහි සේවක සංඛ්‍යාව 43 දෙනකුගෙන් සමන්විත වූයේය. පසු කාලයේ ඡායාරූප උපකරණ අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ මිලර්ස් සමාගම කොඩැක් ඡායාරූප උපකරණ අලෙවියේ මෙරට නියෝජිතවරයා ද විය. එම සමාගමේ ශාඛාවක් මහනුවර ද පිහිටා තිබිණි.


අතීත මතක රැසක් සඟවා ගනිමින් කොළඹ නගරයට අලංකාරයක් එක් කරන මෙම ගොඩනැඟිල්ල තවත් බොහෝ කලක් පවතිනු ඇත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා