ක්‍රියාදාම චාරිකා

කඳු මුදුනතේ  අපි

හිමිදිරියේ අසිරිය

හිමිදිරියේ අසිරිය

 

හිරු එළිය පතිත වූ වන පියස පැහැදිලිය. සුන්දරත්වයෙන් අනූනය. කඳු තරණයකදී විශාල දුරක් පයින් යාමට සිදු වන්නේ මහ රූස්ස ගස් පිරුණු වනාන්තර මැදින්ය. මීදුම වෙළා ගත්තද යන්තමින් හෝ හිරු එළිය ඇති හෙයින් පාර සොයා ගැනීම අපහසු නොවේ. එහෙත් රාත්‍රීයේ කඳු නැගීමක් යනු කොතරම් නම් දුෂ්කරතාවක් හා අවද‌ානමක් සපිරි ගමනක් විය හැකිද? විදුලි පන්දම් එළියටත් පෙනෙන්නේ අඩි දහයක පහළවක පමණක් දුර වන බැවින් නිශාචර උරග හා සත්වයින්ගේ පාලනය රජයන අඳුරේ කඳු තරණය කිරීම අපට නම් කිසිදු ගැටලුවක් නොවුණේ ක්‍රමවත් ලෙස එය සැලසුම් කළ නිසාවෙනි.   


බෙලිහුල් ඔය යනු ලංකාවේ තිබෙන තවත් නුවරඑළියක් වැනි කඳු, දියඇලි, නිම්න හා මීදුම් යායන් පිරුණු නගරයකි. බෙලිහුල්ඔය දැවැන්තයින් වන වංගෙඩිගල, බලතුඩුව හා ගොම්මෝලිය කඳු අතර කරට කර ගැටෙන අනෙක් කඳු ත්‍රිත්වය නම් පරවියන්ගල, හාවාගල සහ නැග්රුක් කඳු වේ. මින් පරවියන්ගල යනු කඳු මුදුන් හයක් පමණ සහිත විශාල කඳු වැටියකි. ආදර කන්ද ලෙස හඳුන්වන මෙය සැබැවින්ම සරසවි ආදරය මෝදු කරවන ස්ථානයකි. මන්දයත් සබරගමු සරසවි සිසු සිසුවියෝ වාර්ෂිකව මෙම කන්ද තරණය කරන හෙයිනි. රත්නපුර බදුල්ල මාර්ගයේ පඹහින්න ආසන්නයේදී දැකිය හැකි මෙම කන්ද කඳුවැටි හයකින් පමණ සමන්විත වේ. ප්‍රධාන මාර්ගයේ සිට බලන කල මෙය ඉතාමත් විශාල කන්දක් ලෙස පෙනෙන්නේ ඒ අවට වෙනත් කිසිදු කඳුවැටියක් නොමැති හෙයිනි.   


කෙසේ හෝ මෙම කන්ද තරණයට බොහෝ වේලාවක් ගත වන බැවින් අප මෙය තරණයට සූද‌ානම් වූයේ රාත්‍රියේ දීය. ඒ මන්දයත් කළුවරේ කන්ද තරණය කොට හිරු උද‌ා වන කණිසමේ හිරු උද‌ාව සහ අවට පරිසරයේ සුන්දරත්වය නැරඹීමට අපට අවශ්‍ය වූ හෙයිනි. රාත්‍රී සංචාර (Night Hike) යාමේදී ප්‍රථමයෙන් අප සිතා බැලිය යුතු කරුණ නම් ආරක්ෂාවයි. මන්ද පයිනස් කැලෑවකින් වට වූ මිනිස් වාසයෙන් කිලෝ මීටර 5ක් පමණ දුර වූ කඳු තරණයක යෙදීමට සුදුසු ශරීර සෞඛ්‍යයක් හා නිර්භය බවක් තිබිය යුතු හෙයිනි.   


දහවල මෙන් නොව රාත්‍රියේ කොපමණ විදුලි පන්දම් එළිය තිබුණද එය මීටර 10ක් 20ක් පමණ උපරිමයකට විහිදෙන බැවින් අන්ධකාරයේ සැඟවී ඇති තර්ජන (Threads) ක්ෂණයෙන් අපට දැක ගත නොහැකි අපගේ කණ්ඩායමද පනහකට අධික වූයෙන් සියල්ලන්ගේම ආරක්ෂාව ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය යුතු විය. කෙසේ නමුත් අපට තිබූ එකම අවස්ථාව වූයේ යන්තමින් හෝ අඩි මාර්ගයක් දැක ගත හැකි වී තිබීමයි. එබැවින් අප කන්ද තරණය අවස්ථා තුනකට බෙදුවේ ප්‍රථමයෙන් මීට වසර කිහිපයකට පෙර නාය යාමකට ලක් වූ ආරණ්‍ය සේනාසනය පිහිටි ඉසව්ව කඳු වැටියේ විවෘත අවකාශයට පිවිසෙන ස්ථානය සහ පරවියන්ගල කඳු මුදුනතයි. එබැවින් සියල්ලෝම රැගත් බසය පෙර දින රාත්‍රී 9 වන විට කොළඹින් පිටත් වූයේ රාත්‍රී 12 වන විට පඹහින්න මංසන්ධියට ළගා වීමේ අරමුණිනි.   


මැදියම් රැයේ හංවැල්ල පසු කොට අවිස්සාවේල්ල හරහා රත්නපුරට ළගා වන විට රාත්‍රී 11 පමණ වූ අතර ඉන් පසු හුදෙකලා වූ මාර්ගයේ කුරුල්ලෙකු මෙන් නිදහසේ පියඹා ගිය බස් රථය පාන්දර 1 වන විට පඹහින්න හන්දියට ළගා විය. බසයෙන් බැස ගත් නඩයට නඩේ ගුරා විසින් අවශ්‍ය කරුණු කාරණා සේම පරිසරයේ පිහිටීම ගමනේ ස්වභාවය සහ හැසිරිය යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කරන ලදී. ඉන් පසු කඳු වැටියට යන කොන්ක්‍රීට් අඩි මාර්ගය දිගේ එකා පෙළට එකා සිටිමින් සියල්ලෝම ගමන් ඇරඹුවේ හිස පලඳන විදුලි ලාම්පු (Head Lights) සහ විදුලි පන්දම් (LED Torch) සමගිනි.   


රාත්‍රියේ කැලයක ගමන් කිරීමේ දී අපට මුහුණ දීමට වන ප්‍රධානම බාධකය නම් රැයේ එළියට බසින සර්පයන්ය. වියළි කාලගුණයක් පැවතුණු නිසාවෙන් කුඩෑල්ලන් පිළිබඳ කරදර වීමට අපට සිදු වූයේ නැත. එම නිසා සර්පයන්ට ආරක්ෂාව වශයෙන් අප කියූ ලෙස සියල්ලෝම දිගු කලිසම් හැඳ සපත්තු පැලඳ සිටියහ. යන්තම් හෝ හඳ එළියක් දක්නට නොලැබුණු අහස් කුස කාළ වර්ණගතව පමණක් තිබුණද අතරින් පතර කළුවලාවලට මුවා වී එබිකම් කරන නිල් තරු කැට කිහිපයක් අපට දක්නට ලැබුණ සොබාසිරි අප පස් දෙනා හැර අන් සියල්ලන්ගේම ජීවිතේ කුලුඳුල් රාත්‍රී සංචාරය (Night Hike) මෙය විය. හෙමි හෙමින් නොනැවතී පියමං කළ නඩය අඩ හෝරාවක් ගත වන විට ගම්මානය පසු කොට කුඩා අඩි පාරකට අවතීර්ණ විය. අඩි මාර්ගය වනය හරහා වැටී තිබුණු අතර ඉදිරියෙන් ගිය අප සගයන් නිවැරදිව අඩි මාර්ගය හඳුනාගෙන ඉදිරියට ගමන් කළේ ගමනේ පළමු නැවතුම්පොළ සොයාගෙනය.   


මහ කැලය නිසොල්මන් නැත. රාත්‍රියේ ඔවුන් හමුවට එන අපව ඔවුන් පිළිගන්නේ චණ්ඩ සුළඟකින් ගත සංතර්පනය කරමිනි. ගල් කැබලි, ගල් පර්වත පිරුණු මඟේ ක්‍රමයෙන් කඳු නැග්මකට අවතීර්ණ වූයේ විටින් විට නඩය එක පෙළට එනවා දැයි විපරම් කරමින් සහ සැමටම පිටු පස සිටින අපගේ සගයා ගේ සංඥ‌ාව දෙස බලමිනි. තරුණයින් සේම තරුණියන් ද සිටි මෙම ගමන අප සැලසුම් කළේ ප්‍රධාන වශයෙන් රාත්‍රී සංචාරයකදී අත්විඳින්නට වන පාරිසරික තත්ත්වය. වනයේ හැසිරීම, අන්ධකාරයේ පිහිටි පරිසරයේ ස්වභාවය සහ අඳුරට නොබියව මුහුණ දී නිවැරදි කාල කළමනාකරණයක් තුළින් සාර්ථක එක්දින ක්‍රියාද‌ාම සංචාරයක් පිළිබඳ විඳීමට අවස්ථාව ලබා දීමයි.   


හෝරාවක් පසු වන විට අප ළඟා වූයේ ගමනේ ප්‍රථම නැවතුම්පොළටය. මෙය මීට වසර කිහිපයකට පෙර ස්වාමීන් වහන්සේලා වාසය කළ ආරණ්‍ය සේනාසනයක් විය. එහෙත් මහ වැස්සක කඳු ඉහත්තාවෙන් මතු වුණු අකාරුණික දිය බුබුලක් අවට ගල් පර්වත මහ ගස් උදුරමින් පහළට ගලා ගෙන ආවේ දැවැන්ත නායයාමක් ලෙසින්ය. ඉන් මෙම සේනාසනය මුළුමනින්ම විනාශ වූ අතර එහි විසූ හිමියන් ද සද‌ාකාලිකව පස් යට වැළලුණේ යුද හමුද‌ා ප්‍රයත්න මධ්‍යයේ පවා සිරුරු සොයා ගත නොැහකි වූ නිසාවෙනි. එද‌ා ඒ රාත්‍රියේ එම ස්ථානයේ නැවතුණු අපට මහ මූසල බවක් සේම ගුප්ත වේදනා බර ඉසව්වක් ලෙස හැඟුණේ කිසිත් නොවුවක් මෙන් එහි ගලා යන පෙරට වඩා විශාල වූ දිය දහරාව පිළිබඳවයි. සේනාසනයේ නටබුන් සේම ඉදිරී ගිය ගස් හා පෙරළී ගෙන පහළට පැමිණ හිර වූ දැවැන්ත ගල් කුට්ටි දුටු අප සිත කම්පා වූයේ මෙහි වැළලුණු හිමියන් ගැන සොවිනි.
අප දන්නා පිරිදි නාය යාමට පෙර මෙහි වූයේ කුඩා ජල පාරකි. එහෙත් මේ වන විට එය දෙගුණයකටත් වඩා විශාල දිය දහරක්ව පළලින් ගලාගෙන යයි. අධික ශීත ජල පහර හරහා එගොඩ වී පයිනස් කැලයට අප පිවිසියේ ගමනේ ඊළඟ යාමය අරඹනු පිණිසය. මේ වන විට තරමක අසීරු නැග්මක සිටියේ පයිනස් කැලයේ තිබූ ලිස්සන ස්වභාවය හේතුවෙනි. මහ රූස්ස පයිනස් ගස් ගුවනත වසා ගෙන සිටි අතර සුළග තුළින් පයිනස් ගස් සෙලවෙන ආකාරය විටෙක කෝලම් රටා මැවුවේ විශෘල ශබ්දයක් නගමිනි. මින් පෙර අප බඹර කන්ද රාත්‍රියේ තරණයේදී අත්විඳි මහා ඝෝෂාකාරී සුළං ශබ්දය නැවතත් අැසුණේ මෙම ෆයිනස් කැලය හරහා යන විටය. මෙහිදී අපට සිදු විය හැකි තවත් අනතුරක් විය. එනම්, අධික සුළඟට පයිනස් ගස් කඩා වැටීමට හැකියාවක් පැවතීමයි. එබැවින් සියල්ලෝ දැඩි විමසිල්ලෙන් ගමනේ නිරත වුහ.   


තවත් හෝරාවකට ආසන්න කාලයක් තුළදී අප පරවියන් ගල කඳු වැටියේ බටහිර කොනට එනම් ප්‍රථමයෙන් අපි කඳු වැටියේ විවෘත අවකාශය තියන ප්‍රදේශයට අවතීර්ණ වුණෙමු. මෙතැන් සිට ඍජුවම නැග්මක් පමණක් විය. රූස්ස ගස් පිහිටා නොතිබුණු කන්ද මුදුනේ වූ මාන කැලය නිසාවෙන් දුර සගයන්ව පවා පැහැදිලිව දැක ගත හැකි විය. රාත්‍රී අහස අඳුරේම ගිලී තිබුණේ සඳවතිය නොමැති දුකකින් දැයි වරෙක සිතුණ අතර, අහස යට පැමිණි අප කවුරුන් දැයි විපරම් කරන අටියෙන් එබෙන තරු කැට කිහිපයක් ඈතින් දක්නට ලැබුණි. මාන පඳුරු දණහිසට මඳක් පහළට පමණ තෙක් වැඩී තිබුණු අතර තෙත් ගතියක් නොවීය. මීට හෝරාවකට පෙර අප පැමිණි පයිනස් කැලයේ තිබූ සුළං ප්‍රවාහය කිසිදු අඩුවකින් තොරව මෙහිදී ද විඳ ගැනීමට සිදු වුණේ විවෘත ප්‍රදේශයක අප සිටි නිසාවෙනි.   


නඩය තරමක වෙහෙසීමකට ලක්ව තිබුණද තවත් හෝරා එකහමාරකින් පමණ හිරු උද‌ා වන බැවින් ඊට ප්‍රථම කඳු මුදුනට යාමට උද්යෝගයෙන් සිටියහ. එබැවින් මහන්සිය මග හරවා ගනු වස් ජීවනී සහ ග්ලුකෝස් ගනිමින් කන්ද නගින්නට විය. ක්‍රමයෙන් ප්‍රථම සහ දෙවන කඳු වැටි පසු කරන විට පඹහින්න, බෙලිහුල්ඔය හා කල්තොට ආදී ප්‍රදේශවල විදුලි එළි යන්තමට දැක ගත හැකි විය. කඳුකර කොටියා හෝර්ටන්තැන්නේ වාසය කරන බැවින් ඌට ගොම්මෝලි හෝ නැග්රැක් හරහා පරවියන්ගලට පැමිණීමට ලොකු දුරක් නොවූයෙන් යටි හිතින් ඇතැමුන්ට ඒ පිළිබඳ යම් කුකුසක් තිබුණි.   


දෙවන කඳු මුදුන පසු කරත්ම නත්තල් සමය සිහියට නැගුණේ අවට වටේ එම ගස් වර්ගය නිසාවෙනි. ගුවනත විවෘත මෙම ප්‍රදේශයේ නිතැතින්ම දෙහෝරාවක් පමණ සිටිය යුතු වන බැවින් අව් රශ්මිය නොමැතිව මෙම තරණය කිරීම අපට මහත් පහසුවක් විය. ගමනේ පෙරමුණ ගත් කිහිප දෙනෙක් ඈතින් තෙවන කඳු මුදුනක් පසු කරමින් ඉහළකට අවීතර්ණ වනු අපට දැක ගැනීමට ලැබුණි. හිරු උද‌ාව සමග අවට පරිසරය නැරඹීමට වූ ආසාව නිසාවෙන් සෙස්සෝ ද පය ඉක්මන් කොට ගමනේ නියැලුණහ.   


මෙම ප්‍රදේශයේ ගමන තරමක් අසීරු වුණේ වන පඳුරු සේම ගල් බොරලු අධික වූ නිසාවෙනි. මෑත කාලය පුරාවට ගල් බොරලු පිහිටි අතර කඳු නැගීමේදී සමහර විට ගල් බොරලු ලිස්සන්නට විය. කෙසේ හෝ තුන් වන හා සිව්වන කඳු ගැට පසු කරමින් පරවියන් ගල කඳු මුදුනට ළගා වූයේ හිරු උද‌ාවන ජාමයේය. එම අවසන් මීටර් දෙතුන් සියය නැගීම බොහෝ දුෂ්කර වූයේ ඉදිරියෙන් යනවුන්ගේ කකුලට ලිස්සන ගල් කැබලි පහළ පිරිසට පැමිණි හෙයිනි. එසේ වුවද සියල්ලෝම ආරක්ෂාකාරීව කඳු මුදුනට පැමිණියහ. එහි විශාල ගලක් වූ අතර ඊට යාබද තවත් ස්ථානයක් වූයෙන් හනිකට අප ඒ වෙත ගමන් කළෙමු. එම අඩි පාර වැඩි අමාරුවක් නොවූයේ තරමක තැන්නක ස්වභාවයක් එහි ඉසිලූ හෙයිනි.   


නැගෙනහිරින් රක්ත වර්ණ​ෙයන් හා රන් වර්ණයෙන් යුතු අහස් කුස දෙබෑකරමින් හිරු නැගෙන්නට විය. අලුයම 6 වන විට හිරු උද‌ාව පටන් ගත් අතර සියල්ලෝම එය දැක ගැනීමට වාසනාවන්ත වූහ. මන්ද රට මැදක සිට හිරු උද‌ාව හෝ හිරු බැසීම නැරඹීම අතිශය විරල සිදුවීමක් වන බැවිනි. සුදු වලාකුළු උඩින් හිරු ක්‍රමයෙන් ඉහළට නැගෙන්නට වූයේ මන්ද‌ාරම් අඳුර මැදින්ය. ඒ සමගම අප සිටි ඉසව්වට පහළින් අපට පෙනෙන්නට වූයේ වළාකුළු පමණි. ගුවන් යානයක යන විට වලාකුළුවලට ඉහළින් පියාසර කරන අත්දැකීම වැනිම සුන්දර අත්දැකීමක් අප මෙහිදී ලබා ගන්නේ අප සිටි කඳු වැටිය පහළ කිසිදු ගහක් කොළක් ජනාවාසයක් නොපෙනෙන තරම් සුදු වලාකුළින් වසාගෙන සිටි නිසාවෙනි. එය කාටත් පුදුමය දනවන සුලු වූ අතර වැඩි වෙලා නොතිබුණු එම අවස්ථාව ලහි ලහියේ පිරිසගේ තෙවැනි ඇසට හසුවන විට පිරිස තමත් ඈතින් පිහිටි කඳු වැටියක් දෙසට පියමං කරන්නට විය. එම මග ඔස්සේ වනගත වෙමින් බලතුඩුට කන්දට යා හැකි අතර ඒ සඳහා GPS තාක්ෂණය නිරායාසයෙන්ම අවශ්‍ය බව මතක තබා ගත්හ. එලෙස ඔබට වුව පරවියන්ගල සිට බලතුඩුවට පමණ හෙම්මෝලිය කන්ද නැග වංගෙඩි ගල ඔස්සේ බඹරකන්දට බැසිය හැක. එහෙත් එය නිතැතින්ම දින 2ක් ගත වන ක්‍රියාද‌ාම චාරිකාවකි.   

 

බෙලිහුල්ඔය දක්වා මීදුමෙන් වැසී

පහත වලාකුළුවලින් වැසී

රාත්‍රියේ කන්ද නගිමින්

කන්ද මීදුමෙන් වැසීමට පෙර

 


හෝරා දෙකක් පමණ පරවියන්ගල කඳු මුදුනේ සිටි අප අතරින් කිහිප දෙනෙකු අලුයම් සීතලේම මෝදු වූ හිරු කිරණ යට මාන පඳුරු මත වැතිර සුව නින්දක දැවටුණේ පෙර දින රාත්‍රිය පුරාවමට නිදිවර්ජිතව දුෂ්කර ගමනක නියැලුණු නිසාවෙනි. සියල්ලෝම රැගෙන ආ ආහාර අනුභව කරමින් කැමරා සමග කඳු වැටියේ එහෙ මෙහෙ යමින් ඡායාරූප ගන්නට වූහ. ඒ අතර අනෙක් කඳු ගැටයට ගිය පිරිස එම කඳු මුදුනට පැමිණ අප අමතන්නට වූහ. ඔවුන් හා අප අතර ඉදිරියෙන් දැවැන්ත ප්‍රමාණයක් වූ අතර නැවත ඔවුහු අප සිටි ස්ථානයටම පැමිණුනහ.   


බෙරගල, බෙලිහුල්ඔය, හපුතලේ, කල්තොට, බලංගොඩ දක්වා අංශක 180ක පුළුල් වපසරියක් දකුණු දිගින් අපට දැක ගන්නට ලැබුණ අතර සමනල වැවද ඒ අතර විය. අනෙක් පසින් වංගෙඩිගල සිට ගොම්මෝලිය සහ හෝර්ටන්තැන්න දක්වා දිවෙන කඳු වැටියත් බටහිරින් හාවාගල සහ නැග්රැක් කඳු වැටියේ සිට හෝර්ටන්තැන්න කඳු වැටියක් දක්නට ලැබුණේ පහළින් දඟර ගැසී යන නැග්රැක් මාර්ගය ද දර්ශනය වෙමිනි. සහයෙකු සතු වූ දුරදක්නයකින් බේකර්ස් වංගුව සහ නැග්රැක් බංගලාව දැක ගැනීමට ලැබුණු අතර අනෙක් පසින් බෙලිහුල්ඔය බදුල්ල මාර්ගය ද දක්නට ලැබුණි.   


ක්ෂණයෙන් දැවැන්ත මීදුමකින් අප සිටි ප්‍රදේශය වසාගෙන සිටි අතර විනාඩි කිහිපයකට පසු එය නැවතත් අතුරුදන් විය. හරිත වර්ණයෙන් අනූන කඳු වැටි මත දැවැන්ත ගල් කුට්ටි විය. දිය සීරාවන් පරවියන්ගලින් ඇද හැලෙන අතර තවමත් හිරු කිරණ ගතට සිසිලසක් දෙමින් පැවතුණි. පසුව අපි කිසිදු අප ද්‍රව්‍යයක් පරිසරයට මුද‌ා නොහැර ඒවා පුලුස්සා දමමින් ආපසු ගමන පිටත් වුනෙමු. රාත්‍රියේ අප ආ වග හොඳ යැයි සිතුණේ හිරු එළිය තුළ එය බැසීමේදී එහි වූ දුෂ්කර බව දුටු නිසාවෙනි. අඩි පාර තිබූ සමහර ස්ථානවලට මීටර කිහිපයක් දුරින් හෙල් විය. ගල් කුට්ටි හා ලිස්සනසුලු ගල් කැබලි පිරි මාර්ගය බැසීම තරමක් අසීරු වූ නමුත් එක පෙළට විවෘත අවකාශය හරහා අපගේ ගමන නොනැවතී පහළට ගිය අතර පිම්මේ ගමන් කළ අප නැවතුණේ පයිනස් කැලය හරහා යමින් නාය ගිය ඉසව්ව අසලිනි. එතැනින් තරමක් මුහුණ කට දෙ‌‌‌ාවාගෙන නැවතත් අපි දහවල් එක පමණ වන විට පහළ ගම්මානයට බැස ගත්තෙමු.   


ප්‍රධාන මාර්ගයට පැමිණ නැවතත් හැරී බැලූ කල මෙම සුවිසල් කන්ද අන්ධකාරයේ තරණය කිරීම පිළිබඳ පිරිසගේ හිතේ පුංචි ආඩම්බරයක් සහ සතුටක් තිබෙන වග අපි දුටුවෙමු. (Travel In Sri Lanka-Sobasiri) මුහුණු පොත සමග එක්ව ලංකාවේ ඔබ නොදකින සුන්දර ස්ථාන දැක ගැනීමට එක් විය හැක.   

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු