කම්මල් ශිල්පීන්ට අයත් පරපුර ගැන තවත් ඔබ නොදත් විස්තර බොහොමයක් මින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.  


රකුස් පෙළපත, විශ්ව බ්‍රාහ්මණ, මහා සම්මත පෙළපත, මනුවංශ, සුද්ධ සූරිය වංශ යන මංජු ශ්‍රී නමින් මතු බුදුවන රාවණ පරපුරෙන්, යක්හෙළ, විශ්ව කර්ම, නවන්දන්නා නමින් හඳුන්වන මොවුන්ව ශිල්ප නවයක් දන්නා බව පැවසුවත් අලුත් අලුත් දේ නිපදවන්නා නවන්දන්නා නවකම් දන්නා බවට මහාවංශය ද මොවුන් ගැන විග්‍රහ කරයි. ස්වර්ණාභරණ චිත්‍ර ආදී ශිල්පයන් අතර කම්මල් ශිල්පයද ඒ හා සමානව විශේෂය. කම්මල් ශිල්පයෙහි යෙදුණත් ඊට වඩා තවත් බොහෝ ශිල්පවල යෙදෙන්නේ නම් ඔහු මුලාචාරී, ස්ථපති නමින් හැඳින්වේ.  

 

“විශ්ව දෙව කුලෙජාතාස්සං ශුඩොභය වංශජඃ සර්වශාස්ත්‍ර ධරොදක්ෂ ස්ථපතිඃ තිශ කර්මණි” 

 
මෙයාකාර කුසලතාවන්ගෙන් හා කීර්තිමත් බවින් යුත් මෙම යක්හෙළ ශිල්පීය පරපුර යක්ෂ, රාක්ෂ දෙකටම අයත් බව සකු සාහිත්‍යයේ සඳහන්ව මේ දෙකම මහා බ්‍රාහ්මණයාගෙන්ම පැවත එන බව අපේ පඬිවරු පිළිගැනීමෙන් රාවණ රජු යකෙකු ලෙසත්. විටෙක රකුසෙකු ලෙසත් පිළිගනී.  


“ලී විට රකුසු වන - බකුසු වෙයි සමහර වත  


කරනට දෙයක් නැත - වතගොත කියමි හිතවත”  


(ශ්‍රී ලංකා රාවණා රාජධානිය සහ සීගිරි පුරාණය)  


බුදුන්වහන්සේද, සසර සරනා කල නවන් දන්නා වංශයෙහි ඉපිද කම්මල් ශිල්පියෙකු ලෙස රාජ වල්ලභව ශ්‍රේෂ්ඨව විසූ බව සුචිජාතකාදියෙන් පැහැදිලිව ඔප්පු වෙයි. එපමණක් නොව අප මහා බෝසතාණන් වහන්සේ තවත් පෙර ආත්මයක ශ්‍රී ලංකාවේ එක්තරා යක්හෙළ කුමරියක් සමග චාරිත්‍රානුකූලව විවාහ වී සිටි බව උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ බව කියැවේ. ඒ බව උන්වහන්සේගේ පෙර ආත්මයක් ගැන ලියැවුණ මහා වංශයට පෙර එනම් 2-3 සියවස්වල රචිත “සිංහල දිව්‍යාවධානය” නම් කෘතියේ සඳහන් වේ.  


එකල මැඩගස්කරය දක්වා ශ්‍රී ලංකාවට අයත්ව තිබුණි. ලෝකයේ මුල්ම මිනිස් පවුල මැඩගස්කරයෙන් ඇති වී ලොව පුරා පැතිරගොස් ඇත. මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මවිසින් ලියා පළකරන ලද 2012.12.05 දින “ලෝකයේ මුල්ම මිනිස් පවුල ලංකාවෙන්” යන ‘ඉරිද‌ා ලංකාදීප’ පුවත්පත් ලිපියේ සඳහන් වේ. පසුව රාවණ යුගයේදී මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාවෙන් වෙන් විය. විද්‍යාඥයින් පවා පිළිගන්නා බලංගොඩ මානවයා දක්වා දිවයන ස්ව​ෙද්ශිකයන් වූ මෙම නවන්දන්නා පරපුර ලෝකයේ මෙතෙක් පහළ වූ ශිල්පීහු ආචාරි, ආචාරීන්, ආචාරිගේ මූලාචාරි, මුලාචාරීන්, මුලාචාරිගේ ස්ථපති, නයිදෙ (නායකයා), නාච්චිරේ (නායක ස්ත්‍රිය) බඩල්ගේ (භාණ්ඩාගාරික), මුදලි, මුහන්දිරම් වැනි එද‌ා පැවති ඉහළම උපාධි තනතුරුවලින් පිදුම් ලැබූහ. මේ ගැන හරිහැටි නොදන්න හෝ හිතාමතා මෙසේ ගෞරවාර්ථයේ යෙදුණ පද පසුකාලීනව නිග්‍රහශීලීව ආමන්ත්‍රණය කරන අවස්ථා වීමද කනගාටුද‌ායකය.  


සීගිරිය, ඇම්බැක්කේ කැටයම්, ලොව මවිත කළ මාදුරු ඔය සොරොව්ව, යෝධ ඇළ, වෙහෙර, විහාර, වැව්, අමුණු, පෙතිපිළිම, ගෘහ නිර්මාණ ශිල්පය, කලාවන් ආදිය මෙම ශිල්පීන්ගේ නිර්මාණයන්ය. මොවුන් නොසිටියේ නම් අද ලංකාවේ සංස්කෘතියක් කියා දෙයක් පෙන්වීමට නොමැති තරම්ය. 

 
මෙම පරපුරේ නිර්මාණ හා රට, ජාතිය වෙනුවෙන් කරන ලද අභිමානවත් සේවය රජවරුන් විසින් අගය කර මහීෂ කම්කරුවන් ආදීන් ද ඇත්, කුඩ, කොඩි, දෝලි, කුනම් ආදියද, අක්ත වශයෙන් රන්, රිදී, තඹ තල්පත්, තුඩපත් සන්නස් මගින් නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු මෙම නොයෙක් ගරු නම්බු, රත්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය ආදිය ලබා දෙමින් සංග්‍රහ කිරීම ඒ ඒ ක්ෂේත්‍රවල අයගේත් කලාවේත් අභිවෘද්ධියට හේතු විය. ගංගාරාම විහාරස්ථානයේ වැඩ නිම කළ ශිල්පියාට වෙනත් තෑගි බෝගවලට අමතර සම්පූර්ණ රජ ඇඳුමක් පවා පරිත්‍යාග කර ඇත. ඒ බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ “මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ නැතත් රජ ඇඳුම් ඇඳීමට මොවුන්ට අවසර තිබිණි.  
මෙම යක්හෙළ එනම් නවන්දන්නා පරපුර සමාජයේ කැපී පෙනෙන අය වූහ, අදටත් එසේමය, ඔවුන්ට තාන්න මාන්න ගැනීමට රදලයින්ට මෙන් කේලාම් කීමට අවශ්‍ය නැත, ඒවා ඔවුන්ට නිරන්තරයෙන්ම ලැබෙනු ඇත. ඒ අනුව ඔවුන් විසින් සමාධිගත වන තරමට නිර්මාණය කළ බුදු පිළිමයට වඳිමින්, මෙවැනි කම්මල්වල නිපදවන අවි ආයුධවලින් කපා කොටා තම අවශ්‍යතා සපුරා ගනිමින් ඊර්ෂ්‍යා සහගතව එම ශිල්පීන්වම පහත් කිරීමට සංස්කෘතිය පත් කිරීමට තරම් පිරිසක් අප අතර සිටීම මොනතරම් කනගාටුද‌ායක තත්ත්වයක්ද? මේ ප්‍රවණතාව රාවණ යුගයේත්, පණ්ඩුකාභය රජ දවස සිට අවුරුදු 1500කටත් වඩා කාලයක් යක්හෙළ රජ පරපුර පැවති කාලයේත් නොවීය. මහනුවර නගරය, පත්තිරිප්පුව, මඟුල්මඩුව ආදී බොහෝ දෑ නිර්මාණය කර දෙස් විදෙස් ජනයාගේ නෙතට මහනුවර දසුනක් බවට පත්කළ ඒ අසහාය නිර්මාණ ශිල්පියා වන ස්ථපති දේවේන්ද්‍ර මූලාචාරිතුමාව ද රදලයන් විසින් කේලාම් කියා විනාශයට පත්කරන ලදී.  


මෙවැනි ශිල්පීන් සිටීම, සමස්ත ජාතියකටම මොන තරම් ගෞරවයක්ද, මේ එවැනි ස්ථපති ශිල්පීන් දෙදෙනෙක් ගැන පමණි, 1834 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත විමලසුරේන්ද්‍ර ශිල්පියා විසින් දියමන්තියේ බ්‍රිතාන්‍ය ලාංඡනය රසායනික ක්‍රමයකින් හාරා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක්විය. එවැනි ශිල්පීය ඥ‌ානය බ්‍රිතාන්‍ය රජයේ ස්වර්ණාභරණ ශිල්පීන්ට පේරණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක්හෙළ පරපුරේ විමලසූරිය (ජල විදුලියේ නිර්මාතෘ ඩි.ජේ. විමලසුරේන්ද්‍රයන්ගේ පියා) හා මුදලිඳු අතුරලියේ වෙළෙඳ​ගොඩ චාර්ලිස්හාමි යන සහෝදරයන් දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය එසේ ප්‍රේෂණය ගියේ කැමැත්තකින් නොවේ. රජ අණ නිසා විය හැක.  


ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මෙම දෙදෙනාට රැජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයින් දෙදෙනා වැඳ වැටුණේ නැත. තාක්ෂණය දත් අය බිම වැඳ වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිට ගෙනම රැජිනට ගෙන ගිය යතුරකින් කැර කැවී​ෙමන් විසිර යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත් දත්වලින් නිම වු පොල්මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. එංගලන්තයේ වික්ටෝරි ඇල්බරට් කෞතුකාගාරයේ මෙය දැකිය හැකිය. මෙහි පෞඪත්වය වික්ටෝරියා රැජිනගේ දිනපොතේ අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව මේ දෙදනා වෙනුවෙන් බකින්හැම් මාළිගාවේ භෝජන සංග්‍රහයක් පවා පවත්වා ඇත. එමෙන් නොයෙක් තෑගි බෝග නම්බු නාම දීමෙනුත් ගරු බුහුමන් දක්වා ඇත. මේවා ඔවුන්ට පමණක් නොව සමස්ත ජාතියටමය. මෙවැනි ශිල්පීන්ට අපහාස කරමින් ඔවුන්ගෙන් සේවාවන් ලබා ගැනීමේ දී මෙම ඉතිරි ශිල්පී සුළු පිරිසද ඉදිරියේදී නැති වී යාමට ඉඩ ඇත. එය අපේ සංස්කෘතියට බලවත් පාඩුවක් ද වනු ඇත.   


බ්‍රයිස් රයන් මහතාගේ සිංහල සමාජයේ කුල ක්‍රමය නම් කෘතියේ පට්ටි වෙල්ලා හාන්දුරුවන් (ගොවිගම) යනුවෙන් හඳුන්වනු ලබන එක්තරා එකම කුලයක පිරිසක් තමන්ගේ මෙවලම් තනවා ගැනීමට දහවල් වී කම්මලට ගොස් ඇත. කම්මල් ශිල්පියා තමා කරමින් සිටි වැඩය ද පසෙක ලා ඔවුන්ගේ වැඩයෙහි නිරත විය. මේ අතර කෑම වේලාව එලඹියෙන් තම කාරිය නතර කර හාන්දුරුවන් බොහෝ දෙනෙක් සිටින නිසා හදිසියේ ඔවුන්ට කෑම දීමට අපහසු බැවින් ඔවුන් කම්මලේ සිටියදී ආහාර ගැනීමටත්, මහන්සියටත් ඔහු ගෙතුළට වැදී ඇත. ඔහු එන තෙක් හාමුදුරුවන්ට ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔවුන්ට කැම නොදීම තමන්ට කළ අවමානයක් කොට සලකා විගස කම්මලෙන් පිටව ගොස් තම ජනයා හමුවේ ඒ බව කියා එවක් පටන් නවන්දන්නා පැළැන්තියට අයත් ජනයා තත්ත්වයෙන් පහළට හෙළා දැමූ බවත් හාන්දුරුවන්ට ඔවුන්ගේ ගෙවල්වලින් කෑම ගැනීමට තිබූ වරම අහෝසි කර දැමූ බවටත්, ඔවුන් විසින්ම නියාමකයක් පනවා අපේ සංස්කෘතියට ද නිගා කරමින් එය තිර කර ගත්හ. එසේ එය ඔවුන් තර පැවතුණා විනා කිසිම ලේඛනයක සඳහන් නොවූවක් ඉහත පුවත් පත් ලිපියේ වැනි ලිපි ලේඛනවල ලේඛන ගත කිරීම සංස්තෘතික අපචාරයකි. අදටත් ඉන්දියාවේ හොඳ පුටුවක් ලැබෙන්නේත් මෙම විශ්ව බ්‍රාහ්මණ කුල නවන්දන්නා පරපුරේ අයට පමණි.   


පට්ටි වෙල්ලාල හාන්දුරුවන් (ගොවිගම) යනුවෙන් ඉහත සඳහන් හඳුන්වනු ලබන්නේ විජය පරපුරෙන් පැවත එන එකම අය වෙති. පසුව ඔවුන් මහා ජාතියේ සිංහල බසට හුරුවී සමාජයට එකතු විය. මේ බව ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය කෘතියේ ද සඳහන් වේ. මෙම හාන්දුරු (ගොවි) කුලයේ අය ක්ෂත්‍රීයන් නොවන බැවින් කෙතරම් බලවත් වුවද රජයේ පාලනය සඳහා ඔවුන් පත් කර නොගත යුත්තේය. කියා රාජකීය මූලාශ්‍රයක සඳහන්ව ඇත. (Epigraphia zeylanica (21) Vol.11.PP157.164) ක්ෂත්‍රීයන් වූ යක් හෙළ (නවන්දන්නා) අයට රාජකීයත්වය හිමිව තිබුණි. කිසිදු ගොවි කුලයේ අයෙකුට රාජකීයත්වය හිමිව තිබූ බවට සාධක ද නැත. එහෙත් පසුකාලීනව නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසුව මධුරාපුර වඩිග බිසවගේ සොයුරු ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය. ඔහුගේ පරපුරට සම්බන්ධ මෙම හන්දුරු (ගොවිකුල) නමින් හඳුන්වන අය එතැන් සිට බලවත් වී කේළාම් කීමෙන්ම රදලයින් බවට පත් වූහ. පසුව ඔවුන් ඉහත සඳහන් තිර කර ගත් කරුණු ද තවදුරටත් පහසුවෙන් සමාජ ගත කරන ලදී.   


රජුන් වර්ණවත් වුණේ කම්මල් ශිල්පීන් නිසාය. සිංහල රජ සමය ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන්ට පරසතුරු ආක්‍රමණවලදී විවිධ කණ්ඩායම් සමග පැවති කැරලි මැඩලීමට නිරතුරුව යුද්ධ කිරීමට සිදු විය. මේ සඳහා යුද අවි එකල අද මෙන් විදෙස් රටවලින් ගෙන්වීමක් නොවීමෙන් දේශීය ඉංජිනේරු එනම් මෙම නවන්දන්නා පරපුර අතින්ම නිම විය. මෙම කම්මල් ශිල්පීන් නැත්නම් රජ කෙනෙක් ද නැති තරම්ය. 1583 මුල්ලේරියා සටනේදී මූලිකත්වය ගෙන කැරැල්ල මෙහෙය වූ මෙම නවන්දන්නා පරපුරේ අංගම් සටන්කරුවන් පරංගීන්ගෙන් නවීන අවි ආයුධ තුට්ටුවකටවත් ගණන් නොගෙන පරංගීන් 1600ට වඩා පෙති ගසා මුල්ලේරියාව රතු පැහැ ගන්වමින් අතිවිශිෂ්ට ජයක් ලැබූහ. ඉංග්‍රීසීන්ද ඔවුන්ට එල්ල වන මේ ප්‍රහාර හමුවේ 1818 කැරැල්ලෙන් පසු ඔවුන් විසින් ගැසට් නිවේදනයකින් අංගම් ශිල්පය තහනම් කරන ලදී. මේ අනුව ඉහත සඳහන් ලිපිකරු නවන්දන්නා පරපුර මෙවන් සටන්කරුවන් බවද නොදැන සිටියා විය හැක. එමෙන්ම යුද ආයුධ සැදීම වළක්වනු පිණිස මේ ආකරයෙන්ම ජූඩියාවේද සිටි සියලුම ආචාරීන් පලස්තීනුන් විසින් සිරභාරයට ගෙන ඇත.   


මේ හේතුවෙන් දෙවරක්ම යුදෙව්වරුන්ගේ යුද ආයුධ නැති වීම නිසා ඔවුන් සතුරන්ට පහසුවෙන් හසු වී ඇති බවත් “විශ්ව බ්‍රාහ්මණ වංශ විනිශ්චය” කෘතියේද දැක්වේ.   


මහනුවර යුගයේ විමලධුර්මසූරිය රජු සමයේ සිංහල සේනා පසු බසිමින් සිටි අවස්ථාවක් විය. එහි දී ඉහත කී දේවේන්ද්‍ර මූලාචාරිතුමාගේ ඥාතියකුවන කම්මල් ශිල්පියකු මෙන්ම ඉස්තපතිවරයකු වූ රංවල නයිදේතුමා විසින් එකල තිබූ විශාලම සිංහල හමුද‌ාවකට ප්‍රමාණවත් වන ගිනිඅවි හැටක් නිපදවා ඇත.   


ඒවා සතුරන්ගේ ගිනිඅවිවලට නොදෙවෙනි විය. එපමණක් නොව ඒ සඳහා පුහුණුකරුවන් පවා ඇති කර බලන සටනේ දී පරසතුරන් විනාශ කර සිංහල සේනාව විජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.   


ඉන් පසු අතිමහත් සතුටට පත් විමලධර්මසූරිය රජතුමා විසින් රන්වල නයිදේතුමාට පඤ්චකකුධ (මානපහ) වන සම්මාන සහිතව රාජ සභාවේ ​ෙගෟරවනීය ඉහළම තනතුර වන මහ මුහන්දිරම්කම පිරිනමන ලදී.   


ඉහත සඳහන් කළ ආකාරයට මෙයට ඊර්ෂයා කළ රදලයින් විසින් එතුමා රහසිගතව මරණයට පත් කොට ඇත. මේ අවස්ථාවේ මේ ශෝචනීය පුවතට නිතැතින්ම සිහියට නැගේ.   


අපේ තුවක්කු නිෂ්පාදනය හා භාවිතය ගැන සඳහන් කිරීමේදී අපට තුවක්කු හා වෙඩි බෙහෙත් තාක්ෂණය හඳුන්වා දෙන ලද්දේ පෘතුගීසින් බව ඇතැම් උගත්තු පැවසුවද පෘතුගීසි තුවක්කුවලට වඩා වෙනස් තුවක්කුවක් සිංහලයෝ භාවිත කළ බව පෘතුගීසි ජාතිකයෙකුම වූ රිබෙයිරෝ ක්‍රි.ව. 1515 වාර්තා කර තිබේ. 1688 උඩරට සිංහල සෙබළුන්ගේ තුවක්කු භාවිතයේ සූර වීර භාවය ගැන ක්වේරෝස් පියතුමා සඳහන් කරන්නේ එකම තැනට වෙඩි උණ්ඩ පහක් පිට පිටම එවීමට ඔවුන් සමත් බවය. ක්‍රි.ව. 1600 දී අපිරිවයි සූසා වාර්තා කරන්නේ සිංහල ආචාරියෝ මුළු පෙරදිගින්ම අතිවිශිෂ්ට තුවක්කු සැදූහ, යනුවෙනි.   


විජය රාජසිංහ රජු නවීන තුවක්කුවලින් සේනා සන්නද්ධ කළ ආකාරය මන්ද‌ාරම් පුවතේ මෙසේ සඳහන් වේ.


“තුන් සියයක් භටයන්-තුවක්කු මුර ජාම පිණිස


නවසියයක් කොඩි තුවක්කු-සෙබළුන් යොදමින් එම ලෙස”


දැනටමත් ක්‍රියාත්මක වන එවන් කොඩි තුවක්කුවක් රත්නපුර මහ සමන් දේවාලයේත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අලංකාර පිස්තෝලයක් මහනුවර කෞතුකාගාරයේත් දැකිය හැකිය. 


ප්‍රංශයේ 1915 පියුජට් සමාගමේ ආරම්භක පියුජට් මහතා කම්මල්කරුවෙකි. ජපානයේ හොන්ඩා සමාගමේ හිමි සොචිරෝ හොන්ඩා මහතාගේ පියා ජි​හේ හොන්ඩා මහතා කම්මල්කරුවෙකි. එංගලන්තයේ දුම්රිය නිර්මාතෘ ජෝර්ජ් ස්ටීවන්සන් මහතා කම්මල්කරුවෙකි. ජර්මනියේ බෙන්ස් මෝටර් කාර් ආයතනය හිමි කාර්ල් බෙන්ස් මහතා කම්මල්කරුවෙකි. ජපානය සිමානෝ නිර්මාතෘ එම හොස්ටෙල් බ්‍රවුනිං ෆය ආම්ස් ආයතනය හිමිකරු කම්හල්කරුවෙකි. ජපානයේ මැස්ඩා සමාගම හිමි පූජිරෝ මැස්ඩා මහතා කම්මල්කරුවෙකි.  


ජපානයේ කොබෝටාව නිර්මාතෘ ගොන්ස් හීරෝ කැබෝටා මහතා කම්මල්කරුවෙකි. (මීට පෙර පළමුවෙන්ම මෙම කොබෝටාව නිපදවා ඇත්තේ ද මෙම යක්හෙළ පරපුරේ ලාංකිකයෙකු විසිනි) ස්විස්ටර්ලන්තයේ හඳට ගෙන ගිය පොකට් පිහියා නිර්මාතෘ හා එම 1909 ආරම්භක වික්ටෝරි නොකස් ආයතනය හිමි කොරල් එල් සෙනර් මහතා කම්මල්කරුවෙකි. ජර්මනියේ යතුරු ශිල්පී හා රෙඩියේටර් ඉන්වෙන්ට නිර්මාතෘ හා එම විල්හෙම් මේ බැව් ආයතනයේ හිමිකරු කම්මල්කරුවෙකි. ඉරාණයේ හිටපු ජනාධිපති අහමදීන් මහතාගේ පියා කම්මල්කරුවෙකි. ඊට අවුරුදු දහස් ගණනකට පෙර විජය අප රටට ගොඩ බසින විට මේ රජ කළ රටක් පාලනය කිරීමට තරම් දක්ෂ යක් හෙළ පරපුරේ දුටුගැමුණු මුත්තාවන මහා කාලහේන රජතුමාද කම්මල්කරුවෙකි. දුටුගැමුණු රජතුමාද ආචාරි එන පමාවට උදැල්ලක් නිම කර ඇත. පියා කම්මල්කරුවෙකු වූ පමණින් නොව එවැනි වටිනා ශිල්පය ප්‍රගුණ කළ අයෙක් වශයෙන්ම එද‌ා ශ්‍රී ලංකාවේ මෙසේ රජ කෙනෙකු විසින්ම අපට වඩාත් අඩම්බරයක් විය හැකි බව ලොවට කියා දුන් තවත් ආදර්ශයකි. අප ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් නූතන සමාජය මෙන් නොව විවිධ රටවල මෙවැනි තම ශිල්පීන්ට භේදයකින් තොරව ඉතා උසස් අන්දමින් ගරු කරනු ලැබේ. එ් අනුව පියා කම්මල්කරුවෙකු වීම ඉරාණයේ අහමදීන් ජෙඩ් මහතාට ජනාධිපති වීමට ගෞරවයක් වශයෙන් වාසි වූවා වී නම් ඔහුට වචනයකින් වත් කිසියම් බාධාවක් නොවීමෙන්ම එ් බව මනාව පැහැදිලි වේ.   

 

 

 


එම්.ඒ. කරුණාරත්න