දෙවොල් දෙවියන්ගේ බිරිඳගේ ගමේ නෑදෑයන් සොයා ගිය ගමන-3

 

 

 

පරණ ගාලු පාරේ අම්බලන්ගොඩත් හික්කඩුවත් අතර පිහිටි කහව හන්දියෙන් හැරී කිලෝමීටර් එකහමාරක් ගියවිට දෙවොල් දෙවිඳු වැඩ සිටින වේරගොඩ දේවාලය හමුවේ.   


වේරගොඩ දෙවොල් දෙවියෝ අපේ. ඒ අපේ ලේ නෑයා. අපේ දුර ඥාතියා. දෙවොල් කියන්නේ දෙවියන්ගේ ආලය. තවත් විදියකින් කිව්වොත් දෙවියන්ගේ වාසස්ථානය. දේව ආලය තිබෙන ස්ථානය. මේ තමයි සරල අරුත.   


අපේ ලේ නෑයා හරි බලවත්. දෙවොල් දෙවි පුවතේ එය කියන්නේ මෙහෙම.   
ප්‍රබල දෙවොල් දේවෝ.... දෙවොල් දිව්‍ය රාජයාණන් වහන්ස. ඔබ වහන්සේගේ දේව බැල්ම, දේව කීර්තිය, දේවානුභාවය මෙම ලංකාවේ සෑම ප්‍රදේශවලම සෑම පළාත්වලම ඒකකාරීව පැතිර පවත්නා බව සැබෑ නම්.....   
දෙවොල් දෙවියන් කියන්නේ අදටත් ජීවමාන වස්තුවක්. මේ දෙවියෝ ප්‍රයෝගික අණ පතුරුවන්නෙක්. ඒකේ අදහස කෙළින්ම අණ කිරීම. එකක් එකවරයි. දෙවරක් නැත.   
දෙවොල් දෙවියන්ගේ පිහිටි ලැබනේනෙත් ප්‍රායෝගිකව ජීවත්වන අයට. ඒකෙන් කියන්නේ ජීවිතය ගැන දැනගෙන ජීවත්වීම කියන එක. මේ ජීවත්වීමට අයත් වෙනවා තව කරුණු කිහිපයක්. එම කරුණු වෙන්නේ මේවා.   


තමන් අදහන ආගම දහම ආගමේ නියමයන් හැටියට ඇදහීම.   
හැකි සෑම මොහොතකම තමන් නොවන වෙනත් අයෙකුට පිහිට ලබාදීම.   
අදහන දේවතාවුනට පුදපෙත් කිරීම දෙවොල් දෙවියන්ගේ ගිහි කාලයේ නම මහාසාමි. මේ මහාසාමි ඉන්දියානු ජාතිකයෙක්. ඉතිහාසය කතාවලට අනුව මහාසාමි රජ පෙළපතකට අයත් රජ කුමරෙක්. තවත් තැනක සඳහන් වෙන විදියට මහා සාමි සිටු පවුලක කුමාරයෙක්.   
මහාසාමි දේවත්වයට පත්වෙන්නේ. ලංකාවේදී. දේවත්වයට පත්වීමට හේතුව වෙන්නේ කාටත් වැඩ සිද්ධ කිරීම. මේකෙන් අදහස් වෙන්නේ යහපත් වැඩ සිද්ධ කරන යන අර්ථය. දෙවොල් දිව්‍ය රාජ කන්නලව් ඒ ගැන කියන්නේ මෙහෙම.   
කාහටත් වෙනසක් නොකර යහපත ලබාදීම දෙවොල් දෙවියන් සිදුකර තිබෙන බැවින් දෙවොල් දෙවියන් සිද්ධාර්ථ නමින් සක් දෙවිඳුන් විසින් හඳුන්වා ඇත.   
වේරගොඩ දෙවොල් දෙවියන් සහ වේරගොඩ දෙවොල් දේවාලය සම්පූර්ණවම බැඳී තියෙන්නේ වේරගොඩ ගමේ සංස්කෘතිකයත් එක්ක. ඒ සංස්කෘතිය ඇතුළේ තිබුණේ ගැමියන්ගේ ජීවන රටාව. ඒකේ අදහස එදිනෙදා ගැමි ජීවිතයේ පැවැත්ම. මේ පැවැත්මට ඇතුළත් වුණා අංග දෙකක්. ඒ ජීවිත පැවැත්මට හුරු උරුමකම. වෙනත් විදියකින් කිව්වොත් දුක සැප.   
අතීතයේ දිනක ලංකාවේ කළ පළවෙනි දෙවොල් යාගයට ඇතුළු වුණේ මෙන්න මේ කියන ලංකාවට උරුමවුණු ගැමි ජීවන රටාවේ දුක සැප කියන අංශ දෙක. මේ අංශ දෙකටම ඇතුළත් වුණා තවත් දෙයක්. ඒ ජීවිතයට එන ලෙඩ රෝග.   


මේ ලෙඩ රෝග කියන කාරණය අදට වැඩිය අතීතයේ තිබුණේ වෙනස් විදියකට. ඒ තමයි ගම්මානවල ජීවත්වුණු ගැමියන්ගේ ගැමි ඇදහිල්ල. විශ්වාසය. ඒ විශ්වාසය ඇතුළේ තිබුණු බලවත්ම කරදරය නැත්නම් ගැමියන් අපලය වුණේ වසංගත රෝග.   
අතීතයේ වසංගත රෝගවලට කිව්වේ දෙයියන්ගේ ලෙඩ කියලා. ඒ ගැමි විශ්වාසය. ඒ විශ්වාසය ගැමියන්ට ආවේ ඒ කාලේ තිබුණු තේරුම් ගැනීමේ හැකියාව මත. ඒ වටහා ගැනීමේ හැකියාව මත වසංගත ලෙඩ රෝග විදියට ගැමියන් හැඳින්නුවේ පැපොල, සරම්ප, උණ, වසූරිය වගේ ලෙඩ රෝග.   
අතීතයේ ලංකාවට ආපු දෙවොල් මහාසාමි කළ පළවෙනි දෙවොල් මඩු ශාන්ති කර්මය සකස් කෙරුණේ ලංකාවේ එකල තිබුණු මේ ගැමි ජීවන රටාවට බද්ධ වෙමින්. ඒ බද්ධවීම ඇතුළේ තිබුණේ සුබ කටයුත්තක් සිදුකිරීම. ඒ සුබ මොහොතකින්. අද එය හඳුන්වන්නේ සුබ මුහුර්තය කියන නමින්.   
මේ සුබ මුහුර්තයේ දී අතීතයේ පළමුවෙන්ම කළේ කප් සිටුවීම. මේ දෙය කරන්නේ දෙවියන්ට කරන බාරයක් විදියට. ඒ බාරය අර්ථ ගන්වන්නේ කප් සිටුවීමෙන් සියලු වසංගත රෝග දෙවියන් දුරු කරන්නේය යන අදහස.   
බාරයක් ලෙස කප සිටුවීමෙන් පසු ඇතිවන විශ්වාසය වෙන්නේ දෙවියන් ලෙඩ රෝග දුර කරනවා කියන අදහස. ඒ ඉදිරි තුන් මාසය ඇතුළත. තුන් මාස ගෙවුණ තැන ගම්මඩුව නටන්නේ එම හේතුව මත.   


ඒ තමයි දෙවියන්ට වූ බාරය ඔප්පු කිරීම. 

 
ඒ කිව්වේ දෙවොල් දෙවි බාරයේ කප් සිටුවීමේ එක ක්‍රමයක් ගැන. කප් සිටුවීමේ අනෙක් ක්‍රමය තම තමන්ගේ වගා බිම්වල අස්වැන්න ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් දෙවියන්ට කරන බාරය. මේ බාරහාර ඔප්පු කිරීම සිදු කරනවා ක්‍රම තුනකට. ඒ දෙවොල් මඩු පහන් මඩු ගම්මඩු විදියට පොදුවේ මෙම මඩු හඳුන්වන්නේ යාතු කර්ම විදියට.   
කප් සිටුවීමෙන් පස්සේ කරන මඩු මංගල්‍යයක්. අතීතයේ මහාසාමි නම් දෙවොල් කුමාරයා ලංකාවේ කළ පළවෙනි මඩු මංගල්‍යයට කළ අර්ථ ගැන්වීම අදටත් භාවිතා වෙනවා. ඒ ආකාරයටම ඒ ආශිර්වාදය ඉල්ලමින් දෙවියන්ගෙන් කළ ඉල්ලීම. ඒ මෙම ඉල්ලීම.   
කිසිම කාය චිත්ත පීඩාවකින් තොරව දෙවියන් උදෙසා පවත්වන මෙම මඩු මංගල්‍යය හෙවත් ශාන්ති කර්මය කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.   
ලංකාවට දෙවොල් මඩු යාගය හඳුන්වාදුන් මහාසාමි නම් දෙවොල් කුමාරයා පනවපු නියමයක් අදටත් බොහෝ පිරිස් අනුගමනය කරනවා. ඒ කප සිටුවීමට පුරුෂ පක්ෂය පමණක් සහභාගි විය යුතුයි කියන නියමය. ඒ වගේම කප සිටුවීමට ගත යුත්තේ කිරි ගසක් කියන නියමයක් අදටත් ආරක්ෂා කරනවා.   
මෙම කප සිටුවීම පිළිබඳ අතීතයේ ලියවිලා තියෙන සටහනක් මේ.   


තුනුරුවන් මුල් කොට   
වැඳ සුර නරන් හැමවිට   
පොර නැදුරු යාගෙට   
සැදූ කප උපත කීය මෙලෙසට   
පෙර සොළී රට රජෙක්   
රජ කරන පුර දවසක්   
පෙර කල පල දොසක්   
එදා පැවතුණි රජු වෙනසක්   
නිරිඳු තෝරා ගස   
කිව්ව නිරිඳුට මෙලෙස   
යාග කරවන ලෙස   
කප සිටෙව්වොත් දෝස යයි බැස   


දෙවොල් දෙවියන් කළ මඩු යාගයේ දෙවෙනි අංගය වුණේ මඩු පේ කිරීම. මෙම මඩු පේ කිරීමේ අර්ථය වෙන්නේ මඩු මංගල්‍යය සාර්ථක කර ගැනීමට කලින් සිටවූ කප අලුත් කිරීම කියන එක. මෙම මඩු පේ කිරීම අදටත් කරන්නේ අතීතයේ දෙවොල් දෙවිඳු වෙනුවෙන් කළ ආකාරයටම. එදා පළමුවරට ලංකාවට හඳුන්වා දුන් ආකාරයට. ඒ මේ විදියට.   
පළමුව යහන්, තොරන් තැනීම එම තැනීම මස්තක ප්‍රමාණයට සිදුකිරීම. දෙවනුව කෝල්මුර කවි ගායනා කිරීම, තෙවනුව බෙර වාදනය මැද උඩුවියන් යටින් මඩු මංගල්‍යය පවත්වන ස්ථානයට ඉදිකළ යහන් තොරන් වැඩමවීම.   


සිව්වෙනුව සුදු පිරුවට දැමූ පුටුවක් මත තැන්පත් කර දෙවියන්ට බාරකර මඩු මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවසර ඉල්ලීම.   
එම දින රාත්‍රී කාලයේ දෙවියන්ට පිං දීම අනිවාර්ය අංගයක්. දෙවියන්ට පිං දීමේදී විෂ්ණු කතරගම, සමන්, විභීෂණ, නාථ, පත්තිනි, දෙවොල් දෙවියන්ට පහන් දැල්වීම ප්‍රධාන කරුණක්. මෙහි ප්‍රධාන ස්ථානය හිමිවන්නේ කතරගම දෙවියන් වෙතට.   
දෙවොල් දෙවියන් උදෙසා පවත්වන මඩු යාගයෙන් ඊළඟ අංගය වෙන්නේ මුළුතැන් අඩුක්කු බෑම. මේ දෙය හඳුන්වනවා පිදීම ලෙසිනුත්.   
මුළුතැන් අඩුක්කු කියන්නේ අලුත් සහලින් පිසගත් බත්, හත් මාළුව, කැවුම්, කෙසෙල් ගෙඩි, බුලත්, පඬුරු, බුදුහාමුදුරුවන්ගේ නාමයට පළමුව පූජා කිරීම. දේව පූජාව කියන්නේ ඉන් පසුවයි. මෙම ආහාර පූජාවෙන් රැස්කර ගන්නා පිං සියල්ල අනුමෝදන් කරන්නේ දෙවියන්.   
දෙවොල් මඩු යාගයේ එන මිල්ල කැපීම විශේෂ අංගයක්. මේ මිල්ල කැපීම විශේෂ වෙන්නේ එක් දෙයකට. ඒ දෙවොල් දෙවියන් උදෙසා පමණක් වීම. මිල්ල කැපීම කළ යුතු ආකාරය අද දක්වාම කෙරෙන්නේ පළමු දෙවොල් මඩුවේ කළ ආකාරයටම.   

 

වේරගොඩ දෙවොල් දේවාලය

 


ඒ මඩු මංගල්‍යයම පවත්වන දිනයේ පහන් දැල්වීමට පෙර කාලයේ. මිල්ල කැපීම කරන්නේ ඉන් අනතුරුව.   
මිල්ල කැපීම හඳුන්වනුයේ පුරාණ සිරිතක් චාරිත්‍රයක් ලෙසට පළමුව තෝරාගත් මිල්ල ගසක් වටකර ගොක් රැහැන් ඇදීම මගින් කරන්නේ ගස පේ කිරීම. යහන් දැක්ම නැටීම, දුම් ඇල්ලීම කරන්නේ ඉන් පසුව. පැන් ඉසීමෙන් පසු පේ කළ කැත්තෙන් මිල්ල ගස කපන්නේ ප්‍රධාන කපු මහතා. කැපූ මිල්ල ගස සුදු පිරුවටයකින් ඔතා කොට්ටොරු හෙවත් වට්ටෝරු මහතාට ලබාදෙන්නේ ඉන්පසුව. මුඛවාඩම් බැඳගත් කොට්ටෝරු මහතා මිල්ල දර හිස මත තබා උඩුවියන් යටින් මඩු පොළට ගෙන ඒම සිදු කරන්නේ ඊටත් පසුව. ඒ කෝල්මුර ගායනා මතින් එය යහනේ තැන්පත් කරන්නේ ප්‍රධාන කපුවා විසින්. මේ තමයි මිල්ල කැපීම. මෙම මිල්ල කැපීම කරන්නේ සම්පූර්ණයෙන්ම දෙවොල් දෙවියන් වෙනුවෙන්. එය හඳුන්වනුයේ දෙවොල් දෙවියන්ගේ නමට කරන තෝත්‍රයක් ලෙසින්.   


දෙවොල් මඩු යාගයේ හඟල පේ කිරීම අනෙක් අංගය. හඟල පේ කිරීම දෙවොල් දෙවියන් හඳුන්වා දී තිබෙනුයේ මෙලෙසින්.   


දිළිඳු කුල අගපත්   
දිගා ආසිරි විකුමුත්   
කාබේරි පුර මහත්   
සේරමනාන් නිරිඳු වැජඹෙත්   
නොවනා වන ලෙඩක්   
එඅඹු සිරසෙහි අටගත්   
පතිනි දෙවි අගපත්   
පෙනී සීනෙන් කිව්ව දවසත්  
නරලොවට එන්නේ   
සක්වළ දිවැස් ලන්නේ   
සෙත්සිරි දෙවන්නේ   
සඟල උපතකි කවි කියන්නේ   


මේ හඟල අයිති වෙන්නේ ප්‍රධාන කපු මහතාට. හඟල පේ කිරීමේදී සිදුකරනුයේ දුම් අල්ලා මල් පහන් පූජා කර මල් බුලත් තටුව මත තබා තුන් ඉස කෝල් මුර කවි ගායනා කිරීම. මෙය කරනුයේ ප්‍රධාන කපු පත්තිනි තැන. නැටුම් ශිල්පියෙක් පේ කළ හඟල යහන්වලට පාළිකර ප්‍රධාන කපු තැනට ලබාදෙන්නේ ඉන් පසුවය.   
මේ සියලු කටයුතු මඩු මංගල්‍යය ආරම්භ කිරීමට පෙර කළ යුතු දේවල්. මඩු මංගල්‍යය ආරම්භ වනුයේ ඉන්පසුව. දෙවොල් දෙවියන් දක්වා තිබෙන නියමයන්ට අනුව මඩු මංගල්‍යය ඇරඹෙන්නේ කපු පත්තිනිවරුන්ට දානයක් දීමෙන් එය හඳුන්වනුයේ දෙවියන්ගේ දානය නමින්.   
දානය දීමට ගනු ලබන්නේ නොඉඳුළෙන් පිසගත් පේ බතක්. එම බත අනුභව කළ යුත්තේ බිම එළාගත් පැදුරු මත ඉඳගෙන. බත අනුභව කිරීම කළ යුත්තේ කෙසෙල් කොළයකට බෙදාගෙන. බත අනුභවයට පෙර ප්‍රධාන කපු පත්තිනි තැන විසින් දේව යාතිකා කර දෙවියන්ට සහ මළගිය ඇත්තන්ට පේ බතින් යම් කොටසක් වෙන් කිරීම දෙවොල් දෙවියන්ගේ නියමයක් අනුව සිදුවන්නක්. පේ බත අනුභව කරන්නේ ඉන් අනතුරුවයි.   


දෙවොල් දෙවි නියමයට අනුව සිදුකරන කටයුත්තක් වනුයේ පහන් පත්තු කිරීම. දෙවොල් මඩු මංගල්‍යයේදී එය හඳුන්වනුයේ තෙල් මල් වැඩමවීම යනුවෙන්.   
මෙහිදී කෙරෙනුයේ තෝරාගත් පොල් ගසක් පළමුව පේ කිරීම. ගොක් රෑන් ඇද, පොල් ගෙඩි දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් බිමට නොකඩා උස් ආසනයක් මත තබා කෝටුවකින් එම පොල් ගෙඩි ලෙලි ගැසීම මුඛවාඩම් බැඳගත් වට්ටෝරු රාල චාරිත්‍රානුකූලව එම පොල් වලින් තෙල් සිඳින්නේ ඉන් පසුව සිඳගත් තෙල් උඩුවියන් යටින් ගෙනවිත් පහන් දල්වන්නේ ඉන් අනතුරුව. පළමුව බුදුරදුන්ටත් දෙවනුව දෙවි දේවතාවුන්ටත් පහන් දල්වන්නේ මෙම ආකාරයට සිඳගත් තෙල් වලින් මේ එම අවස්ථාවට ගැයෙන පැරණි දෙවොල් කවි දෙකක්.   


සිද්ධ තෙද බල මෙලොව පවතින   
විපුල් අනුහස් දෙවිමතුන් හට   
ඇද්ද වටතිර උඩුවියන් රඟ
මඩල දුළ කළ බබළවන්නට   
සුද්ද ලෙස පිරිසුදුව පොල් සිඳ
බා පෙරා තෙල් රැගෙන පදමට   
සද්ද කර බෙර සංඛ නදයෙන්
උඩුවියන් පැල්ලමින් නිසි කොට   
පසන්වන රඟ මඩල දුළ කළ
උතුම් දෙවියන් නමට සැදි යස
කුසුම් ගොක් රඹ පතුරු සැදි
මල් තොරණ පෙරටුව එළිය වන ලෙස   
උඩින් අල්ලා වියන් මනහර සංඛ  
නදයෙන් ගෙනත් නිසි ලෙස   
උතුම් දෙවියන් නමට මේ තෙල්
ඔප්පු දෙවි දොස දුරැර සහ ලෙස   


දෙවොල් යාගයේ ඉතා සුවිශේෂී අංගයක් ඔහුගේ කතරගම දෙවියන් වෙනුවෙන්ම කැපවුණු අංගයයි. එය නම්කර තිබෙනුයේ කාල පන්දම එසවීම ලෙසින්. කාල පන්දම එසවීමේ සරල අරුත ලියැවී තිබෙනුයේ මෙලෙසින්.   


දහ අට රියනක් හෝ විසිඑක් රියනක් උස පුවක් ගසක් ගෙන කාල පන්දම ගසා එම ආලෝක පූජාව ඉෂ්ට සිද්ධ කිරීම. මෙය සම්පූර්ණයෙන් කතරගම දෙවියන් ප්‍රධානවම සිදුකෙරෙන්නක් මෙම කාල පන්දම එසවීම පිටුපස තිබෙණුයේ ඉතාමත් ඓතිහාසික කතාවක්. එය පුරාවෘත්තයක්.   


එම පුරාවෘත්තය දුටුගැමුණු එළාර යුද්ධයට සම්බන්ධ එකක්. යුද්ධයට පෙර දුටුගැමුණු රජු භාරයක් වූයේ කතරගම දෙවියන්ට ඒ එළාර සමඟ කරනු ලබන යුද්ධය ජයගැනීමට කතරගම දෙවියන්ගේ දේවාශිර්වාදය සහ ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් යුද්ධය ජයගැනීමෙන් පසු කතරගම දෙවියන් උදෙසා දේවාල මන්දිරයක් තනා දීම දුටුගැමුණු රජු වූ පොරොන්දුවක්. යුද්ධය දිනූ දුටුගැමුණු රජු තම පොරොන්දුව එම ආකාරයෙන්ම ඉටු කිරීමට සිහිපත් කිරීමට මෙම අංගය එකතු කළ බව දෙවොල් පුරාවතේ සඳහන් වන්නේ. එහිදී ගැයෙන කවි දෙකක් මේ.   


දුන් තෙද බල කඳ කුමරු   
වන් උවදුරු කරපු දුරු   
සිංහාසන බලෙන් ගරු   
පන්දොස ඉස මුදුන දුරු   
උකුන් කන්ද කුමරිඳුන්නේ   
එරඹ දුන්නේ අනුහසින් නේ   
සවන් දෙකද දැහැස යෙනේ   
මෙවන් දෝස දුර හරින්නේ   


තොරන් යාගය පත්තිනි මෑණියන් උදෙසාම කෙරෙන්නක්. පත්තිනි මෑණියන්ට මෙහෙදී ඉදිකරනුයේ තොරණක්. එම තොරණ ඉදිකෙරෙනුයේ කෙසෙල් ගස්වල කෙසෙල් පතුරු භාවිතයෙන්. එම තොරණේ ප්‍රධාන කවුළුව ආවරණය කරනුයේ කළු හෝ සුදු පාට රෙදි කොටසකින්. එය කෙරෙනුයේ පත්තිනි මෑණියන් තොරන් මස්තකයට වැඩම කරවීමට පෙර. ඒ වගේම කළයුතු තවත් දෙයක් වනුයේ පද කොට්ඨාස කවි තාල නටා පත්තිනි මෑණියන්ගේ නමින් තොරන් කඩය විවෘත කිරීම නර්ථන කුටියෙන් තොරන් කඩය රැගෙන යහන් වලට පාලි කර එය නැවතත් තොරණේ තැන්පත් කර තොරණ පත්තිනි මෑණියන්ට බාරදීම අද දක්වාම පවතින ඉපැරණි සිරිතක්. මේ එමඟින් හිමි වන ප්‍රතිඵලය.   


සරන පතිනි දෙවියන් හට බැඳි තොරණේ   
දරන නාග මොනරුන් රැකවල සිටිනේ   
නරන් වැඳ සිටින දෙවිඳුට බැති සිතිනේ  
තොරණ දැකපු බලයෙන් දොස නිවාරණේ   


පත්තිනි මෑණියන් වෙනුවෙන් කෙරෙන තවත් පූජාවක් වනුයේ දෙවොල් මඩුවේ එන පත්තිනි නැටීම. මෙම දෙවොල් මඩු ශාන්ති කර්මයේ ප්‍රධාන දේවතාවිය වනුයේ පත්තිනි මෑණියන්. පත්තිනි මෑණියන් වෙනුවෙන් පත්තිනි නැටීම කරනුයේ ප්‍රධාන කපුවරයා. ඒ පත්තිනි මෑණියන්ගේ වස්ත්‍රාභරණ වලින් නොඅඩුව සැරසීමෙන්.   
මෙම නර්තනයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් ඇතුළත් ඒ තාල. නනු මුර කිරීම කරඬු පද සහ පත්තිනි පද නැටීම තලං පාවා දීම සියලුම අයගේ දොස් දුරු කිරීම පත්තිනි දේවිය හත් වාරයක් උපත ලැබීම කවියෙන් ගායනා කිරීම සුවිශේෂි අංගයක්. සම්පූර්ණ පත්තිනි නර්තනය ඉදිරිපත් කරනුයේ පාවඩ මත සිට.   


රන් කඩු රන් පළසක් ගෙන සුරතට   
විස්තර උඩු වියනුක් අල්ලා සිට   
කස්තුරි කපුරෙන් දුම් අල්ලා සිට   
පත්තිනි දෙවියෝ වැඩියා මඩුවට   


තුනුරුවන ප්‍රධාන කර දෙවියන්ට සිදුකරනා මඟුල් බෙර වාදනය පංච තූර්ය වාදනයක්. මෙම මඟුල් බෙර වාදනය කරනුයේ තෙල්මේ නැටුමට පෙර. පත්තිනි දෙවියන් වෙනුවෙන් තනනු ලැබූ තොරණ සමීපයේ සිට කරන මඟුල් බෙර වාදනය කරනුයේ කවි ගායනයෙන්. එම ගායනයට මඟුල් බෙර උත්පත්ති කතාව ඇතුළත් එය අවසන් වනුයේ ආතුරයන්ගේ පුද පඬුරු අරගැනීමෙන් සෙත් කියමනක් කියා සෙත් ශාන්ති කිරීමෙන්.   


දෙවොල් දෙවි ශාන්ති කර්මයේ පුද ගන්නා දොළහ දෙවියන් වෙනුවෙන් කරන නැටුම හඳුන්වන්නේ තෙල්මේ නැටුම ලෙසින්. අතීත තෙල්මේ නැටුමට සකස් කෙරුණේ වෙනම විදියක්. ඒ අල්ලි දොළහක් සහිතව. එයට තැබෙනුයේ බුලත් කොළ දොළහක් විලක්කු දොළහක්. පඬුරු දොළහක් බැගින්. බුලත් පඬුරු පිදෙනුයේ වෙන වෙනම නටන පද කොට්ඨාස වලින් මෙම නර්තනය ඉතා වේගවමත්. එම නර්තය තුළට පතා විස්ස, මාලික්කම, බරබර වල්ල ඇතුළත්.   
දෙවොල් යාගයේ දොළහ පෙළපාළිය ප්‍රධාන දෙවිවරුන් දොළොස් දෙනා වෙනුවෙන් කෙරෙන්නක්. මෙය සමන්විත වනුයේ පෙළපාලි දොළහකින්. ප්‍රධාන ඇඳුරා සහ බෙර වාදකයා අතර සිදුවන සංවාදයක් ඇසුරිනි. මෙය කෙරෙනුයේ මෙහිදී සිදුවන දෙය පූජා භාණ්ඩ දොළහක් දෙවියන්ගේ නාමයට ඔප්පු කිරීම.   
මෙම නර්තනයේ විශේෂ අවස්ථාවන් දැක්වෙනුයේ මෙලෙසින්. ඒ දෙවිවරු දොළොස් දෙනාම වෙන වෙනම පූජා කරන පූජා භාණ්ඩ දොළහක් වෙන්කර තිබීම. ඒ උඩට උඩු වියන් බිමට පාවඩ කූඩු කොඩි සේසත් චාමර දවුල් තම්මැට්ටන් කොම්බු වීනා ඇතා මීමා ලෙසින් දෙවොල් මඩු යාගයට අයත් සියලු අංග දෙවොල් දෙවියන් උදෙසා දෙවොල් කුමාරයා හෙවත් මහාසාමි සකසා තිබෙනුයේ මනුෂ්‍යන්ගේ ජීවිතය තුළ පවත්නා සියලු ක්‍රියාකාරකම් සහ අපල උපද්‍රවවලට ගැළපෙන ලෙසින්.   


ඒ සමස්ථ ලෝක ධාතුවේ සම්පූර්ණ නියෝජනයක්. දිවිදොස් දුරු කිරීම උදෙසා නටන දෙවොල් මඩුවකට සහභාගී වීමම පිනක්. ඉන්දියාවෙන් ලංකාවට පැමිණි දෙවොල් කුමරු දෙවොල් දෙවියන් ලෙස දේවතාවයට පත්වනුයේ ලංකා භූමියේදී. මෙමඟින් කියනුයේ ලංකා භූමියේ පවතින පුණ්‍යවන්තභාවය. දෙවොල් දෙවියන් උදෙසා ගිනි පෑගීමේදී දෙවොල් කුමරු ලංකාවෙන් ඇයැද සිටි යාදින්නයි මේ.   


අඳුන් එගිරි මුදුනේ වැඩ සිටි පතිනි   
ළඳුන් සැමට පිරිවර හට නෙත් සැදුණි   
එදුන් බලේ මුළු තුන් ලොවට පැතිරුණි   
මැලේ පාගන්ට වරමක් දෙන් පතිනි   


මෙම අවසර ඉල්ලීමේ අර්ථ දෙකක් දැකිය හැකියි. ඒ මතුපිට අර්ථය සහ ඇතුළත අර්ථය ලෙසින්. මතුපිට අර්ථය කියනුයේ ගිනිමැල හත පාගන්නට අවසර දෙන්න යනුවෙන්. ඇතුළත අර්ථය කියනුයේ ලංකා භූමියේ පැලපැදියම් වීමට අවසර දෙන්න යනුවෙන්.

   
ඉන්දියාවෙන් ලංකාවට එවූ දෙවොල් කුමාරවරු හය දෙනා ප්‍රමුඛ දෙවොල් මහාසාමි ලංකා භූමියටත් භූමියේ මනුෂ්‍යයන්ටත් මේ කරනු ලැබුවේ මහාම මහා සෙත් ශාන්තියක්. ලබාදෙනු ලැබුවේ මහාම මහා අනර්ඝ දායාදයක්. එම දායාදය වේරගොඩ දෙවොල් දේවාලයේ ආරම්භ අවදියේ සිට මේ දක්වාම නොනැසී පවතින බව වේරගොඩ දේවාලයට යන කවරකුහට වුව දැකගැන්මට පිළිවන. 

 
දෙවොල් දෙවියන්ට සම්බන්ධ ලංකාවේ අප්‍රසිද්ධ දේවාල, යම් මූලාශ්‍ර තොරතුරු ඔබ සතුව අැත්නම් දෙවොල් දෙවියන් පිළිබඳ සකස් කෙනෙර පර් යේෂණාත්මක ග්‍රන්ථයට ඇතුළත් කිරීමට 0773229775 අංකයෙන් මෙම ලිපියේ වාර්තාකරුට කතාකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.   


ලබන සතියට.


සටහන සහ ඡායාරූප
අරුණඩේල් විජේරත්න