අභියෝග ජයගත් මිනිස්සු

 

අරුණ කොතලාවල  

1987-88 සමය යනු රටේ පැවැති වාතාවරණය සමග සරසවි වැසී තිබුණු වකවානුවකි. සරසවි අධ්‍යාපන කටයුතු සිදුකෙරුණේ විටින් විටදීය. අරුණ කොතලාවල සිසුවා සරසවි වරම් ලබා සිටියේ 86 වසරේ සිටය. විද්‍යාවේදී උපාධිය වෙනුවෙන් සරසවි අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔහු තේරී සිටියේ කොළඹ සරසවියේ විද්‍යා පීඨය වෙතය. සරසවිය විටින් විට වැසී තිබීම හමුවේ, අරුණ ජීවිතය හකුළුවාගෙන පසෙකට වී නොසිටියේය. ඔහු ජීවිතය වෙනත් මාවතකට හරවා ගත්තේ සරසවි ජීවිතයේ ලැබුණු ඒ අවකාශය වෙතිනි.   


“සරසවි ගැටුම් පැවැති නිසා විටින් විට සරසවිය වහලා තිබුණෙ. මේ විදියට වැහිලා තිබියදී ආයේ කවදා පටන් ගනීවිද? යන අවිනිශ්‍චිත බව හමුවේ, යමක් කළොත් හොඳයි යන්න විශ්වාස කළා. ඒ කාලයේ අපේ තාත්තාට අයිති කුඩා වී මෝලක් පවත්වාගෙන ගියා. හැබැයි ඒ වනවිට රටේ පැවැති තත්ත්වය හමුවේ ඒකට වැඩ නැතුව ගියා. අපේ තාත්තා ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ගුරුවරයෙක් ලෙස සේවය කළේ. අම්මා සේවය කළෙත් ගුරුවරියක ලෙසයි. කුඩා වී මෝල තාත්තාට අමතරව තිබූ දෙයක්. සරසවි වහලා තිබුණු මේ වෙලාවේ අපේ වී මෝල ක්‍රමවත් විදියට පවත්වාගෙන ගියොත් හොඳ යැයි විශ්‍වාස කළ මම, මෙය නැවත පටන් ගන්න කටයුතු යෙදුවා. පටන් ගත්තෙ තාත්තාට අයිති කුඹුරක් විකුණලා ගත්ත මුදලින්. මේ වැඩේ පටන් ගන්න අපේ මහප්පාට අයිති ඉඩමේ පර්චස් දහයක විතර කොටසක් ලබා දුන්නා. එදා ඒ ඉඩමේ මේ වැඩේ පටන් ගත්තෙ ඉතා පොඩියට. තාත්තා එදා කරගෙන ගිය වී මෝලට නම දාලා තිබුණෙ “රත්න” කියලයි. ඒ නිසා රත්න ග්‍රයින්ඩින්මිල්ස් කියලා මේ අලුත් වැඩේදී ඒ නාමයම යොදා ගත්තා. මෙහි වැඩ කරන්න හිටියෙ මායි තව එක් සේවකයෙක් විතරයි. බඩු මුට්ටු කර ගහන්න, වී කොටන්න ඒවා එහෙට මෙහෙට ගෙනියන්න වගේම වී කෙටීම ඇතුළු සියල්ල කළේ‍ මම සහ හිටපු සේවකයා විතරයි. ඔන්න එතකොට තමයි ජීවිතයේ ලොකු පන්නරයක් ලැබුවේ. සමහරදාට වී කොටද්දී කුඩු ඇඟ පුරා ගිහින් අසීරුතාවකට මුහුණපෑවත් එයින් අධෛර්යයට පත් වුණේ‍ නැහැ.   


රාත්‍රී හත අට විතර වෙනකල් වැඩ කළා. වැඩේ හරියට කළ නිසා සමහරදාට මිනිස්සුන්ට වී ටික කොටා ගන්න​ පෝලිමේ ඉන්නත් සිදුවුණා. ලැබෙන මුදල පාවිච්චි කළේ හරි පරිස්සමින්.”   


ඒ ශික්ෂණය, විනය ඇතිව එලෙසින් අතීතාවර්ජනය කරන ඒ මිනිසාට පසු කාලෙක රටටම නොව, ලෝකයටම කුළු බඩු මෙන්ම ආහාර ද්‍රව්‍ය නිෂ්‍පාදනය කොට බෙදාහැරීමට හැකිවිණි. එදා එක් සේවකයකු වෙතින් පටන් ගත් ඒ ගමන ජය දද නංවා, විජය නිෂ්පාදන ආයතනය නමින් අද නැගීසිටින්නේ එක්දහස් තුන්සියයකට ආසන්න සේවක පිරිසක් සමගය. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම විජය ආහාර නිෂ්පාදන බෙදාහැරෙන අතර, ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, ජපානය, මැද පෙරදිග ඇතුළු ලෝකයේ රටවල් බොහොමයක් ආක්‍රමණය කර හමාරය. ජනතා සම්මානයේ සිට ව්‍යවසාය ක්ෂේත්‍රයේ සම්මාන රැසක් ද ඔවුනට හිමිය. අපේ දේ රැගෙන රටෙන් - ලෝකයට අරුණාලෝකය පැතිර වූ ඒ මිනිසා අරුණ කොතලාවලය. මේ දිගහැරෙන්නේ ඒ දිරිය මිනිසාගේ අභියෝග ජයගෙන පැමිණි ජීවිතයේ කතාවය.   
මව් පිය දෙපල ගුරුවරු වූ ඒ පවුලේ වැඩිමලා මේ අරුණ කොතලාවලය. ඔහුගේ එකම සහෝදරයා වන්නේ කලෙක දේශපාලන චරිතයක්ව සිටි නිර්මල කොතලාවලය. කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනයට එළැඹි හේ පසුව මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීය. මව්පිය දෙපල ගුරුවරු වුවද තමාට සහ සොහොයුරාට අධ්‍යාපනයටම කැපවී ක්‍රියා කරන්නයි බලපෑම් නොකළ වග අරුණ සිහි ගන්වයි.  


“කුඩා කාලයේදී වගේම පාසල් කාලයේදීත් අපි හරියට දඟවැඩ කළා. හැබැයි සම්මතයට එරෙහි වූ දේ හෝ වැරදි වැඩ කළේ නැහැ. මල්ලි එක්ක හරි හරියට සෙල්ලම් කළා. එළුවෝ, ගිරව්, මයිනෝ අපි සුරතලයට ඇති කළා. කැලෑවේ ගිහිල්ලා කුරුල්ලො අල්ලගෙන ආවා. හැබැයි උන්ට ආදරේට මිසක හිංසා කළේ නැහැ. ඇලේ - දොළේ වෙලේ තමයි දුව පැන ඇවිද සෙල්ලම් කළේ. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේදී ශිෂ්‍යයින්ට වගා කරන්න වෙන වෙනම පාත්ති පවා තිබුණා. අපි පාසලේදී වඩු වැඩත් කළා. එදා ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තෙ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන්.  


ළමා අවදිය එලෙසින් සුන්දරව ගත කළ අරුණගේ ජීවිතය වතාවක් බේරුණේ අනූනමයෙනි. එදා කැලෑ රොදේ කෙළි සෙල්ලමේ යෙදෙන විට දුව පැන යද්දී දරණ ගසා සිටි නාගයකුගේ මත පය තැබිණි. සැණෙකින් වහා පැන ගත් නිසා නාගයාගේ පහරට ලක් නොවුණේ වාසනාවකට මෙනි. ඒ හැරත් සොබා දහමට ආදරය කරන මිනිසා ස්වභාවධර්ම විසින්ම රැක ගත් බව කිව හැකිය. ළමා වියේදී සුන්දර ජීවිතයක් ගත කළ අරුණ හට ජීවිතය දැනෙන්නට පටන් ගත්තේ සරසවි වරම් ලැබීමත් සමග යැයි සඳහන් කරයි.  
“එදා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් සරසවි වරම් ලැබූවේ තුන් දෙනයි. ඒ අතරට මාත් ඇතුළත්. මාව තේරුණේ කොළඹ සරසවියට. හරියටම මට ජීවිතය දැනෙන්න පටන් ගත්තෙ සරසවියට තේරුණ අවස්ථාවේදීයි. හැබැයි විටින් විට සරසවිය වැසුණු නිසා ලෙක්චර්වලටත් නිරන්තයෙන්ම ගියේ නැහැ. සරසවියේ දෙවැනි වසරේ සිටියදී මට අමතක නොවන සිදුවීමක් තියෙනවා. එනම් එදා විභාගයට නොගිහින් එවකට මා විසින් පවත්වාගෙන ගිය විජය හෝටලයේ කෑම ජාති හදන්න තිබූ නිසා හෝටලයේ හිටියා.”  


“විජය” කියන නමින් ඒ විදියට මුලින්ම පටන් ගත්තෙ හෝටලයද? අරුණගේ කතාවට මදක් බාධා කරමින් විජය නම ආ හැටි අපි විමසීමු.  


ඒ කතාව මෙහෙමයි. එදා වී කෙටීමේ කටයුත්ත පටන් ගත්තෙ 1987 දීයි. ඒ වී මෝලේ වැඩ කරගෙන යන අතරේදී මිරිස් කෙටීමේ වැඩෙත් කළා. එහිදී ආ අදහසකට අනුව 1989දී මිරිස් සහ තුනපහ කුඩු පැකට් කරලා සේවකයකු යොදවා බයිසිකලයෙන් ඒවා බෙදාහැරීමට සැලැස්වූවා. එතකොට විජය හෝටලය පටන් ගත්තෙ 1990 දී විතර. අපේ වාසගම එන්නෙ විජයරත්න කොතලාවල නමින්. ඒ නිසා “විජය” කොටස යොදාගෙන විජය නිෂ්පාදන නමින් මිරිස් සහ තුනපහ කුඩු බෙදාහැරීමේ කටයුත්ත සහ විජය හෝටලය වෙනුවෙන් ඒ නාමය යොදා ගත්තා.”  


රත්න ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් වී කෙටීමෙන් ඇරඹුණු ව්‍යාපාරය මිරිස් කුඩු, තුනපහ කුඩු නිෂ්‍පාදනයේදී විජය නිෂ්‍පාදන වී ගමෙන් නගරයට විජය නාමය පැතිරී ගියේ එලෙසින්ය. එදා එක් සේවකයකු ලවා බයිසිකලයෙන් පටන් ගත් ඒ ගමන අද ඔවුන් ජයගෙන ඇත්තේ ලෝකය ස්පර්ශ කරමිනි. අරුණ මේ ගමන පැමිණ සිටින්නේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නිසාය. පළමු සහ දෙවැනි වසරේදී මගහැරී ගිය සරසවි ජීවිතයේදී විෂයයන් සහ අභ්‍යාශ සියල්ල තෙවැනි වසර වන විට සපුරා ගැනීමට ඔහුට හැකි වූයේ ඒ ධෛර්ය නිසාමය. තෙවැනි වසරේ විභාග සියල්ල වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා වෙහෙස වූ අතර යාළුවන්ගේ උදව් උපකාරද ලබා ගත්තේය.  


එහිදී ඔහුගේ සහෝදරයා වන නිර්මල කොතලාවලගෙන් ලැබුණු සහයෝගය අරුණ සිහිපත් කරන්නේ කෘතවේදීවය. මෙකී ස්වභාවයේ සියල්ල අවසන ඔහු කොළඹ සරසවියෙන් පිටව ගියේ විද්‍යා අංශයේ විශේෂවේදී උපාධිය ඉහළින් සමාර්ථ වී උපාධිධරයකු ලෙසය. සාමාන්‍යයෙන් උපාධිය ගත් පසු බොහෝ දෙනා සමාජ ගත වන්නේ තනතුරක් බලාපොරොත්තුවෙනි. එහෙත් අරුණ උපාධිය ලබාගෙන පැමිණියේ තමාගේම වී මෝල වෙතය. එතැනින් එහාට සිදුවූයේ කුමක්ද?  


“මට හිතෙන විදියට වෙලාවට කලාවට කැපවීමෙන් සියල්ල කළ නිසා උපාධිය ගොඩදාගන්න මට පුළුවන් වුණා. උපාධිය අරගෙන සුපුරුදු පරිදි මම ආවේ විජය ව්‍යාපාරය තවත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවයි. විජය නිෂ්පාදන ආරම්භ කිරීමෙන් පසුව අපි එක වාහනයක් අරගෙන තිබුණෙ. සාමාන්‍යයෙන් දිනකට පැය 16ක් විතර මහන්සි වී වැඩ කිරීමේ පුරුද්දක් එදා මට තිබුණා. එ් වගේම සතියේ දින හතම වගේ වැඩ කළා. වසරින් වසර නිෂ්‍පාදන එකින් එක වැඩි කර ගනිමින් වාහනත් එකින් එක අරගෙන ගමෙන් නගරයටත්, නගරයෙන් රටටත් නිෂ්‍පාදන බෙදාහැරීමේ කටයුත්ත දීපව්‍යාප්ත කළා.”  

 

 


එලෙසින් කටයුතු කරගෙන යද්දී මුහුණදුන් අභියෝග මොනවාද? ඒවා ජයගත්තෙ කොහොමද? අප ඇසූ ඒ පැනයට අරුණ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.  


“මුලින්ම රුපියල් 50,000ක ණය මුදලක් ගන්න ගියා. ඒත් එය සාර්ථක වුණේ නැහැ. පසුව කර්මාන්තශාලාව පටන් ගත් පසු එය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලක්ෂ 70ක ණය මුදලක් ඕනෑ වුණා. එක් බැංකුවක් එය ප්‍රතික්ෂේප කළා. ඒත් තව බැංකුවකින් අපට ඒ ණය මුදල ලබා දුන්නා. ඒ විදියට දොඩංගොඩ ස්ථාපිතව තිබූ කර්මාන්තශාලාව දිනෙන් දින දියුණුව ලබමින් ඉදිරියට යද්දී ෆැක්ටරියේ සේවය කළ භාණ්ඩ බෙදාහරින අලෙවි අංශයේ සේවකයකු අපට ඥාතීත්වයක් ඇති අයෙකුගේ සහාය ඇතිව මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් කළා. එයින් අපි ඉගෙන ගත්තෙ ලොකු පාඩමක්. ඉන්පසු කිසිවක් සිදු නොවීමට හැකි පරිදි තාක්ෂණය සහ අවශ්‍ය ක්‍රම සියල්ල ස්ථාපිත කළා. මේ වගේ අභියෝග එක්ක නිෂ්‍පාදන ක්ෂේත්‍රයේදී අනෙක් අයගේ නිෂ්‍පාදන එක්කත් නිෂ්‍පාදන තරගය නිරන්තරයෙන් ආ දෙයක්. ව්‍යාපාරයකදී එය ස්වභාවයෙන්ම මතුවන දෙයක්. අපි ඒවා ජය ගත්තේ සාධාරණ මිලකට ඉතා අනර්ඝ සහ උසස් ප්‍රමිතියෙන් සහ ගුණයෙන් යුතු විජය නිෂ්පාදන කිරීමෙනුයි. අපි මේ ඔක්තෝබරයේදී සමරන්නේ විජය නිෂ්‍පාදන ලොවට දායාද කළ 30 වැනි වසරයි. ඒ අභිමානවත් ගමන ආවේ ඉතා සාධාරණ මිලකට ගුණයෙන් සහ ප්‍රමිතියෙන් උසස් ආහාර නිෂ්‍පාදන ජනතාවට ලබා දෙමින්. අපි ඉතා නිහතමානීව ඒ ගැන සතුටු වෙනවා. විජය නිෂ්‍පාදන ජනතාවට සමීප වූයේ ප්‍රමිතිය සහ ඒ වෙනුවෙන් අපි අවංකව ජනතාව අතර ගොඩනැංවූ විශ්වාසය නිසයි.”  


ආහාර පාන නිෂ්පාදනයේදී ප්‍රමිතිය ගැන බොහෝ දෙනා විශ්‍වාස කරන දෙයකි. එසේ නම්, “ප්‍රමිතිය” සහ විශේෂයෙන්ම කුළු බඩු නිෂ්‍පාදනයේදී එය තනිකරම ප්‍රමිතියෙන් යුතු බව ජනතාව දැන ගත යුත්තේ කෙසේද?  


හැමෝම තේ පානය කළත් රසය ගුණය ගැන ඒ හැමෝටම කියන්නට බැහැ. ඒ වගේම කුළු බඩු නිෂ්‍පාදන ගැන හොඳින්ම දන්නේ ගෘහණියන්. එයාලට බොරු කරන්නට බැහැ. අපි තුනපහ නිෂ්‍පාදන ගැන කතා කළොත්, තුනපහ මිශ්‍රණය හදන්න, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, එනසාල්, කරාබුනැටි ඇතුළු වර්ග 18ක් විතර අවශ්‍ය වෙනවා. සූදුරු වැනි ද්‍රව්‍ය ප්‍රමිතියෙන් අංක 1, 2, 3 විදියට වර්ග වෙනවා. ඒ ප්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍ය වගේම අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය පදම සහ මාත්‍රාව යොදා ගත යුතුමයි. අවශ්‍ය පමණට බැදිලා, ඇඹරිලා එනකොට සුවඳ එක්ක පැහැය වෙතින් ගෘහණියන් දන්නවා එහි ප්‍රමිතිය ගැන. බොරුවක් කළොත්, ගමන එතැනින් හමාර වෙනවා. මොකද මෙම අංශයේ තරගකාරී ආයතන 1000ක් පමණ තියෙන නිසා ප්‍රමිතිය සහ ගුණාත්මක බව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු දෙයක්.  


එතකොට කුළු බඩු නිෂ්‍පාදන වර්ගවල මිල එක් එක් ආයතනවල නිෂ්පාදනවලට අදාළව මිල වෙනස් වන්නෙ ඇයි?  


එය එකිනෙකා අනුගමනය කරන ක්‍රමවේදයන් නිසයි. අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී අපි සෘජුවම ඒ මිලදී ගැනීම් කරන නිසා අතරමැදියාට කොමිස් දීමක් සිදුවන්නෙ නැහැ. ඒ වගේම ණය ක්‍රමයට මිලදී ගැනීම් සිදු කරන්නෙත් නැහැ. ඒ විදියට ගත්තාම වැඩිපුර පොලී ගෙවන්නට සිදුවෙනවා. එවිට තමා නිෂ්‍පාදනය කරන භාණ්ඩවල මිලත් ඔවුනට ඉහළ දැමීමට සිදුවනවා ඇති. අපි බොහෝවිට අමුද්‍රව්‍ය මිලදී ගන්නෙ අත්පිට මුදලටයි.  


සමහර කුළු බඩු වර්ග සහ මිරිස් එහෙමත් අද බහුලව ආනයනය කරන්නෙ ඇයි? ජනතාවගේ දැනුම්වත්වීම වෙනුවෙන් අපි ඒ පැනය අරුණ කොතලාවල වෙත යොමු කළෙමු.  
ලංකාවේ මිරිස් වගා කරන්නෙ 10%ක වගේ ප්‍රමාණයක් විතරයි. මේ නිසා අනෙක් ප්‍රමාණය ආනයනය කරන්න සිදු වෙනවා. ලංකාවේ මිරිස් වගා කරන්න ගියොත් කිලෝවක් රුපියල් 1000කට හෝ අලෙවි කරන්න සිදුවෙනවා. මෙවැනි දේ නිසා ගොවීන් පාඩු ලබන්න කැමති නැහැ. ඒ කියන්නෙ අපේ රටේ කෘෂිකර්මාන්තය හරියට ස්ථාපිත වෙලා නැහැ. කහ, ගම්මිරිස් සහ කෝපි මෙන්ම මිරිස් සුළු ප්‍රමාණයක් වගා කළත්, අනෙක් අමුද්‍රව්‍ය එනම් අපේ රටේ නිෂ්‍පාදනය නොවන සූදුරු මහදුරු වැනි සමහර කුළු බඩු අපට ආනයනය කිරීමට සිදු වෙනවා.  


“එතකොට බාල කළු ගම්මිරිස් ආවේ කොහොමද?” ඒ ගැනත් ජනතාව දැන ගත යුතු නිසාවෙන් අපි අරුණ වෙත ඒ පැනය යොමු කළෙමු.  


වැලියු ඇඩඩ් ක්‍රමවේදය නිසා ආනයනික දේ ගෙන්වන අයට රජය බලපත්‍ර දී තිබෙනවා. මේ නිසා වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ගුදම්වල බහා තියලා ලංකාවේ ගම්මිරිස් එක්ක කලවම් කර නැවත ප්‍රතිඅපනයනය කරනවා. අපේ තේ වලට වෙන්නෙත් මේකයි. වියට්නාම් ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 400ක් වෙද්දී අපේ ගම්මිරිස් රුපියල් 1200ක් විතර වෙනවා. අපේ ඒවා උසස්. හරියට අපේ තේ වගේ. මිල පහල යන්නෙ අස්වැන්න වැඩි සමයේදී විතරයි. අපි ගම්මිරිස් වගා කිරීමේදී රුපියල් 800ක විතර පිරිවැයක් වැය වෙනවා. ඒකට හේතුව අර මා කලින් කිව්ව, කෘෂිකර්මාන්තික ක්‍රම ස්ථාපිතව නොතිබීම නිසයි.  


මෙසේ විජය නිෂ්පාදන සහ කුළු බඩු ක්ෂේත්‍රය ගැන අදහස් දක්වන අතරේ අරුණ කොතලාවලගෙන් ඊළඟට අප විමසුවේ, කුළු බඩු ආහාරයට එක්කර ගැනීමෙන් ශරීරයට ලැබෙන දේ මොනවාද යන්නය.  


”කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්, කුරුඳු, මිරිස් ඒ වගේම කහ ඇතුළු මේ සෑම කුළුබඩු ද්‍රව්‍යයකින් ශරීරයට ලැබෙන ගුණය ඉහළයි. ශරීරයේ කොලොස්ටරෝල් පාලනයට, ජීර්ණ ශක්තියට, පිළිකා සුවයට, රුධිර පාලනයට ආදී බොහෝ සුවතාවයන් සඳහා උපකාරී වෙනවා. මේවා ඇත්තටම අහරක් රස කරගන්න විතරක් නොවෙයි, ඊට එහා ගිය ඖෂධ වර්ගයි.”  

 

 


එලෙසින් පවසන ඔබට ආපසු හැරී බලද්දී ජීවිතය දැනෙන්නෙ කොහොමද?  


මම රටට සහ ජනතාව වෙනුවෙන් කළ දේ ගැන සතුටු වෙනවා. දේශීය සහ පවුලේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන අතරේ ලොකු බලාපොරොත්තු තිබුණෙ නැහැ. ව්‍යාපාර ජාලයක් කිරීමේ ශක්තිය තිබුණත්, මට ගොඩ බදාගෙන ව්‍යාපාර ජාලයක් කිරීමට වඩා කරන දේ හරියට කරන්න ඕනෑ වුණා. එයින් ලැබෙන ලාභයෙන් කොටසක් සේවකයින්ටත් ලබාදෙන සාධාරණව ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ සතුට තිබෙනවා. රටේ ජනතාව කැමැත්තෙන් ආදරයෙන් අපේ නිෂ්පාදන වැලඳ ගෙන තිබෙන බව දකිද්දී ලොකු සතුටක් ඇතිවන්නෙ. නිරන්තරයෙන් අපි අපේ අඩුපාඩු දකිමින් ජනතා අදහස් අරගෙන නිෂ්‍පාදන වඩාත් ගුණාත්මක සහ දියුණු කිරීමට පියවර ගන්නවා. දැනට මෙම අංශයේ නිෂ්‍පාදන කරන ආයතන අතරින් ලෝකයේ හොඳම 10 දෙනා අතරට විජය නිෂ්‍පාදන ආයතනය පත්ව තිබෙනවා. අපි තවත් අලුත් නිෂ්‍පාදන හෙට ලොවට හඳුන්වා දී, තවත් පිරිසකට රැකියා උත්පාදනය කර දී ලොව අංක එකේ කුළු බඩු නිෂ්‍පාදන ආයතනය බවට පත් කිරීම අපේ අරමුණයි.”  


මෙසේ අදහස් දක්වන අරුණ කොතලාවල යනු තවමත් ගමේ ජීවත්වෙමින් සරලව දිවි පෙවෙතක් ගත කරන දේශීයත්වයට ළැදි අව්‍යාජ වූ ගැමියෙකි. අද මේ ගමන ඒමට ඔහුට ආදරණීය බිරිඳ විශාල ශක්තියක් වූ බව සඳහන් කරයි.  


“අද අපේ අම්මා තාත්තා දෙදෙනාම ජීවතුන් අතර නැහැ. මගේ බිරිඳගෙ මව්පියන් සහ මගේ මල්ලි නිර්මලගෙ බිරිඳ දූ දරුවන් මෙන්ම පවුලෙන් මට ලැබුණු සහයෝගය විශාලයි. විශේෂයෙන්ම මගේ ආදරණීය බිරිඳ “ශෝභා” මා වෙනුවෙන් එයා දැරූ ගුරු වෘත්තියෙන් පවා ඉවත් වුණා. ඉංග්‍රීසි භාෂා අංශයේ ගුරුවරියක ලෙසයි ඇය එදා කටයුතු කළේ. ඇය කළ කැප කිරීම නිසයි දශක තුනකට එහා ගිය මේ ගමන මට නිදහසේ ඒමට අවකාශය ලැබුණෙ. අපි දෙදෙනාට සිටින්නෙ දියණියක්.  


සැබැවින්ම මෙසේ අදහස් දැක්වූ මේ දිරිය මිනිසා ජයග්‍රාහී ව්‍යවසායකයකු බව සැබෑය. එහෙත් ඔහු ඊට එහා ගිය හොඳ සැමියකු සහ පියෙකු මෙන්ම කාරුණික පාලකයකු යැයි හැඳින්වීම වඩා හොඳය.  

 

 

සටහන - සඳුන් ගමගේ