පේරාදෙණිය ගන්නෝරුව කෘෂිකර්ම අධ්‍යක්ෂ
අමල් අරුණප්‍රිය

 

ලෝකයේ බොහෝ රටවල්වලට මෙන්ම නාගරිකරණය අපේ රටට ද ගැටලුකාරී තත්ත්වයකි. ලෝක ජනගහනයෙන් සියයට පහක්ම නගරාශ්‍රිතව ජීවත් වෙති. ඔවුන් අතරින් අඩු ආදායම්ලාභීන් සිය ආදායමෙන් සියයට 60% පමණ ආහාර පාන සඳහා වැය කරති. මේ තත්ත්වය නිසා නගරාශ්‍රිත අඩු ඉඩකඩ සහිත භූමිවල කෘෂි භෝග වගා කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටිති. මේ තත්ත්වය අපේ රටට ද ආදේශ කරගත හැකිද? පවත්නා ආර්ථික ගැටලු විසඳා ගැනීමට එය වඩාත් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.   


රජයට දොස් නගමින් හෝ දේශ ගුණයට, පවත්නා පරිසර තත්ත්වයට සාප කරමින් දෙනෝදාහක් පාරට බැස කෑ ගැසුවත් ඊට නියම විසඳුමක් කෙදිනකවත් ලැබෙන්නේ නැත. ප්‍රශ්නවලට කෑ ගසනවා මිස විසඳුමක් සොයන්නට රටේ මිනිසුන්ට උවමනාවක් ද නැත. ‘‘බඩු හරි ගණන්’’, ජීවන වියදම අහස උසට එහෙත් අපේ මිනිසුන් එයට පිළියමක් සිතනවාද? 


ඇයි අපටත් බැරි ගෙදර පුංචි ඉඩෙන් එක එළවළුවක්වත් වවා ගන්න. අපිට ඉඩ නැහැ. අපි ඉන්නේ කුලියට, නිදාගන්නවත් හරියට ඉඩ නැති ගෙවල්වල වවන්නේ කොහොමද? ඇයි අපි ‘‘නැහැ, බැහැ’’ කියලා විතරක් සිතන්නේ......? හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. 


අපි ආහාරයට ගන්න එළවළුවක් ගෙවත්තේ වගා කරන්න බැරි ඇයි? මේ පිළිබඳව අප පේරාදෙණිය ගන්නෝරුව කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය මහතාගෙන් විමසීමක් කළා. 


වර්තමානයේ ජනතාවට කාර්ය බහුලත්වයත් සමග ගෙවතු වගාවක් සිදුකර ගැනීම ඇත්තටම අසීරුද? 


නැහැ, හරිම පහසුයි. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව අපේ රටේ ජනතාවට මේ දේවල්වලට පිළියමක් යොදා ගන්න උවමනාවක් නැතිකම ගෙදරක ජීවත්වෙන ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන් සෑම දෙනාම විවිධ රාජකාරීවල නිරත වෙන්න පුළුවන්. මේ නිසා ලොකු ගෙවත්තක් නඩත්තු කිරීම අවිවේකි කමත් එක්ක අපහසුයි. එහෙත් ලොකු පාත්ති වගාවන් වෙනුවට බඳුන් ගත ව්‍යුහයක් තුළ අපට කුඩා වගාවක්. සිදු කරගන්න හැකියාව තියෙනවා. එයට විශේෂ වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. දවසේ ඕනෑම වෙලාවකින් පැයක් මේ සඳහා කැප කිරීම ප්‍රමාණවත්. 


පොඩි ඉඩ ප්‍රමාණයකින් වගාවක් කිරීමට අපහසුයි, ප්‍රමාණවත් ඉඩක් නැහැ. ඉඩකඩ සීමිතයි. කියලා බොහෝ අය මැසිවිලි නගනවා. එහෙත් බඳුන්ගත වගාවක් කරන්න ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හාල් රැගෙන එන බෑග්, මෙගා බෝතල් වැනි ප්ලාස්ටික් බෝතල්, මල් වගා කිරීමට ගන්නා බඳුන්, එදිනෙදාට අවශ්‍ය එළවළු වගා කර ගැනීමට යොදා ගන්න පුළුවන්. ඒවායේ නිතර වල් පැලෑටි ගලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවලට බඳුන් ගත වගාව වඩාත් උචිතයි. 


ඒ වගේම මහල් නිවාසවල ජීවත් වෙන අයට ද ඉතාම පහසුවෙන් එළවළු වගා කරගත හැකි ක්‍රම රාශියක්ම තියනවා මහල් නිවාස බොහෝමයක බැල්කනි තිබෙනවා. ඒ කොටසේ හාල් බෑග්, පෝච්චි, උපයෝගී කරගෙන බණ්‍ඩක්කා, තක්කාලි, මිරිස් වැනි එළවළු වගාකර ගන්න පුළුවන්. ඒ වගේම සීමිත ඉඩ කඩ ඇති නිවැසියන්ට සිරස් අතට වගා කළ හැකි පාත්ති වගා ක්‍රමයකුත් හඳුන්වා දෙන්න පුළුවන්. Vertical Farminy (සිරස් වගාව) මෙය බිත්ති, තාප්ප වැනි ආධාරක යොදාගෙන සිදු කරන වගාවක්. ඒ වගේම ඉවතලන බට, පයිප්ප, පීලි වගේ දේවල් පාවිච්චි කරලා මෙම සිරස් වගාව හදාගන්න පුළුවන්. සිරස් වගාවෙන් කංකුං, මුකුණුවැන්න වැනි පළා වර්ග වගාකර ගැනීමට පහසුයි. 


එමෙන්ම මෙම බඳුන් වගාවේ දී භෝගයේ ස්වභාවය අනුව බඳුන් තෝරා ගැනීම ඉතා වැදගත්. ශාකයේ වර්ධනය වෙන ආකාරයට බඳුන වෙනස් විය යුතුයි. උදාහරණයක් ලෙස තක්කාලි, වම්බටු, මාළු මිරිස් ආදියෙහි ගස උසට වැඩෙනවා, වැටකොළු, පතෝල, කරවිල වැනි ‘‘කුකර්බිටෙසි’’ කුලයේ ශාක වැඩෙන්නේ වැල් වශයෙන්. රාබු, බීට්රූට්, කැරට්, නෝකෝල් ආදී ශාකවල වර්ධනය ඉතාම අඩුයි. මේ නිසා ශාකවල වර්ධන ස්වරූපය අනුව බඳුන් තෝරා ගත යුතුයි. බඳුන් තෝරා ගැනීමේදී ද අඩු වියදමක් එයට දැරිය යුතුයි. ඉවතලන පොහොර බෑග්, සහල් බෑග්, රිජිෆෝම්, පෙට්ටි, වැහිපීලි, ටයර්, ටින්, පළුදු වූ ප්ලාස්ටික් භාජන යොදාගත හැකි අතර ජලය බැසයාම සඳහා ක්‍රමවත් ආකාරයක් යොදා ගැනීම ඊට අවශ්‍ය වෙනවා. ඒ වගේම බල්ලන්, ගොළුබෙල්ලන්, බළලුන් වැනි සතුන්ගේ හානිවලින් තොරව පරිසර හිතකාමී පිරිසිදු වගාවක් ද ඔබට කරගත හැකියි. 
මෙම බඳුන්ගත වගාවේ දී පොහොර නිපදවා ගැනීමද ඉතාම වැදගත්. ඔබ වෙළෙඳ පොළෙන් ගෙනෙන රසායනික පොහොර පැකට්ටුවට වඩා වගාවට හිතකර වෙන්නේ කොම්පෝස්ට් පොහොර භාවිතයයි. මෙම කොම්පෝස්ට් පොහොර නිවසේදීම සාදා ගැනීම එතරම් අසීරු කාර්යයක් නොවේ. ඔබ නිවසේ දී ඉවත ලන ඉඳුල්, තේ රොඩු, ඉවත් කරන එළවළු, කොළ රොඩු වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර පහසුවෙන් සාදා ගන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහාම නිර්මාණය කළ ප්ලාස්ටික් බහාලුම් සහ කොන්ක්‍රීට් බඳුන් අඩු මුදලට වෙළෙඳ පොළෙන් ලබා ගත හැකියි. එසේ නොමැති නම් ඔබට ගෙවත්තේ කුඩා ඉඩක් වටකොට ඉනි සිටුවා නෙට් රෙද්දක් භාවිතයෙන් අාවරණය කර කොම්පෝස්ට් පොහොර බඳුනක් සාදා ගත හැකියි. එමෙන්ම රසායනික පොහොර යෙදීමට වඩා කොම්පෝස්ට් පොහොර වගාවට යෙදීමෙන් වස විස රහිත පලදාවක් අපට ලබා ගන්න පුළුවන්. 


අද බොහෝ නිවෙස්වල ගෘහ අලංකරණයට කාන්තාවන් මුල් තැන දෙනවා. බඳුන් වගාව තුළින් ගෘහ අලංකරණය කර ගත හැකිද? 


අද බොහෝ නිවෙස්වල ගෘහ අලංකරණය ලෙස අපේ කාන්තාව වගා කරන්නේ බොග්න්විලා, ක්‍රෝට්න්, රෝස, ඕකිඩ් වැනි අලංකාර මල් සහ පත්‍රවලින් යුක්ත ශාක පමණයි. බොහෝ කාන්තාවන් සිතන්නේ එළවළුවක් ගෙදර ඉදිරිපස මිදුලේ වගා කිරීමෙන් ගෙමිදුලේ අලංකාරයට බාධා වෙනවා කියලා. එහෙත් එළවළු ගෘහ අලංකරණය පිණිස වගා කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස නිවිති, ගොටුකොළ අලංකාරව වගා කළ හැකි අතර පරිභෝජනය ද ගත හැකියි. 


අපේ රටේ එළවළුවල මිල ගණන් ඉහළ ගොස් ඇති කාලයේ තමන්ගේ දවසින් පැය භාගයක් කැප කරලා එක එළවළුවක් හෝ වවා ගැනීමට හැකි නම් වස විසෙන් තොර එළවළු ආහාර වේලට එක්කර ගන්න පුළුවන්. උවමනාවක් තියනවා නම් අපට කාලය කළමනාකරණය කරගන්න බැරිකමක් නැහැ. එහෙම වගා කරන එක තමාගේ මුදල් පසුම්බියටත් වාසි සහගත යැයි අමල් අරුණප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

 

 

 

 

සටහන - වසුන්දරා රූපසිංහ