
(කේෂර ගුණතිලක)
බුත්තල-සෙල්ලකතරගම මාර්ගයේ යාල ජාතික වනෝද්‍යානය හරහා ඇති කොටසේ දී වන අලින්ට ආහාර ලබාදීමෙන් වළකින ලෙස වනජීවී දෙපාර්තමේන්තුව එම මාර්ගයේ ගමන් කරන වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිති.
එසේම එම මාර්ගයට කැළි කසළ නොදමන ලෙස ඉල්ලා සිටින වනජීවී නිලධාරීන් එම උපදෙස් නොපිළිපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ගල්ගේ කලාපයේ වනජීවී අඩවි ආරක්ෂක කේ ජානක ශාන්ත කුමාර මහතා පැවසීය.
යාල වනෝද්‍යානයේ කලාප අංක 3,4 සහ 5 යන කොටස් මැදින් බුත්තල සෙල්ලකතරගම මාර්ගය වැටී තිබෙන අතර එම ප්‍රදේශය තහනම් ප්‍රදේශයකි.
නමුත් වාහනවලට ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇත. එසේ යන වාහන වලින් වන අලීන්ට කෑම වර්ග ලබාදීමෙන් අලින් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින අතර අවස්ථා කිහිපයකදී වාහන වලට සහ පුද්ගලයින්ට බාධා සිදුවී ඇති බව වාර්තා වේ.
තවද කුණු කසළ සහ ෂොපින් බෑග්වල දමා දෙන ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වන අලින්ගේ සෞඛ්‍යයට ද තර්ජනයක් වෙමින් පවතී.
මෙම තත්වය මත වන අලීන්ට කෑම දීම සහ මාර්ගය දෙපස කුණු කසළ දැමීම සපුරා තහනම් වන අතර නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙලෙස පියවර ගෙන තිබේ.
කතරගම ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.පී.යූ ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි රථ වාහන හිමියන් ඇතුළු ජනතාව දැනුවත් කිරීම සඳහා මාර්ගය දෙපස දැන්වීම් පුවරු සවිකිරීමට පියවරගෙන ඇත.



COMMENTS
කොච්චර එපා කිව්වත් එම වැරැද්දම නැවත නැවත කරනවා. හේතුව අලින්ට ෂොපිං බෑග් වල කෑම දීපු කාටවත් දඬුවම් කරලා නැහැ.
ලංකාවට තියෙන ප්‍රශ්නය මිනිස්සු දඬුවම් නොදකින එක. මිනිස්සු දකින්නේ අපරාධ විතරයි. දඬුවම් දකින්නේ නැහැ. මිනිස්සු දකින්නේ එක්කෝ නිදැල්ලේ ඉන්න, එක්කෝ ඇප ලැබිලා ගෙදර යන, එක්කෝ අභියාචනා කරලා ගෙදර යන, එක්කෝ දේශපාලකයින්ගේ පිහිටෙන් ගෙදර යන, එක්කෝ අත්හිටවූ සිරදඬුවම් ලැබිලා ගෙදර යන, එක්කෝ ලිහිල් සිර දඬුවම් ලැබිලා ගෙදර යන, හිරේ ගියත් නිවාඩු නිකේතනයක වගේ සැප විඳින, උපවාස කරන, ඉස්පිරිතාලේ යන, පාර්ලිමේන්තු යන අපරාධකාරයන්. දඬුවම් නොදකින හින්දා මිනිස්සු වැරදි කරන්න බය නැහැ. නැත්නම් අලියෙක් මරපුවාම දඬුවම, මරණ දඬුවම. නමුත් මිනිස්සු බය නැතුව අලි මරනවා. ජනාධිපතිවරණයට කිට්ටුව මරා දමපු ගැබ්බර ඇතින්නන් 7ත් එක්ක, ගිය අවුරුද්දේ අලි ඇතුන් 361ක් මරාදාලා තියෙනවා. නමුත් 361කට මරණ දඬුවම ලැබුණද? අපරාධකාරයින් ඇප ලැබිලා ගෙදර ගියා. 2018 අලිඇතුන් 314ක් මැරුවා. මරණ දඬුවම ලැබිලා හිරේ ඉන්නේ කවුද? 2020 මාස 8ට දිවියන් 8ක් මරා දාලා තියෙනවා. ඉතා දුර්ලභ කළු දිවියාවත් මරා දැම්මා. කාටවත් මරණ දඬුවම ලැබුණාද? මිනිස්සු හිතනවා පොලිසියෙන් හෝ වනජීවියෙන් බේරෙන්න බැරි වුණත් උසාවියෙන් බේරෙන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එතන...
බෝඩ් ලෑලි අටවන අය අහුවුණොත් උස්සලා පොළවේ ගහනවා.