ශ්‍රී  ලංකාවේ  විශ්ව  විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත.

විශ්ව විද්‍යාල  සඳහා  වාර්ෂිකව  ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන අදාල කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගෙන රඳවා තබාගෙන තිබෙන බවත් ඒ අනුව 2017.12.31 වන දිනට විශ්ව විද්‍යල විසින්  රඳවා තබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1,416 ක් බවත් කෝප් කමිටුව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිය සිව්වන වාර්තාවෙන් හෙළි වී තිබේ.

නිශ්චිත තක්සේරු කිරීමකින් තොරව ඇස්තමේන්තු පිළියෙල කිරීම, පර්යේෂණ ක්‍රියාත්මක කිරීමට පර්යේෂණ හා ප්‍රකාශන ජත්‍යන්තර හා දේශීය සමුළු සඳහා ඉදිරිපත් කිරීමට අධ්‍යන කාර්ය මණ්ඩලයේ නිසි අවධානය යොමු නොවීම යන කරුණු හේතුවෙන් මෙසේ භාණ්ඩාගාරය විසින් ලබා දී තිබූ ප්‍රාග්ධන ප්‍රදාන නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නොමැත.

විශ්ව විද්‍යාල විසින් මෙම බැංකු ගිණුම් වල මුදල් ආයෝජනය කිරීම වෙනුවට විශ්ව විද්‍යාල කටයුතු වෙනුවෙන් යෙදවූයේ නම් භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කරගැනීම තුළින් ඒක පුද්ගල ණය බර අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බව ද කෝප් කමිටු වාර්තාවෙන් අණාවරණය කර ඇත. 

මීට  අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි  වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන කරුණු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වර්තමා‍නයේ මතු වී ඇති ‍ගැටළු වලට හේතු වී තිබෙන බව වාර්තාවේ නිරීක්ෂණ වලින් දක්වා තිබේ.

මේ අතර විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව හා එයින් තෝරාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2013/14 වර්ෂයේ සිට 2017/18 දක්වා වර්ෂ 05 ක කාලයක් තුළ 45% සිට 38.7% දක්වා අඩු වී ඇතැයිද මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

මෙම තත්වය ඇති වීමට බලපා ඇති කරුණු අතර දේශීය හා විදේශීය  සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම, දේශීය රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම සහ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම නිසා අහිමි වන අවස්ථාවන් යන කරුණු ප්‍රධාන වේ.

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ කාර්ය සාධනය සලකා බැලීමේදී කාර්ය මණ්ඩල විසින් එළඹෙන බැඳුම්කර ගිවිසුම් කඩ කිරීම හා එම කඩකිරීම නිසා රජයට අය විය යුතු මුදල් අයකර ගැනිමට කටයුතු නොකිරීම නිසා එලෙස කඩකරන ලද ගිවිසුම් 519 ක් වෙනුවෙන් රජයට අය විය යුතු මුදල රුපියල් 836,133,700 කි.

තවද පර්යේෂණාධාර ලබා ගත් කථිකාචාර්යවරුන් පර්යේෂණ යෝජනා නියමිත දිනට ලබා නොදීම, පර්යේෂණ වාර්තා ඉදිරිපත් නොකිරීම ආදී හේතු නිසා සත්‍ය වශයෙන් පර්යේෂණ සිදු කර ඇත්ද යන්න සොයා බැලීම අපහසු වී ඇති බැවින් පර්යේෂණාධාර ලබා දීමේ අපේක්ෂිත අරමුණු ඉටුවී තිබේද යන්න ගැටළු සහගත බව මෙන්ම පර්යේෂණ අතහැර දමා තිබූ කථිකාචාර්යවරුන් සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමද කමිටු නිරීක්ෂ වල දැක්වේ. 

විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලබන ඉඩම් වල නිත්‍යනුකූල අයිතීන් පිළිබඳ ගැටළු පවතින බවත් එම ඉඩම් වල ඉදිකිරීම් සිදු කර තිබීම විශ්ව විද්‍යාල වලට අනාගත අවධානමක් ඇතිකරන බවද කමිටු නිරීක්ෂණය කර තිබේ. 

එමෙන්ම අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පැමිණිම සහ පිටවීම සනාථ කර ගැනීමෙන් තොරව වැටුප් හා දීමනා ගෙවා තිබීම ,  කාර්ය මණ්ඩල පුරප්පාඩු නිසිලෙස සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වන ආයතන සංග්‍රහය වසර 34 කින් සංශෝධනය නොකිරීමද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවෙන් දක්වා ඇත.

2017 වර්ෂයේ අවසන් දින වන විට එක් එක් විශ්ව විද්‍යාල වල, වැටුප් හා දීමනා සහිත සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන සිටි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙනත් විශ්ව විද්‍යාල වල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල තනතුරු වල සේවයේ යෙදී සිටිමින් එම තනතුරු වලට හිමි වැටුප් හා දීමනා ද සමග වැටුප් දෙකක් ලබා ගැනීමද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

පසුගිය කාල වකවානුවල සිදු කරණු ලැබූ විගණනයේදී විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් අනාවරණය වූ නිරීක්ෂණ පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එහිදී කාරක සභාවේ නිර්දේශ ලෙස විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිළිබඳ විවෘත සංවාදයක් පාර්ලිමේන්තුව ඇති කළ යුතු බවට යෝජනා වී ඇත.