දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 2270 ක මුදලක් සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි සඳහන් පුවතක් ඉකුත් දා වාර්තා විය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම ආදී අත්‍යවශ්‍ය කාරණා සඳහා මෙම මුදල් ඉල්ලා තිබෙන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ගුවන් සමාගමක් යනු පාඩු ලබන ආයතනයක් නොවිය යුතුය. එය සෑහෙන තරමේ ලාභයක් සහිතව පවත්වාගෙන යා හැකි ආයතනයකි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉතිහාස කතාව අතිශයින්ම ඛේදනීය වේ. එය ආරම්භයේ සිටම පාඩු ලබන ආයතනයකි. අනවශ්‍ය වියදම්, නාස්තිය, දූෂණය නිසාම එම ඉරණමට එම ආයතනය ගොදුරු වී තිබේ.

කොරෝනා මාරක වසංගතය හමුවේ ගුවන් ගමන් සංචරණය නැවතීම මෙවර අත්‍යවශ්‍ය වියදම් සඳහා හෝ ආදායමක් නොමැති වීමට හේතුවකි. එම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණක් නොව ලෝකයේ සෑම ගුවන් සමාගමකටම පොදු තත්ත්වයකි. කෙසේ වෙතත් මෙබඳු අවස්ථාවකදී නඩත්තු වියදම් පියවා ගැනීමට සමත් ඉතුරුවක් ගුවන් සමාගමකට තිබිය යුතුය. නිසි කළමනාකාරිත්වයක් වේ නම් එය අපහසු ඉලක්කයක්ද නොවේ. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉතිහාසයක් පුරා එම අනගි නායකත්වය නොලැබීමේ තාර්කික පංගුව අද ප්‍රදර්ශනය වෙමින් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් ඔක්තෝබර් මාසය දක්වා පියවා ගැනීමට රුපියල් කෝටි 1385 ක් ඉකුත් අප්‍රේල් මාසයේදී මහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබේ. රුපියල් කෝටි 2270 ක මුදල ඉල්ලා තිබෙන්නේ එයට අමතර වශයෙනි.

රටේ මහා භාණ්ඩාගාරයට බරක්වන ආයතන රාශියක් තිබේ. ලංගම, දුම්රිය, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ අතර ප්‍රධාන වේ. ලංගම සහ දුම්රිය සේවා සපයන ආයතන වුවද පාඩු නොලැබ පවත්වාගෙන යා හැකිය යන්න අසත්‍යයක් නොවේ. එහෙත් මෙම ආයතන බලයේ සිටින දේශපාලන පක්ෂයේ ශාඛා කාර්යාලයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මහජනයාට ඔසොවාගෙන යාමට සිදුවී තිබේ.

2010 – 2015 අතර කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ක්‍රියාකාරකම් පරික්ෂා කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. සෑම කාලයක් සඳහාම විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කර විමර්ශනය කළයුතු බොහෝ දේ අන්තර්ගතය. එහෙත් පෙර වැරැද්දම නැවත නැවත සිදුවනවා මිස තත්ත්වය යහපත් අතට පත් නොවීම ඛේදවාචකයකි.

අප රටේ බරපතළම ප්‍රශ්නයක් වන්නේ සියල්ලටම පෙර දේශපාලන සුදුසුකම සලකා බැලීමය. යම් ආයතනයක වගකීමක් යම් අයකුට පවරන්නේ නම් එම විෂය සම්බන්ධ විශේෂඥ දැනුමක් එම පුද්ගලයාට තිබේද යන්න විමසා බැලිය යුතුය. විශේෂඥ දැනුම තිබුණද පරිපාලන හැකියාව තිබේද යන්න විමසිය යුතුය. මේ සියල්ලෙන්ම සපිරි දක්ෂයන් සිටීද යනුවෙන් අතුරු ප්‍රශ්නයක් යමෙකුට මතු කළ හැකිය. එහෙත් ඒවා ප්‍රශ්න නොවේ. එබන්දෝ සිටිති. එහෙත් ඔවුන්ට දේශපාලන සුදුසුකම් නැත. එහෙයින් අවස්ථා හිමි නොවේ.

දේශපාලන සුදුසුකම් මත පත්වීම් ලබන්නෝ එම ආයතනය තමන්ට ලැබුණු නින්දගමක් යැයි සලකා කටයුතු කරති. ඔහු ළංකර ගන්නේද තමන්ට ආවතේව කරන තම මතය ඉස් මුදුනින් පිළිගන්නා දේශපාලන බත්බැලයන් පමණි. රාජ්‍ය ආයතන විනාශයකරා ගමන් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 2270 ක මුදලක් ඉල්ලා සිටින්නේ එම ආයතනයේ නඩත්තු කටයුතු වෙනුවෙනි. මේවා මහජන මුදල්ය. ඒවා පරිහරණය කළ යුත්තේ ඉමහත් වගකීමෙනි. එහෙත් එම වගවීම නොමැතිකම රජයේ සේවයේ ආවේණික ලක්ෂණයකි. එම ආවේණික ලක්ෂණ එලෙසින්ම තිබියදී ගමන් කරන්නේ නම් මේ ආයතනවල බරද ඔසොවාගෙන යාමට ජනතාවට සිදුවනු ඇත.

(***)