රනිල් පුතා බ්රිතාන්ය පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයකු වීම ආඩම්බරයක් හා ගෞරවයක් බව ඔහුගේ බාප්පා වන මදුරාවල වැවිලි කරුවෙකු වන විමල් ආනන්ද ජයවර්ධන මහතා කියයි.
බ්රිතාන්යයේ මහා මැතිවරණයට කොන්සර්වෙටිව් පක්ෂයෙන් ඊසාන දිග හැම්ප්ෂයර් ආසනයට තරග කරමින් සුදු ජාතිකයන් අභිබවා බ්රිතාන්ය මන්ත්රී රනිල් මැල්කට් ජයවර්ධන මහතාගේ පියා වන නලින් ජයවර්ධන මහතාගේ උපන්ගම මදුරාවල සිට එහි ‘ජයන්ති‘ නිවස කරා අප ගියේ ජයවර්ධන පවුලේ වගතුග සොයන්නටය.
ඒ යන විටත් ජයන්ති නිවස ඥාතී හිතවතුන්ගෙන් පිරී ගොස් තිබිණි.
ආනන්ද ජයවර්ධන මහතා මෙසේද පැවසීය.
මගේ තාත්තගේ නම තමයි දොන් දිමිටියස් හෙන්රි ජයවර්ධන, අම්මා තමයි බද්දේගම අබේවික්රම පරපුරේ ඩේසි අබේවික්රම. අපේ පවුලේ සමාජිකයෝ හය දෙනයි. අක්කගේ නම මල්ලිකා හොරදාගොඩ, හෙන්රි ලක්ෂ්මන් හා අශෝක කියලා අයියලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ මම මට බාල නංගී දේවිකා.
අපේ තාත්තා ඉපදුණේ 1911.03.30 එයා මුංවත්ත පත්තුවේම ගම් සභාපති විදියට අවුරුදු 10ක් කටයුතු කළා. ඒ 1938 ඉඳන් 1948 දක්වා. එතකොට තාත්තාගේ වයස අවුරුදු 25 කියලයි අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ 1962 සිට 1977 දක්වා මුංවත්ත භාග පත්තුවේ නැගෙනහිර ගම් සභාපති ලෙස කටයුතු කළා. තාත්තා විවාහ වුණේ 1941 ජනවාරී 17 වැනිදා. විවාහයට අත්සන් කරලා තියෙන්නේ එවකට රාජ්ය මන්ත්රණ සභාවේ සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක හා සර් ජෝන් කොතලාවල මහත්වරු. ඒ දෙන්නම බද්දේගම හිටපු අපේ මාමා වන සයිමන් අබේවික්රම ගේ සම කාලීන අය.
තාත්තා 1970 දී බණ්ඩාරගම කොට්ඨාශයට තරග කිරීමට එවකට ශ්රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලා සිටියා ඒත් එයට අවස්ථාව ලැබුණේ නැහැ.
අපි සහෝදරයෝ සියලු දෙනාම අධ්යාපනය ලැබුවේ මහනුවර ත්රිත්ව විදුහලින්, රනිල් පුතාගේ තාත්තා වන මගේ නලින් සහෝදරයා වැඩිදුර අධ්යාපනය සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ආවා. අපේ පවුලේ උසම පුද්ගලයා ඔහුය.
අපේ තාත්තා අයියා එංගලන්තයට යැව්වේ අක්කර පහක රබර් ඉඩමක් විකුණලා. ඒ ගියේ 1978දී.
වසර පහකට පස්සේ අයියා උතුරු ඉන්දියානු සම්බවයක් තියෙන කාන්තාවක් සමඟ විවාහ වුණා. එයාගේ නම ඉන්දිරා දාස්. ඒ 1985 දී ඒ විවාහය ගත්තේ එංගලන්තයේය. එයට සහභාගී වීමට ලැබුණේ මගේ වැඩිමල් අයියා වන හෙන්රි ලක්ෂ්මන්ට විතරයි.
විවාහ වී වසරක් ඉක්මවා යාමට මත්තෙන් මගේ අයියාගේ පවුලට රනිල් ජයවර්ධන පුතා ලැබුණා. ඒ 1986 සැප්තැම්බර් 03 වැනිදා. රනිල් පුතාට තවත් සහෝදයෙක් හා සහෝදරියක් ඉන්නවා. රනිල් පුතා එංගලන්තයේ හැම්ප්ෂයර් ප්රදේශයේ පාසලකින් මුලික අධ්යාපනය ලබා පසුව ලන්ඩන් විශ්ව විද්යාලයේ ආර්ථික හා දේශපාලන විද්යා උපාධිය ද ලැබුවා.
එයා පාසල් සමයේ සිටම කොන්සර්වේටිව් පක්ෂය හා ක්රියාකාරීව දේශපාලනයේ නිරතව සිටියා.
මීට වසර 24 පෙර අපේ තාත්තා මිය ගියා. ඔහු විමදුරාවල වෙනම ප්රාදේශිය බල ප්රදේශයක් ලෙස හදා ගත්තා. ඒ වගේම හොරණ ප්රදේශයට සීමා වෙලා තිබුණ විදුලි බලය අගුරුවාතොට ගම දක්වා ලබා ගත්තා.
තාත්තා අපේ අයියට දුන්න ඉඩමේ තමයි දැන් අගුරුවාතොට තැපැල් කාර්යාලය තියෙන්නේ. ඒක පොඩි අයියගේ ස්වකැමැත්තෙන් ලබා දුන්නා.
ඒ දවස් වල රයිගම පුරවරයේ ප්රභූ පැලැන්තියට එවකට අගමැති සර් ජෝන් කොතලාවල මහතා සාම විනිසුරු තනතුරු දුන්නේ අරලිය ගහ මැදුරට ගොනල්ලයි. මගේ තාත්තාට තමයි මුල්ම සාම විනිසුරුකම ලැබුණේ.
ඇත්තටම රනිල් පුතා ලද ජයග්රහණය ගැන හැම අතින්ම ආඩම්බර වෙනවා. අපේ පියාටත් මවටත් ගෞරවයක් වන ලෙස ඔවුන් දෙදෙනාගේ මුනුපුරෙක් එංගලන්තයේ මන්ත්රී මණ්ඩලයේ උරුමයක් තියෙන පුද්ගලයෙකු වීම.
රනිල් ජයවර්ධනගේ සීයා වන හෙන්රි ජයවර්ධන - හිටපු ගම් සභාපති
රනිල් ජයවර්ධනගේ මිත්තණිය (හෙන්රි ජයවර්ධනයන්ගේ බිරිඳ) - ඩේසි ජයවර්ධන
මන්ත්රී රනිල් ජයවර්ධන ළදරු වයසේදී පියා සහ මවගේ (නලින් ජයවර්ධන සහ ඉන්දිරාගේ) සෙනෙහස ලබමින්
මන්ත්රී රනිල් ජයවර්ධන කුඩා කල සිය නැගණිය සමග
මන්ත්රී රනිල් ජයවර්ධනගේ පියාවන නලින් ජයවර්ධන (වම්පස කෙළවරේ) පවුලේ සාමාජිකයන් සමග
රනිල් ජයවර්ධනගේ සීයාවන හෙන්රි ජයවර්ධන, ඔහුගේ බිරිඳ හා පවුලේ දූ දරුවන් (පිටුපස පේළියේ වම්පස කෙළවරේ සිට දෙවැන්නා රනිල්ගේ පියාවන නලින් ජයවර්ධන)
රනිල් ජයවර්ධන කුඩා කාලයේ ලංකාවට පැමිණ සිටියදී සංචාරයක නිරතවී සිටියදී පවුලේ අය සමග ගත් ඡායාරූපයකි (රනිල් කළු ඉරි සහිත ටී ෂර්ටයකින් සැරසී සිටී)
රනිල් කුඩා කල ලංකාවේ සංචාරයකට පැමිණිවිට ලබාගත් ඡායාරූපයකි (රතු පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටින්නේ රනිල් ජයවර්ධනයි)
විස්තර ලබාදුන් මන්ත්රී රනිල් ජයවර්ධනගේ බාප්පා විමල් ආනන්ද ජයවර්ධන










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි කසුන්, ඒ තරුණයා පසුගිය කාලයේ ලංකාවේ හිටියා නම් දෙවියන්ගේම පිහිටයි. අර බේබිලා සෙට් එකට ඇරෙන්න මොනම තරුණයෙකුටවත් ඔලුව උස්සන්න පුළුවන් රටක්ද තිබුනේ? (නි)
රනිල් කියන්නෙත් "ගම ගාල්ලේ" කියල වෙන්න ඇති. කොහොමටත් දකුණේ කොල්ලෙක්. රනිල්ට ලොකු වගකීමක් තියෙනවා කොසේර්වටිවේ පක්ෂයේ න්යාය පත්තරේ තියෙන දේවලින් ශ්රී ලංකාව රැකගන්නට. රනිල්ට අපේ උණුසුම් සුභ පැතුම්! ඔබාමා වගේ එංගලන්තයේ අගමැතිවෙන්න බලන්න පුතා! (නදී)
නිහතමානීව දේශපාලනයට පිවිසි ඔබගේ ජයග්රහණය ගැන බෙහෙවින් සතුටුවන අතරම අපේ රට ගැන ඇති වැරදි මත තුරන් කිරීමට හැකියම් දෙයක් කිරීමටද උත්සාහ ගන්නා ලෙසත් සඳහන් කරමින් දිගු ගමනකට යන්නට සුබ පතන්නම්, ශ්රී ලාංකික සොයුරෙක් ලෙසින්... (නි)
එංගලන්තේ ඡන්දෙ දිනීම හොඳයි. මවුරට වෙනුවෙන් යමක් කරන්න (බ)
පුතාට හොද අනාගතයක් තියනවා.(හේ)
මව් රට වෙනුවෙනුත් හඩක් නගන්න (නදී)
සුභ පැතුම් (නදී)
ඔබ ගැන අපට ආඩම්බරයි.අප රටේ ඔබ වැනිම ආඩමිබර විය හැකි වටිනා නායකයෙක් ළඟදීම බිහිවෙනවා. (නි)
තාත්තලාගේ කර උඩ නැගල පාර්ලිමේන්තු යන ලංකාවේ පුතාලට වැඩිය කොච්චර දක්ෂයෙක්ද ? (ම)
සුබ පැතුම්... මොන රටේ හිටියත් "රනිල්ලා" නිශ්ශබ්දයි, දක්ෂයි (ම)
මෙවැනි දීප්තිමත් දේශපාලඥයෙකු අපේ රටට විශේෂයෙන්ම අපේ ඡන්ද කොව්ඨාශයට අහිමිවීම පිළිබඳව නියත වශයෙන්ම අපි කණගාටුවට පත්වන්නෙමු. ඔහුගේ දේශපාලන දිවියේ සුභ ගමනට අපි ප්රාර්ථනා කරමු. ඔහු කෙතරම් ජනප්රියදැයි ඔහුටත් ඔහුගේ ප්රතිවාදියාටයි ලැබුණ ඡන්ද ප්රමාණයෙන්ම අපට තේරුම් ගතහැකියි. සංඝක්කාරට වලිය ඇද්දේ රනිල්ගේ ආසනයේ ඔහුගේ විරුද්ධ පක්ෂයේ කෙනෙකුද දන්නේ නෑ (නදී)
මෙන්න නියම දක්ෂයෝ (නි)
ඔබ වාසනාවකට පිටරට ගියේ. පහුගිය කාලේ මෙහෙ උගතුන්ට තැනක් තිබුනේ නැහැ. (නි)
බලමුකෝ මොනවා වෙයිද කියලා. ඇත්තටම සිංහල මිනිසුන්ගේ ළමයි පිටරට හැදෙනකොට ජාතිය ඉක්මනට අමතක කරනවා.විශේෂයෙන් බෞද්ධයෝ. (නි)
අපේ සමහර දේශපාලන බේබිලාට ආදර්ශයක් ගන්න පුළුවන්. චණ්ඩි බලකායවල් හදාගෙන මහජනයාට බජාර් පාට් දමමින් රටේ පොදු නීතියට උඩින් තමන්ගේ නීතිය ඇතැයි සිතමින් කටයුතු කරන අයට මේ වගේ තරුණයන්ගෙන් යමක් ඇත්තටම ඉගෙනගන්න පුළුවන්. (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබෙන තැනකට ලංකාව කවදා පත්වේවිද? දේශපාලකයන්ගේ දරුවන් මහජන මුදල් වියදම් කරමින් කරන විප්රකාර සහ සෙල්ලම් හැරෙන්න පසුගිය කාලයේ තරුණ දේශපාලකයන්ගෙන් මොනවද රටට ලැබුනේ. (නි)
මගේ සුභ පැතුම්!. මේ හාදය වැඩි කතා නැතිව, වැඩ පමණක් කරන කෙනෙක් බව පෙනෙන හැඩයි. මන්ද වෙබ් එකේ යූ ටියුබ් එකේ හෝ මූනු පොතේ හෝ එකම තැනකවත් ‘කයිවාරු’ කියන බවක් නොපෙනේ. තම පියාණන් ගේ ලාංකික සහ එංගලන්ත අත්දැකීම් වලින් ලැබී ඇති අවවාදයක් වෙන්නැති. එකල තම පියාණන්ට සිරිමාවන් ගෙන් සහ හමුදාවට තෝරන්නන්ගෙන් මේ රටේදී වෙච්චි අසාධාරනකම් නොවුනානම්, බාගෙදා, මේ රටේ ‘දැන් අගමැති’ වෙන්න තිබ්බෙ, මේ රනිල්! (නදී)
මගේ සුබ පැතුම්! "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" (නි)
මෙහෙම උදවිය තමයි දේශපාලනයට සුදුසු. ඔය සෙල්ලක්කාර,වගකීමක් නැති හින්දි නළුවන් පිරිවරාගෙන පෙනීසිටින කට්ටියගෙන් කිසිම රටකට වැඩක් නැහැ. (නි)
මේ ඉතින් තමන්ගේ දක්ෂකමෙන්, අවංකකමෙන් ඉදිරියට යන දේශපාලන චරිත. එහෙම නැතුව ලංකාවේ වගේ දේශපාලක වැඩිහිටියන්ගේ පිහිටෙන් පැරෂුට් එකෙන් මන්ත්රීකමට බැහැලා,ජ්යෙෂ්ඨ පක්ෂ සාමාජිකයන්ට කියලා සර් කියවාගන්න චරිත නෙමෙයි. (නි)
හොඳට වෙලාවට මේ රනිල් පසුගිය කාල වකවානුවේ ලංකාවේ හිටියේ නැත්තේ. එහෙමනම් මෙලහකට එයාටත් අර මෙහේ තිබෙන රාජ යෝග කතාව බලපාලා තියෙයි. මොකද්දෝ පිනක් තිබිලා අර කේන්දරකාරයෝ ටිකට මේ තරුණයාගේ කේන්දරය අහුවෙලා නැහැ. (නි)
උගත්කමක් යහපත් පවුල් පසුබිමක් ඇතුව දේශපාලනයට එන අයගේ වෙනසක් තිබෙනවා. මේ ජයග්රහණය තාත්තලාගේ දේශපාලන බලපුළුවන්කාරකම නිසා ලැබුන එකක් නෙමෙයි. අන්න එතනයි වටිනාකම තියෙන්නේ. අපේ රටේ සමහර බේබිලාට මේ තරුණ දේශපාලකයාගෙන් ආදර්ශයක් අරගෙන දැන්වත් හැදෙන්න පුළුවන්. (නි)
රනිල්ලා කොහේ ගියත් ඉතින් අහන්න දෙයක් නැහැ. කොහොමත් මේ තියෙන්නේ රනිල්ලාගේ වසන්ත කාලයයි (නි)
අපේ රටේ කොහෙද සුදුස්සාට සුදුසු තැන. දේශපාලකයින්ගේ සිට රජයේ ඉහළ නිලධාරීන් දක්වා තනතුරු හා උසස්වීම් ලබාදෙන්නේ හැමදේටම 'යස් සර්' කියන හෙන්චයියන්ට. සැබෑ සුදුස්සෝ නිකන් බල ඉන්නවා. ඉතින් රට හැදෙයිද? කෙසේවෙතත් මගේ අත්දැකීම හා පිළිගැනීම සාධාරන පුද්ගලයෙකුට කවර අසාධාරණයක් සිදුකළත් සුදුසුතැන කොතනකදී හෝ ලැබෙනවා.අද හෙන්රි මහතාට කොතරම් සතුටුද. (නි)
සතුටුවෙන්න පුලුවන් පුවතක් (නි)
ලංකාවට අාඩම්බරයක් වුණත් අපේ රටට අවශ්ය බුද්ධිමත් අයගේ සේවය අපට නැතුව යාම රටෙත් ජනතාවගෙත් අභාග්යයකි. (නි)
අපොයි කසුන්, ලංකාවේ නොහිටියේ පෙර පිනකට. නැත්නම් පහුගිය කාලයේ කේන්දරයේ රාජ යෝගයක් තියනවා කියයි. ආරංචියේ හැටියට බොහොම දීප්තිමත් අනාගතයක් හිමි තරුණයෙක්. අපේ සන්තෝෂය සහ සුභ පැතුම් ! (නි)
අපේ පාසලටත් රටටත් දුන් ගෞරවයට මගේ සුබ පැතුම්! (නි)
මවුබිමට ගෞරවයක්. ඔබට සුබ ගමන්! තෙරුවන් සරණ වේවා! (නි)
ලොකු ගමනක් යන්න පුළුවන්. ඔබට සුබ පතනවා, කවදාහරි එංගලන්තයේ අගමැති වෙන්න කියලා! ඒ වගේම අපේ රටේ දේශපාලුවන්ට ලොකු ආදර්ශයක්, ජාතිවාදය ආගම්වාදය වපුරමින් පටු දේශපාලන වහසිබස් දොඩවන එකට. (නි)
හරිම දක්ෂ තරුණයෙක් (නි)
මේක හොද ආදර්ශයක් (නි)